UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමි

අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමි

අනුරාධපුර අටමස්ථානාධිපති, ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හැටහතර වැනි වියට පා තැබීමේ ජන්ම දිනය නිමිත්තෙනි.

1953 ජනවාරි 02 වැනි දින මාතලේ දිසාවේ පල්ලේගම නමැති ගම්පියසේ පල්ලේගම දුක්ගන්නා වලව්වේ කුළුඳුල් පිරිමි දරුවා ලෙස උපත ලද සිරිනිවාස නාහිමියන්ගේ පියා දුක්ගන්නා වලව්වේ ටිකිරි බණ්ඩාර නිලමේතුමාය. මව දුක්ගන්නා වලව්වේ අනුලා කුමාරිහාමි මාතාවය. උන්වහන්සේගේ ගිහි නම දුක්ගන්නා වලව්වේ ජයතිලක වේ.

07 වැනි ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබා 1968 වසරේ අනුරාධපුර රුවන්වැලි මහා චෛත්‍යාරාමයට පැමිණ මහා සංඝරත්නයේ ඇසුර ලැබ එවක අටමස්ථානාධිපතිව වැඩ විසූ උදුරව හල්මිල්ලෑවේ ශ්‍රී රේවත නාහිමියන්ගේ අනුමැතියෙන් පල්ලේගම ධම්මරක්ඛිත නාහිමියන්ගේ හා පල්ලේගම ඤාණරතන හිමියන්ගේ ආචාර්යත්වයෙන් පල්ලේගම සිරිනිවාස නමින් සසුන්ගත වූහ. භික්ෂු අධ්‍යාපනය සඳහා අනුරාධපුර මහා විහාර පිරිවෙනට ඇතුළත් කිරීමට ධම්මරක්ඛිත ලොකු හාමුදුරුවෝ කටයුතු කළහ.

සිරිනිවාස පොඩි හාමුදුරුවන්ගේ ජීවිතයේ

පළමුවැනි සදානුස්මරණීය සිදුවීම වූයේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පළමු රන් වැටේ ප්‍රථම රන්කණුව ස්ථාපනය කිරීමේ අවස්ථාවේදී සෙත්පිරිත් සජ්ඣායනා කිරීමේ පුණ්‍යවන්ත වරම උන්වහන්සේට ලැබීමයි. එකල ජයසිරි මහා බෝසමිඳුන්ගේ තේවාව සිදුකළේද සිරිනිවාස පොඩිහාමුදුරුවන්ය. බෝධියේ තේවාවට ගිය සෑම අවස්ථාවකදීම උන්වහන්සේගේ සිතේ ජයසිරි මහ බෝ හාමුදුරුවන්ට තවත් රන්වැටක් සෑදීමේ සිතිවිල්ල සෙමින් සෙමින් ලියලා වැඩුනේය.

මහා වහාර පරිවේණාධිපති හිමියන් 1970 දී අපවත් වූයෙන් මහාවිහාර පිරිවෙනද තාවකාලිකව වැසී ගියේය. 1971 වසරේදී මාළිගාකන්ද විද්‍යෝදය මහපිරිවෙනට ඇතුළුවීමට වාසනාව ලැබුණේය. මෙහි අධ්‍යාපනය ලැබීමෙන් පසු සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවෙනට ඇතුළත් වූහ.මෙහිදී සාමාන්‍ය පෙළ විභාගය ඉතා ඉහළින්ම සමත්විය.

1975 වසරේ වෙසක් මස 06 වැනි දින මහ නුවර ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර සීමා මාලකයේදී හේරත් හල්මිල්ලෑවේ රේවත, පල්ලේගම ධම්මරක්ඛිත, පල්ලේගම ඤාණරතන යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් උපසම්පදාව ලැබූහ.

1977 වසරේ නොවැම්බර් මස 20 වෙනි දින අටමස්ථානාධිපතිව වැඩ විසූ උදුරුව හල්මිල්ලෑවේ ශ්‍රී රේවත නාහිමියන් අපවත් වූයෙන් අටමස්ථානාධිපති ධුරයට පත්වූයේ පල්ලේගම ඤාණරතන හිමියන්ය.

පසුව අභිනව අටමස්ථානාධිපති ඤාණරතන නාහිමියන්ගේ කාරුණික ඉල්ලීම පරිදි රුවන්වැලි මහා සෑයේ වැඩබලන විහාරාධිකාරි හිමියන් වශයෙන් මාස තුනක් පමණ බොහෝ කැපකිරීමෙන් කටයුතු කිරීමට සිරිනිවාස හිමියන්ට සිදුවූහ.

මේ අතරතුර හුණුපිටියේ ගංගාරාමයට වැඩම කළ සිරිනිවාස හිමියන් එහි සිට උසස් පෙළ පන්තිවලට සහභාගි වෙමින් ඉගෙනීමේ කටයුතු නැවත ආරම්භ කළේය. මෙහි අධ්‍යාපන කටයුතු කරන අතර තුරදි අටමස්ථානාධිපති ඤාණරතන නාහිමියන්ගේ ඉල්ලීමකට අනුව බෝමළුව පන්සලට නිත්‍ය වාසය සඳහා වැඩම කළහ.

බෝමළුව පන්සලට පැමිණීමත් සමඟම දිනපතා උදේ සවස ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වන්දනා කිරිමේ දුර්ලභ වාසනාව හිමිවිය. උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයට 1984 දී ඇතුළුවූහ. 1988 උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්හ.

පසුව අටමස්ථානාධිපති නාහිමියන්ගේ ඉල්ලීමකට අනුව මිරිසවැටිය චෛත්‍යාරාමයේ විහාරාධිකාරි ලෙස උන්වහන්සේ පත් කෙරිණි. 1989 වසරේදී මිරිසවැටියේ වස්වැසීමට උන්වහන්සේ තීරණය කළහ. වස් පින්කමද ඉතා සාර්ථකව සිදු කළ බැවින් උන්වහන්සේ කාගේත් ගෞරවාදරයට පත්වූහ.

1990 දී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුර බෝධින් වහන්සේ නමක් තායිලන්තයේ තෙන්නායිහි විහාරයකට වැඩම කරවීමට කටයුතු සංවිධානය කෙරුණේය. ඒ ගමන සඳහා අටමස්ථානාධිපති නාහිමියන් තෝරාගත්තේ සිරිනිවාස හිමියන්ය.

1993 පොසොන් පුන් පොහොය වන විට මිරිසවැටිය චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන්ව කොත නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය සූදානම් වෙමින් තිබුණේය. එවකට ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මැතිතුමා අතින් කොත්වහන්සේ නිරාවරණය කිරීමට නියමිත විය. එහෙත් කිසිවෙකුත් නොසිතූ නොපැතූ ලෙස මැයි 01 දා ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයකින් ප්‍රේමදාස ජනාධිපතිතුමා දිවංගත විය. මිරිසවැටිය චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ භාග්‍ය හිමිවූයේ ඉන්පසු ජනාධිපති පදවියට පත්වූ ඩී.බී. විජේතුංග මැතිතුමාටය. 1993 ජුනි මස 04 වැනි දින උදෑසන 8.12 ට කොත නිරාවරණය කෙරුණි.

සිරිනිවාස හිමියන් වැඩ වසන පන්සලේ තත්ත්වය දුටු විජේතුංග ජනාධිපතිතුමාගේ සිත මහත්සේ කම්පාවට පත්විය. එතුමා මේ යතිවරයාණන්ට සංඝා වාසයක් තනාදීමට තම කැමැත්තෙන්ම ඉදිරිපත්වී එහි වැඩ ආරම්භ කළේය.

මේ අතරවාරයේදී 1994 වසරේ අභයගිරිය චෛත්‍යරාමයේ වැඩ විසූ පෙරිමියන්කුලමේ උපතිස්ස ලොකු හාමුදුරුවෝ අපවත්වී වදාළහ. පසුව අටමස්ථානාධිපති ඤාණරතන නාහිමියන්ගේ බලවත් ඉල්ලීමකට අනුව සිරිනිවාස හිමියන්ට අභයගිරිය චෛත්‍යාරාමයට වැඩම කිරීමට සිදුවූහ. මෙහිදී සිරිනිවාස හිමියන් අභයගිරිය පන්සලේ පැවති ජල ප්‍රශ්නය පළමුවෙන්ම විසඳූහ.

සිරිනිවාස හිමියන්ට අභයගිරියේ වැඩ සිටීමට සිදුවූයේ වසරක් පමණි. 1995 වසරේදී රුවන්වැලි මහා සෑයේ විහාරාධිකාරිව වැඩ විසූ ඇතිනිමලේ ගුණරතන ලොකු හාමුදුරුවෝ අපවත්වී වදාළහ. මින්පසු අටමස්ථානාධිපති නාහිමියන් විසින් සිරිනිවාස හිමියන් රුවන්වැලි මහා චෛත්‍යය රාමාධිකාරිධුරයට පත්කරන ලදහ.

1995 වසරේදී මල්වතු මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් සිරිනිවාස හිමියන් උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක පදවියට පත්කෙරුණේ මහත් ගෞරව බහුමානයෙනි. ඒ ගෞරවනීය පදවිය ලැබීමත් සමඟම පල්ලේගම සිරිනිවාස හිමියෝ පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නාහිමි නම් වූහ.

සිරිනිවාස නාහිමියන් රුවන්වැලි මහාසෑයට පැමිණීමෙන් පසු රෝගාතුරවූ පල්ලේගම ඤාණරතන අටමස්ථානාධිපති නාහිමියෝ අපවත්වී වදාළහ.

ඤාණරතන නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු අටමස්ථානාධිපති ධුරයට ඊළඟ සුදුස්සා වූයේ සිරිනිවාස නාහිමියන්ය. අටමස්ථාන කාරක සභාවේ අවසන් තීරණයෙන් පසු අටමස්ථානාධිපති ඉතිහාසයේ එම උත්තරීතර පදවියට පත්වුණු ලළාබාලම භික්ෂූන් වහන්සේ බවට සිරිනිවාස නාහිමියන් පත්වී සිටියහ. ඒවන විට උන්වහන්සේ 44 වැනි වියෙහි පසුවූහ.

1997 ජූලි මස 05 වෙනි දින පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස අභිනව අටමස්ථානාධිපති නාහිමියන් නිල වශයෙන් බෝමළුව පන්සලට වැඩම කරවන ලදී. අටමස්ථානාධිපති පදවිය පිළිබඳ අක්ත පත්‍රය සහ විජිනිපත සිරිනිවාස නාහිමියන්ට ගෞරව බහුමානයෙන් යුක්තව පිළිගන්වන ලද්දේ එවක ජනාධිපතිනියව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය විසිනි.

මෙම පත්කිරිම්වලින් පසුව ශ්‍රී මහා බෝධින් වහන්සේ සඳහා දෙවැනි රන් වැට තැනීමට මූලික අඩිතාලම වැටුනේ 1999 නිකිණි මස 20 වැනි දිනය. විවිධ පරිත්‍යාග තුළින් රන්වැට අරමුදල ක්‍රමයෙන් වර්ධනය වුවත් එය සිදුවුයේ මන්දගාමීවය. ක්‍රමයෙන් 2001 වසරේ මහමැතිවරණය ළඟාවිය. රනිල් වික්‍රමසිංහ මහතා රටේ අග්‍රාමාත්‍යධුරයට පත්විය. නව අගමැතිවරයා 2002 ජනවාරි මස 26 වැනි දින උඩමළුව වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේ රන්වැට පිළිබඳ කථාව අගමැතිවරයාට සිහිපත් කළෝය. ඉන්පසු සිරිනිවාස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් රන්වැට පිළිබඳ උපදේශක සභාවක් පත්කරන ලදී. අරමුදල් හා ඉදිකිරීමේ කමිටුවක්ද පත් කෙරුණේය.

අවසානයේ සිරිනිවාස නාහිමියන්ගේ ප්‍රාර්ථනාවල හා උත්සාහය මල්පල ගන්වමින් රන්වැට නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කෙරුණේය. නව රන්වැට සඳහා මුල්ගල තැබීම සිරිනිවාස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් 2002 වෙසක් මස 23 වැනි දින සිදු කෙරුණේය. 2003 වසරේ වෙසක් මස 14 වැනි දින රන්වැට විවෘත කෙරුණි.

සිරිනිවාස නාහිමියන්ගේ ආරාධනයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය මැදිහත්වීමෙන් රුපියල් ලක්ෂ පනහක පමණ වියදමින් බෝ මළුවට පහතින් පිහිටි දේවාල මළුවේ ආරක්ෂක ගේට්ටු පහක් සවිකරන ලදී. ඒ සමඟම දේවාල මළුවේ කළුගල් ඇතිරීමට ලැබීමද රන්වැට ඉදිකර ඉතිරි මුදල් සියල්ල පාලනය සඳහා සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි”රන්වැට අරමුදල් පාලක මණ්ඩලය” පිහිටුවන ලදී.

වර්ෂා කාලයට බෝධින් වහන්සේගේ පහත වැලි මළුව වතුර පිරීමට පටන් ගන්නා බැවින් වන්දනාකරුවන් මහත් අසීරුතාවයකට පත්වන අයුරු දුටු නාහිමියෝ රාජ්‍ය අනුග්‍රහයද ඇතිව එම ගැටලුවද විසඳීමට කටයුතු සැලසුවේය.

ඒ වන විට අග්‍රාමාත්‍යධුරය ඉසිලූ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනුමැතිය ඇතිව බෝමළුව වටා පිහිටි ශ්‍රී දළදා පෙරහර මාවතද නවීකරණය කරවාගත් සිරිනිවාස නාහිමියෝ 2004 වසර අවසානයේදී පෙරහර මාවත විවෘත කරවන ලදී.

පිරිවෙන් අධ්‍යාපනය ලබන මහා විහාරයේ භික්ෂූන් වහන්සේලාට පරිගණක අධ්‍යාපනය ලබාදීමේ අටියෙන්” මහා විහාර භික්ෂු පරිගණක මධ්‍යස්ථානය” නමින් ආයතනයක් පිහිටුවීමටද පෙරමුණ ගත් සිරිනිවාස නාහිමියෝ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාගේ “නැණසල” ව්‍යාපෘතිය ඔස්සේ එය තවදුරටත් සංවර්ධනය කෙළෝය.

ඉන්පසු මහා විහාර නැණසල ඔස්සේ ජය ශ්‍රී මහාබෝධිය ඇතුළු අටමස්ථානය පිළිබඳ තොරතුරු සහ ඡායාරූප ඇතුළත් වෙන අඩවියක්ද සැලසුම්කර විවෘත කෙරුණේ සිරිනිවාස නාහිමියන්ගේ දූරදර්ශි භාවයේ ප්‍රතිඵලයක් වශයෙනි.

බෝමළුව ප්‍රධාන අටමස්ථානයේ ආරක්ෂාව සහ තේවා කටයුතු කළ විල්ලිදුර ඇත්තන් ඇතුළු රාජකාරි ශ්‍රේණිවල ජනතාවගේ රාජකාරි යළි විධිමත් කළ උන්වහන්සේ ඒවායේ ප්‍රතිලාභද ඔවුන්ට මැනවින් ලැබෙනසේ සංවිධානය කළහ. ශබ්ද පූජා ආදිය සඳහා මහනුවර ප්‍රදේශයෙන් නව ශිල්පීන් ගෙන්වා පාරම්පරික විහාරගම්වල ඔවුන් පදිංචි කරවීමට උන්වහන්සේ පියවර ගත්හ.

2004 වසර් ඉල් මාසයේ 12 වැනි දින මහා වර්ෂාවට උඩමළුවේ දේවාල මළුව හෙවත් තුන්වැනි මළුව රැකගෙන සිටි මහා ප්‍රාකාර බැම්ම බටහිර පැත්තෙන් ගලවා ගෙන ගොස් තිබුණේ මළුවේ ප්‍රාසාදයක්ද සමගිනි. මහා ප්‍රාකාරබැම්මද වර්තමානයට ගැළපෙන අයුරින් ඉදිකරවා ගැනීමට සිරිනිවාස නාහිමියන්ට වැඩිකලක් ගතවූයේ නැත.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ මැදිහත්වීමෙන් දසදහසකට අධික පිරිසකට රැස්විය හැකි මහාධර්ම ශාලාවක් රජයේ වියදමින් සාදවා ගැනීමට උන්වහන්සේට හැකි විය.

2005 වසරේ වෙසක් මස 08 වැනි දින තායිලන්තයේ චූලාලංකාර රාජ් විශ්වවිද්‍යාලය මගින් ආචාර්ය උපාධියක් සිරිනිවාස නාහිමියන්ට හිමිවිය.

ජයශ්‍රී මහාබෝධිය වෙත එන බැතිමතුන්ට දිනහතක් මුළුල්ලේ බෝධින් වහන්සේ ළඟටම ගොස් දැක බලා වැඳ පුදා ගැනීමේ උතුම් අවස්ථාව උදාකර දුන්නේ සිරිනිවාස නාහිමියන්ය.

2005 වසරේ නිකිණි මස 23 වැනි දින සිරිනිවාස නාහිමියන් මුල්වී ඉදිකළ උඩමළුවේ දෙවැනි රන්වැටද විවෘත කෙරිණි. සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි උඩුවේ ධම්මාලෝක හිමියන් ප්‍රධාන දානපතීන් පිරිසකගේ මැදිහත්වීමෙන් බෝධීන් වහන්සේට ස්වර්ණමය තහඩුවලින් ආධාරකයක්ද සවිකරන ලදී.

 

උදුවප් අමාවක පෝය

උදුවප් අමාවක පෝය ජනවාරි මස 09 වැනිදා සෙනසුරාදා පූර්වභාග 07.53ට ලබයි. 10 වැනිදා ඉරිදා පූර්වභාව 07.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 09 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය ජනාවරි 16 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 09

First Quarterපුර අටවක

ජනවාරි 16

Full Moonපසෙලාස්වක

ජනවාරි 23

Second Quarterඅව අටවක

පෙබරවාරි 01


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]