UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිත නිදහස් කරමු

සිත නිදහස් කරමු

බාහිර අරමුණු මඟින් ඇතිකෙරෙන විවිධ උත්තේජන හේතුවෙන් පුද්ගලයා තුළ විවිධ මානසික දුර්වලතා ඇති වේ. මෙම මානසික දුර්වලතා ප්‍රධාන වශයෙන් ලෝභ, දෝෂ, මෝහ යන අකුශල කාණ්ඩයට අයත්වන අතර එම මානසික දුර්වලතාවල විවිධ ස්වරූපය කිලෙස, උපක්කිලේස, නිවරණ, ආවරණ, ආශාව ආදී පරියාය පදවලින් හඳුන්වනු ලැබේ. මේ අතර දෝෂ චෛතසික ගණයට අයත් ආඝාත යන්නෙන් බද්ධ වෛරය, ක්‍රෝධය, තරහව අදහස් වේ. ආඝාතය බහුල වශයෙන් ඇතිවන්නේ පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් අරමුණු කරගෙනය. කිසියම් පුද්ගලයෙකුගේ කායික, වාචසික හා මානසික දුර්වලතා මූලික කරගත් හැසිරීම්, ආකල්ප, චර්යාවන් තවත් අයෙකුගේ සන්තානය තුළ වෛරය හෝ ආඝාතය ඇතිවීමට හේතුවේ.

ඒ පුද්ගලයා සතු හොඳ හා නරක මැනවින් හඳුනා නොගතහොත් මෙම වෛරය හා ආඝාතය ඇතැම් විටෙක මිනිස් ඝාතන වැනි දරුණු අපරාධ කෙරෙහිද පුද්ගලයා පොළඹවයි. සිතේ ඇතිවන ආඝාතය පාලනය කිරීමට හෝ ඉවත් කිරීමට අනුගමනය කළ හැකි ප්‍රායෝගික උපදෙස් සමූහයක් අංගුත්තර නිකායේ පංචක නිපාත ආඝාත වර්ගයේ ඇතුළත් වේ. එම සූත්‍ර දේශනා අතරින් ධර්මසේනාධිපති සැරියුත් මහාරහතන් වහන්සේ විසින් සබ්‍රහ්මචාරී භික්ෂූන් වහන්සේලා අමතා කළ අනුශාසනාවක් දෙවන ආඝාත පටිවිනය සූත්‍රයේ ඇතුළත් වේ.

ආඝාතය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා උපයෝගීකරගත හැකි ක්‍රමවේද පහක් සැරියුත් මහාරහතන් වහන්සේ ඉදිරිපත් කරති. මෙම ක්‍රමවේද පහ අනුගමනය කිරීමෙන් සන්තානගත ආඝාත චෛතසිකය ඉවත් කළ හැකිවේ. විසිතුරු එමෙන්ම ප්‍රායෝගික උපමා භාවිත කරමින් ඉදිරිපත් කරන මෙම ක්‍රමවේද පහ කිසියම් ප්‍රහේලිකාමය ස්වරූපයක් දරන බැවින් ඉතා පරිස්සමෙන් කියවා බලා වටහා ගත යුතු වේ. එම සූත්‍රයේ දැක්වෙන ආකාරයට විවිධ පුද්ගලයන්ගේ කායික, වාචසික හා මානසික චර්යාවන් පදනම් කරගෙන ඔවුන් කාණ්ඩ පහකට බෙදාදක්වනු ලැබේ.

මෙම වර්ගී කරණය සඳහා ශීලය හා චිත්තපාරිශුද්ධත්වය පදනම් කරගෙන තිබේ. මෙමඟින් පුද්ගල විවිධත්වය පිළිබඳ බුදුසමයේ විග්‍රහය පැහැදිලි කරන අතරම එම විවිධත්වය වටහාගෙන සන්තානගත ආඝාතය හෙවත් බද්ධ වෛරය දුරුකරගන්නේ කෙසේදැයි පෙන්වාදෙයි.

කායික දුශ්චරිතයන්ගෙන් යුක්ත නමුත් පිරිසුදු වාචසික චර්යා ඇති පුද්ගලයා

පළමු කාණ්ඩයට අයත් පුද්ගලයාගේ කායික හැසිරීම අපිරිසුදු වුවද වාචසික හැසිරීම පිරිසුදු වේ. ඒ අනුව එම පුද්ගලයා අර්ධ වශයෙන් පිරිසුදු පුද්ගලයෙකි. කායික හැසිරීම අයහපත් නමුත් යහපත් කථාවෙන් යුක්ත පුද්ගලයන් දක්නට ලැබේ. එවන් පුද්ගලයෙකු සම්බන්ධයෙන් අපගේ සිත්වල ඇතිවෙන ආඝාතය පාලනය කරගත යුත්තේ කෙසේදැයි සැරියුත් මහරහතන් වහන්සේ විසිතුරු උපමාවකින් පැහැදිලි කරති. ඒ අනුව පාංශුකූලික සිවුරු පෙරවන භික්ෂුවක් වීථියෙහි දක්නට ලැබෙන දිරාගිය රෙදිකඩකින් කිලිටි කොටස් ඉවත්කොට නොදිරූ කොටස් රැගෙන යන්නාක් මෙන් කායික චර්යාවෙන් අපිරිසුදු පුද්ගලයාගේ එම දුර්වලතා නොසළකා වාචසික වශයෙන් ඔහුගේ යහපත් බව පමණක් සළකා එම පුද්ගලයා සම්බන්ධයෙන් ඇතිවෙන බද්ධ වෛරය බැහැර කළ යුතු වේ. මේ අනුව දෛනික කටයුතු වලදී හමුවන කවර පුද්ගලයෙකුගේ වුව දුර්වලතා නොසළකා පවතින යම් ගුණයක් ගැන පමණක් සළකා ක්‍රියා කිරීමෙන් සිත පිරිසුදු කරගත හැකිවේ.

වාචසික වශයෙන් පිරිසුදු නමුත් අපිරිසුදු කායික චර්යාවන්ගෙන් යුක්ත පුද්ගලයා

පළමු කාණ්ඩයේ පුද්ගලයා තුළ පවතින ගති ලක්ෂණවලට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ දෙවන කාණ්ඩයට අයත් පුද්ගලයා තුළ දක්නට ලැබේ. ඒ අනුව දෙවන පුද්ගලයා කායික වශයෙන් දුෂ්චරිතවලින් වැළකුණ ද වාචසික වශයෙන් අපිරිසුදු පුද්ගලයෙකි. දියසෙවෙල් පිරී පොකුණක් වෙත යන පිපාසිත පුද්ගලයෙකු දෑතින් එහි දියසෙවෙල් බැහැර කොට ජලය පානය කරන්නාක් මෙන් පුද්ගලයා සතු කායික දුශ්චරිත නොසළකා වාචසික වශයෙන් පවතින යහපත් ගති ලක්ෂණ පමණක් මෙනෙහි කොට වෛර සංසිඳවාගත යුතු වේ.

කය වචනය යන දෙ අංශයෙන්ම අපිරිසුදු එහෙත් කලින් කලට භාවනා (සමථ හා විපස්සනාව) කිරීමෙන් සිත සන්සුන් කරගත් පුද්ගලයා.

කයින් වදනයෙන් අපිරිසුදු වුවද කළින් කලට භාවනාවෙහි නිරත වෙමින් සිත පිරිසුදු කරගැනීමට කටයුතු කරන පුද්ගලයන් දක්නට ලැබේ. එවැනි පුද්ගලයන් සමඟ කටයුතු කිරීමට සිදුවන අවස්ථාවලදී ඔවුන්ගේ දුර්වල කායික හා වාචසික චර්යාවන් නොසළකා කලින් කලට ඔවුන් තුළ පවතින යහපත් මානසික ස්වභාවයන් සළකා ඔවුන් කෙරෙහි පවතින ආඝාත සිතිවිල්ල බැහැර කළ යුතු වේ.

මේ වනාහි අතිශය දුෂ්කර කටයුත්තක් බව ඒ සඳහා යොදන උපමාවෙන් ද පැහැදිලි වේ. ගී‍්‍රෂ්ම සෘතුවේ ගව කුරයකින් සැදුණු කුඩා දිය වලක ඇති ජලය පිපාසාවෙන් පීඩිත පුද්ගලයෙකු දෙදන දෑත් බිම තබා ගවයයෙකු සේ දිවෙන් ගෙන පානය කරන්නේ ය. එය අතින් හෝ වෙනත් බඳුනකින් ගත නොහැකි බැවිණි. පිපාසයෙන් අතිශය පීඩිත තත්ත්වයට පත්ව සිටින ඔහුට පිපාසය සංසිඳවා ගැනීමට වෙනත් විකල්පයක් නොමැති නිසා එවැනි දුෂ්කර කටයුත්තක නිරත වෙයි. එමෙන් අපිරිසුදු කායික වාචසික චර්යාවන් ඇති පුද්ගලයාගේ එම දුර්වලතා නොසළකා කළින් කලට ඔහු තුළ පවතින යහපත් මානසික ස්වභාවයන් පමණක් සළකා එම තැනැත්තා කෙරෙහි සානුකම්පිත විය යුතු වේ. එසේ කරන්නේ එවැනි නරක යැයි සම්මත පුද්ගලයා සමඟ වුවද ඇතැම් විට කටයුතු කිරීමට සිදුවන බැවිණි. එය අතිශය දුෂ්කර කටයුත්තක් වුවද එසේ කිරීම තම මානසික සුවතාවයට හේතු වේ.

කයින් වචනයෙන් අපිරිසුදු එමෙන්ම කලින් කලට භාවනාවෙහි නිරතවීමෙන් සිත සංවරකර නොගත් පුද්ගලයා

සිව්වන පුද්ගලයා ඉහතින් දැක් වූ සියල්ලන්ටම වඩා දුර්වල එමෙන් මුළුමණින්ම අනුකම්පාව දැක්විය යුත්තෙකි. එම තැනැත්තා තුළ කිසිදු යහපත් හැසිරීමක් හෝ සිතිවිල්ලක් නොමැත. සම්පූර්ණයෙන්ම දුර්වල චරිත ලක්ෂණ වලින් හෙබි තැනැත්තෙකි. එවන් තැනැත්තෙකු කෙරෙහි ආඝාතයක් ඇති නොකර ගෙන සානුකම්පිතව බලන්නේ කෙසේද? යන්න සැරියුත් මහාරහතන් වහන්සේ දක්වන උපමාවෙන් පැහැදිලි වේ.

එම උපමාව අනුව විවිධ ආබාධ හේතුවෙන් දැඩි ලෙස ගිලන් වූ තැනැත්තෙක් දීර්ඝ ගමනක් යෑම සඳහා මහ මඟට බසියි. යායුතු ස්ථානය ඉතා දුර බැවින් ගමන් මග අතරතුර ඔහුට හිතකර ආහාර පාන නොලැබෙයි. නිසි ප්‍රතිකාරද නොලැබෙයි. සුදුසු උපස්ථායෙකුද හමුනොවෙයි. ගමනාන්තය වෙත ඔහු කැඳවාගෙන යන වෙනත් අයෙකු ද හමු නොවෙයි. මෙසේ බලවත් රෝගයෙන් පීඩා විඳිමින් කිසිදු පිහිටක් නොමැතිව ගමන් කරන ඔහු දකින කිසියම් තැනැත්තෙක් ඔහු කෙරෙහි කරුණාව දක්වයි. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරයි. එයට හේතුව එම රෝගී තැනැත්තා හැම අතින්ම අසරණ වූවෙක් වන හෙයිනි. එසේම කායික, වාචසික හා මානසික වශයෙන් සියල්ලෙන්ම අපිරිසුදු පුද්ගලයා කෙරෙහි දැක්විය යුතු ආකල්පයද එවැනි සානුකම්පිත වූවකි. අතිශය දුර්වල ගතිගුණ ඇති එබඳු තැනැත්තෙකු දැඩි ලෙස රෝගාතුර වූ රෝගියෙකු ලෙස සළකා එම තැනැත්තා කෙරෙහි පවතින ආඝාතය දුරුකළ යුතුවේ. තිදොරින්ම අපිරිසුදු හැසිරීම්වලින් යුක්ත එබඳු පුද්ගලයන් සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි එකම දෙය වන්නේ අනුකම්පාව දැක්වීම පමණි. “මේ තැනැත්තා කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩන්නේ නම් වචී දුශ්චරිතය හැර වචී සුචරිතය වඩන්නේ නම් මනෝ දුශ්චරිතය අතහැර මනෝ සුචරිතය වඩන්නේ නම් කෙතරම් හොඳද ? අනේ මේ තැනැත්තා මරණින් මතු අපායට දුගතියට නොයන්නේ නම් කොතරම් හොඳද? යනුවෙන් කරුණාවෙන් ඔහු දෙස බැලිය යුතුවේ. එසේ නොකොට ඔවුන් කෙරෙහි වෛර චේතනා ගොඩනගා ගැනීමෙන් සිදුවන්නේ තම සිත කිලිටි වීමයි.

කයින් වචනයෙන් පිරිසුදු හැසිරීම් සහිත කලින් කලට භාවනා කිරීමෙන් අත්පත් කරගත් මානසික සංසුන් බව යුක්ත පුද්ගලයා

පස්වන වර්ගයට අයත් පුද්ගලයා ඉහතින් දැක්වූ සියල්ලන්ටම වඩා වෙනස් වූවෙකි. ඔහු කයින් වචනයෙන් හා සිතින් පිරිසුදු චර්යාවන්ගෙන් යුක්තය. තිදොරින්ම පිරිසුදු චරියාවන්ගෙන් යුක්ත හෙයින් ඔහු ඇසුරට සුදුසු අයෙකි. එහෙත් ඇතැම් විටෙක එවැනි සාධු චරිතයක් සහිත කෙනෙක් සමඟ වුවද විවිධ හේතු නිසා වෛරයක් හෝ ක්‍රෝධයක් ඇතිවිය හැකිය. එවන් අවස්ථාවකදී එම පුද්ගලයා සතු යහපත් ගති ස්වභාවයන් ගැන සළකා තමා සිතෙහි පවතින ක්‍රෝධ සිත බැහැර කළ යුතු වේ. නොයෙක් රුක් ගොමුවලින් සෙවන වූ අතිශය ප්‍රසන්න පිරිසුදු සිසිල් දිය පිරී පොකුණක් වේද, ශ්‍රීෂ්මයෙන් වෙහෙසට පත්වුණු, පිපාසයෙන් පීඩිත වූ යම් තැනැත්තෙක් වේද ඔහු එම සිසිල් දිය පිරි පොකුණට බැස ස්නානය කර වෙහෙස නිවාගෙන දිය බී පිපාසාව සංසිඳවාගෙන එයින් ගොඩ වී සිසිල් සෙවනැති රුක් ගොමුවෙහි සයනය කරන්නාක් මෙන් තිදොරින්ම යහපත් පුද්ගලයාගේ සාධු ගුණයන් මෙනෙහි කරමින් තම සිත බද්ධ වෛරයෙන් මුදාගත යුතුවේ. ඉහතින් දැක්වූයේ එදිනෙදා සමාජ ජීවිතයේ දී ඇසුරු කරන්නට ලැබෙන පුද්ගල කාණ්ඩ පහක් හා ඔවුන්ගේ ගති ස්වභාවයන් ය. සමාජ සත්වයෙකු වශයෙන් සමාජ සම්බන්ධතාවන්ගෙන් තොරව වාසය කළ නොහැකි ය. විමුක්තිය සාක්ෂාත්කරගත් පුද්ගලයාට වුවද තම යැපීම් අවශ්‍යතා සඳහා සමාජය හා සම්බන්ධ වීමට සිදුවේ.

හැම කෙනෙකුටම එදිනෙදා කටයුතුවලදී විවිධ පුද්ගලයන් හා කටයුතු කරන්නට සිදුවේ. එම පුද්ගලයන්ගේ විවිධ අයහපත් ක්‍රියාකාරකම් නිසා ඔවුන් හා කටයුතු කරන්නන් තුළ වෛරය, තරහව හා ක්‍රෝධය ඇතිවීම ස්වාභාවිකය. එසේ නමුත් ඔවුන් මුළුමණින් ම මඟ හැර කටයුතු කළ නොහැකි ය.

මෙනිසා සැරියුත් මහරහතන් වහන්සේගේ අනුශාසනය වූයේ විවිධ පුද්ගලයන් වෙත පවතින නොයෙකුත් හොඳ නරක මැනවින් වටහා ගෙන එයින් නරක බැහැරකොට හොඳ පමණක් සළකා තම සිතේ ඇතිවෙන ක්‍රෝධය, ආඝාත වේතනාව, බද්ධ වෛරය බැහැර කළ යුතු බවයි.

 

නවම් පසළොස්වක පෝය

නවම් පසළොස්වක පෝය පෙබරවාරි මස 03 වැනිදා අඟහරුවාදා පූර්වභාග 2.32 ට ලබයි. 04 වැනිදා බදාදා පූර්වභාග 4.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 03 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 12 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03

Second Quarterඅව අටවක

පෙබරවාරි 12

Full Moonඅමාවක

පෙබරවාරි 18

First Quarterපුර අටවක

පෙබරවාරි 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]