UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිවන් දැකීමට නම් 05 - මේ ජීවිතයේදීම නිවන් සැප අත් විඳීන්න පුළුවන්

නිවන් දැකීමට නම් 05

මේ ජීවිතයේදීම නිවන් සැප අත් විඳීන්න පුළුවන්

පංචස්කන්ධය නිරන්තරයෙන්ම අනිත්‍යයට යන හැටිත්, අනිත්‍යයට යාම නිසාම නිරුද්ධ වී යන හැටිත් නිරුද්ධ වී ගිය කිසිම දෙයක ආත්මයක්, මමෙක්, මගේ බවක් ඉතිරි නොවන හැටිත් ප්‍රත්‍යක්ෂ ලෙසම භාවනාවෙන් පෙනී ගියහොත් මේ ජීවිතයේදීම නිවන අත්දකින්නට පුළුවන්.

සතර සම්මප්පධාන – සතර සම්මප්පධාන වශයෙන් වදාරා තිබෙන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ දක්වා ඇති සම්මා වායාමය පිළිබඳ කරුණුමයි. සතර සම්මප්පධාන වශයෙන් වදාරා තිබෙන්නෙත්,

සතර ඍධිපාද :– නිවන් දැකීම අනුව කියනවා නම් ඍධිපාද ධර්ම කියන්නේ ධ්‍යාන මාර්ගඵල හා නිවන අවබෝධ කිරීමට අනිවාර්යයෙන්ම ඇතිකර ගත යුතු ධර්ම වලට. ඒවා ඡන්ද ඍධිපාද, චිත්ත ඍධිපාද , විරිය ඍධිපාද , වීමංසා ඍධිපාද කියා හතරක් තිබෙනවා. මේවා අතුරෙන් අඩු වශයෙන් එකක්වත් අනිවාර්යයෙන් ම ඇතිකරගත යුතුමයි. මේවා ඍධිපාද ධර්ම වීමට නම්,කවර බාධකයක් ආවත්, මොන මොන පීඩා ආවත්, ඒ සැම එකක්ම මැඩගෙන මම බලාපොරොත්තු වන දෙය ලබාගෙන මිස නවතින්නේ නැහැ. නො වරදවාම ඒ ප්‍රාර්ථනය ඉෂ්ට වන තෙක්ම මම මේ භාවනාව කරන එක කරනවා මයි. ආදී වශයෙන් ඉතා දැඩි සේ, බා නොතබන ලද ඡන්ද ආදි ඍද්ධිපාද ධර්මයන් ඇතිකර ගන්නට ඕනෑ. එහෙම නැතිව එක පාරටම ඡන්දයක් සිතක්, වීර්යයක්, ප්‍රඥාවක් ඇතිවු පමණින් ඒවා ඍද්ධිපාද වන්නේ නැහැ.

ඡන්ද ඍද්ධිපාද – ඡන්ද කියන්නේ තමන් ප්‍රාර්ථනා කරන, බලාපොරොත්තු වන ධ්‍යාන, සෝවාන් ආදී මාර්ග ඵල හා නිවන කොහොම හරි ලබා ගැනීමට ඇති කැමැත්තට.

චිත්ත ඍද්ධිපාද – ධ්‍යාන මාර්ගඵල නිර්වාණය අත්දැකීමට ඇතිකර ගත යුතු බලවත් සිතක් ඇතිකර ගැනීමටයි චිත්ත කියා කියන්නේ.

විරිය ඍද්ධිපාද :– ඍද්ධිපාද ධර්මයක් සේ ඇතිකර ගත යුතු වීර්යයක් නිවන් දැකීමට අනිවාර්යයෙන්ම තිබිය යුතුමයි.

වීමංසා ඍද්ධිපාද :– වීමංසා කියන්නේ ප්‍රඥාවට , සසරේ විඳින ලද දුකක්, සසරෙහි රැඳී සිටීමේ ඇති භයානකකමත්, නිවන් අවබෝධ කිරීමේ ඇති වටිනාකමත් ආදී කරුණු නුවණින් අවබෝධවීම නිසා ඇතිවන ප්‍රඥාවට

පඤ්චේන්ද්‍රිය :– ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියා ඉන්ද්‍රිය ධර්ම පහක් තිබෙනවා. මෙම ඉන්ද්‍රිය පහ සම්පූර්ණයෙන්ම දියුණු කළහොත් රහත් විය හැකි බවත්, ඊට වඩා අඩුවෙන් දියුණු කළොත් අනාගාමි විය හැකි බවත්, ඊටත් වඩා අඩුවෙන් දියුණු කළොත් සකදාගාමී විය හැකි බවත්, ඊටත් වඩා අඩුවෙන් දියුණු කළහොත් සෝවාන් වීමටත් ඊටත් වඩා අඩුවෙන් දියුණු කළොත් ධම්මානුසාරි කෙනකු වීමට හැකි බවත්, ඊටත් වඩා අඩුවෙන් දියුණු කළ කෙනෙකුට සද්ධානුසාරි පුද්ගලයකු විය හැකි බවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබෙනවා. එම නිසා මෙම ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කර ගැනීමේ ඇති වටිනාකම තේරුම් ගන්න.

අනෙක් අයට වඩා අධිපති බවක්, ඉසුරු බවක් යම් ස්ථානයක අධිපතියෙක් උසුලනවා වගේ, වෙනත් කරුණු අභිභවා ශ්‍රද්ධා ආදි ධර්ම අධිපති බවක් උසුලන නිසයි ඉන්ද්‍රිය කියන්නේ. උදාහරණ වශයෙන් ශ්‍රද්ධාව විනාශ වී යන කරුණු එන අවස්ථාවක හරි ශ්‍රද්ධාව නො සැලී පවතිනවා නම් ඒක ඉන්ද්‍රිය ධර්මයක්. ශාරීරික අසනීපගති හරි, වෙනත් නොයෙකුත් කරුණු නිසා හරි ශරීරයේ වීර්යය නැතිවී ගියත්, සිතේ වීර්ය පවතිනවා නම් ඒකත් ඉන්ද්‍රිය ධර්මයක් සම්මා සතිය නැතිවී යන රාගය තරහව ආදී කෙලෙස් පැන නගින වේලාවක වුණත් ඒ ක්ලේශ යට කරගෙන සතිය සිහිවී කෙලෙස් වලින් සිත මුදවා ගෙන සම්මා සතියෙන් කටයුතු කරන්නට හැකි නම්, ඒ වගේම සමාධිය පවත්වා ගෙන යා නොහැකි ශබ්ද වලින් පිරුණු විශාල ජනකායක් මැද හරි සමාධියෙන් ඉන්නට පුළුවන් නම් ඒවත් ඉන්ද්‍රිය ධර්ම,ඇසුරු කිරීමට ලැබෙන්නේ ලෞකික දේ වලම පැටලී සිටින, ප්‍රඥාව නැතිවී යන දේම කියන අය මධ්‍යයේ වුණත් විදර්ශනාමය ප්‍රඥාවකින් සිටිය හැකි නම් එයත් ඉන්ද්‍රිය ධර්මයක්.

ශ්‍රද්ධාව – බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ දකිමින්, උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය අදහා ගෙන,උන්වහන්සේ කෙරෙහි ඇතිකර ගත යුතු බලවත් ශ්‍රද්ධාවක් නිවන් දැකීමට බලාපොරොත්තු වන කෙනකු විසින් ඇතිකර ගත යුතුමයි. ධර්මයේ පවත්නා මේ ජීවිතයේදීම අත්දැකිය හැකි සාන්දිට්ඨික ආදි ගුණ දකිමින් ධර්මය කෙරෙහි ඇති කරගනු ලබන ශ්‍රද්ධාවත්, නිර්වාණය අවබෝධ කරගත් සංඝයා ළඟ පවත්නා සුපටිපන්න ආදී ගුණ දකිමින් සංඝයා කෙරෙහි ඇති කරගත යුතු ශ්‍රද්ධාවත් තිබීම නිවන් අත්දැකීමට අවශ්‍ය දෙයක්.

වීර්යය – ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා වායාම අංගයේ දක්වා ඇති සතර ආකාරයෙන් ඇතිකර ගත යුතු වීර්යයක් නිවන් දැකීමට අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.

සතිය :– සතින්ද්‍රිය කුමක්ද කියා විමසා, බුදුරජාණන් වහන්සේ එය විස්තර කර ඇත්තේ “බොහෝ ඈත සිදුවු දෙයක් හෝ කරන ලද හෝ කියන ලද දෙයක් සිහි කිරීමට හැකි බලවත් සිහියකින් යුතුව, කායානුපස්සනා ආදී සතර සතිපට්ඨානය ධර්ම දියුණු කරමින් වාසය කරයි” කියලයි. මේ විධියට සතින්ද්‍රිය දියුණු කිරීමට උත්සාහ ගැනීම කළ හැකි නම් ඒක ඉතා හොඳයි. එහෙම කරන්නට නො හැකි නම් කලින් සම්මා සතිය දියුණු කිරීමට කියා ඇති ආකාරයෙන් හරි සතිය දියුණු කර ගැනීමට උත්සාහ ගන්න.

සමාධිය :– සියල්ල අතහැර ලබන නිර්වාණය අරමුණු කොට සිතේ එකඟබවක් සමාධියක් ඇතිකරගෙන, 1-2-3-4 රූපාවචර ධ්‍යාන වලට සමවැදී සිටීම සමාධින්ද්‍රිය බවයි බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙන්නේ. කවර ආකාරයකින් හරි සමාධිය දියුණු කර ගැනීම නිවන් දැකීමට ඉතාමත්ම අවශ්‍ය දෙයක්.

ප්‍රඥාව – පංචස්කන්ධයන් ගේ ඇතිවීම නැතිවීම අත්දැකිය හැකි, නිවනට පත්කරනු ලබන ප්‍රඥාවකින් යුතුව, දුක්ඛ, සමුදය, , නිරෝධ, මාර්ග කියන චතුරාර්ය සත්‍යයන් යථා පරිදි අත්දකින ප්‍රඥාව පංචේන්ද්‍රිය කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ විධියට අප පංචේන්ද්‍රිය දියුණු කර ගත යුතුමයි නිවන අත්දැකීමට.

පඤ්චබල – ශ්‍රද්ධා, විරිය, සති, සමාධි , ප්‍රඥා කියන කොටස් පහම බල ධර්ම වශයෙන් ක්‍රියාත්මක වන අවස්ථාවන් තිබෙනවා. හරියට බලවන්තයෙක් දුබලයන් යටකරගෙන නැගී සිටිනවා වගේ. අශ්‍රද්ධාව මතුවී එන බොහෝ කරුණු මධ්‍යයේ වුණත්, ශ්‍රද්ධාව නො සැලී තිබෙනවා නම් ඒක ශ්‍රද්ධා බලයක්, මේ වගේම අනෙක් බල ධර්ම හතරක් තේරුම් ගන්න.

සත්ත බොජ්ඣංග හා ආර්ය අෂ්ඨාංගික මාර්ගය – මීට කලින් මේවා විස්තර කර තිබෙන නිසා නැවත ඒ ගැන විස්තරයක් අවශ්‍ය වන්නේ නැහැ.

මේ දක්වා කීවේ නිවන් දැකීමට දියුණු කරගත යුතු ත්‍රිශික්ෂාව , ආර්ය අෂ්ඨාංගික මාර්ගය හා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කියන කරුණු පිළිබඳව කෙටි විස්තරයක් පමණයි .


පසුගිය සතියෙන් - නිවන් දැකීමට නම් - 04 ධම්මානුපස්සනා

 

     ‍   බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 04 වැනිදා ඉරිදා අපරභාග 2.38 ට ලබයි. 05 වැනිදා සඳුදා අපරභාග 2.45 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 04 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 12 වැනිදා සඳුදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]