UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වප් පුර පසළොස්වක 2011 .10.11

බුදු බව මිල කිරීම

ශිෂ්ටාචාරය ක්‍රමික බවක් වෙත යෑම සඳහා වෑයම් කළ ද මිනිසා තුළ ඇති යම් සාහසික බවක් නිසා ඔහු ආකූලත්වය වෙතට ම යොමු කරන්නේ යැයි කොලින් විල්සන් විසින් ලියන ලද ‘ ද බ්ලැක් රූම්’ (The Black Room) නමැති කෘතියෙහි සඳහන් ය. එම සඳහන කෙතරම් සැබෑවක් දැයි පෙන්වන පුවතක් පසුගිය දා අපට අසන්නට ලැබිණ. එය, කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි ගොඩනැගිලි සංකීර්ණයක තුන්වන මහලේ පවත්වා ගෙන යන නිචිරෙන් ෂෝසු නමැති යාඥා මධ්‍යස්ථානයෙන් බුදුබව මුදලට ලබා ගැනීමේ වැඩ පිළිවෙළක් ගැන කියන පුවතකි. ජපන් කාන්තාවක් හා ශ්‍රී ලාංකිකයකු වන ඇගේ සහකරු විසින් පවත්වා ගෙන යන මේ යාඥා මධ්‍යස්ථානයට එරෙහි උද්ඝෝෂණයක් සිංහල රාජ්‍ය ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් අක්මීමන දයාරත්න හිමියන් ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 24 වන දා පවත්වා තිබේ. ඉන්පසු, උන්වහන්සේ කොල්ලුපිටිය පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලක මේ ආගමික මධ්‍යස්ථානයෙන් බුදු දහමට හානිවන ආකාරයේ ක්‍රියා රැසක් සිදුවන බව සඳහන් කැරැ ඇතැයි වාර්තා විය.

එම සිද්ධිය පිළිබඳ ව අක්මීමන දයාරත්න හිමියන් දැක් වූ අදහස් 2011. 10. 02 වන දා ලංකාදීප පුවත් පත මෙ සේ වාර්තා කැර තිබිණ.

“මේ කියන කොල්ලුපිටියේ පන්සලට එන්න පුළුවන් එහි සාමාජිකත්වය ලබාගත් අයට පමණයි. ඒ බව ඒ ස්ථානයේ සවිකර ඇති පුවරුවේ සඳහන් වෙනවා. ඉතින් කොහොමද මේකට පන්සලක් කියන්නේ”

“ මේ අය කියන බුදු දහමට අනුව බුදු පිළිමවලට වන්දනා මාන කිරීම, පිරිත් නූල් ගැට ගැසීම වගේ වත් පිළිවෙත් කරන්න බැහැ. ගෙදර වැඳුම් පිදුම් කරන බුදු පිළිමය ඉවත් කළ යුතු යි. මේ ගොල්ලන් කරන්නේ බුදු දහමේ හරය විනාශ කර දැමීමයි. බුදු දහමේ නාමයෙන් පෙනී සිටින මේ අය මූලධර්මවාදීන්. අපේ රටට වින කරන්න ආපු පිරිසක්. මේ අයගේ දහමට අනුව දහම් පාසල් යන්න පන්සල් යන්න තහනම්. ඒවා කිසිම තේරුමක් නැති වැඩ. ත්‍රිපිටකයේ නොමැති මහායාන දර්ශනයේ තියෙන සද්ධර්ම පුන්ඩරික කියන සූත්‍රය මුල් කරගෙනයි මේ අය කටයුතු කරන්නේ.”

“ පිළිකා වැනි රෝග සුව කිරීමට පවා හැකියාවක් මේ අයට තිබෙන බව පවසා මිනිස්සු නොමඟ යවා මේ කියන හොර පන්සලට බඳවාගෙන තිබෙනවා.”

“මේ පන්සලේ සාමාජිකත්වය ලබා ගතහැක්කේ පැරැණි සාමාජිකයෙක් සමග ගොස් පමණයි. අලුතෙන් සාමාජිකත්වය ලබා ගන්නා සෑම අයකුට ම කළු පැහැති පෙට්ටියක් දෙනවා. ඒ තුළ ධර්මකාය ඇති බව ඔවුන් පවසනවා. ඒ පෙට්ටිය ඇතුළේ ජපන් භාෂාවෙන් ලියූ කොළ කැබැල්ලක් ද තිබෙනවා. මේ කළු පැහැති පෙට්ටිය නිකන් දෙන්නේ නැහැ. එය පෙරහරකින් වඩමවා ගෙන ගොස් ගෙදර තැන්පත් කළ යුතු යි. ඊට කලින් ගෙදර තිබෙන බුදු පිළිම ඉවත් කළ යුතු යි”

“ එක් කාන්තාවක් ගෙවල් දෙකක් විකුණලා බුදු බව ලබා ගන්න රුපියල් ලක්‍ෂ අසූවක් දීලා තිබෙනවා. මේ වගේ බොහෝ අය මේ කියන බොරුවලට රැවටිලා රුපියල් ලක්ෂ ගණන් දීලා.”

මිනිස් බුද්ධියේ අග්‍රඵලය වන ශ්‍රී සම්බුද්ධත්වය ලොවට පහළ වී වසර 2600 ක් ඉක්මවා ගිය කල බුද්ධත්වය මිල දී ගත හැකි තත්ත්වයක් යැයි සිතීමට තරම් මිනිසා අඥානයකු වීම විමතියට කරුණකි. එහෙත් මෙහි දී වඩාත් වැදගත් වන්නේ මුදලට බුදු බව පතන අඥාන මිනිසුන් ගැන හෝ මුදලට බුදු බව විකුණන මිනිසුන් ගැන සෙවීම නො වේ. බෞද්ධ පූජා චාරිත්‍ර වැනසීම නිසා ශ්‍රී ලාංකික සමාජයට සිදුවන හානිය කෙරෙහි පාඨක අවධානය යොමු කිරීම අප ගේ අරමුණ ය. ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම පිණිස මනෝ වෛද්‍ය විද්‍යා මහාචාර්ය කේ. ඒ. එල්. ඒ. කුරුප්පු ආරච්චි විසින් පළ කරන ලද ලිපියක් මෙහි උපුටා දක්වමු.

“ඕනෑම ආගමක පූජා චාරිත්‍ර, අභිචාර විධි සැකසී තිබෙන්නේ කිසියම් ජන සමාජයක පොදු මානසික අවශ්‍යතා උපරිම ලෙස සංතෘප්ත වන පරිද්දෙනි. ඒ අවශ්‍යතාවයන්හි වෙනස් බව අනුව පූජා චාරිත්‍ර රටාවේ ද යම් යම් වෙනස්වීම් ඇති වේ. නමුදු සියලුම පූජා චාරිත්‍රවල නො විධිමත් මනෝ චිකිත්සක අගයක් තිබේ. ඒ අනුව පෞරුෂ, පවුල් සහ සමාජමය වශයෙන් මුහුණ දෙන්නට සිදුවන ගැටලුවල දී මිනිසුන් ස්වභාවිකව ම එ බඳු පූජා චාරිත්‍ර කෙරෙහි වැඩිපුර යොමුවීමක් දක්නට ලැබේ. මෑත භාගයේ බෞද්ධ ජනතාව අතර බෝධි පූජාව වඩා ප්‍රචලිත වූයේත් රටේ තැන් තැන්වල කිතුනු දහමට සම්බන්ධ නන් වැදෑරුම් යාඥා කණ්ඩායම් බිහිවුණේත් සමකාලීන සමාජ ආර්ථික සංකීර්ණත්වය යටතේ ය.”

“ බුදු දහම ඥාන විමංසාවාදී ආගමක් වශයෙන් ලොව විද්වතුන් පිළිගත්තත් අපේ ජන සමාජය තම ලෞකික සහ භෞතික වශයෙන් ඉටු කරගත නො හැකි මානසික අවශ්‍යතා සංතෘප්ත කර ගැනීම සඳහා එහි ආගමික පක්ෂය කුළු ගන්වාගෙන තිබේ. බුදු දහම පැතිර ඇති රටවල ආගමික චාරිත්‍ර එකිනෙකට වෙනස් වනුයේ ඒ අනුව ය. නිදසුනක් ලෙස මුළු ලෝකයෙන් ම බෝධි වෘක්ෂය වන්දනා කරනුයේ ශ්‍රී ලාංකික බෞද්ධයන් පමණි. ඒ හැරුණු කොට මල් පහන් සුවඳ දුම් පූජාවන් ඇතුළු මේ හැම පූජා චාරිත්‍රයක් තුළ ම සදාචාරාත්මක පදනමක් ඇති නිසා එය පුද්ගල සහ සමාජ යහපතට හේතු වන බව ද කිව යුතු ය”. ( ලක්බිම 2008. 1. 20 )

එ බැවින් සමාජය ආකූලත්වය වෙතට යොමු කැරෙන සාහසික මානසික ස්වභාවය ධර්මානුකූලව පරාජය කිරීම අප ගේ යුතුකමකි.

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 11 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.11 ට ලබයි.
12 වන දා බදාදා පූර්ව භාග 07.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 11 වන දා අඟහරුවාදා ය.

 මීළඟ පෝය
ඔක්තෝබර් 20 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

New Moonඅමාවක

ඔක්තෝබර් 26

First Quarterපුර අටවක

නොවැම්බර් 02


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]