UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හැඬූ කඳුළු සයුරෙහි ජලයටත් වැඩියි

හැඬූ කඳුළු සයුරෙහි ජලයටත් වැඩියි

මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍ය රත්නය වූ ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් වූ සූත්‍ර දේශනාවක් ඔස්සේ, පින්වත් වූ ඔබට සුපසන් වු දහම් පෙළක් ඉදිරිපත් කරන්නෙමි. භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙති. භික්ෂූන් වහන්සේලා අමතා මෙසේ දේශනා කරති.

‘අනමතග්ගෝයං භික්ඛවේ සංසාරො , පුබ්බාකෝටි න පඤ්ඤායති.

අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සරඝරතං , දීඝරත්තං වො භික්ඛවෙ දුක්ඛයී පච්චනුභූතං” “මහණෙනි , මේ සසර කෙලවරක් නැතිය. පූර්වාන්තයක් හෙවත් ආරම්භයක් නොපෙනේ. අවිද්‍යාවෙන් වැසුණු තෘෂ්ණාවෙන් බැඳී සසරෙහි දුවගෙන යති. සැරිසරති. මහණෙනි, දීර්ඝ කාලයක් නුඹලා දුක්විඳින ලදහ” ඒ කුමක් නිසාදැයි සිතන්නේද ? මේ දිගු කලක් පටන් දිවෙන සැරිසරන සසරෙහි ,අමනාපයන් සමඟ එක් වීමෙන් සහ මනාපයන්ගෙන් වෙන්වීමෙන් හඬන වැළපෙන නුඹලාගේ වැගුරුනු කඳුළු සිව්මහ සමුදුරෙහි ජලයටත් වඩා වැඩිය.

භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද එම උතුම් වූ දහම් පෙළ අනෙකුත් සූත්‍රදේශනා ද ඇසුරු කරගෙන විමසා බලමු. ‘අනමතග්ග’ නම් වු වචනයෙන් “කෙළවරක් නැති” සහ කෙළවරක් සොයන්නට අපහසු ‘ යන අදහසම ගම්‍ය වෙයි. භාග්‍යවතුන් වහන්සේ, සම්මා සම්බුද්ධත්වය ලැබීමෙන් අනතුරුව උදානය ලෙස දේශනා කළ ‘අනේක ජාති සංසාරා’ ගාථා රත්නයෙහි, මේ සසරෙහි කෙළවරක් නොමැතිව ඉපදෙමින් පැමිණි බව සඳහන් විය. සම්මා සම්බුද්ධත්වයට පෙරාතුව ලැබූ පුබ්බේ නිවාසානුස්සති සහ චුතූපපාත ඤාණයන්ගෙන් ,උන්වහන්සේ අවබෝධ කරගනු ලැබුවේ තමන් වහන්සේගේ සහ සියලු සත්වයන්ගේ චුති හා උපත් පිළිබඳවයි. කෙලවරක් දකින්නට අපහසු සසර ගමනෙහි සියලු සත්වයෝම වැඩිපුරම සතර අපායෙහි ඉපිද අනන්ත,අනේකවිධ දුක්විඳි ඇති බව සහ දුක්විඳින බව දුටහ. සසරෙහි බියකරු බව මැනවින් දුටහ. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද, තිණකට්ඨ, පඨවි, මාතුථඤ්ඤ , පබ්බත, සාසප, සාවක, ගංගා,දණ්ඩ, ඒකපුග්ගල, ආදි අනමතග්ග සංයුත්තයේ සඳහන් සෑම සූත්‍ර දේශනාවකින්ම මෙම සසරෙහි කෙළවරක් දකින්නට අපහසු සසර පිළිබඳ පෙන්වා දී ඇත්තේය. තිණකට්ඨ සූත්‍ර දේශනාවේ සඳහන් නිදසුන මෙහිදී උපකාරක ධර්මයක් කරගනිමු. “මහණෙනි, යම්සේ පුරුෂයෙක් මේ දඹදිව, යම්තාක් තෘණ , දඬු, අතුකොළ වේනම් එය කපා එක්රැස් කරන්නේද, එක්රැස් කොට සතර අඟල්, සතර අඟල්. ඊට කපා මේ මාගේ මවය,මේ මාගේ ඒ මවගේ මවය” යයි පවසමින් තබන්නේද ,මහණෙනි, ඒ පුරුෂයාගේ මව් පරපුර අවසන් නොවන්නාහුව වන්නාහ. නමුත්, මේ දඹදිව තෘණ දඬු , ගහකොළ අවසන්වීමට යන්නේය. ඒ කවර හේතුවක් නිසාද? මහණෙනි මේ සසර කෙළවරක් නැතිය. එහෙයින් අවිද්‍යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු සසරෙහි දිවෙන, සැරිසරන සත්වයන්ගේ පූරාවෘත්තයක් නොපෙනේ.

භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් පැහැදිළි කොට දේශනා කරති. “මහණෙනි (භික්ෂු, භික්ෂුණී, උපාසක උපාසිකා නම් වු සිවු පිරිස වෙතටමය) මෙසේ නුඹලා විසින් දිඟුකලක් දුක්විඳින ලදී. තියුණුූ ලෙස දුක්විඳින ලදී. ව්‍යසනයන්ට හසුව දුක්විඳින ලදී. නුඹලාගේ මියදුණූ සිරුරුවලින් මහ පොළොව සොහොනක් කොට වඩනා ලදී. මහණෙනි, එහෙයින් සියලු සංස්කාරයන්හි කළකිරෙන්නට නිසිමය. නොඇලෙන්නටය නිසිමය. මිදෙන්නට නිසිමය” ”අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං “ නම් වු පෙළ පැහැදිලි කරගත යුතුය. අවිද්‍යාවෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැසීම නිසා අශ්‍රැතවත් පෘථග්ජන පුද්ගලයෝ තෘෂ්ණාවෙන් සසරට බැඳෙති. මෙහි අවිද්‍යාව යනු අනිච්ච , දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ෂණ ධර්මය අවබෝධ නොකර ගැනීමයි. චතුරාර්ය සත්‍ය ධර්මය කෙරේ ඇති අනවබෝධයයි. සවිඤ්ඤාණක හෝ අවිඤ්ඤාණක හෝ වේවා එම සියලු වස්තූහු අනිච්ච ,දුක්ඛ ,අනත්ත නම් වූ ත්‍රිලක්ෂණ ධර්මයට යටත් බව අවබෝධයෙන් දකිනවිට,රාගාදී කෙලෙස්වලට ඇති අවස්ථාව අඩුවෙන්නට පටන් ගනී. ඇස ආදී ඉන්ද්‍රියන්ගෙන් රූපාදි අරමුණූ ගන්නාවිට පරමාර්ථ ධර්මයෙහි පිහිටා දකින්නට මනස සකස් වෙයි. එනම් ශීලයෙහි පිහිටා සම්මුතියට අනුව “මම, මගේ” යයි පරිහරණය කළත්, පරමාර්ථ ධර්මයට අනුව ඒ මේ සියල්ලම අනිත්‍ය බවත් දැනෙන්නට වෙයි. යමක් අනිත්‍ය නම් එහි දුක හට ගන්නා බවත්, එසේ දුක හටගත්තේ ස්ථීර වූ ආත්මයක් හෝ පැවැත්මක් නොවන නිසා බවටත් අවබෝධයෙන්ම දැක ගැනීමයි. “චක්ඛුං අනත්තා , රූපා, අනත්තා, චක්ඛු, විඤ්ඤාණං අනත්තා” ආදී වශයෙන් ඇසද,ඇසෙන් අරමුණූ ලබන්නා වු රූපද, චක්ඛු විඤ්ඤාණය ද අනිත්‍ය ලෙස ප්‍රත්‍යක්ෂයෙන්ම දැක ඇත. මෙය “උදයත්ථගාමිනියා පඤ්ඤා’ නම් තැනය. මේ නිසා රාග (ඇලීම) දෝස (ගැටීම) මුලාව (මෝහ) නම් වු කෙලෙස් මුල්කරගෙන හටගන්නා වු තණ්හා නම් වු තෘෂ්ණාව නිරෝධයට , එනම් නැතිව යාමට පත්වෙයි. තෘෂ්ණාව ප්‍රහාණය වු විට සසරට බැඳීමක් නැත. එය “ඛීණා ජාති” යයි සඳහන් කළ අයුරින් ජාතිය හෙවත් ඉපදීම නැතිවීමය.මේ ඉතාමත් සාරාංශ කොට දැක්වුයේ අවිද්‍යාවෙන් ගැලවීම හෙවත් විද්‍යාවට පැමිණීමය. එනමුත්, අවිද්‍යාවෙන් යුතු අශ්‍රැතවත් පෘථග්ජන සත්වයෝ රාගාදි කෙලෙස් උපදවාගෙන, තෘෂ්ණාවෙන් සසරට බැඳී , දීර්ඝ කාලයක් පුරා දුක් විඳිමින් සසර සැරි සරති. මෙසේ සසර සැරිසැරීමේදී අමනාපයන් හා එක්වීමෙන්ද මනාපයන්ගෙන් වෙන්වෙන විටද සිවු මහා සමුදුරෙහි ජලකඳට වඩා කඳුළු වගුරුවා ඇත. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. “නුඹලා මවු මළ දුක විඳින ලදී. ඒ මනාපයෙන් වෙන්වීමෙන් හටගත් දුකෙන් වැගුරූ කඳුළු සිවු මහා සාගරයේ ජලයට වඩාය. එනම් සියලු සසරෙහි කොපමණ නම් මවුවරුන්ගේ වෙන්වීමේ ‘පි‍්‍රය විප්‍රයෝග“ දුකෙන් හඬන්නට ඇත්ද ? කඳුළු වගුරුවන්නට ඇත්ද ? පියා මළ දුක් විඳින ලදී. සොහොයුරා මළ දුක විඳින ලදී.සොයුරිය මළ දුක විඳින ලදී. පුතු මළ දුක විඳින ලදී. දුව මළ දුක විඳින ලදී. ස්වාමියා , බිරිඳ, නැන්දා මාමා ලෙසින් ඤාති ව්‍යසනයෙන් දුක් විඳින ලදී. භෝග ව්‍යසනයෙන් දුක් විඳින ලදී. රෝගයන් නිසා හටගත් දුක් විඳින ලදී. මෙසේ මාපියන්ගෙන් වෙන්වීමෙන් හා අමනාපයන් සමඟ එකතුවීමෙන් හඬන වැළපෙන ඒ නුඹගේ වැගුරුණූ කඳුළු ඉතාම වැඩිය. ගළපා බැලුවොත් සිවු මහා සයුරෙහි දිය වැඩි නොවේමය. ඒ කුමක් නිසාද? මේ සසර කෙලවරක් නැතිය. පූර්වාන්තයක් නොපෙනේමය. අවිද්‍යාවෙන් වැසුනු ,තෘෂ්ණාවෙන් බැඳුණූ සත්වයෝ අපමණ දුක් විඳිමින් සසර දිවෙති. සැරිසරති. ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ බුද්ධ වචනය හෙවත් අවවාදය අස්සු සූත්‍ර දේශනාවෙහි මෙසේ දැක්වෙයි” අලමෙව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුං අලං විරජ්ජිතුං, අලං විමුච්චිතන්ති” සියලු සංස්කාරයන්හි සංවේගයට පත්වෙන්නට නිසිමය. නොඇලෙන්නට නිසිමය. මිදෙන්නට නිසිමය” උතුම් වු තුණුරුවන් සරණින් සියලු සැනසුම් වේවා

 

නවම් පසළොස්වක පෝය

නවම් පසළොස්වක පෝය පෙබරවාරි මස 03 වැනිදා අඟහරුවාදා පූර්වභාග 2.32 ට ලබයි. 04 වැනිදා බදාදා පූර්වභාග 4.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 03 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 12 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03

Second Quarterඅව අටවක

පෙබරවාරි 12

Full Moonඅමාවක

පෙබරවාරි 18

First Quarterපුර අටවක

පෙබරවාරි 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]