UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
(94-11) 2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

මැදින් පුර පසළොස්වක 2011.03. 19

ගින්නෙන් බේරාගත් භාණ්ඩ

ගිනිගන්නා නිවසක භාණ්ඩ එම ගින්නෙන් බේරාගෙන පිටතට ගැනීමකට දානය උපමා කරනු ලැබේ. ජරා මරණ ආදී ගින්නෙන් දැවෙන මිනිස් සිරුර නමැති ගෙතුළින් දන්දීමේ චේතනාව පිටතට ගැනීමට ඇති අපහසුතාව එයින් පැහැදිලි කැරේ. එහෙත් එම අපහසුතාව ජය ගැනීමට සිංහල බෞද්ධයෝ සමත් ව සිටිති. ඒ බව ඇමෙරිකාවේ ගෝලප් සංවිධානය විසින් ලෝකයේ රටවල් 130 ක ජනතාව ප්‍රජා සත්කාරක සේවාවන්හි නියැළීම පිළිබඳ ව පැවැත් වූ සමීක්‍ෂණයකින් ද තහවුරු කැර ඇත. පසුගිය මාසයේ නිකුත් වූ එම සමීක්‍ෂණ වාර්තාවට අනුව ලෝකයේ රටවල් 130 ක් අතුරින් ශ්‍රී ලංකාවට 8 වන ස්ථානය හිමි වූයේ ද පරිත්‍යාගශීලී ගුණයෙන් අප පොහොසත් බැවිනි.

මේ පරිත්‍යාගශීලී ගුණයෙහි අගය ප්‍රායෝගික අත්දැකීමකින් කියා දෙන ජපන් සෙන් කතාවක් අපි අසා ඇත්තෙමු. එය මෙ සේ ය.

“චීන අකුරින් පමණක් මුද්‍රිත ව තිබූ සූත්‍ර ජපන් බසින් මුද්‍රණය කිරීමට සෙන් බෞද්ධයකු වන ටෙට්සුගෙන් අධිෂ්ඨාන කැර ගත්තේ ය. ඒ සඳහා ලී වලින් අකුරු කපා පිටපත් හත්දාහක් සකස් කළ යුතු ව තිබිණ. ඊට විශාල ධනයක් අවශ්‍ය විය.”

“මේ සඳහා මුදල් සපයා ගැනීමට ටෙට්සුගෙන් සම්මාදන් කිරීම ඇරැඹී ය. කිහිපදෙනකු සෑහෙන ප්‍රමාණයක් මුදල් පරිත්‍යාග කළ අතර බොහෝ දෙනා සුළු වශයෙන් ආධාර කළ හ. දස වසරක් ගිය තැන අවශ්‍ය මුදල ලැබී තිබිණ.”

“එහෙත් ඒ වසරේ දී යුජී ගඟ පිටාරගලා සාගතය පැතිරී ජනතාව පීඩාවට පත් වූ හ. ත්‍රිපිටකය මුද්‍රණයට එකතු කළ මුදල් සාගතයෙන් දුක් විඳි ජනතාව ගේ අවශ්‍යතා සඳහා වෙට්සුගෙන් වැය කළේ ය.”

“ඔහුට නැවත සම්මාදමේ යෙදෙන්නට සිදු විය. වසර කිහිපයකට පසු වසංගත රෝගයක් රටේ පැතිර ගියේ ය. එ විට එකතු වී තිබුණු මුදල් සියල්ල දෙවන වරටත් වෙනත් කටයුත්තකට යොදවන්නට ටෙට්සුගෙන් හට සිදු විය.”

“තුන්වන වරට මුදල් සම්මාදන් කොට අවසන් වන විට වසර විස්සක් ගෙවී තිබිණ. ඒ මුදලින් අච්චු අකුරු සාදා ත්‍රිපිටකය මුද්‍රණය කිරීමට ටෙට්සුගෙන් සමත් විය. මේවා අදත් ජපානයේ ඔබකු ආරාමයෙහි තැන්පත් කොට තිබේ.”

“ජපන් ජාතිකයෝ තම දරුවන් ට එම ත්‍රිපිටක මුද්‍රණයෙහි ඉතිහාසය කියා දෙන විට ටෙට්සුගෙන් තුන්වරක් ත්‍රිපිටකය මුද්‍රණය කළ බව කියා දෙති. මුල් අවස්ථා දෙකෙහි මුද්‍රණය කළ ත්‍රිපිටක අදෘශ්‍යමාන බව ද එහෙත් ඒ දෙක අන්තිම ත්‍රිපිටකයට වඩා උත්තම බව ද ඔවුහු පවසති.”

කෙ සේ වූව ද බුදු දහමෙහි දැක්වෙන දානය හුදු පරිත්‍යාගශීලී බව ඉක්මවා ගිය විශිෂ්ට ක්‍රියාවලියකි. එය ආමිසදාන, ධර්මදාන හා අභයදාන යැයි තෙවදෑරුම් ය. ආහාර පාන ආදිය දීම ආමිස දානය යි. ධර්මය කියාදීම ධර්ම දානය ලෙස හැඳින්වෙයි. සතුන් ගේ දිවි ගැලවීම, සතුන් නො මැරීම ආදිය අභය දානයට අයත් ය. මේ දාන අතුරින් වඩාත් වැදගත් වන්නේ ධර්ම දානය බව බුදුන් වහන්සේ වදාළ සේක.

ආහාරපාන දීම පූජාවක් වශයෙන් මෙන් ම අනුග්‍රහයක් වශයෙන් ද කළ හැකි ය. අසරණයන්ට දන්දීම අනුග්‍රහයක් වන අතර සිල්වත්කම හා ගුණවත්කම සලකා උතුමන්ට දන්දීම පූජාවකි. කෙ සේ වූව ද අනුග්‍රහයක් වශයෙන් ආමිසදානයක් දීම ද උතුම් ක්‍රියාවක් බව කිව යුතු නැත.

පසුගිය දා (මාර්තු මස 11 වන දා) ජපානය මුහුණදුන් භූමිකම්පාව හා සුනාමිය නිසා විපතට පත් ජනතාවගේ සුබ සාධන කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක (රුපියල් කෝටි 11 ක පමණ) මුදලක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා රජය ගනු ලැබූ තීරණය ද උතුම් දානයක් ලෙස අපි අගය කරන්නෙමු. ක්‍රි.ව. 1900 න් පසු ලොව ඇති වූ ප්‍රබලතම භූකම්පන අතුරින් පස්වැන්න ලෙස සැලකෙන මේ භූමිකම්පාව නිසා දස දහසකට අධික පිරිසක් මියගොස් ඇතැයි විශ්වාස කැරේ. ටෝකියෝ නුවර සිට සැතපුම් 231 ක් දුරින් පිහිටි හොන්ෂු ප්‍රදේශයේ සිදු වූ මේ භූමිකම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ 8.9 ක් ලෙස සටහන් වී ඇත. මේ නිසා හටගත් සුනාමි උදම්රළ අඩි තිස් තුනක් උසට නැඟි බව පැවසේ. මෙහි බලපෑමට වඩාත් ගොදුරු වී ඇත්තේ ටෝකියෝ නුවර සිට කි.මී. 400 ක් පමණ දුරින් පිහිටි සෙන්දායි ප්‍රදේශය යි. මෙයින් ජපානයේ යුකොෂිමා න්‍යෂ්ටික බලාගාරය හානියට පත්වීම නිසා විශාල අනතුරුදායක තත්ත්වයක් මතු වී තිබේ.

දෙවන ලෝක යුද්ධයේ දී ඇමෙරිකාව විසින් හෙළන ලද පරමාණු බෝම්බ ප්‍රහාර දෙකක අළු මතින් නැඟී සිටි ජපානයට මෙය එ තරම් විනාශයක් නො වේ යැයි යමකු සිතන්නට පුළුවන. එ පමණක් ද නො ව ලොව ධනවත් කාර්මික රටක් වන ජපානයට ඩොලර් දසලක්‍ෂයක පරිත්‍යාගය විශාල දෙයක් නො වන බව ද අපි දනිමු. එහෙත් අප සතු පරිත්‍යාගශීලී ගුණය සංකේතවත් කිරීමට එම මුදල ප්‍රමාණවත් ය. එම පරිත්‍යාගයට, අමතර ව සුනාමි ව්‍යසනය නිසා විපතට පත් ජපාන ජනතාව ගේ ජන ජීවිත යළි නඟා සිටුවීම සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් හා විශේෂ පුහුණුව ලත් ත්‍රිවිධ හමුදා කණ්ඩායමක් එහි යැවීමට ද ශ්‍රී ලංකා රජය තීරණය කැර ඇත.

මෙ බඳු ආමිසදානවලින් නො නැවතී ධර්මදානය ද රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කිරීම මැනැවැයි සිතමු. එය, ගිනිගෙන දැවෙන වර්තමාන ලෝකයට වඩාත් අවශ්‍ය බව අප ගේ විශ්වාසය යි.

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 19 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.37 ට ලබයි.
එදිනම අපරභාග 11.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
මාර්තු 19 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
මාර්තු 26 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

First Quarterපුර අටවක

අප්‍රේල් 11

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]