UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කාරුණික සේවයත් මහත් පිනක්

බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව වසර 2600 ක් ගතව ඇති මේ වකවානුවේ ආගමානුකූල පරිසරයක් ඇති කර පුද්ගලයන් අතර චර්යා හා ආකල්ප වර්ධනයක් ඇතිවන අයුරින් රාජ්‍යායතන හා පෞද්ගලික ආයතන කටයුතු කිරීම බෙහෙවින් වැදගත් වෙනවා.

එම නිසා සම්බුද්ධත්ව ජයන්ති මෙහෙයුම් කමිටුවෙන් ඒ සඳහාම විශේෂිත වූ වැඩපිළිවෙළක් හඳුන්වා දී තිබෙනවා. ඒ යටතේ ‘ආයතනගතව ආගමානුකූ®ල පරිසරයක් ඇති කිරීමටත් පුද්ගලයන් තුළ චර්යා හා ආකල්ප සංවර්ධනයක් ඇතිවන අයුරින් සන්තානගත දියුණුවක් ඇති කරවීමටත්, සියලු රාජ්‍යායතන හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් පියවර ගත යුතු බවත්, ඒ සදහා අධීක්‍ෂණ හා පසු විපරම් කිරීම අත්‍යවශ්‍ය වන හෙයින් ඊට අදාළ ආචාර ධර්ම පද්ධතියක් සකස් කර ගැනීම අවශ්‍ය බවටත් විසි වැදෑරුම් වැඩ පිළිවෙළේ දක්වා තිබෙනවා.

ආයතන තුළ ආගමානුකූල පරිසරයක් ඇති කළ හැක්කේ කෙසේද?

මෙහිදී විශේෂයෙන්ම ජනතාවට ඍජුවම සම්බන්ධ වී සේවා සපයන ආයතන අපට බෙහෙවින් වැදගත් වෙනවා. මෙහිදී විශේෂයෙන්ම වැදගත් වන්නේ සේවාවන් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයා බව අප සිත්හි තබාගත යුතුය. සේවා ලබා ගැනීමට එන පුද්ගලයාට සේවා සැපයීම වෙනුවෙන් නිලධාරින්ට වැටුපක් ලබාදෙන්නේ නිසි පරිදි සේවා සැපයීමක් බලාපොරොත්තුවෙන් වුවත් ඇතැම් නිලධාරින්ට ඒ බව පවා අමතක වී ඇති බවක් පෙනෙනවා.

සමහර විට එම නිලධාරින් සිතන්නේ සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් කරදරකාරයන් බවය. මෙය සමස්ත සේවයේම දක්නට ඇති කරුණක් නොවුනත්, එවන් චින්තනයන්ගෙන් සමන්විත නිලධාරින් රටටත් සමාජයටත් හිරිහැරයක් වීමට ඉඩ තිබෙනවා. ආයතන නීති සංග්‍රහයේ , නිලධාරින් කටයුතු කළ යුතු ආකාරය පැහැදිලිව දක්වා තිබෙනවා.

එසේම බුදු දහම අනුව නිලධාරින් තම සේවය නිසියාකාරව සැපයීමට අමතර කාර්යයක් කළයුතු නැහැ. කිසිදු වියදමක් හෝ කිසිදු ශ්‍රමයක් වැය කළ යුතු නැහැ.

බුදු දහමේ දැක්වෙන සතර සංග්‍රහ වස්තුවලට අයත් ‘පි‍්‍රයවචනය’ යොදා ගැනීම මෙහිදී වැදගත් වෙනවා. සේවයක් ලබා ගැනීමට පැමිණෙන තැනැත්තාට පි‍්‍රය වචනයෙන් කතා කිරීම පවා විශාල ලැබීමක් ලෙස සලකන්න පුළුවන්.

තම කාර්යය කර ගැනීමට නොහැකි වුවත් පි‍්‍රය වචනයෙන් එය පහදා දෙනවා නම් සේවය ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයාට ලොකු සහනයක් ඇති වෙනවා.

කරුණාව, මෛත්‍රිය මෙහිදී මුල් කරගත යුතුයි. ඇතැම් නිලධාරින් තමන් හමුවට පැමිණෙන පුද්ගලයා දෙසවත් බලන්නේ නැහැ. “අද බෑ හෙට එන්න” ඔහු ගේ වදන් මාලාවේ තියෙන්නේ මෙවැනි අශුභ වචනයි. මෙයින් සේවය ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයාගේ සිතට ඇතුළු වන්නේ කලකිරීමක් .ඔහුගේ සිත තුළ ක්‍රෝධය, වෛරය පවා ඇති වීමට පුළුවන්.

පරාර්ථචර්යාව පිළිබඳ බුදු දහම මැනවින් උගන්වා ඇත.අවම වශයෙන් අප ලබන වැටුපට වත් රාජකාරිය කළ යුතු බව සිතා බැලිය යුතුය.

ආයතන ප්‍රධානීන්ගේ සිටම මේ සිතිවිල්ල ඇති කර ගත යුතුය.

ඒ සඳහා ආයතනයක රාජකාරි කටයුතු ඇරැඹීමට පෙර විනාඩියක හෝ ආගමික කටයුතුවල නියැලීම බෙහෙවින් වැදගත්වේ. අඩුම වශයෙන් බුදු පිළිමයකට මලක් පහනක් පිදීම හෝ කළ යුතු වෙනවා. එවිට මනස ප්‍රසන්නතාවකට පත් වෙනවා. ප්‍රසන්න වූ මනසින් රාජකාරි කටයුතු ඇරැඹීමෙන් එය මැනවින් ඉටු කිරීමට හැකියාව ලැබෙනවා. මෘදු බවට පි‍්‍රයවචනයට අමුතුවෙන් හැඩ ගැසෙන්න අවශ්‍ය නැහැ. මෙය තම රාජකාරිය තුළදීම කරගත හැකි පුණ්‍ය කර්මයක්.

අප ඉහත සඳහන් කළ පරිදි පි‍්‍රයවචනය කිසිදු වියදමකින් තොරව කළ හැකි පින්කමක් බව මේ අනුව ඉතා පැහැදිලියි. එසේම අනලස්ව ක්‍රියා කිරීම අලස නොවීම හා යෝනිසෝ මනසිකාරය (යහපත් කල්පනාව) මඟින්ද තම කටයුතු පහසුවෙන් මෙන්ම නිරවුල්ව කළ හැකිවනවා.

එය තමන්ටත් සිත සතුටුවීමට ඉවහල් වනවා.ආයතනයේ සෙසු අයගේ මෙන්ම රාජකාරි සේවා ලබා ගැනීමට පැමිණෙන පිරිස අතරද ඔහු ඇගැයීමට ලක් වෙනවා. එය තමන්ට මෙන්ම තම අඹු දරුවන්ගේ ඉදිරි ගමනටත් යහපත් අත්වැලක් වනවා. තවත් අයකුට තමන් නිසා යහපතක් වුණා කියලා තමන්ට කෙතරම් සතුටු වන්න පුළුවන්ද? එසේම එය එක්තරා අතකින් සීලය ද ආරක්‍ෂා කිරීමක්.

මේ විනය වගේම සොරකම වංචාව මත්පැන්ද ඉවත් කළ යුතුයි. එසේම මුසාවාදයද ඉවත් කළ යුතු තවත් කරුණක්. තමන්ට ඕනෑම ස්ථානයකට කිසිදු බිය සැකයකින් තොරව යාමට හැකියාව ලැබෙන්නේ ඉහත කතා කළ යහපත් කරුණු කෙරෙහි අවධානය යොමු කර ඒවා නිසි ලෙස පිළිපැද තිබුනහොත් පමණයි.

බෞද්ධ හෝ අබෞද්ධ හෝ වේවා වැටුපට අමතරව තම රාජකාරිය නිසිපරිදි සැලකිල්ලෙන් කළ විට විශාල ආත්ම තෘප්තියක් ලැබෙනවා.

එම ආත්ම තෘප්තිය මගින් නිරෝගීි සම්පත්තියත් දීර්ඝායුෂත් ලැබෙනවා. ප්‍රසන්න පෙනුමක්ද හිමි වනවා.

වැටුප් ලබන ගමන්ම පිනක් කර ගැනීමට තම රාජකාරිය දායකත්වය කර ගැනීමට ලැබීම මහඟු අවස්ථාවක්.

ඒවගේම තමන්ට අසීරු රාජකාරියක් වුවත් ප්‍රසන්න හැඟුමෙන්, නිර්මල වූ සිතින් යුතුව කටයුතු කරනවා නම් තම රැකියාවේ සුරක්‍ෂිත භාවයත්, උසස්වීම් ලැබීමටත් එය හේතු වනවා.

සියලු දෙනාම මේ අයුරින් කටයුතු කරනවා නම් රැකියා ස්ථානය සැමට පි‍්‍රයමනාප වනවා. එම ආයතනයට විශාල කීර්තියක් ලැබෙනවා. එය විශාල ධනයකට වඩා වටිනවා.

දරන තනතුර සුළු වුවත් අවංකව රාජකාරි කරන්නේ නම් සියලු කාර්යයන් පහසු වනවා.

එමෙන්ම යහපත් සාමාජයක් ගොඩ නඟා ගැනීමට මේ ආයතන ඉවහල් කර ගැනීමට ජනතා ආකල්පයන් විශාල වෙනසකට හැරවිය යුතුයි. යහපත් චරිත සංවර්ධනයක් ද ඉන් ඇති කර ගන්න පුළුවන්. එමෙන්ම අපේ ඇතැම් ආයතනයන්හි දක්නට ලැබෙන විවිධ බෙදීම් සියල්ල ඉවත් කිරීම තුළින් විශාල පෙරලියක් ඇති කළ හැකියි. ගැටලු නිරාකරණයට මෙය විශාල රුකුලක් වනවා.

තමන් කුමන දේශපාලන මතයක් දැරුවත් කුමන වෘත්තිය සමිතිය නියෝජනය කළත් එය රාජකාරියට සම්බන්ධ නොකර ගත යුතු වන්නාසේම එසේ රාජකාරියට දේශපාලනය සම්බන්ධ නොකර ගැනීමට හැකිවන පරිදි අණ පනත් පවා තිබිය යුතුවනවා රටේ තිස් අවුරුදු යුද්ධය දෙස බැලීමෙන් අප තේරුම් ගත යුත්තේ බෙදීම් වහා ඉවත් කර කටයුතු කළ යුතු බවයි.

රාජකාරිය ඉටු කිරීමේදී තමන්ගේ මෙන්ම අන්‍යයන්ගේ සුබ සිද්ධිය ගැනද සිතිය යුතුය. තම රාජකාරි ස්ථානය හා වටපිටාව පවිත්‍රව තබා ගැනීමද මෙහිලා වැදගත් වෙනවා. පවිත්‍ර වටටිපිටාවක් සහිත පරිසරය සිත් සතන්ද නිරවුල් කරන්නට හොඳ පසුබිමක් .

එම නිසා තම පරිසරයත් ආරක්‍ෂා කර ගනිමින් සීලය සමාධිය ප්‍රඥාව යන බුදුදහමේ ඉගැන්වෙන මූලික කරුණු තුන ඔස්සේ යමින් අපට ආයතනයකට ආගමානුකූ®ල පරිසරයක් ඇති කර පුද්ගලයන් තුළ චර්යා හා ආකල්ප සංවර්ධනයක් ඇතිවන අයුරින් කටයුතු කළ හැකිවෙනවා.

ඒ සඳහා ආයතන ප්‍රධානීන් පියවර ගත යුතුය. සුදුසු ආචාර ධර්ම පද්ධතියක්ද ආයතනවලට සුදුසු පරිදි සකස් කර ගැනීමද මෙහිලා බෙහෙවින් වැදගත් වෙනවා.

මෙසේ මහජනතාවට සේවා සපයන ආයතනයන්හි නිලධාරින්ගේ මනස ඇවතුම් පැවතුම් දැහැමි ලෙස සංයමයෙන් ගුණ ගරුක ලෙස සකස් වන්නේ නම් එය අගය කළ යුතු වෙනවා.

අපට රටේ ඉදිරි අනාගතය ඉතා සුබවාදීව වනවා නියතයි.

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 09 වනදා සිකුරාදා අපර භාග 06.26 ට ලබයි.
10 වනදා සෙනසුරාදා අපරභාග 08.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 10 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය දෙසැම්බර් 18 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 10

Second Quarterඅව අටවක

දෙසැම්බර් 18

New Moonඅමාවක

දෙසැම්බර් 24

First Quarterපුර අටවක

ජනවාරි 01


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]