UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දරුවන් සුමඟට යොමු කරන ලෝවැඩ සඟරාව

පසුගිය පත්‍රය හා සම්බන්ධයි

කරන කලට පව් මීරිය           මී සේ
විඳින කලට දුක්දැඩිවෙයි ගිනි සේ
හැඳින එ පව් දුරලන     උපදේ සේ
නුදුන මැනවි තුන්දොර  අවකා සේ

පව් කරන විට ඉතාම සතුටක්, මිහිරක් දැනෙන මුත් විපාක විඳිද්දී දැඩි දුකක් දැනෙයි. ඒ බව සිතා,, දැන සිත, කය, වචනය යන තුන් දොරින් පව් කිරීමට කිසිදු ඉඩක් නොදිය යුතුය.

අනන්ත සසර පුරා සැරිසනා අපි මවගේ මරණයේදී , පියාගේ මරණයේදී, දරුවන්ගේ මරණයේදී හැඬීම නිසා ගැලූ කඳුලු සගාරයටද වැඩි තරම් යැයි සංයුක්ත නිකායේ “අනමතග්ග සූත්‍රයේ “ සඳහන් වෙයි. ඒ ධර්ම කරුණ වීදාගම මාහිමියන් මෙසේ දක්වා ඇත.

එකම සතෙකු තම මව් මළ  දුකට
වෙනම හැඬූ කඳුළේ බිඳු   වලටා
මෙහැම මුහුදු දිය අඩුවන කලටා
තවම සසර ආලය ඇයි  තොපටා

අනතුරුව වීදාගම මාහිමියන් විසින් දිවියෙහි නොතිර බව පැහැදිළි කරමින් අකුසල් සිදු කිරීමෙන් සිදුවන විපාක දක්වා කුසල් දහම් කෙරෙහි උනන්දු කරවයි. සමස්තයක් වශයෙන් ග්‍රන්ථය පුරාම දැකිය හැක්කේ එයයි.

බණ නම් නිබොරුය මුනිවරයන්  නේ
කය නම් නොතිරය අදහා ගන්    නේ
පණ නම් තණ අග පිනිබිඳු වැන් නේ
පින නම් නොපමාවම කරගන්      නේ

බුදු දහමේ ත්‍රිලක්ෂණය, අප්‍රමාදි බව දැක්වෙන වැදගත් දහම් කරුණු රැසක් ඉතා කෙටියෙන් දැක්වීමකි මේ.

දස අකුසල් කිරීමෙන් සිදුවන විපාකද කතු හිමියන් විසින් ඉදිරිපත් කරයි.

පර පණ නැසුවොත් කවර        උපායේ
අපමණ දුක්දෙයි සතර               අපායේ
පර සන්තක දෙය ගත සොර කමකින්
නිරයෙන් නිරයට පැමිණෙයි එතෙකින්

මේ ආකාරයට ඒ ඒ අකුසලය කිරීමෙන් වන විපාක ඉදිරිපත් කරයි.

ඉන් පසු ඒ අකුසල් කොට විපාක ලැබූ ආකාරය දක්වන උදාහරණය බැගින් දක්වමින් ජනයා පවින් මුදා ගැනීමට වෙහෙස ගනී.

පෙර අඟනක් එක් එළු දෙනක හිස   සිඳා
සියළඟ වැළඳි ගිනිදැල් නිරය දුක්    විඳා
ඇය ඇඟලෝම ගණනේ ඉස් කැපුම් ලදා
මෙම රඟ වේය කාටත් අකුසලේ      ලෙදා

එක් කාන්තාවක් එළු දෙනක බෙල්ල කපා මැරීමේ අකුසලය නිසා ඇඟේ ලෝම ගණනටත් වඩා උපත ලද හැම ආත්මයකදීම බෙලි කැපීම් වලට ලක්වු බවත් මෙයින් කියැවේ. මේ එක් නිදසුනක් පමණි.

කෙළියට කඩක් සඟවා යහළුවකු         ගෙනේ
එළිකොට නැවත දුන් මිනිසෙකුට එතෙ කිනේ
විළි වැස්මක් නොලදින් දෙව් වුවත්         අනේ
කෙළියට වත් නොකරව් සොරකමක්      දැනේ

ගගකට නෑම සඳහා ගිය අවස්ථාවකදී සරදමට යහළුවෙකුගේ ඇඳුමක් සොරකම් කොට පසුව දුන් කෙනෙකුට ඔහු කළ පින් හේතුවෙන් දිව්‍ය ආත්මභාවයක් ලැබුණත් විළිවැස්මක් නොලැබුණ හැටි මේ කවියෙන් කියැවෙයි.

ලැදිව රජෙක් බොරු බස් කී විගස          කයා
නැතිව රිද්දි බලයත් ඒ මිනිස්                     කයා
පොළොව පලාගෙන ගොස් වැටුණි නර කයා
මෙලොව සතුනි ඉන් බොරු කීම නර      කයා

පෙර “චේතිය “ නමින් ප්‍රසිද්ධව සිටි මහත් ඍද්ධි බල ඇති රජකෙනෙක් බොරු කීමේ විපාකයෙන් අහසින් යද්දී ඍද්ධි බලයද නැතිවි වැටී පොළොව පලාගෙන අපාගත වීමට සිදුවූ බවක් පොත් පත්වල සඳහන් වේ.

මේ ආකාරයට කුසල් රැස් කිරීම සඳහා ජනතාව උනන්දු කරවීමට වීදාගම හිමියන් නොමඳ උත්සාහයක් ගෙන ඇත. තෙරුවන් වැඳීම , මා පිය, ගුරුවරුන්, වැඩිහිටියන් සැළකීම පිළිබඳව බොහෝ කරුණු ඉදිරිපත් කර ඇත. හැම කවියක්ම අතිශය වැදගත් කමකින් යුක්තය.

මේ අනුව ලෝ වැඩ සඟරාව දරුවන් යහ මග යැවීමට ඉවහල් වන අවවාද ඇතුළත් බුදු දහම සරලව ඉදිරිපත් කරන අතිශයින්ම අගය කළ යුතු ධර්ම ග්‍රන්ථයක් බැවින් යළිත් පාසල් වලත්, දහම් පාසල් වලත් කොටස් වශයෙන් නොව ළමයින්ට කියවීමට යොමු කළ යුතු අනිවාර්ය ග්‍රන්ථයක් වශයෙන් යොදා ගැනීම කෙරෙහි වගකිව යුතු අංශවල අවධානය යොමුවේවා යැයි පතමු.

ශුද්ධ වෙසක් අමාවක පෝය

ශුද්ධ වෙසක් අමාවක පෝයජුනි මස 11 වනදා සිකුරාදා අපර භාග 06.34 ට ලබයි. 12 වනදා සෙනසුරාදා අපර භාග 04.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 12 වනදා සෙනසුරාදාය. මීළඟ පෝය
ජුනි මස 19 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජුනි 12

First Quarterපුර අටවක

ජුනි 19

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]