UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ කොළඹ දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියෙන් සහ


කුඩාහීල්ලේ රතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

සිරි පඤ්ඤාලංකාර වංසාවතංස ත්‍රිපිටක ධර්ම සාහිත්‍ය විශාරද ගෞරව නාමයෙන් පිදුම් ලද

ශාස්ත්‍රවේදී කුඩාහීල්ලේ රතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිගැනීමේ උළෙල 6 වන දා

මට්ටක්කුලියේ ශ්‍රී කල්‍යාණි ගංගාරාමයේ දී

දුර්ලභ ගුරුවරයෙක්

මට්ටක්කුලිය ශ්‍රී කල්‍යාණි ගංගාරාමාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කුඩාහීල්ලේ රතන මා හිමිපාණන් වහන්සේට අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකාය මඟින් “ශ්‍රී පඤ්ඤාලංකාර වංශාවතංශ ත්‍රිපිටක ධර්ම සාහිත්‍ය විශාරද” යන ගෞරව නාමය සහිත “කොළඹ දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක “ පදවිය පිරිනැමීම නිමිත්තෙන් මාගේ ගෞරව සම්ප්‍රයුක්ත සතුට සහ සුභාශිංශනය මෙසේ ප්‍රකාශ කර සිටිමි. පින්වත්ත සද්ධර්මාකර පිරුවන්හි උන්වහන්සේගේ සෙවනේ මා උසස් අධ්‍යාපනය ලබන අවධියේ බුද්ධ ධර්ම විෂයෙහි උන්වහන්සේ තුළ පැවැති නිරවුල් අවබෝධය අපට ශිෂ්‍යයින් වශයෙන් මහත් පිටුබලයක් විය. බුද්ධ ධර්මය ඉගැන්වීමේ දී ගැඹුරු විෂයය ඉතාම සරල සහ සිත් ගන්නා අයුරින් ඉගැන්වීමට සමත් වූ දුර්ලභ ගුරුවරයෙකි. එපමණක් නොව උන්වහන්සේගෙන් අපට දායාද වූ විනය ගරුක බව හා සරල ජීවිතය අදද අපගේ ජීවිතයට ඉමහත් පිටුවහලක් වී ඇති බව සිහිපත් කරනුයේ ඉතාම නිහතමානීවය. උන්වහන්සේ ගුරුවරයකු තුළ අනිවාර්යයෙන්ම තිබිය යුතුවූ කරුණාව, දයාව වැනි උතුම් ගුණාංග හේතුවෙන් ශිෂ්‍යයින් අතරේ වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ ගුරුවරයකු බවද මේ මොහොතේ සඳහන් කළ යුතු විශේෂ කරුණකි. පූජ්‍යපාද කුඩාහීල්ලේ රතන හිමිපාණන්ට තෙරුවන් සරණින් දීර්ඝායුෂද නිදුක් නීරෝගී සුවයද ලැබී තව බොහෝ කලක් ලෝක ශාසනික සේවයක් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි මහත් භක්ත්‍යාදරයෙන් යුතුව ප්‍රාර්ථනා කරමි.


සසුන් මෙහෙවරට උපහාරයකි

සම්බුදු සසුනේ චිර පැවැත්මට හේතු වන්නේ සුපේසල, ශික්‍ෂාකාමී, ගුණයන්ගෙන් පිරිපුන් බුද්ධ පුත්‍රයන් වහන්සේ ය. එවන් භික්‍ෂූන් වහන්සේගේ අවශ්‍යතාවය අද්‍යතන සමාජයට වඩ වඩාත් දැනේ.

එනම් වර්තමාන බෞද්ධයා දෘෂ්‍යමාන හා අදෘෂ්‍යමාන බලවේගයන් ට නොදැනුවත්වම ගොදුරු වන තත්ත්වයක් උදා වී තිබීමයි. එබැවින් වර්තමාන භික්‍ෂූන් වහන්සේලා වෙනදාටත් වඩා ශාසනය කෙරෙහිත්, ගිහි සමාජය කෙරෙහිත්, විශේෂ අවධානයකින් සිටිය යුතු ය.

එවන් උතුම් හැඟීමකින් කටයුතු කරන මට්ටක්කුලිය ශ්‍රී කල්‍යාණි ගංගාරාමාධිපති, ශාස්ත්‍රවේදී කුඩාහීල්ලේ රතන ස්ථවිරයන් වහන්සේගේ පැවිදි ජීවිතය ආදර්ශ සම්පන්නය.

1978.07.16 දින කුඩා කුටියකින් ඇරැඹි ශ්‍රී කල්‍යාණි ගංගාරාමය අද ප්‍රදේශයේ බෞද්ධ අබෞද්ධ කාගේත් නෙත් සිත් පිනවන දර්ශනීය විහාරස්ථානයක් බවට පත් වූයේ උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නිසාමය.

බහුතර ආගමික පරිසරයක බෞද්ධ ප්‍රබෝධය ඇති කරවමින්, උන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වය මත ඊට සරිලන ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා ද සිටීම ප්‍රසාදයට පාත්‍ර විය යුතු කරුණකි.

සසුන බැබළවීමට භික්‍ෂුවක් ඇතිකරගත යුතු “ව්‍යක්ත විනීත විශාරද, බහුශ්‍රත, ධර්මධර, ධර්මානුධර්ම, ප්‍රතිපන්න” ගුණවලින් හෙබි රතන නායක ස්ථවිරපාදයන් වහන්සේට අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය මඟින් ප්‍රදානය කරන ලද ‘කොළඹ දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය උන්වහන්සේගේ අත්‍යුදාර සේවයට උපහාරයකි.

තවදුරටත් මෙම ශාසනික සේවය සිදු කිරීමට උන්වහන්සේට ආයුරාරෝග්‍ය සම්පත්තිය ලැබේවායී මෙත්සිතින් ආශිංසනය කරම්හ.


අගය කළ යුතු කාලෝචිත ක්‍රියාවකි

මට්ටක්කුලිය ශ්‍රී කල්‍යාණි ගංගාරාම විහාරාධිපති කුඩාහීල්ලේ රතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය මඟින් කොළඹ දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය පිරිනැමීම නිමිත්තෙන් සුබ පතන්නට අවස්ථාවක් ලැබීම අතිශය භාග්‍යයක් කොට සලකමි.ජාතික, ආගමික, සාමාජික ආදී විවිධ සේවාවන්හි නිරත වන භික්‍ෂූන් වහන්සේලාගේ එම සේවාවන් අගය කරමින් විවිධ තනතුරු පිරිනැමීම අගය කළ යුතු කාලෝචිත ක්‍රියාවකි. බුද්ධ කාලයේ ද ශාසනාභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ භික්‍ෂූන් වහන්සේලා උදෙසා විවිධ තනතුරු පිරිනැමූ අවස්ථා දක්නට ලැබේ. කුඩාහීල්ලේ රතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ තම පැවිදි ජීවිතය තුළ දී ජාතික, ආගමික, සාමාජික ආදී විවිධ අංශයන්ගෙන් සිදු කර ඇති සේවය සුළු පටු නොවේ. වර්තමානයේ තම අධිපතිත්වය හොබවන කොළඹ 15, මට්ටක්කුලිය ශ්‍රී කල්‍යාණි ගංගාරාම විහාරස්ථානය ආරම්භ කොට විහාරාංග සම්පූර්ණත්වයට පත් කිරීමට පමණක් නොව උන්වහන්සේ “ශ්‍රී කල්‍යාණි ගංගාරාමපුර” යනුවෙන් නිවාස සංකීර්ණයක් ආරම්භකොට එම ප්‍රදේශයට අවශ්‍ය ජලය, විදුලිය, දුරකථන, මාර්ග පහසුකම් ආදිය ලබාදීමට මූලික වී ක්‍රියා කළහ. තම විහාරස්ථානයේ දහම් පාසලක් ආරම්භ කොට පවත්වාගෙන යාම, පෙර පාසල් ආරම්භ කොට පවත්වාගෙන යාම, සෑම මසකම වෛද්‍ය කඳවුරක් පවත්වාගෙන යාම, දිළිඳු පවුල් සඳහා ආහාර පාර්සල් බෙදාදීම ආදී සිදු කරන සේවා සැමගේ ප්‍රසාදයට ලක්විය යුතු ය. එසේම උතුරු කොළඹ ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය කරපුටුගල රේවත ස්වාමීන් වහන්සේ වැනි වැදගත් ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා කිහිප නමක්ම සසුනට දායාද කර තිබීම ද උන්වහන්සේ සිදු කර ඇති කැපී පෙනෙන සේවාවකි.


සමාජ සේවයට කැප වුණා

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අතිපූජ්‍ය මහා නායක ධුරය හෙබවූ මාපලානේ සිරි පඤ්ඤාලංකාර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස 1950 ජූලි 28 දින ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත් වූ කුඩාහීල්ලේ රතන ආයුෂ්මතුන් වහන්සේ පානදුර පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙණින් අධ්‍යාපනය ලබා කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත් කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමාවත් ලබා තමා අධ්‍යාපනය ලැබූ සද්ධර්මාකර පිරිවෙණේම ආචාර්ය ධුරයට පත්වීමට තරම් භාග්‍යයක් උදාකරගත්හ.

රාජකීය පණ්ඩිත පින්වත්තේ ශ්‍රී දේවානන්ද අධිකරණ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආශීර්වාදය හැම විටම ලත් රතන ස්ථවිරයන් වහන්සේ වසර තිහක් පමණ කාලයක් එම පිරිවෙණේම ආචාර්යවරයෙකු වශයෙන් ආචාර්ය ශිෂ්‍ය දෙපිරිසගේ සම්භාවනාවට ලක්ව ක්‍රියා කළහ. ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය හා ජනාධිපති ධුර දැරූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ හා කොළඹ මහ නගරාධිපති ධුරය දැරූ රත්නසිරි රාජපක්‍ෂ මහතාගේ ආශීර්වාදයට ලක් වූ රතන ස්ථවිරයන් වහන්සේ වෙත කොළඹ 15 මට්ටක්කුලිය ශ්‍රී කල්‍යාණී ගංගාරාමය ආරම්භ කිරීමට අතහිත දුන්හ.

විවිධ ජාතීන් හා විවිධ ආගම් අදහන සංකීර්ණ සමාජයක ජීවත්වන ප්‍රදේශයකට අත්‍යවශ්‍යව තිබූ ශ්‍රී කල්‍යාණි ගංගාරාමය ආරම්භ කිරීම තුළින් ප්‍රදේශයට අත් වූයේ මහත් භාග්‍යයකි.

ප්‍රදේශයට මිණිපහනක් වූ කුඩාහීල්ලේ රතන ස්ථවිරයන් වහන්සේගේ සංකල්පයක් අනුව පේ‍්‍රමදාස රජයේ පූර්ණ අනුග්‍රහය ලැබ ‘කල්‍යාණී ගංගාරාම පුර’ නමින් නිවාස යෝජනා ක්‍රමයක් ඇති කිරීම ප්‍රදේශයට ජලනල පද්ධති විදුලි හා දුරකථන පහසුකම් ලබාදීමෙහි දී මූලිකව ක්‍රියා කළේ රතන ස්ථවිරයන් වහන්සේ ය.

කල්‍යාණි ගංගාරාම පෙර පාසල ප්‍රදේශයේ දරුවන්ට මහත් ආශීර්වාදයකි. සරණ තරුණ සංවිධානයේ අනුශාසක ලෙස එමඟින් සිදු කරන සමාජ සේවා අතර වෛද්‍ය සායන පැවැත්වීම ආර්ථික අපහසුතා ඇති අයට වියළි ආහාර පාර්සල් වරින් වර බෙදාදීම ආදී සමාජ සත්කාරයේ දී ජාති ආගම් භේද නොසලකා සෑම දෙනා කෙරෙහි මෙත් සිතින් සිදු කරයි.

සිරි සරණ දහම් පාසල මඟින් සිදු කරන සේවයද අති විශිෂ්ටය.

හාරාංග ගොඩනැඟීමේදී ඒවායේ ඉතිහාසය පෙන්වාදීම සඳහා ප්‍රකාශයට පත්කර ඇති ග්‍රන්ථ ද අතිශයින්ම ප්‍රශංසනීය වේ. ඒවා අතර ස්තූප පුරාණය, ධර්මශාලා පුරාණය, දානශාලා පුරාණය හා විහාරස්ථානයේ රජත ජයන්තිය නිමිති කරගෙන ධර්ම ප්‍රභා නමින් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ද ප්‍රකාශයට පත් කර ඇත.

කුඩාහීල්ලේ රතන මහා ස්ථවිරයන් වහන්සේගේ ජාතික ආගමික අධ්‍යාපනික හා සමාජ මෙහෙවර ඇගයූ අප අමරපුර සිරි සද්ධම්ම වංස මහා නිකායේ ‘සුධර්මා’ කාරක සංඝ සභාව උන්වහන්සේට ‘සිරි පඤ්ඤලංකාර වංසාවතංස ත්‍රිපිටක ධර්ම සාහිත්‍ය විහාරද’ යන ගරු නාම සම්මුතිය සහිත කොළඹ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය පිරිනමා ඇත.

රතන නායක ස්ථවිරයන් වහන්සේට උපහාර පිණිස අද දින පැවැත්වෙන උත්සවයේදී ශිෂ්‍ය දායක කාරකාදීහු ‘කුඩාහීල්ලේ රතන නාහිමි අභිනන්දන’ නමින් සමරු කලාපයක් නිකුත් කිරීමට කටයුතු සලසා තිබීම ද සොම්නසට කරුණකි.

පින්වත්තේ පිරිවෙණේ ඉගෙනුම ලබන සමයේ අප ඇසුරෙන් ද අධ්‍යාපනය ලැබූ රතන නායක ස්ථවිරයන් වහන්සේට නිදුක් නිරෝගි සුවය හා දිගාසිරි සමග අපගේ හෘදයාංගම සුභාසිංසනය මෙයින් පිරිනමමි.


කරන වැඩවල වටිනාකම හෙළි කළා

මට්ටක්කුලිය ශ්‍රී කල්‍යාණි ගංගාරාමාධිපති ශාස්ත්‍රවේදී කුඩාහීල්ලේ රතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායෙන් කොළඹ දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියෙන් “ශ්‍රී පඤ්ඤාලංකාර වංසාවතංස ත්‍රිපිටක ධර්ම සාහිත්‍ය විශාරද” ගෞරව නාම සම්මුතිය සහිතව පිදුම් ලබති.

උන්වහන්සේ මට්ටක්කුලිය වැනි බහුජාතික, බහු ආගමික ප්‍රදේශයක විහාරස්ථානයක් පිහිටුවා විශාල සමාජ සහ ධර්මශාස්ත්‍රීය සේවාවක් සිදු කරති. ප්‍රදේශයේ ශ්‍රී කල්‍යාණි ගංගාරාමපුර නිවාස සංකීර්ණය පිහිටුවා අවශ්‍ය යටිතල පහසුකම් ලබාදී, මසකට වරක් වෛද්‍ය කඳවුරක් පවත්වමින්, ආහාර පාර්සල් ආදිය බෙදාදීම ජනහද දුක හඳුනාගෙන ලෞකික සුවපත් භාවය පතනුයේ සැබෑ බුද්ධපුත්‍රයන් වහන්සේ නමක් වශයෙනි. පුද්ගල පෞරුෂ සංවර්ධනයේ දී මනස මෙන්ම හදවත ද දියුණු කළ යුතු වෙයි. පෙර ළමා විය සහ පෙර යෞවන විය මෙයට සුදුසුම කාලයයි. එය හඳුනාගත් රතන නාහිමියෝ තම විහාරස්ථානයෙහි ශ්‍රී කල්‍යාණි පෙර පාසල සහ සිරි සරණ දහම් පාසල සාර්ථකව පවත්වා ගෙන යමින් ළමා හදවත් සදාචාරාත්මක ගුණ ධර්මවලින් පෝෂණය කිරීමේ ක්‍රියාවලියෙහි නිරතව සිටිති. එසේම උන්වහන්සේ තම විහාරස්ථානය පියවරෙන් පියවර ගොඩනඟමින් විහාරාංග සම්පූර්ණ කිරීමේ උදාර කාර්යයෙහි දී සුවිශේෂී වූ මෙහෙවරක් ද සිදු කර ඇත. එනම් කරනු ලබන කාර්යයෙහි ඓතිහාසිකමය වැදගත්කම සහ එහි ආනිසංස ශාස්ත්‍රීයමය වශයෙන් සමාජයට ඉදිරිපත් කිරීමයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉතා වැදගත් ශාස්ත්‍රීය ලිපි ඇතුළත් ‘ස්ථූප පුරාණය, ධර්මශාලා පුරාණය, දාන ශාලා පුරාණය, රශ්මි ප්‍රභා’ වැනි ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ සමූහයක් එළිදක්වා ඇත. මෙවන් නවමු නිමැවුම් සමාජයට දායාද කරමින් ආගමික හා සමාජ මහ මෙහෙවරක නියැලී සිටින ශාස්ත්‍රවේදී කුඩාහීල්ලේ රතන මාහිමියන්ට නිකායික වශයෙන් ගෞරව සම්මාන පුද කිරීම කාලීනව අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායෙන් ගනු ලැබූ ඉතා නිවැරදි තීරණයක් ලෙස දකිමි. ශ්‍රී පඤ්ඤාලංකාර වංසාවතංස ත්‍රිපිටක ධර්ම සාහිත්‍ය විශාරද ගෞරව නාම සම්මුතියෙන් සහ කොළඹ දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියෙන් පිදුම් ලබන අභිනව නායක ශාස්ත්‍රවේදී කුඩාහීල්ලේ රතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නීරෝගී සුව සහ දීර්ඝායුෂ පතමි.


නිහඬ සේවයක නිරත නා හිමි

මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේ අද ඇති දියුණුවට මට්ටක්කුලිය ශ්‍රී කල්‍යාණි ගංගාරාමය මුල්වී ඇති බව කාගේත් පිළිගැනීමයි. කල්‍යාණ ගංගාරාමය වන් රමණීය විහාරස්ථානයක් මෙම ප්‍රදේශයට දායාද කළේ ශාස්ත්‍රවේදී කුඩාහිල්ලේ රතන මාහිමිපාණන් වහන්සේය. කුඩා කුටියකින් ඇරැඹුනු ශ්‍රී කල්‍යාණි ගංගාරාමය අද දුටු දුටුවන් නෙත් සිත් පිනවන පුණ්‍ය භූමියකි. ප්‍රදේශයට අවශ්‍ය සියලු පහසුකම් වලින් ගම ගොඩනැඟීමටද උන්වහන්සේ කටයුතු කළ අයුරු මට සිහිපත් වේ.

ආර්. ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමන්ගේ නොමඳ සහය මෙම කටයුතුවලදී උන්වහන්සේට ලැබුණේ උන්වහන්සේ ශීලා දී ගුණයන් නිසාමය. අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය උන්වහන්සේට පිරිනමා ඇති අභිනව නායක පදවිය පිළිබඳව අප බලවත් සේ සතුටට පත්වන අතර සසුනෙහි වැඩ වැඩීමට අපේ නායක මාහිමිපාණන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවායි ආශිංසනය කරමි.


භික්ෂු සමාජයට ප්‍රදීපයක් වැනි යි

මට්ටක්කුලියේ ශ්‍රී කල්‍යාණි ගංගාරාමාධිපති කුඩාහීල්ලේ රතන ස්වාමීන් වහන්සේ ශාසන ශෝභන ගුණධර්මයන්ගෙන් පිරිපුන් නිහතමානී සිල්වත් මහා ස්ථවිරයන් වහන්සේ නමකි. කුශල මූලයෙන් මෙහෙයවනු ලබන කෘත්‍ය පුණ්‍ය මහිමයත්, ආත්ම ශික්ෂණයන් උරුම කරගත් හිමි නමකි. සංඝ පරිනායකත්වයට උන්වහන්සේ යෝග්‍ය වෙති.

දකුණු ලක මාතර දිස්ත්‍රික්කයේ දී උපතත් පැවිද්දත් ලබා කළ්‍යාණ මිත්‍ර අනුශාසක ගුරු ඇඳුරුහිමිපාණන් වහන්සේලා වෙතින් ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර හැදෑරීමෙන් ද සරසවි උපාධි ලැබීමෙන්ද, සේවයක් කිරීමට යෝග්‍ය දැනුමත් චරිත ශක්තියත් ලැබූ උන්වහන්සේ පානදුර වැනි මහා බෞද්ධ පුරවරයක කීර්තිමත් පින්වන්ත සද්ධර්මාකර විද්‍යායතන පිරිවෙනේ ගිහි පැවිදි බොහෝ දෙනාට සිප් සතර බෙදා දී සිය විශ්‍රාමික ජීවිතයේදී සේවය සඳහා තෝරාගෙන ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයයි. අන්‍යාගමිකකරණයට ගොදුරුව සිටින ආර්ථික අහේණිකම් වලින් පෙළෙන බෞද්ධයන් වසන මෙවන් පෙදෙසක සකලාංග පිරිපුන් රමණීය විහාරස්ථානයක් ඉදිකොට උන්වහන්සේ දෙව් මිනිසුන්ගේ ප්‍රසාදයට පාත්‍රව සිටිති. සියලු සම්පත් අතහැර දමා සසුනට හිස් අතින් පිවිසි භික්ෂුව සමාජයට ප්‍රදීපයක් මෙන් ආලෝකය සැපයිය යුතුයි. අවිදු අඳුර දුරැ ගුණ නැණ වඩන්නට මිනිසුනට ශක්තිය ලැබෙන්නේ එවිටය. රතන හාමුදුරුවන් වහන්සේ එම සේවයේ යෙදී සිටිති.

එම සේවයෙන් වඩාත් ප්‍රමුදිතභාවයට පත් ශ්‍රී ලංකා අමරපුර සිරි සද්ධම්මවංස මහානිකාය මගින් සිරි පඤ්ඤාලංකාර ‘වංසාවතංස’ යන ගෞරව නාමය සහිතව බස්නාහිර පළාතේ ද්විතීය අධිකරණ සංඝනායක පදවිය පූජ්‍යපාද කුඩාහීල්ලේ රතන ස්ථවීරයන් වෙත පිරිනමනු අසා බලවත් සතුටට පත්විමි. එය සුදුස්සෙකුට පදවි පිරිනැමීමක් වන්නේමය. අභිනව සංඝනායක පදවියෙන් පිදුම් ලබන කුඩාහීල්ලේ රතන ස්ථවිරයන් වහන්සේට තුණුරුවන් සතු අනන්ත ගුණයෙන් හා දෙවි රැකවරණින් ආයු ආරෝග්‍ය සම්පත් ලබා වැඩි වැඩියෙන් සේවය කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවායි හදපිරි බැතියෙන් පතමි.


එදා මෙදා තුර සේවයට උපහාරයක්

1978 ජූලි මස 16 වන දින පමණ අද දක්වා පියවරෙන් පියවර සංවර්ධනය කරා යමින් ප්‍රදේශයේ ජනතාවට අතිමහත් වූ සේවාවන් රාශියක් සිදු කරන මට්ටක්කුලිය ශ්‍රී කල්‍යාණි ගංගාරාමය අගනගරයේ දර්ශනීය විහාරස්ථානයකි. කුඩා පැලක් සියලු විහාරාංගයන්ගෙන් සපිරි දර්ශනීය විහාරස්ථානයන් කිරීමට ආරම්භයේ සිට ම මේ දක්වා විහාරාධිපතිත්වය දරමින් කටයුතු කරන ශාස්ත්‍රපති කුඩාහීල්ලේ රතන නාහිමිපාණන් වහන්සේගෙන් සිදුවන අතිමහත් වූ ගෞරවණීය සේවාව බෞද්ධ ජනතාව ගේ මෙන්ම ප්‍රදේශවාසී සියලු දෙනාගේ නිබඳ පැසසුමට ලක් වන්නේ ය.

එදා මෙදා තුර එවන් උදාර ජාතික ආගමික සේවාවන්හි නිරත අප මාහිමිපාණන් වහන්සේට ස්ව නිකායේ ලැබුණු අභිනව නායක පදවිය ශ්‍රේෂ්ඨ උපහාරයක් බව මගේ හැඟීමයි.

අප නායක මාහිමිපාණන් වහන්සේට නිදුක් නීරෝගී සුවය සහ චිර ජීවනය ලැබේවායි ආශිංසනය කරමි.

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය ජූනි මස 4 වන දා සිකුරාදා අපරභාග 02.32 ට ලබයි. 5 වන දා සෙනසුරාදා අපරභාග 04.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 04 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය ජූනි 12 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 04

New Moonඅමාවක

ජුනි 12

First Quarterපුර අටවක

ජුනි 19

Full Moonපසෙලාස්වක

ජුනි 25

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]