UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

විහාර බිතු සිතුවම් කලාවෙන් එතෙර ජයගත් ජයසිරි සේමගේ

ජයසිරි සේමගේ වූ කලී අන්තර්ජාතික කීර්තියට පත් ලංකාවේ සිටින ප්‍රවීණතම සිත්තරෙකි. දකුණු පළාතේ අම්බලන්ගොඩ නගරයේ ඉපිද බෞද්ධ විදුහලක් වන අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලෙත් මොහු අධ්‍යාපනය ලබා ඇත. ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු වූ බර්නාඩ් ලොකුගේ සිත්තරා මේ අපූර්ව චිත්‍ර ශිල්පියාගේ චිත්‍ර කලා ගුරුවරයා විය.


නේපාලයේ ලුම්බිණියේ ශ්‍රී ලංකා විහාරයේ ‘බුදු උපත’ විදහා දක්වන විශාල ප්‍රමාණයේ බිතු සිතුවම අබියස ජයසිරි සේමගේ

බිතුසිතුවම් කලාවටත්, තොරණ හා සැරසිලි නිර්මාණවලටත් චිත්‍ර හා මූර්ති කලාවන්ටත් කලාසූරී ජයසිරි සේමගේ එකසේ දක්‍ෂකම් දක්වන්නෙකි.

මෙරට බිතුසිතුවම් කලාව දේශීය කලා ලක්‍ෂණ වලින් පරිපූර්ණ කර අන්තර්ජාතික තලයට ගෙන ගිය ප්‍රමුඛ පෙලේ ලාංකික සිත්තරුන් අතර ප්‍රමුඛ සිත්තරෙක් ලෙස “ජයසිරි සේමගේ සිත්තරා අපට හැඳින්විය හැකිය.”


සිංගප්පූරුවේ ‘මංගල’ විහාරයේ ‘සච්චක දමනය’ විදහා දක්වන සිතුවම

ජයසිරි සේමගේ විසින් පළමු වරට චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත් වූයේ 1975 දීය. ඒ මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර බෞද්ධ විහාරයකදීය. එය සංවිධානය කළේ ශ්‍රී ලංකාවේ කලා මණ්ඩලයෙනි.

මේ ප්‍රදර්ශනයෙන් පසුව විදෙස් රට වල ලාංකීය ලකුණ පෙරදැරි කරගෙන ඉදිවන විහාරස්ථානවල බිතු සිතුවම් ඇඳීමට සේමගේට ආරාධනා රැසක් ලැබිණි. එම ආරාධනා සියල්ලක්ම ඉතා නිර්භීතව සේමගේ විසින් භාර ගන්නා ලදී. ඒ අනුව 1974 දී සිංගප්පූරුවේ මංගල විහාරයේ තමා කලින් ඇඳි බිතු සිතුවම් වලට අමතරව එහි සෑදි තෙමහල් ගොඩනැගිල්ලේ ඉතා චමත්කාර ජනක බිතු සිතුවම් විශාල ලෙස ඇඳීම ආරම්භ කෙරිණි. ඉතා සුමට වර්ණ මාලාවන් සහ දේශීය සැරසිලි හා කලා ලක්‍ෂණ වලින් තෙලිතුඩ මුවහත් කරගත් සේමගේ එම මංගල විහාරයේ බෞද්ධ ජාතක කතාත්, බුදු සිරිතේ විවිධ අවස්ථාත් නිර්මාණය කළේ ඉතාමත් කලාත්මක අයුරිනි. එමෙන්ම එම විහාරයේ උඩු වියන පැරණි සිංහල සැරසිලි වලින් අලංකාර කිරීම කළේ ද ජයසිරි සේමගේ සිත්තරායි.

මේ මංගල විහාරයේ පළමුවන මහලේ සේමගේ බුදු උපතේ සිට පරිනිර්වාණය දක්වා විවිධ සිදුවීම් නිර්මාණය කළ අතර දෙවන මහලේ බුදුරදුන් ලංකාවට වැඩම කළ ස්ථාන, නිර්මාණය කර ඇත්තේ කලාත්මක බවේ විචිත්‍රතාව තව දුරටත් වර්ධනය කරමින්ය. අනෙක් මහලේ අංගුලිමාල දමනය, නාලාගිරි දමනය, සච්චක දමනය පටාචාරා සිද්ධිය ආදී සිද්ධීන් විචිත්‍ර කර ඇත.


‘ලුම්බිණියේ ශ්‍රී ලංකා විහාරයේ’ ‘බුද්ධත්වය’ විදහා දක්වන සිතුවම

මේ අති විශාල විහාරයේ බිතු සිතුවම් ඇඳීම සඳහා සේමගේ සිත්තරා තෝරාගෙන ඇත්තේ ද එම චිත්‍රවල දේශීය ලක්‍ෂණ අන්තර්ගත වී තිබූ හෙයිනි. මේ විහාරය සිංගප්පූරුවේ දැනට ඇති විශාල ථෙරවාදී විහාරයයි.

සේමගේ ගේ චිත්‍රවල ඇති ලාලිත්‍යයත්, රිද්මයත්, අලංකාරයත්, වර්ණවල සුමට බවත් නිසාම සේමගේ සිත්තරාගේ චිත්‍ර කලාව විශේෂ අවධානයට ලක්ව ඇත. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සංකල්පයක් මත බුදුන් උපන් දේශය වන නේපාලයේ ලුම්බිණියේ ඉදි වූ ශ්‍රී ලංකා විහාරයේ චිත්‍ර නිර්මාණය කළේද මේ අපූර්ව සිත්තරායි. 2009 දී පමණ ලුම්බිණියට ගිය සේමගේ සිත්තරා එහි විශාල බිතුසිතුවම් රැසක් නිර්මාණය කර ඇත්තේ ඒ අසළ ඇති ලෝ ප්‍රකට අජන්තා බිතු සිතුවම් වලට නොදෙවෙනි පරිදිය. මේ අති විශාල බිතු සිතුවම් අතරට “බුදු උපත”, “බුද්ධත්වය” හා “පරිනිර්වාණය” ඇතුළත් වේ. මෙම විහාරයේ උඩුවියන දඹුලු විහාරයේ ඇති නෙළුම් මල් රටා උපයෝගී කරගෙන සේමගේ විසින් නිර්මාණය කර ඇත.

කෙසේ වෙතත් මෙයට අමතරව එක්තරා වෙසක් සමයකදී සිංගප්පූරුවේ බෞද්ධ පුස්තකාල ගොඩනැඟිල්ලේ එහි වත්මන් අධ්‍යක්‍ෂ බෙල්ලන්විල ධම්මරතන හිමිපාණන්ගේ ඇරයුමක් පරිදි අඩි 30 ක් පමණ උස බොරෝබුදුර් අනුරුව අනුව ඉතා කලාත්මක අයුරින් වෙසක් සැරසිල්ලක් කළේ ද ජයසිරි සේමගේ සිත්තරායි.

එයට අමතරව සිංගප්පුරුවේ මෑන්ෆැට් - ලාම් නමැති චීන විහාරයට “පස්වග මහණුන්ට දහම් දෙසීම” නමැති අඩි 6ය4ප්‍රමාණයේ විශාල තෙල් සායම් චිත්‍රයක් නිර්මාණය කළේ ද මේ සිත්තරාය. අදටත් එම චිත්‍රය එම විහාරයේ ස්ථිර ප්‍රදර්ශනය සඳහා තබා ඇත.


සිංගප්පූරුවේ ‘මංගල’ විහාරයේ සේමගේ චිත්‍ර ශිල්පියා විසින් අඳින ලද බිතුසිතුවම් වලින් කිහිපයක්.......

ජයසිරි සේමගේ සිත්තරා විසින් ආසියානු පැසිෆික් දැවැන්ත ප්‍රදර්ශනයේ ඇතුල්වීමේ දොරටුවේ ඉදිකළ අඩි 60 ක් උසැති බෞද්ධ තොරණ ද නිර්මාණය කරන ලදී. එයට අමතරව දැනට වසර හතරකට පමණ පෙර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු උද්‍යානයේ ඉදි වූ “දසරාජ ධර්මය” විදහා දක්වන තොරණද සේමගේ විසින් නිර්මාණය කළේ ය.

විවිධ රටවල විහාරස්ථාන වලින් බිතු සිතුවම් ඇඳීමට නිතරම ආරාධනා ලැබුණත් තමන් උපන් බිමේ ඇති විහාරස්ථානයක බිතු සිතුවම් නිර්මාණය කිරීමට තමාට ආරාධනා නොලැබෙන්නේ මන්දැයි නිතරම සේමගේ පවසන්නේ මහත් දුකකින් හා විස්මයෙනි.

කෙසේ වෙතත් සේමගේ ගේ බෞද්ධ චිත්‍ර කලාව ලංකාද්වීපයට අන්තර්ජාතික කීර්තියක් ගෙන දෙන්නක් බවට පත්වීම අප ද ලැබූ මහත් ගෞරවයක් වන්නේ ය.

 

 

 

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 19 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.37 ට ලබයි.
එදිනම අපරභාග 11.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
මාර්තු 19 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
මාර්තු 26 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

First Quarterපුර අටවක

අප්‍රේල් 11

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]