UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සැනසිලිදායක හෙටක්

එකාවන්ව පෙළ ගැසී දෙදහස් හයසියයේ සම්බුද්ධත්ව ජයන්තිය ඉකුත් වෙසක් පුර පසළොස්වක් පොහෝ දා සිට ලබන වසරේ වෙසක් පොහො දින දක්වා මහත් ශ්‍රද්ධා බුද්ධි පෙරදැරිව පවත්වාගෙන, යන බව කිව හැකිව තිබේ. ප්‍රතිපත්තිමය වශයෙන්ද ආගමික සහ සමාජ සේවාමය වශයෙන් ද ශාසනානුලෝමික දේශන,ලේඛන වශයෙන්ද මේ කාර්යය උසස් අයුරින් සිදුකරගෙන යෑම සතුටුදායක තත්ත්වයකි.

සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදු බවට පත්ව වසර දෙදහස් හයසියයක් ලැබූ මෙම වර්ෂය තුළ කාලාන්තරයකට පසු ලෝක බෞද්ධ ජනතාව අතර මහා ප්‍රබෝධයක් ඇතිවී තිබේ. එසේම ලංකාවේ ද වෙන කවර වසරකටත් වඩා, මෙවර වෙසක් සමය ගතවූයේ අතිඋත්කර්ෂවත් අන්දමිනි. මෙවන් තත්ත්වකට ලෝක ජනතා සිත්සතන් යොමු වූයේ දෙදහස් පන්සිය වසරේ ඇතිකරන ලද මහා බෞද්ධ ප්‍රබෝධය නිසා මය. එහිලා මෙරටින් මහා බෞද්ධ ප්‍රබෝධයක් පතුරුවාලීමට ක්‍රියා කළ පැවිදි උතුමන් වහන්සේ අතර අතිපූජ්‍ය කළුකොදයාවේ ශ්‍රී ප්‍රඥාශේඛර මහ නාහිමි, අතිපූජ්‍ය මඩිහේ ශ්‍රී පඤ්ඤාසීහ මහ නාහිමි, අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ නාහිමි, ඇතුළු පුරෝගාමී පැවිදි උතුමන් වහන්සේ රාශියකි. මේ අතර අපේ ගිහි බෞද්ධ නැණවතුන් වන මහාචාර්ය ජී. පී.මලලසේකර, පී.ද.එස්. කුලරත්න, එල්.එච්. මෙත්තානන්ද, ඩී.සී. විජේවර්ධන එන්. කියු. දියෙස් , ශ්‍රීමත් සිරිල් ද සොයිසා, එච්.ඩබ්. අමරසූරිය, ආනන්ද සේමගේ ආදී බෞද්ධ නායකයන්ට ලැබෙන්නේ සුවිශේෂ ස්ථානයකි. එදා මහ ජනතාව ගොනුකර ගෙන ආරම්භ කරන ලද ඒ බෞද්ධ ප්‍රබෝධය ලොව පුරා ම පැතිරී ගියේ ය. නිදහස් ලංකාවටද මහ ආලෝකයක් ලැබුණේ ද දැනට පවත්වා ගෙන යනු ලබන දෙදහස් හයසීයේ සම්බුද්ධත්ව ජයන්ති මහෝත්සවය පෙරහුරුව නිසි පරිදි ලබා දුන්නේ ද දෙදහස් පන්සිය වසරේ සම්බුද්ධ ජයන්ති මහෝත්සවය බව නො කියා ම බැරිය.

තෛ‍්‍රනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ දැන උගත් මහා සංඝයා වහන්සේ ද ශ්‍රී ලංකා රජය ප්‍රමුඛ ලක්වැසි බෞද්ධ ජනතාව ද සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, කොළඹ තරුණ බෞද්ධ සංගමය ප්‍රමුඛ අපේ රටේ විවිධ නගරවල පිහිටි බෞද්ධ මණ්ඩල, සංවිධාන සහ ශාසනාරක්ෂක සමිති ආදි සංවිධාන ද එකාවන්ව පෙළ ගැසී දෙදහස් හයසියයේ සම්බුද්ධත්ව ජයන්තිය ඉකුත් වෙසක් පුර පසළොස්වක් පොහෝ දා සිට ලබන වසරේ වෙසක් පොහො දින දක්වා මහත් ශ්‍රද්ධා බුද්ධි පෙරදැරිව පවත්වාගෙන, යන බව කිව හැකිව තිබේ. ප්‍රතිපත්තිමය වශයෙන්ද ආගමික සහ සමාජ සේවාමය වශයෙන් ද ශාසනානුලෝමික දේශන,ලේඛන වශයෙන්ද මේ කාර්යය උසස් අයුරින් සිදුකරගෙන යෑම සතුටුදායක තත්ත්වයකි.

එනමුදු මේ වැදගත් වකවානුවේ දී අප විසින් සිතිය යුතු, හා සැලකිය යුතු කරුණු ගණනාවකට ද අප කාගේත් අවධානය යොමු කළ යුතුව ඇත. මත්ද්‍රව්‍ය භාවිතය මූලික කොට ගෙන සිදුවන අපරාධ පිළිබඳ බෞද්ධ රටක් වශයෙන් අප ලජ්ජා සහගත තත්ත්වයක සිටින බව සිතිය යුත්තකි. මිනිස් ඝාතන, හිංසන මං පැහැරීම් ඇතුළු නොයෙක් අංශවලින් ඇසෙන ක්‍රියා, අවිධිමත් ලෙස කටයුතු කිරීමෙන් සිදුවෙන වාහන අනතුරු පමණක් නොව, ක්‍ෂණික තීරණ ගැනීමෙන් දවසින් දවස වැඩිවන සිය දිවි හානිකර ගැනීම ආදියද පිළිබඳ විධිමත් ක්‍රියා මාර්ගයක් ගත යුතු බව රජයත් රටවාසි ජනතාවත් බලවත් සේ සිතිය යුතුය. මේ වාතාවරණයට නිසි පිළියම් නොයෙදීම යනු අපේ පැරැණි මුතුන් මිත්තන්ට ද කරනු ලබන මදි පුංචිකමක් වන බව කිය යුතුව තිබේ.

රජය මගින් “ මතට තිත” ආදි වැඩසටහන් අරඹා ක්‍රියාත්මක කරගෙන යනු ,ලැබේ මත් උවදුර මැඬීමේ කාර්යභාරය වඩා පුළුල් කළ යුතු බව පෙනේ.

මත් භාවිතයට අනුබලදෙන වාණිජමය ව්‍යාපාරද බොහෝය. ජනමාධ්‍ය තුළින් ද ඒවාට ලැබෙන ප්‍රචාරය ඉහ වහා ගොස් තිබේ.

මත් භාවිතයේ ප්‍රතිඵලයක් වශයෙන් තම ප්‍රභාස්වර සිත් සතන් විකෘති තත්ත්වයට පත්කොට ගෙන පාපි ක්‍රියාවන්ට පෙළැඹීම ස්වභාවික සිද්ධියකි. මතින් ඇතිවන බරපතළ විපත ද මෙයයි. මේ විනාශකාරි වාතාවරණයෙන් රට මුදා ගැනීමට රටවාසී සෑම කෙනකුම ජාති ආගම් පළාත් වශයෙන් නො සිතා, එකාවන්ව ක්‍රියා කළ යුතුය. ඒ සඳහා විද්වත් ක්‍රියා මාර්ගයක් ගතයුතු මොහොතක අපි දැන් පසු වෙමු.

මිනීමැරීම් දරුවන් අතන මෙතන දමා යෑම්, දේපළ ගිනි තැබීම සහ ජාතික සම්පත් වන රක්ෂිත වනාන්තර ගිනිතැබීම් ආදි මේ අපරාධවලට මූලික හේතුව කුමක්දැයි යන්න විමසා වාර්තාවක් සැපයීමට අධිකරණ ක්‍ෂේත්‍රයට, අධ්‍යාපන ක්‍ෂේත්‍රයට,ගොවි කම්කරු ක්‍ෂේත්‍රවලට ආගමික ක්‍ෂේත්‍රයට , වෛද්‍ය ක්‍ෂේත්‍රයට සහ සමාජ සේවාමය ක්‍ෂේත්‍රයන්ට අයත් මුහුකුරා ගිය බුද්ධියෙන් යුතු අද්දැකීම් සහිත දහ දොලොස් දෙනෙකුගෙන් යුතු මණ්ඩලයක් පත් කිරීම සුදුසුය. එබඳු වාර්තාවක් ලබාගෙන ඒ අනුව ක්‍රියා කිරීමට ශ්‍රීමත් ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය උද්‍යෝගිමත් වේවා යි ප්‍රාර්ථනා කරම්හ.

මේ අතර සියදිවි නසා ගැනීම්, විදේශ රටවල රැකියා සඳහා අපේ අහිංසක ගැමි පිරිස් යවන බවට පොරොන්දු වී සිදුකරනු ලබන ගසා කෑම් මෙන්ම ඔවුනොවුන් භේද කරවන පළිගැනීම වර්ධනය කරන අංශ ගැන ද නිසි අවධානයක් යොමු කිරීමට මෙම බුද්ධිමත් මණ්ඩලය කරුණු ඉදිරිපත් කරනු ඇත.

ඒ අනුව ගොඩ නඟාගත් පොදු වැඩපිළිවෙළකින් විනා නොයෙක් අංශ වෙන වෙනම අපරාධ මර්දනයට කියා අතනින් මෙතනින් අත තබා වැඩ කරන්නට යෑමෙන් වන්නේ කරුණු අවුල්වීමකි. මේ සම්බන්ධයෙන් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට දොස් පවරා ඇඟබේරා ගැනීමට යෑම සුදුසු ක්‍රියාවක් නොවේ.

මේ සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය තුළ, මෙම ලිපියෙන් සංක්‍ෂිප්ත ලෙස සඳහන් කරන ලද වාතාවරණ ගැන සැමගේ අවධානය යොමු විය යුත්තේ මය.

දීර්ඝතම යුද්ධයක් නැවැතීමෙන් පසු සාමය උදාවී පවතින සමයක රට තුළ ඇතිවී තිබෙන මේ තත්ත්වයද මගහරවා ගැනීමට ක්‍රියා කිරීම දෙදහස් හයසිය වර්ෂයේ සම්බුද්ධත්ව ජයන්තිය නියම අයුරින්ම අනුස්මරණය කිරීමකි. එසේ කළ හැකි වුවහොත් අනාගත පරම්පරාව ද මේ ගත් පියවර ආදර්ශයට ගන්නවා නොඅනුමානය. එපමණක් නොව නූතන පරපුරට අයත් අප සැමට ඔවුන්ගේ ගෞරවය හා ප්‍රශංසාවද අනිවාර්යයෙන්ම හිමිවනු ඇත.

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 09 වනදා සිකුරාදා අපර භාග 06.26 ට ලබයි.
10 වනදා සෙනසුරාදා අපරභාග 08.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 10 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය දෙසැම්බර් 18 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 10

Second Quarterඅව අටවක

දෙසැම්බර් 18

New Moonඅමාවක

දෙසැම්බර් 24

First Quarterපුර අටවක

ජනවාරි 01


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]