UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පන්සලින් බැහැරැව ධර්ම දේශනා කටයුතු ආදියට වැඩ දින හතක් ඇතුළත වස් වැසූ ස්ථානයට යළි වැඩම කළ යුතුයි. මෙයට සත්තාහකරණයෙන් වැඩීම ලෙස හඳුන්වනු ලැබේ. යම්කිසි නොවැළැක්විය හැකි උවදුරක් හෝ ගිලන්වීමක් හෝ සිදු වූ විටෙක සත්තාහකරණයෙන් නැතිව වුවද වැඩම කළ හැක. මේ කාලයේ පිණ්ඩපාතයෙන් යැපීම ඇවතක් බැවින් වැඩ වාසය කරන ස්ථානයට වුවමනා පරිදි දානය ලබා ගැනීමට ක්‍රමයක් සකස් කර ගත යුතුව ඇත. මේ නිසා ගවමඩු, ගල් ගුහා, ගස් බෙණ, සොහොන් පිට්ටනි ආදිය මිනිස් වාසයෙන් තොරස්ථාන වස් විසීම සඳහා තෝරා නොගත යුතු බව පෙන්වා දී ඇත.

වප් පෝය උදාවන විට මුළු රට පුරාම බෞද්ධ සිද්ධස්ථානයන්හි වැඩි අවධානයක් යොමු වී ඇත්තේ කඨින පූජා පින්කම කෙරෙහිය. කඨිනය උතුම් පූජාවකි. කඨින චීවරය කැපීම, මැසීම මෙන්ම සකසා ගත් කඨින චීවරය පන්සලට වැඩමවන්නේ පෙරහරෙනි. ඒ සඳහා සංස්කෘතිකාංග රැසක් එකතු කරගෙන ඇත. දවුල්, හොරණෑ, බෙර වාදකයන් පිරිවාගෙන පෙරහරකින් ගමන් කර කඨිනය පූජා කිරීම බෞද්ධ උවැසි උවැසියෝ අගය කරති. එලෙස සතර පේරුවේ දායකකාරකාදින්ගේ ගෞරවයට පාත්‍ර වන කඨින චීවර ලබාගන්නේ ද ගුණවත් සිල්වත් හිමිනමක් බවද කියති.

මහානිශංස පෝය

කඨින චීවරයට නූල් පොටක් හෝ එක්කර දීමෙන් මහානිශංස ලබා ගැනීමේ බැති සිතින් බලා සිටින බෞද්ධ උපාසක උපාසිකාවෝ කඨිනයට දායකවීමේ බලාපොරොත්තුවෙන් වප් පෝය ගැන ඉමහත් සැලකිල්ලෙන් පෝයට පෙරදින හෝ ආසන්න දින දෙක තුළ ඊට පේවෙති. සියලු වැඩ වලින් නිදහස්ව පන්සලට රැස් වී කඨින පින්කමේ අවශ්‍යතා ගැන සොයා බලති. කඨින චීවරය මැසීමට කාන්තාවන්ට ද හිමිකම් ලැබීම මේ වටිනා අවස්ථාවයි.

හතර පේරුවේ බැතිමතුන් ගේ පූජා පෝය

එක් පන්සලක හෝ ආරාමයක හිමිවරුන් කිහිපනමක් වැඩ වාසය කළත් කඨින චීවර පූජාව හිමිවන්නේ එක් හිමි නමකට පමණි.

එක් පන්සලකදී හෝ ආරාමයකදී හිමිවරුන් කිහිපනමකට කඨින චීවර පූජා කිරීම හෝ ඒ සඳහා චීවර කැපීම කඨින විරෝධි ක්‍රියාවකි. මේ නිසා එක් ස්ථානයකදී භික්‍ෂූන් සඳහා පිරිනැමෙන්නේ එක් කඨින චීවරයක් පමණි. ඒ සඳහා ද නියමාකාරයෙන් වස් පවාරණය කර සිටිය යුතු ය.

ඇතැම් විටෙක හතරපේරුවේ දායක භවතුන්ගේ නිවසක සිට කඨින චීවරය වැඩම කරවීම මේ සඳහා හතර පේරුවේ සියලු බැතිමතුන් සහභාගී වී එයින් ලැබෙන මහත්ඵල මහානිශංසය ගැන සම්ප්‍රදායික බෞද්ධ ප්‍රජාවගේ මතය වී තිබෙන බව පැවසේ.

විනයානුකූල චීවර සැකසූ පෝය

කඨින චීවරයක් මැසීමේදී එහි විනයානුකූල පසුබිමක් තිබේ. භික්‍ෂූන් වහන්සේ දරා සිටින සිවුර සකසා ඇත්තේ කොටස්වලට බෙදීමෙනි. කිඹුල්වත්පුරයේ කෙතේ නියරවල් හා ඇළ මං ලියදි පිහිටා තිබෙන රටාවට අනුව චීවරය සකසා ගත යුතු බව බුදුන් වහන්සේ දේශනා කර ඇත.

කඨින චීවරය කොටස් කිරීම යම් භික්‍ෂුවකට හෝ වෙනත් අයෙකුට වුවමනා ලෙස වෙනස් කිරීම කළ නොහැකිය.

කඨින චීවරය පිළියෙල කිරීම දෑතේ වීරියෙන් ඉදිකටුවට නූල් ඇමිණීමෙන් සිදු කරනු ලැබේ. අද බොහෝ විට මහන මැසිමක් උපකාරකරගෙන චීවරය සකස් කරනු ලැබේ.

බැති සිතින් උවැසි උවැසියන් එකතු වී අතින් නූල් පොටින් නූල්පොට මැසීම මහත්ඵල මහානිශංස ලැබෙන පිනැති කාරියක් බව පිළිගැනේ. අද ද එම සම්මතය අප රටේ එලෙසම කෙරෙන බව පෙනේ.

කඨිනාස්තරණ පෝය

එදා සැවැත් නුවර වැඩ සිටි බුදුන් වහන්සේ දැකීම සඳහා වැඩිය හිමිවරුන් පිරිසක් වැස්සට අසුව තෙතබරිත සිවුරු පිටින්ම පැමිණ බුදුන්වහන්සේ හමුවූහ. එම තොරතුරු විමසා බැලූ බුදුන් වහන්සේ අතිරේක සිවුරක් නැති අඩුව ගැන කරුණු පෙන්වා දුන්හ. එනිසා කඨිණාස්කරණය කිරීමෙන් සිවුරු පිළියෙල කරගත හැකි බව එහිදී දේශනා කළහ.

චීවර පෝය

අප රට බෞද්ධ ප්‍රජාව වස් පෝයට චීවර පෝය නමින් හඳුන්වති. “බීජ මාසය” පෝය නමින් ද හඳුන්වනු ලැබේ. මහකන්නය උදාවන්නේ මේ බීජ මාසය වනවිටය. අපේ රටේ වියළි කලාපයට මේ මාසයේ වැව් උතුරා වාන් දමයි. කුඹුරු වපුරන මේ මාසය බීජ මාසය චීවර මාසය වශයෙන් ද පිළිගැනේ. මේ මාසය හැර වෙනත් පෝයකට කඨින චීවරයක් සකස් කළ නොහැක. මේ නිසා වසරකට වරක් උදාවන මේ වප් පෝය බෞද්ධ ප්‍රජාවට ඉතා වැදගත් වේ.

මවුපිය කෘතවේදිත්වයට ගරු කරන පෝය

අපේ බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව් ලොවට වැඩම කොට සිය මෑණියන් වූ මාතෘ දිව්‍ය රාජයාට ධර්මය දේශනා කොට ආපසු මෙලොව සංකස්ස පුරයට වැඩම කෙළේ තම මෑණියන් සසරින් එතෙර කොට උදාර මවු ගුණයට කෘතගුණ දැක්වීමෙන් පසුවය. මේ අවස්ථාවේ සිවුවනක් පිරිස මහ පෙරහරින් සංකස්ස පුරයට රැස්වූහ. ශාසනික වටිනාකමක් ඇති මේ පෝය බෞද්ධ ප්‍රජාවට ආදර්ශමත් දිනයකි.

වස් සමය

වැසි බහුල කාලය නිසා පොළොව මතු පිටට කෘමීන් හා වෙනත් කුඩා සතුන් පැමිණෙන නිසා ඔවුන්ගේ දිවි රැකදීම සඳහා දෙපයින් ඇවිදීමෙන් වැළකීම එදා බමුණන්ගේ ද ධර්මතාවක් බවට පත් වී තිබිණ. භික්‍ෂූන් වහන්සේට පිණ්ඩපාතයේ වැඩීමට ද මේ කාලය සුදුසු නොවන නිසා පන්සලට හෝ ආවාසයට වී කාලය ගෙවන මෙන් අනුදැන වදාළ සේක.

පන්සලින් බැහැරැව ධර්ම දේශනා කටයුතු ආදියට වැඩ දින හතක් ඇතුළත වස් වැසූ ස්ථානයට යළි වැඩම කළ යුතුයි. මෙයට සත්තාහකරණයෙන් වැඩීම ලෙස හඳුන්වනු ලැබේ. යම්කිසි නොවැළැක්විය හැකි උවදුරක් හෝ ගිලන්වීමක් හෝ සිදු වූ විටෙක සත්තාහකරණයෙන් නැතිව වුවද වැඩම කළ හැක.

මේ කාලයේ පිණ්ඩපාතයෙන් යැපීම ඇවතක් බැවින් වැඩ වාසය කරන ස්ථානයට වුවමනා පරිදි දානය ලබා ගැනීමට ක්‍රමයක් සකස් කර ගත යුතුව ඇත. මේ නිසා ගවමඩු, ගල් ගුහා, ගස් බෙණ, සොහොන් පිට්ටනි ආදිය මිනිස් වාසයෙන් තොරස්ථාන වස් විසීම සඳහා තෝරා නොගත යුතු බව පෙන්වා දී ඇත.

වස් පවාරණය

වස් පවාරණය සිදුවන්නේ වප් පෝය දිනයේ දී ය. ඊට පෙර වස් කාලය එලෙස ගත කළ යුතු ය. ඊට පසුව වස් සමාදන් වූ භික්‍ෂූන් උදෙසා චීවරකරණය සිදු කිරීම වේ. කඨින පූජාවට චීවරකරණයයි කියනු ලැබේ.

වර්ෂයේ එක් පෝය දිනයකදී පමණක් උදාවන කඨින පූජාව බෞද්ධයාට ඉතා වැදගත් වේ.

මේ පූජාව අප පමණක් නොව ථෙරවාදී බුදු දහම පවතින සෑම රටකම චිරාගත බෞද්ධ චාරිත්‍රයක් ලෙස පිළිගෙන ඇත.

 

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 11 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.11 ට ලබයි.
12 වන දා බදාදා පූර්ව භාග 07.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 11 වන දා අඟහරුවාදා ය.

 මීළඟ පෝය
ඔක්තෝබර් 20 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

New Moonඅමාවක

ඔක්තෝබර් 26

First Quarterපුර අටවක

නොවැම්බර් 02


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]