UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

අධි වෙසක් අව අටවක 2010.05.06

අධි වෙසක් අව අටවක පෝය

ම්බු කාෂ්මීර් ප්‍රාන්තයට අයත් අම්වාරන් නමැති ප්‍රදේශයේ සිදු කළ කැණීම් මඟින් බුදුරජාණන් වහන්සේ ගේ දත්ත ධාතූ®න් වහන්සේ නමක් සොයාගත් බව ඉන්දීය පුරාවිද්‍යා බලධාරීන් විසින් පසුගිය 21 වන දා අනාවරණය කරන ලදී. ඉන්දීය පුරාවිද්‍යාඥයන් සිදු කළ කැණීම්වල දී හමු වූ කුඩා ස්තූපයක තිබූ කරඬුවක මේ දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කොට තිබී ඇත. එම ස්තූපය කුෂාණ අධිරාජයා විසින් ක්‍රි.පූ. පළමු වන සියවසේ දී ඉදිකරන ලදැයි සැලැකේ. මේ අනුව අම්වාරන් ප්‍රදේශය බුදුරජාණන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා හමු වූ හත්වන ස්ථානය ලෙස ඉතිහාසයට එක් වෙයි. බුදුන් වහන්සේ ගේ දන්ත ධාතූන් වහන්සේ කිහිප නමක් ඉන්දියාවේ හා ඇෆ්ගනිස්ථානයේ වැඩ සිටින බව චීන ජාතික හියුං ෂෑන් හිමියන් ගේ දේශාටන වාර්තාවල සඳහන් කරුණ ද මෙහි දී සිහිපත් කළ යුතු ය.

කෙ සේ වුව ද බුදුන් වහන්සේ ගේ දළදා වහන්සේ සිවු නමක් විවිධ ස්ථානවල වැඩ සිටින බව සැලැකෙතත් සියැසින් දැක වැඳ පුදා ගැනීමට මෙතෙක් අවස්ථාව ලැබුණේ මහනුවර දළදා මාලිගයේ වැඩ සිටින යටි වම් දළදා වහන්සේ පමණි. පසුගිය දා අම්වාරන් ප්‍රදේශයෙන් සොයාගත් දළදා වහන්සේ ද සියැසින් දැක වැඳ පුදා ගැනීමේ අවස්ථාව සැලැසීමට ඉඩ තිබේ. එහෙත් සිංහල බෞද්ධයන් විසින් දළදා වහන්සේ වෙනුවෙන් පවත්වනු ලබන පුද සත්කාර හා සමාන තත්ත්වයක් අන් කිසිදු රටක දක්නට නො ලැබේ. සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ දළදා වහන්සේට හිමි ඒ අද්විතීය ස්ථානය කෙතරම් ද යත්, පොළොන්නරු යුගයේ සිට රජකමේ උරුමය සඳහා දළදා වහන්සේ ගේ අයිතිය අත්‍යවශ්‍ය කොන්දේසියක් විය. එහි සැබෑ අර්ථය නම් බෞද්ධ සම්ප්‍රදායයන් ආරක්ෂා නො කැරෙන පුද්ගලයකු අසිපතේ බලය දැරීම සුදුසු නැති බව ය. මහනුවර වැඩ සිටින දළදා වහන්සේ වෙනුවෙන් සලසා ඇති ගෞරවනීය ආරක්ෂාව පිළිබඳ ව සලකා බලන කල එ බඳු තත්ත්වයක් ලොව කිසිදු තැනක නිර්මාණය වේ ද යන්න සැක සහිත ය.

සම්මාන මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න ලියූ ‘ඥාන දර්ශන’ නමැති කෘතියෙහි එය මෙ සේ විස්තර කැර තිබේ.

‘දළදා මාලිගයේ නැගෙනහිරින් ඇති කාමරයට පිවිසෙන දොරටුවට ඉහළින් කුඩා පිත්තල පද්මයක් එල්ලා තිබේ. මේ කාමරය ගන්ධ කුටිය යි. ඔවුහු මීට ඇතුළු මාලිගාව හෝ වැඩ සිටින මාලිගාව යැයි කියති. පසුපස බිත්තියට සවි කරන ලද ඔප දැමූ යකඩ පොලුවලින් තුන් පැත්තකින් ආවරණය කරන ලද කුටියේ දළදා වහන්සේ තැන්පත් කොට ඇත්තේ ය. මේ යකඩ පොලු බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් යොදන ලද ඒවා ය. ඊට කලින් එබඳු කිසිවක් එහි නො වීය. මෙ සේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් යකඩ පොලුවලින් කරන ලද ආවරණය වෙනුවට වීදුරු ආවරණයක් අද දක්නට ලැබේ. දළදා වහන්සේ තැන්පත් කළ කරඬුව ස්වර්ණමය මිටි සිංහාසනයක් මත තබා තිබේ. මේ සියල්ල මුදුනෙන් කපා ඔප දමන ලද පිරමීඩයක් වැනි වීදුරු ආවරණයකින් වසා ඇත. ඉදිරියෙන් ඇති දැව රාමුවේ මූණත බෙහෙවින් ස්වර්ණමය කැටයමින් යුත් තහඩුවකින් සරසා තිබේ. කරඬුව තඹ හෝ පිත්තලෙන් තනා රිදියෙන් ඔප දමා මැණික් එබ්බූ රිදී කැටයම් සහිත මතුපිටක් ඇති විශාල සිංහාසනයක් මත තබා තිබේ. දළදා වහන්සේ තැන්පත් කොට පෙරහරේ ගෙන යනු ලබන කරඬුව ද වීදුරු ආවරණය තුළ තැන්පත් කොට තිබේ. එය රනින් නිමවා ඇති අතර වෛරෝඩි සහ වෙනත් මැණික් වර්ගවලින් සරසා ඇත. තක්ෂිලාවේ ධර්මරාජික ස්තූපයෙන් සොයාගත් ධාතූ®න් වහන්සේලා සමඟ ඉන්දීය ආණ්ඩුවෙන් පරිත්‍යාග කරන ලද කරඬුවක් මෙහි ඇත. මතුපිට රන් තහඩුවෙන් ආවරණය කළ මේසයකි. එය පූජාසනයයි. පූජාසනයට ඉහළින් මැණික් ඔබ්බවා ඇති ස්වර්ණමය පද්මයකි. ඒ ඉදිරිපිට විදුලි පහනක් සහිත විදුලි පංකාවකි”.

දළදා වහන්සේ උදෙසා වර්තමානයෙහි පවත්වනු ලබන පූජා චාරිත්‍ර විධි එහි මෙ ලෙස විස්තර කැර තිබේ.

(අ) දෛනික තුන්වරු පූජා (තේවා) - අලුයම පූජාව, මධ්‍යහ්න හෙවත් නව පැය පූජාව සහ සවස පූජාව එයින් අදහස් කෙරේ. මේ අවස්ථාවල දී ආහාර, මල් පහන්, තෙල් සහ ජලය පූජා කෙරේ.

(ආ) සප්තාහික පූජා - සතියේ සෑම බදාදා දිනකට පමණක් සීමා වූ විශේෂ පූජාවකි. දළදා වහන්සේ ස්නානය කරවීමේ සංකේතාත්මක පූජා විධියක් වන මෙය නානුමුර මංගල්ලේ යන නමින් හැඳින් වේ. අනික් සප්තාහික පූජා විධි අමාවක, පුර අටවක, පුර පසළොස්වක හා අව අටවක යන පෝය දිනවල පවත්වනු ලැබේ.

(ඉ) විශේෂ මාසික පූජා වත් පිළිවෙත් පුර පසළොස්වක පොහෝ දිනවල පැවැත් වේ.

(ඊ) වාර්ෂික පූජා වත් පිළිවෙත්වලට ජනවාරි මාසයේ පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය, අපේ‍්‍රල් මාසයේ පැවැත්වෙන අවුරුදු මංගල්‍යය, ජූලි - අගෝස්තු මාසවල පැවැත්වෙන වැසි ලබා ගැනීමේ පූජා විධියක් වන ඇසළ මංගල්‍යය, නොවැම්බර් මාසයේ පැවැත්වෙන කාර්තික මංගල්‍යය අයත් ය.’

මේ අනුව සිංහල බෞද්ධ සංස්කෘතිය හා දළදා වහන්සේ අතර ඇති සම්බන්ධය අපට තේරුම් ගැනීමට පුළුවන. ඉන්දියාවේ මෙන් එම උරුමය පුරාවිද්‍යා ගවේෂණයක් බවට පත් නො කිරීම අප ගේ වගකීමකි.

අධි වෙසක් අව අටවක පෝය

අධි වෙසක් අව අටවක පෝයමැයි මස 05 වනදා අපරභාග 8.30 ට ලබයි.
6 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 6 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මැයි මස 13 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 06

New Moonඅමාවක

මැයි 13

First Quarterපුර අටවක

මැයි 21

Full Moonපසෙලාස්වක

මැයි 27

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]