UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං:

වල්ගම ශ්‍රී මුනින්දවංස නා හිමි

නවසීලන්තයේ ශ්‍රී ලංකාරාමාධිපති, නවසීලන්තයේ ප්‍රධාන සංඝ නායක වල්ගම ශ්‍රී මුනින්දවංශ නා හිමියන්ගේ 70 වෙනි ජන්ම දිනය පෙබරවාරි 20 දිනය යෙදී තිබිණි.

ආචාර්ය වල්ගම ශ්‍රී මුනින්දවංශ නා හිමියන් වහන්සේ 70 වසරක් තුළ සිදු කළ ලෝක ශාසනික සේවය සලකා අස්ගිරි මහා විහාරයීය මහා නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ විංශද්වර්ගික කාරක සංඝ සභාව විසින් උන්වහන්සේට සංඝ නායක පදවි කිහිපයක්ම පත් කරනු ලැබීම අත්‍යයන්තයෙන්ම උචිතය.

විදුහල්පතිවරයෙකු ලෙස සේවය කිරීමෙන් පසු වල්ගම නා හිමියෝ නවසීලන්තයට වැඩම වූහ. විවිධ භාෂා හැසිරවීමේ මනා පරිචයක් ලද හිමියෝ ථෙරවාද, මහායාන විවිධ බෞද්ධ සම්ප්‍රදායන් ගැඹුරින් හදාරමින් එකී සම්ප්‍රදායන් විසින් මෙහෙයවන විවිධ අධ්‍යාත්මික වැඩසටහන් වලට ද සහභාගි වී පුහුණුව ලැබූහ. එය නවසීලන්තයේ බෞද්ධ ධර්ම දූත කටයුතුවලදී මහඟු පිටුබලයක් විය.

යුරෝපයීය දහම් පිපාසිතයන්ට දහම් පැන් බිඳක් සැපයීමටත් ශාස්ත්‍රීය පර්යේෂණවල යෙදෙමින් කටයුතු කරන විදග්ධයන්ට ඇතිවන ගැටලු නිරාකරණය කර දීමටත් උන්වහන්සේ දරන දිරිය පැසසිය යුතු ය.

බුරුමය, වියට්නාමය, තායිවානය, ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව, චෙකොස්ලෝවැකියාව, අයර්ලන්තය වැනි රටවල පැවැති ජාත්‍යන්තර සමුළු රාශියක් නියෝජනය කර ඇති වල්ගම නා හිමියෝ නවසීලන්තයට අමතරව රටවල් රැසක ධර්ම දූතයන් වහන්සේ නමක් ලෙස කටයුතු කරති. ආගමික හා සාමාජීය සේවාවන් අතරතුර ශාස්ත්‍රීය සේවාවද අමතක නොකර උන්වහන්සේ කෘතීන් කිහිපයක් ලියා පළ කළහ. ඒ අනුව යමින් අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභාව විසින් වල්ගම නා හිමිපාණන්ට 1996 දී සතර කෝරළ මහා දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියත් 2007 දී නවසීලන්තයේ ප්‍රධාන සංඝ නායක පදවියත් පිරිනැමූහ. මීට අමතරව අමරපුර මූලවංශික නිකායේ හා අමරපුර එක්නැලිගොඩ පාර්ශ්වයෙන් නා හිමියන්ට ගෞරව සම්මාන උපාධි පිරිනැමූහ.

විදේශ ධර්මදූත සේවාවෙහි නිරත වෙමින්, සම්බුද්ධ ශාසනයේ ව්‍යාප්තිය හා චිරස්ථිතිය සඳහා සහ ශ්‍රී ලාංකේය ජන සමාජයේ උන්නතිය සඳහා ඉමහත් සේවාවන් රැසක් සිදු කරන ආචාර්ය වල්ගම මුනින්දවංශ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට චිර ජීවනය ප්‍රාර්ථනා කරමි. නාහිමියන්ට දිගාසිරි පතා පෙබරවාරි 20 සිට 26 දක්වා රඹුක්කන වල්ගම වර්ධනාරාමයේ දී පින්කම් පැවැත්වේ.


උඩදුම්බර රතනසිරි නා හිමි

මහවැලිතැන්නේගම ශ්‍රී ගුණරතනාරාමාධිපති උඩදුම්බර රතනසිරි ස්වාමීන් වහන්සේ අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකායේ පාතදුම්බර උඩගම්පහ කෝරලයේ ප්‍රධාන සංඝ නායක ධූරයෙන් සහ ශ්‍රී සද්ධර්ම කීර්ති ශ්‍රී ගුණරතන වංසාලංකාර විචිත්‍රභානුක සම්මානයෙන් පිදුම් ලබයි.

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක මඩවල ජිනමංගලාරාමාධිපති ශාස්ත්‍රාචාර්ය පණ්ඩිත අමුණුගම ශ්‍රී ගුණරතන හිමියන්ගෙන් පැවිදි ශිෂ්‍යභාවය ලබා 1989 දී බලපිටිය මහ කප්පින වලව්සීමාමාලකයේදී උපසම්පදාව ලැබීය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධියද, පොල්ගොල්ල යොවුන් සරසවියේ ඩිප්ලෝමාධාරීත්වයද ලබා ඇත. 2003 ජූලි මස 15 වන දින මහවැලිතැන්ගේම ශ්‍රී ගුණරතනාරාම විහාරස්ථානයට වැඩම කළහ. දැනට අවුරුදු 20 කට ප්‍රථම හන්තාන නාගස්තැන්න, ලේවැල්ල යන ප්‍රදේශවල නාය යෑමට හසුවී අතරමං වූ අය සඳහා මෙම ප්‍රදේශයේ ඉඩම් ලබා දී පදිංචි කර ඇති අතර එම අයට ආගමික කටයුතු කර ගැනීමට විහාරස්ථානයක් නොතිබීම නිසා ගුණරතනාරාම විහාරය ආරම්භවීමට සිදුවිය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව 2600 සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව විහාරස්ථානයට මෙම ඉඩම ලබා දෙන ලදී. මේ ප්‍රදේශයේ සිංහල, දමිළ ජනතාවගේ ආගමික සාමාජික කටයුතුවලදී මධ්‍යස්ථ වශයෙන් සෑම දෙයක්ම සිදු කරනු ලබන අතර විහාරාධිපති හිමියන්ගේ අනුග්‍රහයෙන් ප්‍රදේශයේ ග්‍රාම සංවර්ධන සමිතිය, සමගි අවමංගල්‍යාධාර සමිතිය, විහාරස්ථ දායක සභාව, තරුණ බෞද්ධ සමිතිය ආරම්භකර දායක දායිකාවන්ගේ ඉදිරි දියුණුවට කටයුතු කරයි. ග්‍රාමීය මංමාවත් පිළිසකර කර ගැනීමට රජයේ අනුග්‍රහය ලබාගැනීමටත් විහාරස්ථානයේ මූලිකත්වයෙන් කටයුතු කරයි. සියලු විහාරාංගයන්ගෙන් සම්පූර්ණ විහාරස්ථානයක් නිමවී ඇත. බුද්ධ ශාසනයේ දියුණුව උදෙසා කළ කටයුතු අගයමින් කළ සේවයට උපහාරයක් ලෙස උඩදුම්බර රතනසිරි ස්වාමීන් වහන්සේම අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ පාතදුම්බර උඩගම්පහ කෝරළයේ ප්‍රධාන සංඝ නායක ශ්‍රී සද්ධර්ම කීර්ති ශ්‍රී ගුණරතන වංසාලංකාර විචිත්‍රභානුක පදවියෙන් පිදුම් ලැබීම නිමිත්තෙන් පෙබරවාරි මස 26 වෙනි දින විහාරස්ථානයේ දී උපහාර උත්සවයක් පැවැත්වෙන අතර පසුදින අර්ධ ශතාධික මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවකි.


කලල්පිටිය හේමාලෝක හිමි

අත්තනගල්ල කලල්පිටිය ග්‍රාමයේ ජී.එල්. පොඩිසිඤ්ඤෝ මහතාගේ සහ ජී. නෝනහාමි මහත්මියගේ පුතණුවන් ලෙස සහෝදර සහෝදරියන් 07 දෙනෙකුගෙන් යුත් පවුලේ 04 වැනියා වශයෙන් පින්වත් කුමරකු උපත ලැබූහ. වයස අවුරුදු දොළහේදී එවකට දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායකව වැඩ විසූ ශ්‍රී සද්ධර්මවිහාරතීස්වාර්ය කීර්ති ශ්‍රී ධර්මරක්ෂිත කතලුවේ ශ්‍රී සුමංගලාභිධාන නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් 1930 දී අත්තනගල්ල රජමහාවිහාරයේ දී කලල්පිටියේ හේමාලෝක නාමයෙන් පැවිදි දිවියට ඇතුළත් වූහ.

හේමාලෝක හිමියන් හපුගල සුධර්මාරාමයේ කුඹල්වැල්ල ධම්මරතන හිමියන්ගේ පාසෙවනේ වැඩෙමින් අවුරුදු 17 ක් දහම් අධ්‍යාපනය ලැබීය. 1938 දී මල්වතු මහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබීය. පසුව උන්වහන්සේ ගාල්ල කුඹල්වැල්ල ශ්‍රී රේවත පිරිවෙනින් සිංහල පාලි සංස්කෘත භාෂා ධර්ම විනය ශබ්ද ශාස්ත්‍රයන් පිළිබඳව ප්‍රවීණතාවයක් ඇතිකරගෙන දොළොස් වසරක ශිෂ්‍ය ජීවිතය සාර්ථක ලෙස නිමා කළ අතර හේමාලෝක හිමියන්ගේ එකම අරමුණ වන්නේ පොදු මහජන සේවය උදෙසා ශාසනික සේවයේ නියැලීමටය.

එවකට හක්මන ගුණානන්ද හිමියන් විසින් අරඹා ආරාජිකව තිබූ කළුගල මාවත සද්ධර්මෝදයාරාමයට 1940 දී හේමාලෝක හිමියෝ වැඩමකළහ. සියලුම විහාරඅංගයන්ගෙන් අංගසම්පූර්ණ වූයේ හේමාලෝක හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යයෙනි.

ප්‍රදේශයේ දරුදැරියන්ගේ ආගමික නැඹුරුව සහ දහම් අධ්‍යාපනයෙහි වටිනාකම නැංවීම සඳහා 1976 දී ආරම්භ කරනු ලැබූ හේමාලෝක දහම් පාසල අක්මීමන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම්පාසල් අතරින් විශිෂ්ට දහම් පාසලක් වන අතර දහම් සිසු සිසුවියන් දහසකට ආසන්න පිරිසක් දහම් අධ්‍යාපනය ලබයි. සුව පහසුව නොතකා නොයෙකුත් දුෂ්කරතා මැද උන්වහන්සේ ශාසනයට දායාද කළ උගත් බුද්ධිමත්, කාර්යශූර ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ දොළොස් නමකි.

හේමාලෝක හිමියෝ ශාසනික සේවාවේ යෙදෙමින් දෙවතාවක්ම දඹදිව බුද්ධ භූමි වන්දනා කරමින් ඇමෙරිකාවටද වැඩමකර එහිදී සම්බුද්ධ විහාරයේ ප්‍රථම කඨින චීවර පූජාව 2003 දි සිදු කළහ. 2017 ජනවාරි 25 වන දින සිට සියවන උපන්දිනය සමරන කලල්පිටියේ හේමාලෝක හිමියන්ට දිඝාසිරි සහ නිරෝගි සුවය පතමින් පින්කම් රාශියක් එදිනට සිදුකිරීමට දායක දායිකාවෝ සංවිධානය කර තිබිණි.


හසලක සීලරතන හිමි

හසලක සීලරතන හිමියන්ගේ පනස්වන ජන්ම දිනය ජනවාරි 09 වන දිනට යෙදී තිබිණි. මිනිපේ ගොවි ජනපදයේ විල් හත ග්‍රාමයේ පදිංචි සිංහ රැලි මුදියන්සේලාගේ සෙනෙවිරත්න බණ්ඩා මහතා හා දීගල අධිකාරි මුදියන්සේලාගේ ඩිංගිරි මැණිකේ මවුපියන්ට දාව පින්වත් කුමරෙකු ලෙස හසලක සීලරතන හිමියන් 1967 ජනවාරි 09 වන දින උපත ලැබීය.

කුඩා කල දහනායක නම් වූ මෙම කුමරා එම පවුලේ දරුවන් අට දෙනාගෙන් පස් වැනියාය. මූලික අධ්‍යාපනය මහ යාය විල්හත විදුහලෙන් ලබා 1981 දී එම පාසලෙන් සමුගෙන 1981 ජූනි මස 24 දින හසලක ධම්මික හිමි නමින් පැවිදි විය. අත්තනගල්ල ඌරාපොල සිරි සංඝබෝ පරිවෙනාධිපති උඩිස්පත්තුවේ ධම්මරතන හා වතුරුගම හප්පිටිය ශ්‍රී පූර්වාරාමාධිපති උඩිස්පත්තුවේ උපනන්ද හිමිවරුන්ගේ ශිෂ්‍යයෙකු ලෙස පැවිදි වියට පත් හසලක ධම්මික හිමි හප්පිටිය ශ්‍රී පූර්වාරාමයේ වැඩ සිටිමින් ආගමික සේවාවල නිරත විය.

අත්තනගල්ල ඌරාපොල සිරි සඟබෝ පිරිවෙනින් අධ්‍යාපනය ලබා කැලණිය විද්‍යාලංකාර පිරිවෙනෙහි ප්‍රාචීන මධ්‍යම විභාගය දක්වා අධ්‍යාපනය ලැබූහ. 1990 මැයි 08 වන දින මහියංගනය දෙහිගොල්ල ශ්‍රී පූර්වාරාමයේ දී විහාර පරම්පරාව මාරු කිරීම වශයෙන් උපැවැදිව එදිනම නැවත පාතදුම්බර උප ප්‍රධාන සංඝ නායක වලල ශ්‍රී සාරානන්දාභිධාන නා හිමියන්ගේ ශිෂ්‍යයකු වශයෙන් හසලක සීලරතන හිමියන් ලෙස පැවිදි විය.

වර්ෂ 1990 මැයි 10 දින අස්ගිරිය මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී උපසම්පදා විය. උන්වහන්සේට නිදුක්, නිරෝගී දීර්ඝායු සම්පත්තිය ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් විහාරස්ථ දායක සභාව හා සතර පේරුවේ දායක දායිකාවන්ගේ එකමුතුවෙන් පින්කම් මාලාවක් පැවැත්විණි. ඒ අතර කුල දරුවන් හත් දෙනෙකු සසුන් ගත කිරීම, මහා සංඝරත්නය උදෙසා දානය පිරිනැමීම සිදු කෙරිණි.

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි 25 වනදා සෙනසුරාදා පූර්ව භාග 9.20 ට ලබයි. 26 වනදා ඉරිදා අපරභාග 08.28 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 26 වනදා ඉරිදාය.


මීළඟ පෝය මාර්තු 05 වනදා ඉරිදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]