UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසීමිත සාමුහිකත්වයකින් ගිරි හිසක් තරණය කිරීමේදීදක්වන සංහිඳියාවේ සබැඳියාවයි

අසීමිත සාමුහිකත්වයකින් ගිරි හිසක් තරණය කිරීමේදී දක්වන සංහිඳියාවේ සබැඳියාවයි

- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

කෝට්ටේ යුගයේ සැළලිහිණියා මුනි සිරිපා වන්දනා කළේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත සැළලිහිණි සන්දේශයේ කවිපද ඔස්සේ ය.

විසිඑක්වන සියවසේ සැළලිහිණියා මුනිසිරිපා වන්දනා කරනුයේ සජීවී රූප විකාශය සමඟින් විද්‍යුත් තරංග මාලා ඔස්සේ නව තාක්ෂණය මතිනි. සියවස් ගණනාවක ඉතිහාසය තුළ අපේ බැතිබර වන්දනා, නවීකරණය වී තිබේ. සිරිපා අඩවියේ කැටිගැසෙන භිතලෙන් අත්මිදී, නිවසේ ආලින්දයේ සිට සිරිපා හිමේ ඉර සේවය වන්දනා කරන යුගයකට අප අද අවතීර්ණව සිටිමු.

මේ සියලු භෞතික පරිණාමයන් දෙස උත්තුංග සමනොල ගිරි සිරස අදත් එදා මෙන් නිසල රුවින් බලා හිඳී. ලොව නන් දෙසින් පැමිණෙන තමනට අනන්‍ය වූ බැතිබර හැඟීමෙන් සිරිපා නමදින අනන්ත අප්‍රමාණවූ ජාතීන් දෙස සමමෙත් වතින් බලා හිඳින මේ පින්වත් පුදබිමේ අනුත්තර වූ ආශ්චර්යය ද එයමය.

සාමයික විචිත්‍රත්වය ද ජාතික විවිධත්වය ද එකවර සිරිපා කරුණා කරන මේ අසිරිමත් පූජා මංගල්‍යය තුළින් ගලා යනුයේ, සංකීර්ණ මනුෂ්‍යත්වය අසීමිත සාමූහිකත්වයකින්, අසීරු ගිරිහිසක් තරණය කිරීමේදී දක්වන සංහිඳියාවේ සබැඳියාවයි. එකී ළබැඳියාව පොදු මිනිස් කැළවෙත සිරිපා වාරයේ මෙන්ම අවාරයෙත් ගලා යනු දැක්ම අප සැමගේ ප්‍රාර්ථනාව විය යුතු ය.

මුනි සිරිපා වන්දනා 2017 ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා සජීවි විකාශය එහිලා පෙරවදන සපයනු ඇතැයි අපේක්ෂා කරන අතර, මෙම ඇසිදිසි පූජාව නිමිත්තෙන් විශේෂ බුදුසරණ කලාපයක් නිකුත් කරන ලේක්හවුස් ආයතනයේ පින්බර දායකත්වය ද අගය කරමි.


පුද්ගල අධ්‍යාත්මික දියුණුව උදෙසා ද සාමය සංහිඳියාව ගොඩනැංවීම උදෙසා ද අගනා අවස්ථාවක්

- අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

වාර්ෂිකව එළඹෙන මුනි සිරිපා වන්දනා සමය හුදෙක් ආගමික කටයුත්තක් පමණක් නොව, ඈත අතීතයේ සිටම ජනතාව අතර එකමුතුකම, සංහිඳියාව ගොඩනැංවූ, මානව වටිනාකම් වර්ධනය කළ සමාජ සංස්කෘතික උරුමයකි. පරපුරෙන් පරපුරට පැවත ආ සිරිපා වන්දනාව හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර මේ බැව් මනාව පසක් කරවයි.

බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය ලද පූජනීය ස්ථානයක් ලෙස ලෝකවාසී බෞද්ධ ජනතාවගේ වන්දනාමානයට පාත්‍ර වන ශ්‍රී පාද ස්ථානය, සෙසු ආගමික ජනතාවගේ ද දෙස් විදෙස් සංචාරකයන්ගේ ද නොමඳ ආකර්ෂණයට, ගෞරවයට පාත්‍ර වන පුදබිමකි. සමනල ගිර වන්දනා සමය තුළ, මෙම ආගමික, සංස්කෘතික උරුමය මතු පරපුරට රැකගන්නා අතරම, ඒ ආශි‍්‍රත ස්වාභාවික පරිසරයේ සුරක්ෂිතබව කෙරෙහි අවධානය යොමුකිරීමද අතවශ්‍ය කරුණකි.

මැදින් පුන් පොහෝ දින ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මඟින් විකාශනය කරන ‘මුනි සිරිපා වන්දනා 2017’ වැඩසටහනත්, ලේක්හවුස් ආයතනය මඟින් ප්‍රකාශයට පත් කරන බුදුසරණ විශේෂ කලාපයත් ඒ සඳහා මඟ පෙන්වීමක් වනු ඇතැයි අපේක්ෂා කරමි.

සමනල ගිර මුනි සිරිපා කරුණා කිරීම පුද්ගල අධ්‍යාත්මික දියුණුව උදෙසාද ලාංකේය සමාජයේ සාමය, සංහිඳියාව ගොඩනැංවීම උදෙසාද අගනා අවස්ථාවක් වේවායි මෙත් සිත් පෙරදැරිව සුභාංශිංසනය කරමි.


සිරිලකටම සිරි ගෙනා මුනි සිරිපා වන්දනා

- පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන

ලෝකවාසී බෞද්ධ ප්‍රජාවගේ වන්දනීය මුදුන් මල්කඩක් වන ශ්‍රී පාදස්ථානය සර්ව ආගමික ප්‍රජාවගේම ගෞරවයට, වන්දනයට පාත්‍ර වන්නා වූ, සමාජ හා සංස්කෘතික වශයෙන්ද ඉතා වැදගත් වූ පුණ්‍ය භූමියක් වශයෙන් හඳුන්වා දිය හැකිය. මැදින් පුන් පොහෝ දින සිරිපා මහ මළුවේ පැවැත්වෙන මුනි සිරිපා වන්දනා ‘ආගමික වැඩසටහන ශ්‍රී පාදස්ථානයට ලැබෙන ආගමික ගරු බුහුමන් තව තවත් අභිවර්ධනය කරන්නක් වශයෙන් මම දකිමි.

ජාතික රූපවාහිනී සංස්ථාව සජීවී විකාශන අනුග්‍රහය ලබා දෙමින් සිදුකරන ‘මුනි සිරිපා වන්දනා’ වැඩසටහන සිරිපා වන්දනා සමය තුළ මහ මළුවේ පැවැත්වෙන උත්කර්ෂවත් පුණ්‍යෙීත්සවයකි. මෙම මහෝත්සවය බැති බරව සංවිධානය කිරීම සඳහා ශ්‍රී පාදස්ථානයේ විහාරාධිපති අති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක මාහිමිපාණන් වහන්සේගෙන් ලැබුණා වූ උපදේශකත්වය සහ අනුශාසකත්වය බැතිබරව අගය කරන අතර මෙම මහෝත්ස්වයේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දක්වන බුදුසරණ පුවත්පත පුණ්‍යෙීත්සවයට අදාළ ධර්ම ශාස්ත්‍රීය ලිපි සංග්‍රහයක් පළකිරීමට දක්වන ලද කැපවීම වෙනුවෙන් ලේක්හවුස් සභාපතිතුමා, බුදුසරණ කර්තෘ තුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටත් මහද පිරි සතුට, ස්තුතිය ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

ආගමික සහජීවනය, එකමුතුකම එක්තැන් වූ ඓතිහාසික ශ්‍රී පාදස්ථානය සුරැකීම, නිසි ගරු බුහුමන් දැක්වීම ලක්වැසි අප සැමගේම යුතුකමක් වශයෙන් සඳහන් කරන අතර ‘මුනි සිරිපා වන්දනා’ වැඩසටහන සාර්ථක කරගැනීම උදෙසා සහභාගි වූ අනුග්‍රාහකත්වය දැක්වූ සැදැහැවත් සියලුම දෙනාට අවසාන වශයෙන් මාගේ පුණ්‍යානුමෝදනා ස්තුතිය බැතිබරව පිරිනමමි.

තෙරුවන් සරණයි!
සමන් සුරිඳු කරුණාවයි!


මුනි සිරිපා වන්දනා වැඩසටහන සමඟ අත්වැල් බැඳ ගනිමු

- ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති නීතීඥ - රවී ජයවර්ධන

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වාර්ෂිකව මැදින් පොහෝ දින සජීව විකාශය 1984 සිට දශක තුනකට අධික කාලයත් තිස්සේ ශ්‍රී පාදස්ථානය කේන්ද්‍රකරගෙන සිදුකරයි. ජාතික රූපවාහිනිය සමඟ නිබඳව එක්ව සිටින ප්‍රේක්ෂකයන්හට එය අලුත් තොරතුරක් නොවූවද අඛණ්ඩව සිදු කෙරෙන මෙම පුණ්‍ය මහෝත්සවය මෙවර විශේෂත්වයකින් යුතුව සංවිධානය කර ඇත්තේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ 35 වන සංවත්සරය නිමිති කරගෙනය. ශ්‍රී පාදස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ වන්දනාව උදෙසා පසුගිය වසරේ සර්වඥ ධාතු සහිත කරඬුවක් ජාතික රූපවාහිනිය මඟින් පූජා කෙරුණු අතර මෙවර වන්දනා සමයේ ද බැතිමතුන්ගේ වන්දනාව උදෙසා එම මැණික් කරඬුව සිරිපා මළුවේ තැන්පත් කර ඇත. මෙවර ජාතික රූපවාහිනිය මැදිහත්වීමෙන් සහ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ අනුග්‍රහයෙන් සිරිපා මළුව වෙත සූර්ය කෝෂ බලශක්ති පද්ධතියක් පූජා කිරීමටද පියවර ගෙන තිබේ.

‘මුනි සිරිපා වන්දනා 2017” වැඩසටහන යටතේ මැදින් පොහෝ දින ශ්‍රී පාද පද්මයට සහ සමන් දෙවිඳුන්ට උත්තම සත්කාරයක් වශයෙන් රෝස මල් පූජාවක් පැවැත්වේ. එදින සවස්වරුවේ රටට සෙත්පතා සුමන සමන් දෙවියන් වෙනුවෙන් පැවැත්වෙන විශේෂ පූජාවකි. ‘සද්ධර්ම වර්ෂා’ මැදින් පොහොය විකාශය යටතේ ආගමික වතාවත් ඇතුළු ධර්ම සාකච්ඡා දිනය පුරා සිරිපා මළුවේ සිට ප්‍රේක්ෂයන් වෙත සජීවි ලෙස ජාතික රූපවාහිනිය ඔස්සේ පිරිනැමීමට පියවර ගෙන තිබේ. එදින රාත්‍රී 10 සිට සර්ව රාත්‍රික පිරිත් ධර්ම දේශනාවක් විකාශය කෙරෙනු ඇත. අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක්ද මේ අවස්ථාවට සහභාගි වීමට නියමිතය. ‘මුනි සිරිපා වන්දනා 2017’ වැඩසටහන සමඟ අත්වැල් බැඳ ගන්නා මෙන් ජාතික රූපවාහිනිය සකල ශ්‍රී ලංකාවාසී ප්‍රේක්ෂක ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සැදැහැ සිතිනි.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 11 වන දා සෙනසුරාදා අපරභාග 08.23 ට පොහොය ලබයි. 12 වන දා ඉරිදා අපරභාග 08.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 12 වන දා ඉරිදාය.

 

මීළඟ පෝය මාර්තු 20 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]