UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

ශුද්ධ වෙසක් අව අටවක 2010.06.04

සංස්කෘතික විවිධත්වය

සංස්කෘතික විවිධත්වය තේරුම් ගැනීම හා ඊට ගරු කිරීම ශිෂ්ට මිනිසුන් ගේ ලක්‍ෂණයකි. එ පමණක් ද නො ව එය සියලු දෙනා ගේ යහපැවැත්මට අවශ්‍ය එක්තරා කොන්දේසියක් ලෙස ද සැලැකීමට පුළුවන. සංස්කෘතික විවිධත්වයෙහි අගය බොහෝ විට අවබෝධ වන්නේ ජාතීන් අතර ගැටුම් පවතින විට ය. එහෙත්, එ බඳු ගැටුමක් ඔස්සේ ලබන අවබෝධය සඳහා ගෙවිය යුතු මිල ඉතා අධික ය. ඒ සඳහා ගෙවිය යුතු මිල අනෙකක් නො ව මිනිස් රුධිරය යි.

මෙ සේ සංස්කෘතික විවිධත්වය නො සලකා ක්‍රියා කිරීම නිසා ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් වැළැක්වීම සඳහා පාකිස්ථාන රජයට පසුගිය දා මැදිහත් වීමට සිදු විය. එම සිදුවීම පිළිබඳ ව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා විසින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කරන ලදී. 2010 මැයි මස 25 වන දා දිනමිණ පත්‍රයේ පළ කළ එම නිවේදනයෙන් කොටසක් මෙහි උපුටා දක්වමු.

“ඉස්ලාම් භක්තිකයන් තම ආගමික ශාස්තෘවරයා වන නබි නායකතුමන් ගේ කවර ආකාරයේ හෝ රූප ප්‍රදර්ශනය අනුමත නො කරන්නකි. එ සේ තිබිය දී මෙම ෆේස්බුක් වෙබ් අඩවිය මඟින් ඇරියුම් කැර ඇත්තේ නබිනායක තුමන් රූපයට නඟන්නට ය. ඇමරිකානු ඉස්ලාමීය සබඳතා සභාව පෙන්වා දෙන්නේ මෙම ක්‍රියාදාමය පිටුපස මුස්ලිම් ප්‍රජාව අසමඟි කිරීමේ උත්සාහයක් ඇති බවයි. මෙ සේ නබිනායක තුමන් චිත්‍රයට නැඟීමේ අදහස ඉදිරිපත් ව ඇත්තේ ද එය ෆේස්බුක් මඟින් ප්‍රචාරය කැර ඇත්තේ ද ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන මුස්ලිම් ජාතික කාටුන් ශිල්පිනියක් ඇතුළු පිරිසක් විසිනි.”

“එදා යුදමය ආක්‍රමණවලින් රටවල් යටත් කැර ගත්තා සේ අද ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු අධිරාජ්‍යවාදී රටවල අලුත් ම උපක්‍රමය වී ඇත්තේ සංස්කෘතික ආක්‍රමණවලින් රටවල් යටත් කොට ගැනීම ය.”

මෙහි දී වෙනත් සංස්කෘතීන් අවබෝධ කැර ගැනීම හා සංස්කෘතික ආක්‍රමණය යන කරුණු වෙත අප ගේ අවධානය යොමු විය යුතු ය. ඒ සම්බන්ධයෙන් ආරියවංශ රණවීර විසින් කලකට පෙර සිළුමිණ පුවත්පතට ලියන ලද ‘සංස්කෘතිය හා ගොඩ්සිල්ලාකරණය නමැති ලිපිය මෙහි උපුටා දක්වමු.

‘ආචාර්ය රුවන් තිස්ස අබේරත්න මහතා සංස්කෘතික විවිධත්වය හා මිනිස් අයිතිවාසිකම් යන මැයෙන් සාරගර්භ ලිපියක් ඩේලිනිවුස් පත්‍රයට සම්පාදනය කර ඇත. එය ඇරැඹෙනුයේ එෆ්.ආර්. ස්කොට් නමැති කැනේඩියානු ජාතික කවියකු, බුරුමයට ගොස් ලද අත්දැකීමක් පාදක කරගෙන ලියන ලද රමණීය කවියකිනි.’

‘සංස්කෘතීන් දෙකක් මුහුණට මුහුණ හමුවීම සංකේතාකාරයෙන් පවසන මේ කවියේ එන ඇතුළු අරුත විග්‍රහ කරන ආචාර්ය අබේරත්න සිය ලිපියේ මෙ සේ පවසයි. මේ අවුලෙන් අවුලට පත්, අසමඟි සම්පන්න යුගයේ අවබෝධයෙන් හා ආදරයෙන් එකෙකා වැළඳ ගන්නේ කෙසේ ද? ස්කොට් පවසන්නේ නා නා සංස්කෘතීන් අතර මේ අවබෝධය ඇති කර ගත හැක්කේ, කොයි කවර සංස්කෘතියකින් පැන නැඟුන ද ඒ ඒ මිනිසාට ගෞරව කිරීමෙන් හා මිනිස් අභිමානයට හිස නැමීමෙන් බව ය. ස්කොට් ගේ කවියේ ප්‍රධාන පණිවිඩ තුනක් වෙයි. එ නම් අප අනෙක් සංස්කෘතීන් සමග සෘජු ව ම සබඳතා ඇති කර ගත යුතු ය. සබඳතා ඇති කර ගැනීම යනු හුදෙක් ඒ සංස්කෘතීන් ගැන දැනුමක් ලබා ගැනීම පමණක් නො වේ. ඒ වෙනස් සංස්කෘතියේ පවතින ආකල්පයන් හා ලෝකාවේක්‍ෂණයන් බෙදා හදා ගැනීමට ද එකඟ වීම යි.’

‘දෙවැනි ව අප අන්‍ය සංස්කෘතීන්ට අයත් ජනතාව ගෙන් ආශීර්වාද ලබා ගැනීමට තරම් නිහතමානී විය යුතු ය. විශේෂයෙන් ම තමන්ට වඩා දුබල අය ගෙන් මෙ සේ ආශීර්වාද ලබා ගැනීමට සූදානම් මනසක් ඇති කර ගත යුතු ය.’

‘ තුන්වැනි ව (මෙය වැදගත් ම පණිවිඩයයි) අප දණින් හිඳ අනෙක් සංස්කෘතීන් වෙත නෙත් මට්ටමට තබා ඒවා අවබෝධ කර ගත යුතු ය. විවිධ සංස්කෘතීන් අතර යථා අවබෝධය ලබා ගත හැක්කේ එ විට පමණි.’

ඉස්ලාම් ආගමට පටහැනි ව නබිනායක තුමා ගේ රුව චිත්‍රයට ඇඳීම සඳහා තරගයක් පැවැත්වීම ෆේස්බුක් වෙබ් අඩවියේ බලධාරීන් ගේ නොදැනුවත්කම නිසා සිදු වූවක් යැයි කිව නො හැකි ය. එහෙත් වෙනත් සංස්කෘතීන් පිළිබඳ ව නිසි අවබෝධයක් නොමැති කම නිසා අපගෙන් සිදුවන වැරැදි අපමණ ය. දකුණු ප්‍රදේශයේ ජනතාව උතුරේ සංචාරය කිරීමේ දී හින්දු භක්තිකයන් ගේ පූජනීය ස්ථානවල දී නිසි අවබෝධයකින් තොර ව හැසිරෙන බවට චෝදනාවක් එල්ල වී තිබේ. හුදු විනෝදය පිණිස මත්පැන් පානය කොට පූජනීය ස්ථාන කරා යෑම වරදක් බව සිංහල බෞද්ධයන්ට අමුතුවෙන් ඉගැන්විය යුතු නැත. එ සේ වූව ද එම වරද සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇතැයි පැවැසේ. ෆේස්බුක් වෙබ් අඩවියට මෙන් ක්‍ෂණික ප්‍රතිචාර නො ලැබුණ ද සංස්කෘතික රිදවීම් ඉතා භයානක ප්‍රතිඵල ගෙන දෙන්නකි.

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය ජූනි මස 4 වන දා සිකුරාදා අපරභාග 02.32 ට ලබයි. 5 වන දා සෙනසුරාදා අපරභාග 04.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 04 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය ජූනි 12 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 04

New Moonඅමාවක

ජුනි 12

First Quarterපුර අටවක

ජුනි 19

Full Moonපසෙලාස්වක

ජුනි 25

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]