UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ගද්‍ය පද්‍ය ගායනා රචනා, කථික හා චිත්‍ර තරගය

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ගද්‍ය පද්‍ය ගායනා රචනා, කථික හා චිත්‍ර තරගය

මෙරට පුරෝගාමී බෞද්ධ සංවිධානයක් වන කොළඹ තරුණ බෞද්ධ සංගමය බෞද්ධාගම ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘති ගණනාවක් වාර්ෂිකව දියත් කරනු ලබන අතර, දැනට දශක කිහිපයක සිට පවත්වාගෙන එනු ලබන ගද්‍ය පද්‍ය ගායනා, රචනා හා දැනට වසර කිහිපයකට පමණ පෙර සිට මේ හා සම්බන්ධව පවත්වනු ලබන කථික හා බෞද්ධ චිත්‍ර තරගය ඉන් එක් ව්‍යාපෘතියකි.

මෙරට පිහිටි දහම් පාසල් හා පාසල්වල දරු දැරියන් මෙන්ම දහම් පාසල් ගුරු භවතුන් ද මෙම තරගාවලිය සඳහා සහභාගි වන අතර, බෞද්ධ සාහිත්‍යය මඟින් ආගමික හා සංස්කෘතිකමය වටිනාකම් සමාජයට ඉගැන්වූ පොත්පත් අතුරින් පූජාවලිය, බුත්සරණ, අමාවතුර, සද්ධර්මරත්නාවලිය, දළදා සිරිත, කුවේණි අස්න, සකස්කඩ වැනි ග්‍රන්ථ හා සුභාෂිතය, බුදුගුණ අලංකාරය, ගුත්තිල කාව්‍යය, ගංගාරෝහණ වර්ණනාව, යශෝධරාවත, ලෝවැඩ සඟරාව යන පද්‍ය ග්‍රන්ථ මෙන්ම බෞද්ධ ජාතක කතා වස්තු හා බෞද්ධාගමේ අනෙකුත් ඉගැන්වීම් අතුරින් ඇතුළත් කරුණු මේ සඳහා උපයෝගී කරගනු ලැබීය. මෙම වසරේ මෙකී තරග සඳහා ඉදිරිපත් වූ සංඛ්‍යාව දස දහසකට ආසන්නය.

ගද්‍ය පද්‍ය ගායනා අවසාන මහා තරගයේ කනිෂ්ඨ අංශයේ පළමුවන ස්ථානය

වී.ටී. සොයිසා අනුස්මරණ ජය සංකේතය හා රුපියල් 15000/- මුදල් ත්‍යාගයක් හිමිකර ගනු ලැබුවේ පානදුර ගඟුල ශ්‍රී ඤාණවිමල ධර්ම පාඨශාලාවේ ඩබ්.පී.වයි. කළණක විදානපතිරණ සිසුවාය. කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති සුමේධ අමරසිංහ, ප්‍රධාන අමුත්තා වූ මහාචාර්ය සම්පත් අමරතුංග සහ සිංහල සාහිත්‍ය කමිටුවේ ලේකම් හා සංගමයේ උප සභාපති කුසුමබන්දු සමරවික්‍රම යන මහත්වරුන් ද ඡායාරූපයේ සිටී.

2015 වර්ෂයේ මෙම තරගය වසර ආරම්භයේ සිට කොළඹ හා ප්‍රාදේශීය වශයෙන් පවත්වා ඉන් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රදානය කිරීමේ උළෙල 2015 සැප්තැම්බර් මස 12 වන දින බොරැල්ලේ පිහිටි සංගම් ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණි. සංගමයේ සාහිත්‍ය උළෙලට සමාගාමීව පැවැත් වූ මෙම උළෙල සංගමයේ සභාපති සුමේධ අමරසිංහ මහතාගේ හා සිංහල සාහිත්‍ය කමිටුවේ ලේකම් හා සංගමයේ උප සභාපති කුසුමබන්දු සමරවික්‍රම මහතා ඇතුළු කමිටුව විසින් සංවිධානය කරන ලද අතර උළෙලේ ප්‍රධාන අමුත්තා වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාය.

ගද්‍ය, පද්‍ය, ගායනා අවසාන මහා තරගයේ කනිෂ්ඨ අංගයේ පළමුවන ස්ථානය ලබා වී.ටී. සොයිසා අනුස්මරණ ජය සංකේතය හා රුපියල් 15000 මුදල් ත්‍යාගය හිමිකර ගනු ලැබුවේ පානදුර ගඟුල ශ්‍රී ඥානවිමල ධර්ම පාඨශාලාවේ ඩබ්.පී.වයි. කළණක විදානපතිරණ සිසුවාය. එහි ජ්‍යෙෂ්ඨ අංශයේ පළමු වන ස්ථානය ලබා රාජ නීතිඥ එරික් එස්. අමරසිංහ ජය සංකේතය හා රුපියල් 15000 ක මුදල් ත්‍යාගයක් හිමිකර ගනු ලැබුවේ මතුගම සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ පී.ඩබ්.චමිඳු පින්සර විතානගේ සිසුවා ය.

සමස්ත ලංකා කථික තරගයේ කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය දිනාගනු ලැබුවේ, නැඟෙනහිර උඩුගම, ශ්‍රී ගුණානන්දාරාම දහම් පාසලේ ඒ.එල්.ජී. මධුෂිකා සත්සරණි සිසුවිය විසිනි. එහි ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය දිනාගනු ලැබුවේ තලාතුඔය, හප/ උඩුගම ශ්‍රී / සාරානන්ද දහම් පාසලේ, වී.එම්.සංඛ දමින්ද නිසිඳු බණ්ඩාර සිසුවා ය.

සමස්ත ලංකා ගද්‍ය රචනා කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය දිනාගනු ලැබුවේ, මාතලේ, සිරි ධම්මිස්සර දහම් පාසලේ එම්.ජී. ඉෂිනි පබසරා මානම්ගොඩ සිසුවිය විසිනි. එහි ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත්තේ, නාත්තන්ඩිය, විද්‍යාරත්න දහම් පාසලේ බී.සංචිලා තරූෂි සිසුවියයි. සමස්ත ලංකා පද්‍ය රචනා ප්‍රථම ස්ථානය අම්පාර, අම්/බණ්ඩාරනායක බාලිකා මහා විද්‍යාලයේ ජී.පී. දේශානි පබෝධා ගජනායක සිසුවිය විසින් දිනාගන්නා ලදී. දහම් පාසල් ගුරුභවතුන් සඳහා පවත්වන ලද සමස්ත ලංකා ගද්‍ය රචනා තරගයේ ප්‍රථම ස්ථානය දිනාගනු ලැබුවේ, මණ්ඩාවල, මාහේන, ශ්‍රී ජයවර්ධනාරාම දහම් පාසලේ, ආර්.එම්.එස්. හර්ෂනී රත්නායක මහත්මියයි.

මෙම ජයග්‍රාහකයන් සඳහා එඩ්මන්ඩ් මල්ලවාරච්චි, ජයවීර කුරුප්පු, තිලක් පද්මරාජදාස, සුනිල් එස්. සිරිසේන ජය සංකේත සහ මුදල් ත්‍යාග ප්‍රදානය කරනු ලැබීය.

සමස්ත ලංකා චිත්‍ර තරගයේ කනිෂ්ට අංශයේ ප්‍රථම ස්ථානය දිනාගනු ලැබුවේ, හක්මණ, සිරි සිදුහත් දහම් පාසලේ එම්.ඒ. තඹර සහස්සක සිසුවා වන අතර එහි ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය කුරුණෑගල, මලියදේව විද්‍යාලයේ, එස්.එම්.යූ.අයි. සේනාධිපති සිසුවා දිනා ගනිමින් වටිනා මුදල් ත්‍යාග හා ජය සංකේත ආදියට හිමිකම් කියනු ලැබීය.

සමස්ත තරගාවලියේ විශිෂ්ටතමයාට ‘බුදුසරණ’ පුවත්පත මඟින් පිරිනමන ජය සංකේත සඳහා විනිශ්චය මණ්ඩලය විසින් තෝරාගනු ලැබුවේ, මතුගම සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහා විද්‍යාලයේ පී.ඩබ්.චමිඳු පින්සර විතානගේ සිසුවා ය.

මෙහි ප්‍රධාන අමුත්තා වූ මහාචාර්ය සම්පත් අමරතුංග මැතිතුමා පැමිණ සිටි දරුවන් අමතා තම අධ්‍යාපන කටයුතු මෙන්ම ආගමික, සමාජයීය හා දෙමව්පිය, වැඩිහිටියන් සමඟ සාරධර්ම රකිමින් තම යෞවන කාලය ගතකරන ආකාරය ඇතුළු දරුවන්ගේ සදාචාරත්මක පැවැත්මට හේතුවන කරුණු ඇතුළත් හරවත් දේශනයක් පැවැත්වීය.

උත්සවයේ අනුශාසනාව පවත්වනු ලැබුවේ, අතුරුගිරිය පෝරේ මිගදාය බෞද්ධ මධ්‍යස්ථානාධිපති, බොරැල්ලේ තිලකරත්නාරාමස්ථ සිරි සුමන පරිවේණාධිපති පූජ්‍ය පාද මොරවක ශාන්ත ස්වාමීන් වහන්සේ විසින් ය.

ඉතිරි ඡායාරූප ඔක්තෝබර් 12 බිනර අමාවක පත්‍රයේ පළවේ.

 

     ‍   බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 04 වැනිදා ඉරිදා අපරභාග 2.38 ට ලබයි. 05 වැනිදා සඳුදා අපරභාග 2.45 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 04 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 12 වැනිදා සඳුදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]