UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අග්ග මහා පණ්ඩිත උපාධියෙන් පිදුම් ලබන බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නා හිමි

උපහාර පිදීමේ උත්සවය 15 වන දා පස්වරු 3 ට කෝට්ටේ රජ මහා විහාරස්ථානයේ දී

අතිගරු මහා නා හිමියන්ගේ ජිවන මග දෙස පුනරාවර්ජනය කිරීමේදී පැහැදිලි වන අන්දමට කිසිවිටෙකත් නා හිමියෝ තනතුර හේතුවෙන් බැබලීමට උත්සාහ නොගත්හ. තමන් වහන්සේ නිසා තනතුර බැබළවීමට වගබලා ගත්හ. තම දිවි මගේ අනූ වැනි විය ද ඉක්මවා සිටින අප මහා නා හිමිපාණන් වහන්සේ තවමත් අප්‍රමාදීව ලෝ සසුන් වැඩ පිණිස කටයුතු කරනු දැක්ම. සාසනාභිවෘද්ධිය කැමැති වන්නන්ගේ චිත්ත පී‍්‍රතියට හේතුවනු නොඅනුමාන ය. අප මහා නා හිමිපාණන් වහන්සේගේ ජීවිතයේ සොඳුරු පැතිකඩ ග්‍රන්ථ කරණය යැයි කීවොත් මහා නාහිමියන්ද එය අනුමත කරනු නොඅනුමානය.ග්‍රන්ථකරණයේදී අතිගරු මහා නාහිමිපාණන් වහන්සේ දැක්වූයේ අපූර්ව ප්‍රතිභාවකි. අග්‍රගණ්‍ය කුසලතාවයකි.

දියත පතල බෞද්ධ දේශයක් වූ මියන්මාර් ජනරජයෙන් තද් ලෝක ශාසනික මෙහෙවර වෙනුවෙන් ප්‍රදානය කරනු ලබන අග්ගමහා පණ්ඩිත උපාධියෙන් පිදුම් ලැබූ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධුරන්දර අතිපූජ්‍ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහා නාහිමියන් වෙත උපහාර පිදීමේ උත්සවයක් මේ මස 15 වැනිදා පස්වරු 03 ට ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමියන් සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ශ්‍රීමත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප්‍රධාන ගිහි පැවිදි උතුමන්ගේ සහභාගිත්වයෙන් කෝට්ටේ රාජ මහා විහාරස්ථානයේ දී පැවැත්වේ. සම්මානිත මහා නාහිමියන්ගේ ජීවන තතු ඇතුළත් මෙම ලිපිය ඒ නිමිත්තෙනි.


කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහා නායක රාජකීය, පණ්ඩිත, ශාස්ත්‍රපති, සාහිත්‍යශූරී බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නා හිමි

බෙල්ලන විතානගේ බාරොන් අප්පුහාමි උපාසක මහතා පල්ලිගොඩ විතානගේ අමාරිස්හාමි උපාසිකා මාතාව යන දම්පතීන්ට 1920 මාර්තු මස විසිවැනිදා චිත්තපී‍්‍රතිය උතුරා යන දිනයක් විය. ඒ තම පවුලට අලුතෙන් එකතු වූ පුංචි පුත් රුවන හේතුවෙනි. අප්පුහාමි පවුලට එකතු වූ මේ අමුත්තා බලන්නට අසල්වාසීන් නිරතුරුව නිවසට එන්නට විය. එසේ පැමිණි තලතුනා වියෙහි සිටි පිරිමියෙක් පැවසුවේ. ඇස්වහක් කටවහක් නෑ. පිංවන්ත කොලුපැටියා කවද හරි මුළු ලෝකෙන්ම පිදුම් ලබනවා ඒකාන්ත යි” යනුවෙනි. පියා විසින් නම් තබන ලදුව බී.වී.නෝමිස් නම් වූ මේ පුංචි කුමරුවා සිප්සතර හැදෑරීමට නිසි විය එළඹෙත්ම පියා විසින් පුංචි නෝමිස් ව ගමේ පාසලට ඇතුළත් කළේය. ඒ මතකය නා හිමියෝ අදටත් සිහිපත් කරති.

“මා පොඩි කාලයේදී අපේ ගමේ පාසලක් තිබුණි. ඒක පැරණි පාසලක් මගේ පියා ඉගෙන ගෙන තිබ්බෙත් ඒ පාසලේ එක්දාස් අටසිය ගණන් වල තමයි ඇරඹිලා තියෙන්නේ. 1925 දී මාව ඉගෙනීම් කටයුතු සඳහා පාසලට ඇතුලත් කළා එතකොට මට වයස අවුරුදු 05 යි.මගේ ඇතුළත් වීමේ අංකය 1415 .ඒක මට තාම මතකයි. එදා කුඩා පාසලක් වුනත් අද එය බෙල්ලන මහා විද්‍යාලය ලෙස හඳුන්වනවා. දරු දැරියන් දහස් ගණනක් ඉගෙනුම ලබනවා. ප්‍රදේශයේ ඇති දියුණුම පාසලක් .”

මෙසේ ප්‍රාථමික අධ්‍යාපනය සඳහා පාසලට ඇතුළත් කළ කුඩා නෝමිස් සම වයසේ දරු දැරියන් සමග සසදන විට ගුණයෙන් හා නුවණින්ද සුපෝෂිතය. ගෙදර බඩපිස්සා, වු නෝමිස් දෙමාපියන්ගේද සහෝදරාදින්ගේද නොමද ආදරයට හුරතලයට ලක්විය. මේ හුරතලය වරෙක දඟකාරකමට අනුබල දීමක් විය. තමන්ගේ බාල කාලය අදටත් සිහිපත් කරන නාහිමියන් සුපුරුදු සිනාවෙන් මුව සරසාගෙන පවසන්නේ “පුංචි කාලෙ මං හරි දඟයා ඉඳල හිටලා දග වැඩ කරලා දඬුවමුත් ලබලා තියෙනවා “ යනුවෙනි. මේ දඟකාර දරුවාමතු දිනෙක සුපේශල ශික්‍ෂාකාමී බවේ ප්‍රතිමූර්තිය වෙතියි එදා කවරෙක් නම් සිතන්නට ඇත්ද? දඟකාර වයසට දඟ වැඩ කළ ද තම අධ්‍යයන කටයුතු අතපසු නොකළේය. ඉමහත් ඕනෑ කමින් ඉගෙනීම් කටයුතු වල යෙදුණු මේ සිසුවා ඇදුරුමඩුල්ලෙහි ද නොමද ආදරයට කරුණාවට ලක්විය.

ජන්ම ලාභයෙන් නව වන වියට එළඹෙමින් සිටි තම කනිටු පුතණුවන් දකින සෑම මොහොතකම අප්පුහාමි උපාසක මහතාගේ හිතට පහළ වූ සිතිවිල්ල නම් මේ දරුවා සාසනේට බාර කළා නම් “ යන්නය. නමුත් එකෙනෙහිම තම අදහස අත්හැර ගන්නට අප්පුහාමි උපාසක මහතාට සිදුවන්නේ බිළි‍ෙඳකු සේ මව සමග හුරතල් වන දරුවා දකින විටදීය. කෙසේ වෙතත් අමාරිස් උපාසක මහතා තම අදහස තම බිරිඳටද සැළකර ඇයද තම අදහසට එකඟ කර ගත්තේය. ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට සුප්‍රකට මත්තක නායක හාමුදුරුවන්ට දරුවාගේ කේන්ද්‍රය ලබාදී ඵලාපල විමසූවිට නාහිමියන්ද මේ කුමරා පැවිදි කිරීමට යෝග්‍ය බව පවසා ඇත.ඉන් තම අදහස ස්ථිර කරගත් අමාරිස් උපාසක මහතා තම කණිටු පුතු සසුන් ගත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය.

පියා විසින් තමන් පැවිදි කරනවා යැයි කියු දිනය නාහිමියන්ට අද මෙන් මතකය.

එදා තාත්තා මාව මහණ කරනවා යැයි කියන කොටම මගේ ඇඟට අමුත්තක් දැනුණා. මගේ ඇඟ සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. ඇඟ පුරාම කිසියම් දෙයක් ගමන් කරනවා වගේ දැනුණා. මා සිතනවා සසර පුරුද්දක් ලෙස මේ මහණකම මට උරුම වුනා කියලා.”

1929 මාර්තු මස 14 වනදා පියා විසින් කුමරා බෙල්ලන ශ්‍රී ධර්ම පාලාරාමයට බාරදෙන ලදී. අනතුරුව දෙමසක් පමණ පැවිද්දට පූර්වයෙන් උගතයුතු බණ දහම් හා වත් පිළිවෙත් විහාරස්ථානයේ නේවාසිකව උගත් මේ කුමරා පැවිද්දට අවශ්‍ය සුදුසුකම් අප්‍රමාදීව සැපිරීය. නාහිමියන් නොයෙක් වර සඳහන් කළ දෙයක් මසිතට නැගෙයි. “ මට පුංචි කාලෙ ඉඳලා හොඳ ධාරණ ශක්තියක් තිබුණා ඕනම දෙයක් එක සැරයක් කියපුවහම හොඳට මතක හිටිනවා . මට හිතෙනවා ඒක මට තිබුණා ලොකුම වාසනාවක් පියලා.හැබැවින්ම එය වාසනාගුණයේ ප්‍රතිඵලයක්ම විය හැකි බව මමද විශ්වාස කරමි. ඒ මන්ද යත් මේ වන විට තම දිවිමගේ අනූවැනි වියද පසුකර ඇති නාහිමියන්ගේ ධාරණ ශක්තියෙහි කිසිදු අඩුවීමක් අදටත් නොදත් බැවිනි.

1929 මැයි මස 23 වනදා දිනය සැබවින්ම පුණ්‍යවන්ත දිනයක් විය. කෙමෙන් කෙමෙන් නිලම්බරයට පුර හඳ පායා එන විට සාසනාම්බරයටද පුරා හඳක් පායන්නට විය. ඒ අනුව 1929 මැයි 23 වන වෙසක් පුර පසළොස් වක් පෝ දින මේ කුමරා ඕපාත පඤ්ඤාසාර හා රත්තොටුවිල සෝභිත යන නාහිමිවරුන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් බෙල්ලන ඤාණවිමල නමින් ප්‍රවෘජ්‍යා භූමියට පත්විය.

ඤාණවිමල සාමණේරයන් වහන්සේ බෙල්ලන ධර්මපාලාරාමයේ ධර්මපාල පිරිවෙණින් තම මූලික අධ්‍යාපනය ලැබීය. පිරිවෙනේ සිටි වයසින් බාලම ශිෂ්‍යයා වූ ඤාණවිමල සාමණේරයන් දක්‍ෂතාවන් අතින් අනෙක් සියලු ශිෂ්‍යයන් අභිබවා සිටීම ගුරු දෙගුරු සැමගේ නොමද සන්තෝෂයට හේතුවිය. 1930 සිට 1945 දක්වා බෙල්ලන ධර්මපාල පිරිවෙනින් අධ්‍යාපනය ලැබූ ඤාණවිමල භික්‍ෂු නම 1944 දී ප්‍රාචීන මධ්‍යම විභාගයද සමත් විය.

මේ අතර කාලයේදී ඤාණවිමල භික්‍ෂුනමගේ ජීවිතයේ වැදගත් සිදුවීමක් විය. එනම් උපසම්පදා ශීලයෙහි පිහිටීමයි .ඒ අනුව 1940 ජුනි මස 04 වැනි දින කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ගී‍්‍ර ධර්ම මහා සංඝසභායත්ත සිරි මංගල උපෝසථාගාරයේදී ඤාණවිමල භික්ෂු නම උපසම්පදාවෙහි පිහිටියේ ය.

මේ අතර තුර කාලය ඤාණවිමල හිමියන් කැප කළේ ස්වකීය උසස් අධ්‍යාපනය සඳහාය. ශ්‍රී‍්‍ර ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් පැවැත් වූ ප්‍රාචීන අවසාන විභාගයෙන් ඤාණවිමල හිමියන් ගෞරවපන්තියෙන් සාමාර්ථය ලැබුවේ අදටත් තමන් සතු වාර්තාවක්ද සමගිනි. එනම් එදා මෙදා තුර කාලයේ ප්‍රාචීන අවසාන විභාගයෙන් වැඩිම ලකුණු ලැබුවෝ නම් වත්මන් අප මහා නාහිමිපාණන් වහන්සේ ය.එසේම පාලි සංස්කෘත සිංහල යන භාෂාත්‍රයේ දැනුමට අමතරව ඉංගී‍්‍රසි , දෙමළ ,ප්‍රාකෘත හින්දි යන පෙර අපර දෙදිග භාෂාවන් හැදෑරූ ඤාණවිමල හිමියන් එම භාෂා භාවිතයේ ප්‍රවීනත්වයක් ලැබීය.

1947 වර්ෂය තරුණ ඤාණවිමල හිමියන්ගේ දිවිමගේ සන්ධිස්ථානයකි. එනම් උන්වහන්සේ තම විදේශීය ධර්මදූත මෙහෙවර ආරම්භ කරමින් ඉන්දියාවට වැඩම කිරීමයි. අතිපූජ්‍ය පරවාහැර ශ්‍රී වජ්‍රඤාණ ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙතින් පුහුණුව ලබා මහා බෝධි සමාගමේ ආරාධනයෙන් ඉන්දියාවට වැඩම කළ ඤාණවිමල හිමියන් තම ධර්මදූත මෙහෙවරෙහි ඉලක්ක සපුරාගනු වස් දිවා රෑ නොබලා කටයුතු කළේය. මෙම භාරත සංචාරය තම දිවි ගමනට මහත් ආලෝකයක් වූ බව ප්‍රකට වන්නේ නාහිමියන් ගේ ධර්මදූත මෙහෙවර එංගලන්තය, ජපානය, තායිලන්තය ආදි රටවල් තුළද පැතිරීගිය ආකාරය දෙස බලන විටදීය.

තමන් කුඩා කල ශිල්ප ශාස්ත්‍ර හැදෑරූ ආයතනයේ අධිපතිත්වයට පත්වීමට ලැබීම දුර්ලභ භාග්‍යයකි. ඒ අනුව 1950 ඤාණවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ බෙල්ලන ධර්මපාල පිරිවෙනෙහි පරිවෙණාධිපති ධූරයට පත්විය. උන්වහන්සේ සාමාන්‍ය ගුරුවරයෙකු වශයෙන්ද අත්දැකීම් නොලබා බෙල්ලන ශ්‍රී ධර්මපාල පිරිවෙනෙහි පරිවේණාධිපතිධූරය භාරගත්තේ පිරිවෙන් ක්‍ෂේත්‍රයට නවකයෙකු පමණක් නොව තමාටවත් වැටුපක් නැති, ලැබෙතියි කියා හෝ අනුමාන කළ නොහැකි වෙනත් අමතර ලැබීමක් හෝ තමාට වත් තම ආයතනයටවත් නොතිබුණු යුගයකය.උන්වහන්සේගේ පාලන කාලය ධර්මපාල පිරිවෙනෙහි ස්වර්ණමය යුගය බව අවිවාදිතය. එයට ප්‍රධානතම හේතුව උන්වහන්සේගේ උපායශීලි සැලසුම් සහගත බුද්ධිමත් ක්‍රියා පිළිවෙතයි.

නාහිමිපාණන්ගේ කාලය තුළදී බෙල්ලන ශ්‍රී ධර්මපාල පිරිවෙන ලද දියුණුව ප්‍රකට වන තවත් කරුණක් සිහිපත් කරනු කැමැත්තෙමි. එනම් 1960 ගණන් වලදී ගම්බද ආර්ථික අපහසුතා ඇති දරුවන්ට උසස් අධ්‍යාපනය සඳහා දොරටු විවෘත වූ විට විශ්වවිද්‍යාලයානුබද්ධ ආයතනයක් බවට ධර්මපාල පිරිවෙන පත්කොට තම ගම්පියසේ සිසු දරුවන්ට සරසවි වරම් ලබාදීමටද නාහිමියෝ උත්සුක වූහ. 1960 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස පත්වීම් ලද නාහිමියන් තම විශ්ව විද්‍යාල මෙහෙවරත් පිරිවෙනේ කටයුතුත් මනාව කළමනාකරණය කරගෙන සිදු කළහ. උක්ත දෙඅංශයේම ප්‍රගමනයට එය හේතු විය.

පුරා වසර 26 ක සේවයෙන් පසු විශ්‍රාමික වයස අනුව වැටුප් රහිතව සේවය කරන විටදී විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය පදවියක් සඳහා ආරාධනා ලැබුණෙන් 1976 දී එහි වැඩම කළේ තම ගුරු දේවයන් වහන්සේගේ ගුරුබිම වූ එම ආයතනයට සේවයක් සැලසීමේ උදාර අදහස ඇතිවය. වසර 25 කට ආසන්න කාලයක් තම සේවය විද්‍යෝදය පිරිවෙන වෙනුවෙන් ලබාදුන් නාහිමිපාණන් ඒ තුළින් ලැබුවේ ඉමහත් ආස්වාදයකි. යථෝක්ත සේවයට ගරුකිරීමක් ලෙස විද්‍යෝදය පිරිවෙනේ උපප්‍රධානාචාර්ය ධූරයෙන්ද නාහිමිපාණෝ පිදුම් ලැබූහ.

නාහිමියන් ලැබූ ශාසනික පදවි පිළිබඳ අවධානය යොමු කිරීමේදී 1969 වර්ෂය සුවිශේෂ වෙයි. එම වසරේදී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ බෙන්තර විහාර පාර්ශ්වයෙන් කාරක සභික ධූරයට තේරි පත්වීම ශාසනික ජීවිතයේ සුවිශේෂී කඩඉමකි. තමන්ට පැවරෙන වගකීම තම යුතුකමක් සේ සලකා කලට වේලාවට වැඩකරන නාහිමියන් කෙරෙහි පැහැදුණු උත්තරීතර සංඝ සභාව මුන්වහන්සේට සංඝනායක ධූරයක් පිරිනැමීමට කතිකා කළේය. ඒ අනුව 1985 දී බෙන්තර විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ නාහිමිපාණෝ තමන් වහන්සේ කෙරෙහි සංඝ සභාව දක්වන සැලකිල්ල හා ගෞරවය මධ්‍යස්ථව විඳ දරාගත්හ.

1999 දී බෙල්ලන ශ්‍රී ඤාණවිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධූරයට පත්වීම නා හිමියන්ගේ ශාසනික දිවිමගේ සන්ධිස්ථානයකි.

බෙල්ලන අනුනාහිමියන්ට එම පදවියට මාස කිහිපයකින් සමු දෙන්නට සිදුවූයේ.අතිගරු දේව හන්දියේ ශ්‍රී සද්ධාතිස්ස මහා නාහිමිපාණන් අපවත් වීමෙන් පුරප්පාඩු වූ උතුම් මහානායක පදවිය සඳහා රාජ්‍ය වර්ෂ 2000 - 02 -26 දින අප නාහිමියන් ඒකච්ඡන්දයෙන් තෝරාපත් කර ගැනීම හේතුවෙනි. ඒ අනුව කෝට්ටේ ශ්‍රී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ පදවිප්‍රාප්ත 11 වන මහනා හිමිපාණෝ අප කථානායකයාණන් වහන්සේය. නවක කර්මවාගාචාර්යවරයෙකු ලෙස 1969 දී සංඝ සභාවට තේරී පත්වී මහානායක පදවිය ලැබීම දක්වා බොහෝ පදවි තනතුරු බෙල්ලන නාහිමිපාණන්ට ලැබුණේ උන්වහන්සේ සංඝ සභාව ඉටුකළ අනූපමේය සේවය නිසාය.

සහජයෙන්ම ගැටලුවලට මුහුණදීමේ හා ගැටළු විසඳීමේ ශක්තිය ඇති මහා නාහිමිපාණන් වහන්සේ සංඝ සභාවේ විනිශ්චකාරක සභාවේ කටයුතු මෙහෙයවමින් සංඝ සභාවත් භික්‍ෂූන් වහන්සේත් රැක ගැනීමට මහත් වෙහෙසක් ගෙන කටයුතු කළ බව ගෞරව පූර්වකව සිහිපත් කළ යුතුය. සියම් නිකායේ කතිකාවත සකස් කිරීමට පත් කළ කොමිටියට කෝට්ටේ සංඝ සභාව නියෝජනය කරමින් සහභාගි වූ ධර්ම විනයධර හිමිවරුන් අතර බෙල්ලන ශ්‍රී ඤාණවිමල නාහිමියෝද වූහ. භික්‍ෂූන් අතර ඇතිවන ආරවුල් ශාසන සම්ප්‍රදාය තුළම යුක්ති සහගතව විසඳා ගැනීමට අදාළ සංඝාධිකරණ පනත සකස් කිරීමටද කෝට්ටේ සංඝ සභාව නියෝජනය කරමින් බෙල්ලන නාහිමියෝ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළහ.

සංඝ සභාවේ පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා පත්කළ ව්‍යවස්ථා මණ්ඩලයේද ගෞරවාන්විත කාර්ය භාරයක් නාහිමියන් අතින් ඉටුවිය.එපමණක් නොව මහානායක මාහිමිපාණන් වහන්සේට විවිධ අවස්ථාවලදී උපදෙස් දීමට පත්කර තිබූ මහානායක උපදේශක සභාවේ කටයුතු කිරීමටද අප නාහිමිපාණන්ට එකල අවස්ථාව සැලසිණි. මෙවන් අනූපමේය ශාසනික මෙහෙවරක් සංඝ සභාව වෙනුවෙන් උන් වහන්සේට කළ හැකි වුයේ උන් වහන්සේ තුළ පවතින බහුශ්‍රැතභාවයත් කැපවීමත් නිසාය.

නාහිමිපාණෝ පෙර පටන්ම ගතානුගතික රාමුව තුළ සිරවී සිටින්නට පි‍්‍රය නොකළහ. අලුතින් යමක් සිතා අලුත් යමක් කරන්නට උන්වහන්සේ නිතරම උත්සාහ කරති. සංඝ සභාවට ඇතුලු වූ පසු එම ප්‍රතිසංස්කරණ වාදී සිතිවිලි දළුලා වැඩෙන්නට විය. භික්‍ෂූන් වහන්සේලාගෙන් ලැබිය යුතු නියම සේවය ලබා ගැනීමට නම් පවතින ගතානුගතික රාමුවෙන් පිටට ගෙනගොස් වඩාත් උචිත ප්‍රජාතාන්ත්‍රීය හා සාංඝික ක්‍රම ප්‍රතිපදාවක් සකස් කර ගත යුතුය යන්න නාහිමිපාණන් වහන්සේ ගේ අදහස විය. බොහෝ වාද විවාද සංවාද සාකච්ඡාවලින් පසුව උන්වහන්සේගේ සංකල්ප ක්‍රියාවට නැංවිණි. මහානායක පදවියට පත්ව සිටියදී පවා උන්වහන්සේගේ ප්‍රතිසංස්කරණවාදී සංකල්ප වෙනස් වී නැත.මේ සියලු ප්‍රතිසංස්කරණ වලින් උන්වහන්සේ අදහස් කරන්නේ භික්‍ෂුන් වහන්සේගේ සේවය සංඝ සභාවටත් ශාසනයටත් අර්ථවත් ලෙස හා ඵලදායි ලෙස ලබා ගැනීමටය.

අප මහා නා හිමිපාණන් වහන්සේගේ ජීවිතයේ සොඳුරු පැතිකඩ ග්‍රන්ථ කරණය යැයි කීවොත් මහා නාහිමියන්ද එය අනුමත කරනු නොඅනුමානය. ග්‍රන්ථකරණයේදී අතිගරු මහා නාහිමිපාණන් වහන්සේ දැක්වූයේ අපූර්ව ප්‍රතිභාවකි. අග්‍රගණ්‍ය කුසලතාවයකි. විෂය ක්‍ෂේත්‍රයේ කොටු නොවී විවිධ විෂයන් අළලා ආරාධිතව හෝ අනාරාධිතව සිංහල, පාලි, සංස්කෘත, ඉංගී‍්‍රසි, හින්දි වැනි භාෂාවලින් ග්‍රන්ථ හා ලිපි රාශියක් පළකොට ඇත. මහා නාහිමියන් ගේ ශාස්ත්‍රීය ග්‍රන්ථ කරණයේ සුවිශේෂී මතක සටහන් අතර

ජීවන රටාව හා සසර පැවැත්ම (1992) පෙනෙන ලොව තුළ නොපෙනෙන ලොවක් (1998) මනස සරුකරන දැහැමි සිතිවිලි (1999) සංස්කෘත ශබ්දාර්ථාවය (1999) විශ්මිත විශ්වය සිසාරා (2000) ආදි ග්‍රන්ථ හැඳින්විය හැකිය විවිධ සඟරා හා පුවත්පත් සඳහා සැපයූ ශාස්තී‍්‍රය ලිපි සංඛ්‍යාව දහස් ගණනකි.මෙහිදී සඳහන් කළ යුතුම කරුණකි.එනම් මෙසේ රචිත ග්‍රන්ථයන්ගේ කර්තෘ භාගය ලෙස යම් මුදලක් ලැබෙතොත් මහා නාහිමියන් අදටද ඒ මුදල වැය කරන්නේ අසරණ පවුලකට නිවසක් සාදා දීම වෙනුවෙන්ය. මේ වන විට එසේ සාදා පරිත්‍යාග කළ නිවාස සංඛ්‍යාව 15 කි.නාහිමියන්ගේ ශාස්ත්‍රීය , ආගමික සහ ජාතික වශයෙන් සිදුකළ අමිල මෙහෙවරට උපහාර වශයෙන් 2004 අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්‍ෂු විශ්ව විද්‍යාලය මගින් මහානායක මාහිමිපාණන් වහන්සේට සාහිත්‍යශූරී උපාධිය(D.Lit) පිරිනැමීමද විශේෂ සිදුවීමකි. මහා නාහිමියෝ ස්වකීය හඳුන්වා ගැනීමක් පිණිස භාවිතා නොකළ අප්‍රකට තනතුරු තානාන්තර රාශියකි. ශ්‍රී ලංකා ආයුර්වේද සභාවේ වෛද්‍ය නොවන සාමාජික ධූරය අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ශාඛාවේ පිරිවෙන් අධ්‍යාපන සංස්කරණ කමිටුවේ සාමාජික ධූරය බුද්ධ ශාසන ජනාධිපති කොමිසන් සභාවේ සභාපති ධූරය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ බෞද්ධ උපදේශක මණ්ඩලයේ සාමාජික ධූරය ප්‍රාචීන භාෂොපකාර සමාගමේ කාරක සභික මහාවංශ සම්පාදක මණ්ඩලයේ ප්‍රධාන කර්තෘ (1956 - 1957) ආදිය ඉන් කිහිපයකි. මෙතෙක් සඳහන් කළේ අප නාහිමිපාණන් ගේ ලෝක ශාසනික හා සාහිත්‍යයික සේවා වේ. සංක්‍ෂිප්තයක් පමණි. උන් වහන්සේගේ ලෝක සාසනික සේවයට දෙස් විදෙස් වලින් ලැබෙන ගෞරව සම්මාන දෙස බලන විට ඒ බව මනාව විද්‍යාමාන වෙයි.

එයට ආසන්නම සිදුවීම නම් මියන්මාර් ජනරජය මගින් මහා නාහිමිපාණන් අග්ගමහා පණ්ඩිත උපාධියෙන් පුදනු ලැබීමයි. අතිගරු මහා නාහිමියන්ට මේ බව සැලකළ මොහොතේ උන් වහන්සේ සුපුරුදු සිනහව කට කොනකට නංවා ගත්තා මිස මුවින් වදනකුදු පිට නොකළේය. වසර ගණනක පටන් මහා නාහිමියන්ගේ උපස්ථායකව සිටීමට පුණ්‍යවන්ත වූ මමද උන්වහන්සේගෙන් ඊට වඩා ප්‍රතිචාරයක් බලාපොරොත්තු නොවීමි. එයට හේතුව මහා නාහිමියන් කෙදිනකවත් අටලෝ දහමින් කම් පා නොවූන බවත් නොවන බවත් මා දන්නා නිසාය. අතිගරු මහා නාහිමියන්ගේ ජිවන මග දෙස පුනරාවර්ජනය කිරීමේදී පැහැදිලි වන අන්දමට කිසිවිටෙකත් නාහිමියෝ තනතුර හේතුවෙන් බැබලීමට උත්සාහ නොගත්හ. තමන් වහන්සේ නිසා තනතුර බැබළවීමට වගබලා ගත්හ. තම දිවිමගේ අනූවැනි වියද ඉක්මවා සිටින අප මහා නාහිමිපාණන් වහන්සේ තවමත් අප්‍රමාදීව ලෝ සසුන් වැඩ පිණිස කටයුතු කරනු දැක්ම. සාසනාභිවෘද්ධිය කැමති වන්නන්ගේ චිත්ත පී‍්‍රතියට හේතුවනු නොඅනුමානය.

“යම් භික්‍ෂු නමක් මුඛ සංවරයෙන් යුක්තද නුවණින් දැන කතාකරණ සුලු වූයේද , සන්සුන් සිත් ඇත්තේවේ අර්ථයත් ධර්මයත් මනාව ප්‍රකාශ කරයිද උන් වහන්සේගේ වචනය මධුරය”කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක අග්ගමහා පණ්ඩිත බෙල්ලන ශ්‍රී ඤාණවිමලාභිධාන අතිපූජ්‍ය මහා නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් සුව හා චිරජීවනය සැලසේවා.

ශුද්ධ වෙසක් අමාවක පෝය

ශුද්ධ වෙසක් අමාවක පෝයජුනි මස 11 වනදා සිකුරාදා අපර භාග 06.34 ට ලබයි. 12 වනදා සෙනසුරාදා අපර භාග 04.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 12 වනදා සෙනසුරාදාය. මීළඟ පෝය
ජුනි මස 19 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජුනි 12

First Quarterපුර අටවක

ජුනි 19

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]