UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බිනර අවඅටවක 2011.09.20

තෙවන සිල්පදය රැකීම

නෑඹුල් පියවර තබන්නට මේ බිම සුදුසු දැයි බලන්න යනුවෙන් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ළමා ලේකම් කාර්යාලය විසින් බිනර පුර පසළොස්වක පොහෝ දා (සැප්තැම්බර් 11 වන දා ) සිළුමිණ පුවත්පතෙහි වර්ණ පිටුවක් පුරා (28 වන පිටුව) දැන්වීමක් පළකැර තිබිණ. බිලිඳු රුවක් සහිත එම දැන්වීමෙහි මෑත කාලීන පුවත්පත් ශීර්ෂ පාඨ කිහිපයක් ද ඇතුළත් ය. ඒවා මෙ සේ ය.

යකඩ බඩු එකතු කරන්න පැමිණ දැරියන් දෙදෙනා ට අතවර කරලා.

දුරකථන කුටියක් තුළ බිලිඳු මළසිරුරක් හමුවේ.

දරුවාගේ අතුරුදන්වීමට මව සහ සැමියා අත්අඩංගුවට.

දූෂණය කළ දෙදෙනා තවදුරටත් රිමාන්ඩ් .

රට යවන්නැයි කොළඹ ගෙනැත් දාහත් හැවිරිදි දැරියකට දින 3 ක් අතවර කළ විවාහක පුද්ගලයා රිමාන්ඩ් භාරයට.

දරුවන් 13 දෙනකු ගේ පියාගෙන් දහතුන් හැවිරිදි දැරියකට අතවර

වයස අවුරුදු 62 යි: පවුල් ජීවිත දෙකයි .

සිසුවකුට පහර දුන් ගුරවරයකුට ඇප

අවුරුදු එක හමාරක් වයසැති බිලිඳාට වරින් වර පහර දී මරා දමා වෙල්යායක වළ දමලා.

දස හැවිරිදි දැරියට අතවර කළ අය අල්ලයි.

අප නෙළා ගනිමින් සිටින සමාජයීය අස්වැන්න කෙබඳු දැයි පැහැදිලි කැරෙන මේ පුවත්පත් ශීර්ෂ පාඨ යළි පළ කිරීමට හේතුව සමනල තටු සිඳින්නෙපා යාළුවේ, නමැති ආයාචනයෙන් ළමා ලේකම් කාර්යාලය පැහැදිලි කොට තිබේ. මෙ සේ ආයාචනා කිරීම කෙරෙහි බලපෑ ආසන්නතම සිදුවීම මාතර තෙලිජ්ජවිල රාජකීය විද්‍යාල භූමියේ දී දස හැවිරිදි දැරියක් දූෂණයට ලක්වීම ය. එම සිද්ධිය නිසා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා කරුණු පැහැදිලි කිරීමට දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාට සිදු විය. පාසලකට ඇතුළුවීමට බාහිර පුද්ගලයන්ට අවසර ලබාදීමේ දී අනුගමනය කළ යුතු පිළිවෙත දැක්වෙන නව චක්‍ර ලේඛයක් දකුණු පළාතේ අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද්දේ ද මේ සිද්ධිය නිසාවෙනි.

නව පාසල් වාරයේ ආරම්භය නිමිත්තෙන් සිය නැගණිය ගේ පන්ති කාමරය පිරිසිදු කිරීමට පසුගිය 03 වන දා ප.ව. 2.00 ට පමණ තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයට ගිය මව සමඟ පැමිණි දස හැවිරිදි දැරියකට සිදු වූ මේ ලිංගික අතවරය සැප්තැම්බර් මස 11 වන දා ලංකාදීපය වාර්තා කළ අයුරු මෙහි පහත උපුටා දක්වමු.

“ඔවුන් පාසලට පැමිණෙන විටත් තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයේ දින විසි නවයක් පුරාවට පවත්වා ගෙන ගිය අ.පො.ස උසස් පෙළ සම්බන්ධීකරණ විභාග මධ්‍යස්ථානයේ වැඩ අවසන් වී නො තිබිණ. පිළිතුරු පත්‍ර තොගය මාතරට යැවීමටත් පෙර විභාග රාජකාරි කටයුතුවල නිරත පිරිස තම මත්පැන් සාදය ආරම්භ කෙරිණ. ප්‍රධාන විභාග සම්බන්ධීකරණ නිලධාරිවරයා , සහකාර සම්බන්ධීකරණ නිලධාරීන් දෙදෙනා, ශාලාධිපතිවරයෙක්, කාර්යාල කාර්ය සහායකයෙක් හා පාසලේ මුරකරු ද ඒ අතර වූ හ. නීතිය හා සාමය ආරක්ෂා කිරීමට විභාග රාජකාරි කටයුතුවල යොදවා සිටි අකුරැස්ස පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු ද මේ අපූරු සාදයට සහභාගි වී සිටියේ පොලිස් නිල ඇඳුමින් ය.”

“ටික වේලාවක් ගතවන විට මේ ස්ථානයට ආගන්තුකයකු පැමිණියේ ය. ඔහු, එම ස්ථානයේ සිටි පොලිස් කොස්තාපල්වරයා ගේ බාල සහෝදරයා යි. ගුවන් හමුදාවේ හිටපු භටයකු වන තිස් එක් හැවිරිදි එම පුද්ගලයා ද මත්පැන් සාදයට එකතු වූයේ සියලු දෙනාගේ ආරාධනයෙනි.”

“හිටපු ගුවන් භටයා වැසිකිළියට යෑම සදහා ශාලාවෙන් පිටතට පැමිණියේ ය. යළි සාදය දෙසට යන විට සෙල්ලම් කරමින් සිටි කුඩා දැරියන් දෙදෙනා ඔහුට දැක ගන්නට ලැබිණ. හෙතෙම අත වැනුවේ ය. කෙළිලොල් වයසේ දැරියන් දෙදෙනා එම පුද්ගලයා දෙසට දුවගෙන ආහ. එහි දී මධුවිතින් මත් ව සිටි ඔහු දස හැවිරිදි දැරිය පාසලේ ගොඩනැගිල්ලක් වෙත රැගෙන ගොස් කෙලෙසා ඇති බව පොලීසිය කියයි.”

“අවුරුදු දහයක් වයසැති බාලවයස්කාර දැරියක් කෙලෙසීම හා ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් නව දෙනකු මාතර අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මෙනවිය වෙත ඉදිරිපත් කළ අතර එහි දී මත්පැන් පානය කර ඇති බවට තහවුරු වූ පස්දෙනා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසත් ඉතිරි සිව්දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙසත් ඇය නියෝග කළා ය.”

“හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් මේ අපරාධයේ ප්‍රධාන සැකකරු වන හිටපු ගුවන් භටයා , 14 වන දා තෙක් රිමාන්ඩ් කෙරිණ. උඩුකාව, යොවුන්ගම පදිංචි ඔහු එක් දරු පියෙකි.”

අප මෙහි කලින් සඳහන් කළ පුවත්පත් දැන්වීම පළ කැරෙනුයේ මෙ බඳු පසුබිමෙක ය. එහෙත් මේ කුරිරු පාපතරයන්ට ආයාචනා කිරීමෙන් පලක් නොමැති බව ද, ඔවුනට දැඩි දඬුවම් දීම එක ම පිළියම බව ද කියන හඬ නිතර අසන්නට ලැබේ. එ සේ වුව ද ලිංගික අතවරයක් පිළිබඳ ව පැමිණිලිකාරියක වීම ද, අවමානයක් වන සමාජයක ජීවත්වන කාන්තාවන් නීතියේ පිළිසරණ සොයා යෑම විරල අත්දැකීමකි. මේ අනුව බලන කල, කාම අපරාධ පිටුදැකීම සඳහා ඇති එක ම මඟ පන්සිල් සුරකින සමාජයක් ගොඩනැඟී ම ය.

බිනර අව අටවක

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 20 අඟහරුවාදා පූර්ව භාග 6.35 ට ලබයි.
21 වනදා බදාදා පූර්ව භාග 07.30 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම සැප්තැම්බර් 20 වනදා අඟහරුවාදාය

මීළඟ පෝය සැප්තැම්බර් 27 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]