UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

උඳුවප් අමාවක 2016.01.09

යුතුකම හා වගකීම

මනුෂ්‍යයාට සමාජ සබඳතාවලින් ඈත් වී, බැහැර වී හුදකලාව වාසය කළ නොහැකිය. ඔවුනොවුන් වෙත උපකාර කළ යුතුවෙයි. අන්‍යෝන්‍යය සහාය සමාජ දියුණුවට බෙහෙවින්ම ඉවහල් වේ. නිවසක් දෙස පමණක් වුවද කල්පනා කර බලන විට එය මනාව වටහා ගත හැකිය. සමාජයක වෙසෙන කුඩාම ඒකකයකි, නිවසක් තුළ වෙසෙන පිරිස. මව්පියන් දූ දරුවන් ලෙස ඔවුනොවුන් හඳුනාගත යුතු වෙයි. මෙසේ නිවාස කීපයක් ඒකරාශී වී ගමක් නිර්මාණයවීමත් එසේ ගම් කීපයක් ඒකරාශීවී ප්‍රදේශයක් බිහිවීමත් ආදී වශයෙන් සමාජ ව්‍යාප්තිය ඇති වෙයි. සමාජ සබඳතා පුළුල් වී ඒවා නිසි ලෙස පවත්වා ගෙන යාමට යුතුකම් ඉටු කිරීම හේතු සාධක වෙයි. අන්‍යෝන්‍ය විශ්වාසයෙන් සාමයෙන් සතුටෙන් ජීවත්වන විට ඔවුනොවුන් තුළ සමඟිය වර්ධනය වේ.

මව්පියන් සහ දූ දරුවෝ, ගුරුවරුන් සහ ශිෂ්‍යයෝ, අඹුසැමියෝ, යහළු මිත්‍රයෝ, සේව්‍ය සේවකයෝ, ගිහියන් හා පැවිද්දෝ වශයෙන් බුදුරජාණන් වහන්සේ සමාජයට පෙන්වා වදාළ සදිසා නමස්කාරය ඒ ඒ සමාජ සබඳතාවන්හි දැහැමි පිළිවෙත් සමුදාය දේශනා කර වදාළහ. ඒ ඒ සමාජ කොටස් වෙත නන් අයුරෙන් සංග්‍රහ කිරීම යුතුකම් හා වගකීම් ලෙස හඳුනාගත හැකි වෙයි. මානව සබඳතා අතර මව්පියන් සහ දූදරුවන් අතර පවතිනුයේ සෙනෙහසින් කරුණාවෙන් දයාවෙන් බැඳි ආදරණීය සමාජ සබඳතාවයකි. ගුරුවරුන් හා ශිෂ්‍යයන් අතර ද මව්පියන් දරුවන් අතර පවතින සබඳතාවය මෙන් වැදගත් තැනක් ගනී. අඹුසැමියන් යහළු මිත්‍රයන්, සේව්‍ය සේවකයන් ආදී වශයෙන් කවර සමාජ කණ්ඩායමක් දෙස විමසා බැලුවද ඒ සෑම සමාජ කණ්ඩායමක් තුළම අන්‍යෝන්‍ය විශ්වාසයක්, ගෞරවයක් පවතින බව පිළිගත යුතු කරුණකි. මෙසේ එම සියලු සමාජ කොටස් එකිනෙකට බැඳී පවතිනුයේ ඔවුනොවුන් විසින් ඉටුකරනු ලබන යුතුකම් හා වගකීම් සමුදායක් මඟිනි. මෙසේ එම කරුණු ඉටු කරනුයේ සමාජ ධර්ම හඳුනන ඊට ගරු කරන හෙයිනි.

යුතුකම් හා වගකීම් ඉටු නොවනවිට සමාජ බැඳීම්ද බොහෝවිට දුරස්වී යාමට ඉඩ ඇත. බුදුදහම මඟින් පෙන්වා වදාළ සමාජ ධර්ම මනා සේ ඉටු කිරීමෙන් ඒ ඒ සමාජ තුළ කලාතුරකින් හෝ පැන නඟින ගැටලු අර්බුද මග හැරී යනු ඇත. කවර සමාජයක් වුවද පටු ආකල්ප කර පින්නා ගතහොත් එය දියුණුවට, අභිවෘද්ධියට බාධාවක් වනු ඇත. මිනිස් සිත් සතන්හි පවතින දුර්ගුණ, යහගුණ බවට පත් කරගත හැකි වනුයේ දැහැමි දිවි පැවැත්ම මඟිනි. මිනිස් සිතෙහි පවතින දුර්වලතා නිසාම බොහෝවිට පරිහානියට පත්වීමටද එය හේතුවක් වෙයි. සෑම ක්‍රියාවලියකම මූලාරම්භය සිදු වනුයේ සිත මුල්වීමෙනි. යහපත් මෙන්ද අයහපත් සිතිවිලිද හටගන්නේ සිත මුල් කරගෙනය. සිත හදන මඟ කියාදෙන සම්බුදු දහම පිළිබඳ මිනිස් වර්ගයා තුළ පවතිනුයේ මහත් ගෞවරයකි. විශ්වාසයකි. සිත නිසි ලෙස ආරක්ෂා කර නොගත් කල එහි හැසිරීම කවර ආකාරයකට සිදුවේදැයි නිශ්චය කිරීම පවා අපහසු කරුණකි. සමාජය තුළ පවතින අර්බුද ගැටලු විසඳුමට ඇති ඒකායන මාර්ගයද සිත ගුණ දහමෙන් පෝෂණය කිරීමය. ඇතැම්විට තම දයාබර මවට, පියාට දරුවෙකු නොසලකා හැරියහොත් එම මව හෝ පියා අසරණ වනු ඇත. දරුවා සතු යුතුකම හා වගකීම නිසි අයුරෙන් ඉටු කෙරෙන්නේ නම් මව්පියන්, දරුවන් කෙරෙහි දක්වනුයේ අප්‍රමාණ වූ කරුණාවකි. දයාවකි. කෙතරම් ධනය අප සතු පැවතියද ගුණ දහම් මිල මුදලට ළඟා කර ගත හැකි නොවේ. ගුණ දහම් වර්ධනය වනුයේත් එය පෝෂණය වනුයේත් ඔවුනොවුන් විසින් ඉටු කිරීම තුළිනි. මනුෂ්‍යයා අනෙකුත් සත්ත්වයන්ට වඩා වෙනස් වනුයේද සිතීමේ හා විමසීමේ බුද්ධියකින් ඔහු පසුවන හෙයිනි. එබැවින් මිනිස්කමට, මිනිස්නමට නොගැළපෙන ක්‍රියාවලින් බැහැරවීමට නම් ගුණ දහමෙන් පෝෂණයවීම මිනිස් වර්ගයා සතු යුතුකමක්ව පවතී.

සමාජයේ කුඩාම ඒකකයේ ඇතිවන සමගිය සංහිඳියාව වර්ධනය වී ඒකක කීපයක එකතුවෙන් සෑදෙන ගමක්, පළාතක්, රටක් ඒ තුළින් මහත් සැනසීමට පත්වනු ඇත. එසේ නොවුන කළ බිය සැක වැඩෙනු ඇත. ජාතික සමගියටත් , ආගමික සංහිඳියාවටත් ඔවුනොවුන් තුළ විශ්වාසය ගොඩනැගිය යුතුව ඇත. ගෙවී ගිය වසරක පමණ කාලය දෙස හැරී බැලීමේ දී ඒ සොඳුරු පරිසරය ගොඩනැගීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු වත්මන් රජය ක්‍රියා කිරීම පැසසිය යුතුව ඇත. යුගයේ මූලික අවශ්‍යතාවය මැනවින් හඳුනාගත් එම රාජ්‍ය නායකයන් දෙදෙනා මෙරටට ලබාදුන් ආදර්ශය ලාංකේය ඉතිහාසය තුළ අමරණීයව සටහන්ව පවතිනු ඇත. ජනතා සිතුම් සියල්ල ඉතා කෙටි කලක් තුළ ඉටු කළ නොහැකි බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. එහෙත් ඒ සියල්ල හඳුනාගෙන ඊට මූලික පියවරතැබීම ජනතා ජයග්‍රහණයක් බව කල්පනා කළ යුතුව ඇත. ඒ සඳහා සහාය දැක්වීමද ජනතාව සතු වගකීමක් මෙන්ම යුතුකමක්ව පවතිනු ඇත.

 

උදුවප් අමාවක පෝය

උදුවප් අමාවක පෝය ජනවාරි මස 09 වැනිදා සෙනසුරාදා පූර්වභාග 07.53ට ලබයි. 10 වැනිදා ඉරිදා පූර්වභාව 07.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 09 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය ජනාවරි 16 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 09

First Quarterපුර අටවක

ජනවාරි 16

Full Moonපසෙලාස්වක

ජනවාරි 23

Second Quarterඅව අටවක

පෙබරවාරි 01


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]