UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෝධිසත්ව සංකල්පය

බෝධි සත්වයා යනු නිවන සාරය කොටගත් තැනැත්තා ය. සාරය ඇත්තේ නිවනෙහිය. නිවනේ සාරය නම් මහා කරුණාව හා මහා ප්‍රඥාවයි. නිවනේ සාරය වන කරුණා හා ප්‍රඥා දෙකින් යුත් තැනැත්තා බෝධි සත්වයා නම් වෙයි. මේ අනුව බෝධි සත්වයකු සතු ප්‍රමුඛ ගුණාංග දෙකකි. එනම් කරුණාව හා ප්‍රඥාවයි. බෝධි සත්වයකු තුළ මේ ගුණ ධර්ම දෙකම සමානව පවතී.

මහායානිකයෝ යානත්‍රයක් නොපිළිගනිති. සත්‍යාවබෝධය කිරීමට ඇති එකම මාර්ගය බෝධි සත්වයකු වී බුද්ධත්වය අවබෝධ කර ගැනීමයි. ඒ අනුව සෑම සත්වයකුම බෝධිසත්වයෙක් විය යුතුය. බෝධි සත්වයානය මහායානයේ කේන්ද්‍රීය ඉගැන්වීමකි. බුද්ධ යානය සඳහා පුද්ගලයා වඩන ප්‍රතිපදාව බෝධි සත්ව යානයයි. බෝධිසත්ව යානය හෙවත් බුද්ධ යානය සත්‍යාවබෝධයට එකම මඟ හැටියට ඒකයානය ලෙස හැඳින්වේ. එකම යානය නම් වූ බුද්ධඥානයෙන් සත්වයා විමුක්තියට පමුණුවන හෙයින් මෙම සුවිසල් යානය මහායානය යනුවෙන් හැඳින්වේ. බෝධිසත්ව යානය මූලික මහායාන සම්ප්‍රදායන් දෙකම අවිවාදයෙන් පිළිගනු ලබයි.

බෝධි යනු නිවනයි. බෝධි සත්වයා යනු නිවන සාරය කොටගත් තැනැත්තාය යන අදහස දෙයි. සාරය ඇත්තේ නිවනෙහිය. නිවනේ සාරය නම් මහා කරුණාව හා මහා ප්‍රඥාවයි. නිවනේ සාරය වන කරුණා හා ප්‍රඥා දෙකින් යුත් තැනැත්තා බෝධි සත්වයා නම් වෙයි. මේ අනුව බෝධි සත්වයකු සතු ප්‍රමුඛ ගුණාංග දෙකකි. එනම් කරුණාව හා ප්‍රඥාවයි. බෝධි සත්වයකු තුළ මේ ගුණ ධර්ම දෙකම සමානව පවතී. බෝධිසත්ව චරණය තුළ කරුණාවෙන් තොරව ප්‍රඥාවකුත් , ප්‍රඥාවෙන් තොර කරුණාවකුත් අර්ථවත් කළ නොහැකිය. කරුණාව අර්ථවත් වන්නේ ප්‍රඥාවෙනි. ප්‍රඥාව කරුණාවෙන් වඩ වඩා දීප්තිමත් වනු ඇත. එකකින් අනෙක උද්දීපනය කරයි. කරුණා ප්‍රඥා දෙකේ පරිපූර්ණතාව පුද්ගලයකු තුළ පවතී නම් ඔහු බෝධි සත්ව නමින් හැඳීන්විය හැකිය. කරුණාව යනු බෝධි සත්වවරයා සකල සත්වයන් කෙරෙහි ප්‍රගුණ කළ යුතු ආකල්පයයි. සකල සත්වයන් නම් කාම , රූප, අරූප යන ලෝකත්‍රයේ වාසය කරන සියලු සත්ව ප්‍රජාවයි. සියලු සතුන් කෙරෙහි බෝධිසත්වවරයා අනන්ත අපරිමිත කරුණාවක් දැක්විය යුතුය. බෝධි සත්ව වරයෙකු වීම පිණිස බෝධී චිත්තය උපදනා මොහොතේ එම බෝධි සත්වවරයා තමාටම ප්‍රතිඥාවක් දෙනු ලබයි. එම ප්‍රඥාවෙන් බෝධිසත්ව වරයාගේ් කරුණාව ප්‍රකට වේ. එම ප්‍ර‍්‍රතිඥාව නම්.

“යම්තාක් තුන්ලෝක ධාතුවේ සත්වයෝ සිටිත්ද අණ්ඩජ වේවා, ජලාබුජ වේවා, සංසේසජ වේවා, ඕපපාතික වේවා, දුරස්ථ වේවා, සමීපස්ථ වේවා, හීන වේවා,උත්කෘෂ්ඨ වේවා, ඕලාරික වේවා, සූක්‍ෂ්ම වේවා, මහත් වේවා, කුඩා වේවා, ඒ සියලුම සත්වයන්, දුකින් එතෙර කරන තුරු මම මගේ නිර්වාණප්‍රාප්තිය ප්‍රමාද කරමි “

මෙසේ තුන්ලෝක ධාතුවෙහි වෙසෙන සියලු සත්වයන් කෙරෙහි අනන්ත අපරිමිත කරුණාව දැක්වීම අර්ථවත් කළ හැක්කේ සත්ව සංඥාවෙන් තොරව කරුණාව දැක්වීම තුළිනි. එනම් මෙයින් අදහස් කරන්නේ ප්‍රඥාවෙන් යුතුව කරුණාව දැක්වීමයි. ප්‍රඥාවෙන් යුතුව කරුණාව දැක්වීම යනු යථාර්ථය (ශූන්‍යතාව, චිත්ත මාත්‍රතාව ) ප්‍රඥාවෙන් දැක යථාර්ථය පිළිබඳ ප්‍රඥාව ප්‍රගුණ කරමින් කරුණාව දැක්වීමයි. යථාර්ථය නම් සංඛත ධර්මයන් ඇති සැටියෙන් දැකීමයි. එනම් සත්ව පුද්ගල ජීව ආත්ම ස්කන්ධ , ධාතු, ආයතන ආදී සියල්ල ශූන්‍ය ලෙසින් හෝ චිත්තමාත්‍ර ලෙසින් සලකා ගැනීමයි. එනම් පුද්ගල හෝ ධර්ම හෝ ස්වාධීන ස්වෛරී , ස්වතන්ත්‍ර , ධර්ම පරමාර්ථ ලෙසින් නොසලකා ගැනීමයි. මාධ්‍යාමිකයන්ට අනුව සියල්ල අන්‍යෝන්‍ය උපකාරිත්වයෙන් සාපේක්‍ෂ ලෙසින් හෙවත් ශූ®න්‍යතාවෙන් යුක්ත බව තේරුම් ගැනීමයි. එනම් පුද්ගල මෙන්ම ධර්මද නෛරාත්ම්‍ය ලෙසින් සලකා ගැනීමයි. යෝගාවචර සම්ප්‍රදායට අනුව සත්ව පුද්ගල ජීව ආත්ම යන සියල්ල චිත්තමාත්‍ර ලෙසින් සලකා ගැනීම “ ප්‍රඥාවයි “ සත්ව සංඥාවෙන් තොරව සකල සත්වයන් කෙරෙහි අනන්ත අපරිමිත කරුණාව දැක්විය හැක්කේ මෙසේ ශූ®න්‍යතා ලෙසින් හෝ චිත්තමාත්‍රාග ලෙසින් ලෝකය දෙස බැලීම මගිනි. ඒ අනුව යමෙකු තුළ පුද්ගල සංඥාව හා සත්ව සංඥාව ජීව සංඥාව හෝ ආත්ම සංඥාව හෝ ධර්ම සංඥාව හෝ පවතී නම් ඔහු බෝධි සත්වයෙකි යි නොකිය යුතු බව මහායාන දර්ශනයෙහි විස්තර කෙරේ.

“බෝධිසෙත්‍ථා වකතව්‍යො යෂ්‍ය පුද්ගල සංඥාව සත්ව සංඥාව ජිව සංඥාව, ආත්ම සංඥාව , ධර්ම සංඥාව , ප්‍රවර්ත්තෙ “

එහෙයින් බෝධි සත්වයෙකු වීමට පුද්ගල ජීව, ආත්ම ධර්ම, සංඥා නොතිබිය යුතුය.එනම් යථාර්ථය ඇති සැටියෙන් අවබෝධ කළ යුතුය. එය ප්‍රඥාව නමින් හැඳීන්වේ. යථාර්ථය මෙසේ දැක්වීම තුළින්ම පමණක් සත්වයා කෙරෙහි අනන්ත, අපරිමිත , කරුණාවක් දැක්විය හැකිය.බෝධි සත්ව වරයා සත්ව සංඥාවෙන් තොර නොවුණහොත් ඇලීම්, බැඳීම් ඇතිවේ. බෝධි සත්වවරයා තමා පිළිබඳව වුවද සත්ව සංඥාාවෙන් තොර විය යුතුය. එසේ නොවුවහොත් බෝධිසත්වවරයාගේ ස්වාර්ථය අර්ථවත් නොවේ. සෙසු සත්වයන් කෙරෙහි සත්ථ සංඥාවෙන් තොර වුවහොත් පරාර්ථය අර්ථවත් නොවේ. එසේ නම් බෝධිසත්වයා යනු උභයාර්ථ සිද්ධ කරන්නේය.

ියලු සත්වයන් කෙරෙහි අපරිමිත කරුණාව දක්වන බව ශාන්තදේව හිමිගේ බෝධිචරියාවතාරය මොනවට කරුණු පැහැදිලි කරයි.

බෝධිසත්වවරයා තමාට අපකාර කළවුනට පවා සිය සිරුරෙහි අත් පා ආදිය සිඳ දෙයි. ඔවුන් ගලවනු පිණිස අවීචියට පවා පිවිසෙයි. සියලු සත්වයන්ගේ අර්ථය පිණිස සියලු ආත්ම භාවයන්ද උපභෝග , පරිභෝග වස්තූ®න්ද කාලත්‍රයේ කුසල්ද අපේක්‍ෂා රහිතව පරිත්‍යාග කරයි.
(03.10 පරි: බෝධිචරියාවතාරය)

බෝධිසත්වවරයාගේ ප්‍රාර්ථනය යම්තාක් අහස පවතීද ලෝකය පවතීද ඒතාක් ලෝකයාගේ දුක් ඉවසන මාගේ පැවැත්ම වෙත්වා යන්නයි. මෙයින් පැහැදිලි වන්නේ බෝධිසත්වවරයාගේ කරුණාවයි.අප්‍රමාණ සත්වයන් සසර දුක් විඳිද්දී ආත්මාර්ථ මෝක්‍ෂයක් සෙවීම සඳහා වෙහෙසෙන හීනයානිකයනට ඔවුහු දොස් පවරති. ඔවුන්ට අනුව හීනයානිකයන් කාරණාව ප්‍රගුණ නොකරයි.

මෙහිදී රහත් නොවූ පුද්ගලයකු බෝධි සත්වයන් අනෙක් සත්වයන් නිවනට යොමු කරන්නේ කෙසේද? යන්න පිළිබඳ ප්‍රශ්නයක් පැන නගී. මහායානිකයන්ට අනුව බෝධිසත්වරුන් පංච නීවරණ යටපත් කොට කරුණාව , ප්‍රඥාව , සාරය ලෙස ගෙන ඇති නිසා ඔවුන්ට අන් අයට මඟ පෙන්වීමේ හැකියාව ඇත.බෝධි සත්වවරවයාට අවශ්‍ය ඕනෑම විටෙකදී නිර්වාණය ලැබිය හැකිය. මෙම බෝධිසත්වරයාට නිවන් අවබෝධ කිරීම සඳහා වනගත වී බවුන් වැඩීම, ශූ®න්‍යාගාර ගතවීම් අවශ්‍ය නොවනු ඇත. සියල්ල යථාර්ථය (ශූන්‍යතාව චිත්ත මාත්‍රතාව ) වශයෙනි. ඔවුහු අවබෝධ කොට ඇති හෙයින් මිනිසුන් අධික කරදර සහිත තැන්ද ශූන්‍යාගාර අරණ්‍යයද යන මේවායෙහි ඔහුට වෙනසක් නැහැ.

මෙම බෝධිසත්වවරයා සසර මැරි මැරී ඉපදුනද ඔහුගේ බෝධිසාරය විනාශ නොවේ.

බෝධිසත්වවරයා පාරමිතා 06 ක් හෝ 10 ක් ප්‍රගුණ කරයි. විශේෂයෙන් මහායානය තුළ සැලකෙන්නේ පාරමිතා 06 කි. ඒවා දාන, ශීල, ක්‍ෂාන්ති, වීර්ය , ධ්‍යාන , ප්‍රඥා නමින් හැඳීන්වේ. මෙම ෂට් පාරමිතාවෙන් ප්‍රකට වන්නේ බෝධිසත්වරයාගේ කරණාව හා ප්‍රඥාවයි.

මහායාන බෝධිසත්ව දර්ශනය හා චරණය තුළ ප්‍රඥා පාරමිතාවට හිමි වන්නේ ප්‍රමුඛතාවකි. මහායානයේ ආරම්භක මූලික වෛපුල්‍ය සූත්‍රවලින් පළමු වැන්නද අෂ්ට සහශි‍්‍රකා ප්‍රඥා පාරමිතා සූත්‍රයයි. එහි විස්තර වන්නේ ප්‍රඥා පාරමිතාවේ අගයයි. ප්‍රඥා පාරමිතාව නොමැති නම් අනෙක් පාරමිතාවන් පාරමිතා යන නමින් හැඳින්වීමට පවා නොහැකි බව එහි දක්වා තිබේ. එනම් අනෙක් පාරමිතා සියල්ලම ප්‍රඥා පාරමිතාවේම උපාංග වශයෙන් සලකා තිබේ. බෝධි සත්වවරයාගේ ප්‍රඥා පාරමිතාවේ අගය කෙතරම්ද යත් ප්‍රඥා පාරමිතා යනු බුද්ධත්වය බවත් බුදුවරයා හා ප්‍රඥා පාරමිතාව සමාන බවත්, ධර්මකාය යන්නෙන් හඳුන්වන්නේ එයම බවත් මහායානයේ විස්තරවේ. ප්‍රඥා පාරමිතාව පිළිපඳින ඉගැන්වීම මහායානය තුළ කෙතරම් ජනපි‍්‍රය වීද යත් අෂ්ට සහශි‍්‍රක ප්‍රඥා පාරමිතා සූත්‍රය මුල් කරගෙන තවත් සූත්‍ර ගණනාව රචනා වී ප්‍රඥා පාරමිතා සූත්‍ර සාහිත්‍යයක් ගොඩ නැගුණි. දස සහශි‍්‍රකා ප්‍රඥා පාරමිතා, අෂ්ටාදස සහශි‍්‍රකා , ප්‍රඥා පාරමිතා, පංච විංසති සහශි‍්‍රකා ප්‍රඥා පාරමිතා , සත සහශි‍්‍රකා, ප්‍රඥා පාරමිතා හෘදය සූත්‍ර ආදි සූත්‍ර ගණනාවක් මෙය මුල් කොට බිහි විය. නාගාර්ජුන වැනි දාර්ශනිකයෝ මේවාට අටුවා ග්‍රන්ථ රචනා කළහ.

මහායාන බෝධිසත්වවරයාගේ තවත් විශේෂ ලක්‍ෂණයක් වනුයේ පුණ්‍යා පූරිණාමනා හෙවත් චරියාපරිණා මනාවයි. මහායාන බෝධිසත්වවරයා අපේක්‍ෂා රහිතව සකල සත්ව වර්ගයාට පිහිටවීම් ආදි කරුණු කරන කොටගෙන පින් රැස් කරයි. එසේ අපේක්‍ෂා , රහිතව රැස්වන කුසල් ඔහු සකල සත්වයන් වෙත පිරිනැමීමට කටයුතු සලස්වන බව සඳහන් වේ.

 

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය ජූනි මස 4 වන දා සිකුරාදා අපරභාග 02.32 ට ලබයි. 5 වන දා සෙනසුරාදා අපරභාග 04.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 04 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය ජූනි 12 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 04

New Moonඅමාවක

ජුනි 12

First Quarterපුර අටවක

ජුනි 19

Full Moonපසෙලාස්වක

ජුනි 25

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]