UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

චතුෂ්කෝටිය හා බෞද්ධ පරමාර්ථ විග්‍රහය

“මහණනි , නො උපන්, නොහටගත් නො කරන ලද ප්‍රත්‍යකින් නොතැනුණු එය ඇත්තේ ය. නො උපන්, නො හටගත්, නො කරන ලද, ප්‍රත්‍යකින් නොනැසුණු , එය නැත්තේ නම් උපන්, හටගත්, කරන ලද ප්‍රත්‍යකින් තැනුණු ඔහුට මිදීමක් නොවන්නේය. මහණෙනි යම් හෙයකින් නො උපන්, නොහටගත් , නොකරන ලද ප්‍රත්‍යකින් නොතැණුනු, එය ඇත්තේ ද එම නිසා උපන්, හටගත් , කරන ලද ප්‍රත්‍යකින් තැනුණු ඔහුට මිඳීමක් ඇත්තේය.

” භාෂාවෙන් යමක් ප්‍රකාශ කිරීම උදෙසා ඉදිරිපත් වන ප්‍රකාශනයන්ට පරිපූර්ණ නිර්වචනයක් දීමට ගත් උත්සාහයේ ප්‍රතිඵල දාර්ශනික ඉතිහාසය හා චින්තන ඉතිහාසය පුරා දැක ගත හැකිය. එහි ප්‍රාථමික එළඹුම ද්විකෝටිය වන අතර සාධනීය එළඹුම චතුෂ්කෝටිය වන බව අපගේ හැඟීමයි. කෙසේ වෙතත් චතුෂ්කෝටියට අදාළ තතු පෙහෙණි කිරීමට ද්විකෝටිය ප්‍රවේශද්වාරය කර ගැනීම උචිතය.

ද්විකෝටියෙන් හෙවත් උභයාන්ත ප්‍රස්තුතයෙන් කියැවෙන්නේ ඕනෑම තාර්කික ප්‍රකාශනයක් එක්කෝ සත්‍ය විය යුතුය. නැත්නම් අසත්‍ය විය යුතුය යන්නයි. ඊට හේතුව සත්‍ය හෝ අසත්‍ය ප්‍රස්තුතය විෂයලෝකී වන බැවිනි. මෙම තර්ක න්‍යාය දාර්ශනික ලෝකයට ගෙන එන ලද්දේ ගී‍්‍රක දාර්ශනිකයෙකු වූ ඇරිස්ටෝටල් විසිනි.

මේ උභයාන්ත ප්‍රස්තුතයේ ස්වරූපය වටහා ගැනීමට අසංග තිලකරත්නයන් ඉදිරිපත් කරන නිදසුන ඉතා වැදගත්ය. ඒ අනුව උසාවියකදී අසන යූෂ්මතා වැරදිකරුද? නිවැරදි කරුද? යන පැනයට පිළිතුරු දිය යුත්තේ එක්කෝ නිවැරදිකරුය යන්නයි. නැත්නම් වැරදිකාරුය යන්නයි. ඉන් බාහිර වූ පිළිතුරක් දිය නොහැක. මෙම නිදසුන අනුව අපට දිය හැකි විනිශ්චය නම් නීතියේදී උභයාන්ත ප්‍රස්තුත ක්‍රමය පදනම් වන බවය. ද්විකෝටිය බිහිවීමට පදනම් වූ සිද්ධාන්ත තුනක් තර්ක ශාස්ත්‍රයෙන් අහුලාගත හැකිය.

1. අනන්‍යතා මූලධර්මය - (Principle of Identity)

වස්තුව හෝ ප්‍රකාශය ඒ හා අනන්‍ය වීමයි. එනම් එක් ප්‍රකාශයක භව්‍යතාව ද එහි විරුද්ධය අභව්‍යතාව ද පවත්නා බවය. (සත්‍ය හෝ අසත්‍ය)

2. අවිසංවාදිතා මූලධර්මය - (Principle of Non - Contradiction) වීම හා නොවීම එකවිට සිදු නොවන බවය. (සත්‍ය හෝ අසත්‍ය දෙකම එකවිට දැකිය නොහැක)

3. මධ්‍ය බහිෂ්කෘත මූලධර්මය –  (Principle of Excluded Middle)
 

එක් විටෙකදී දැකිය හැකි වන්නේ එක් නව්‍යතාවකි.(එක්කෝ සත්‍ය වේ. නැත්නම් අසත්‍ය වේ.) මේ දෙක අතර මැද තත්ත්වයක් තිබිය නොහැක.

මේ පදනම් මත බිහිවන උභයන්ත දෘෂ්ටිය සියවස් ගණනාවක් තිස්සේ බටහිර චින්තනයේ පෝෂණය වූයේ නව ප්‍රවේශයකින් තොරව බව පෙනේ. බටහිරට එම ප්‍රවේශ ද්වාරය විවර කර දුන්නේ පෝලන්ත ජාතික ජෑන් ලුකාසී වික්ස් ඇතුළු දාර්ශනික කණ්ඩායම විසිනි. ඉහත සඳහන් කළ ඇරිස්ටෝටලියානු චින්තනය විසිවැනි සියවස මුලදී හෝ බිඳ හෙලීමේ ගෞරවය ඔවුනට පිදිය හැකි වුවද උභයාන්ත තර්ක ක්‍රමයෙන් ඔබ්බට ගිය තර්ක ක්‍රමයක් පෙර දිග විද්‍යාමාන වන්නේ වෛදික යුගයේ පටන් බව කිව හැකිය.

ජෛනයන්ගේ සප්ත භංගී ක්‍රමය තුළත් සංශයවාදීන්ගේ පංචාකාර ප්‍රකාශන ක්‍රමය තුළත් දක්නට ලැබෙන්නේ උභයාන්තයෙන් එහාට ගිය තාර්කික ක්‍රමවේදයකි. චතුෂ්කෝටික තර්ක ක්‍රමය වූ කලී ප්‍රස්තුතයක් සම්බන්ධව උභයාන්ත තර්ක ක්‍රමයෙන් සඳහන් නොකළ නව මාවත් දෙකක් ඉදිරිපත් කරන්නකි. එය බිහිවූයේ පෙරදිග චින්තනයෙනි. ත්‍රිපිටකයේ මෙන්ම තදනුබද්ධ හා අනනුබද්ධ පශ්චාත් සාහිත්‍යයේ එය විවරණය වී ඇත.

චතුෂ්කෝටියේ දී ප්‍රසුතුතයක් සම්බන්ධව ඇත. නැත, ඇත හා නැත ඇත්තේත් නැත නැත්තේත් නැත යන සිව් ආකාර දෘෂ්ටියක් ඉදිරිපත් වී ඇත. නිදසුනක් ලෙස,

1. ලෝකය පවතී (අත්ථි)
2. ලෝකය නොපවතී (නත්ථි)
3. ලෝකය පවතී, එමෙන්ම නොපවතී (අත්ථි ච න අත්ථිච)
4. ලෝකය පවතින්නේ ද නොවේ නොපවතින්නේද නොවේ. (නෙව අත්ථි ච න අත්ථි ච)

ද්විකෝටියෙන් ඉදිරිපත් වූයේ මින් මුල් ප්‍රස්තුත දෙක පමණක් වන අතර ඉන් පළමු ප්‍රස්තුතයේ නිශේධනය දෙවැනි ප්‍රස්තුතයෙන් සිදුවී ඇත. තෙවැනි ප්‍රස්තුතය මුල් දෙකෙහි සංයෝගයයි. එහෙත් එහි ප්‍රතිවිරෝධී බව නිසා විසංවාදී ස්වරූපයක් දැකගත හැකිය. සිව්වැන්නේ ඇත්තේ මුල් දෙකෙහි ප්‍රතික්‍ෂේපයයි.

බුදුසමයේ දී මෙහි භාවිතාව කවරාකාර ද යන්න කෙරෙහි මෙහි දී අපගේ අවධානය යොමු විය යුතුය. ඇතැම් වියත්හු චතුෂ්කෝටිය බෞද්ධ තර්ක ක්‍රමය වන බව පෙන්වා දෙමින් බෞද්ධ දර්ශනයෙන් ඊට ප්‍රස්තුත ගෙන හැරපාති. සැබවින්ම එහි භාවිතාව සූත්‍රවලින් දැකිය හැකිය. එහෙත් බුදුසමයේ යථාර්ථය ප්‍රකාශ කිරීමේදී චතුෂ්කෝටිය ප්‍රමාණවත් නොවන බව මෙහිදී අප සිහියේ තබාගත යුතුය. “ බෞද්ධ චතුෂ්කෝටි ක්‍රමය තුළ ඇත්තේ තාර්කික ක්‍රමයක් නොවේ. පිළිගත් තර්ක ක්‍රමය ප්‍රතික්‍ෂේප කිරීම තුළින් බෞද්ධයන් විසින් හුදෙක් අපේක්‍ෂා කොට ඇත්තේ තර්කය හා භාෂාව පිළිබඳ විෂය ඉක්ම වූ සත්‍යයක් වෙත අපගේ අවධානය යොමු කිරීම හෙවත් ආගමික අර්ථයක් දීම” යනුවෙන් බෞද්ධ උගතුන් පෙන්වා දෙන්නේ එහෙයිනි.

බෞද්ධ දර්ශනය වූ කලී ශාස්වත හෝ උච්ඡේද දෘෂ්ටීන්ගෙන් විනිර්මුක්ත මාධ්‍යමික දේශනාවකි. සංයුක්ත නිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කච්චායනයන්ට දේශනා කළේ,

“සබ්බං අත්ථිති භො කච්චාන එකං අන්තං සබ්බං “ සබ්බං නÀථිති දුතියං අන්තං, එතේ තේ උභෝ අන්තේ අනුපගම්ම තථාගතො මජ්ඣෙන ධම්මං දෙසෙති “ යනුවෙනි. එහි පැහැදිලි කොට ඇත්තේ ඇත හා නැත යන අන්තවාදී ප්‍රතිපදාවෙන් බැහැර වී මැදුම් පිළිවෙතින් එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් ප්‍රායෝගික චරණයක් සහිත පටිච්ච සමුප්පාද ධර්ම න්‍යාය දේශනා කරන බවය.

එසේ වූ කල චතුෂ්කෝටියේ එන පළමු ප්‍රස්තුත දෙක බුදුසමයෙන් ප්‍රතික්‍ෂේප වන අතර සමකාලීන සමයන්හි පැවති “ සියල්ල ඇත “ හා “ සියල්ල නැත” යන ආන්තික චින්තනයෙන්ද බැහැර වී ඇත. මීළඟට අපට මතුවන ගැටලුව නම් බුදුසමය එකඟ වන්නේ චතුෂ්කෝටියෙන් තෙවැනි හා සිව්වැනි ප්‍රස්තුතයන්ට ද? යන්නයි.

සබ්බං අත්ථි ච නත්ථි ච (සියල්ල ඇත ද නැත ද වේ) යන්න ඉන් තෙවැනි ප්‍රස්තුතය යි. බුදුසමය මීට එකඟ වේ නම් බුදු සමයේ මධ්‍යම ප්‍රතිපදාව සකස් වන්නේ යට දැක්වූ අන්තවාද දෙකෙහි මුසුවෙනි. සාමාන්‍ය ජනයා බෞද්ධ මධ්‍යම ප්‍රතිපදාව වටහාගෙන ඇත්තේ ද මේ ප්‍රස්තුතයේ සිටය. බුදුරදුන් වදාළ මැදුම් පිළිවෙත, කාමසුඛල්ලිකානුයෝගයෙන් යුතු ශාස්වත වාදය හා අත්තකිලමතානුයෝගයෙන් යුතු උච්ඡේද වාදය යන අන්ත දෙකේ මධ්‍ය ස්වරූපය (Beyond the World) නොවන අතර ඒ දෙකට ඉහළින් ඇති (Above the World) ප්‍රතිපදාවක් බව වටහා ගත යුතුය.

මැද මාවත යනු අන්ත දෙකෙහි සම්මිශ්‍රණයක් නොවේ. අන්ත දෙකම දුරු කළ උත්තරීතර මාවතකි. ඒ උත්තරීතර තත්ත්වය වූ කලී ඒ සියල්ලෙන් පරිබාහිර වූ චතුෂ්කෝටියේ සිව්වැනි ප්‍රස්තුතය හා අදාළ වූවක්ද? බෞද්ධ යථාර්ථය මේ සිව්වැනි ප්‍රස්තුතයෙහිලා විවරණ ඉදිරිපත් කරන බෞද්ධ විචාරකයින් ද ඇත. එහෙයින් බෞද්ධ යථාර්ථය ඒ සිව්වැනි ප්‍රස්තුතයෙන් ද ඔබ්බට යන්නක් බව අප මෙහිදී වටහා ගත යුතුය.

රහතන් වහන්සේගේ ස්වභාවයට අදාළ අවස්ථා හතර බැහැර කරන බුදුරදුන්ගේ විග්‍රහයක් පිළිබඳ විවරණයක යෙදෙන කේ.එන්. ජයතිලක මහතා පෙන්වා දෙන්නේ බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථා 04 බැහැර කරන ලද්දේ (නිශේධනය කිරීම නොව) ඒ අවස්ථා සතරින් රහතන් වහන්සේ නිර්වචනය කළ නොහැකි වන බැවිනි. ඊට හේතුව ලෙස එතුමා පෙන්වා දී ඇත්තේ අනුභූතික දෑ විවරණය කිරීමෙහිලා ප්‍රාමාණික වන චතුෂ්කෝටිය අධි අනුභූතික තත්ත්වයක් විවරණය කිරීමෙහිලා ප්‍රාමාණික නොවන බවය.

එසේම නිවන පිළිබඳවද මෙබඳුම චින්තනයක් බුදු සමයෙන් ඉදිරිපත් වී ඇත.

“මහණනි , නො උපන්, නොහටගත් නො කරන ලද ප්‍රත්‍යකින් නොතැනුණු එය ඇත්තේ ය. නො උපන්, නො හටගත්, නො කරන ලද, ප්‍රත්‍යකින් නොනැසුණු , එය නැත්තේ නම් උපන්, හටගත්, කරන ලද ප්‍රත්‍යකින් තැනුණු ඔහුට මිදීමක් නොවන්නේය. මහණෙනි යම් හෙයකින් නො උපන්, නොහටගත් , නොකරන ලද ප්‍රත්‍යකින් නොතැණුනු, එය ඇත්තේ ද එම නිසා උපන්, හටගත් , කරන ලද ප්‍රත්‍යකින් තැනුණු ඔහුට මිඳීමක් ඇත්තේය.” - උදාන පාලිය-

මේ නිර්වචනය ඉදිරිපත් කිරීම සඳහා චතුෂ්කෝටිය ප්‍රමාණවත් නොවන පමණින් නිවන අනිර්වචනීයය යන නිගමනයට නොපැමිණිය යුතුය. සියලු ශුභ - අශුභ තත්ත්වයන් නොමැති දුක සැප නොමැති සියලු වාද පථයන් ඉක්ම වූ තත්ත්වයක් වූ නිවන විවරණය කිරීමට සැබවින්ම භාෂාව ප්‍රමාණවත් නොවේ. බුදුරදුන් ද එය ඉතාමත් මධ්‍යස්ථ සීමාවක් තුළ දේශනා කොට ඇත්තේ එනිසා බව අපට වටහා ගත හැකිය විවිධ උගතුන් විසින්

1. නිවන සත්‍ය වශයෙන්ම පවතින තත්ත්වයකි .(අස්ත්‍යාර්ථය)
2. නිර්වාණය පවතින තත්ත්වයක් නොවේ.(නාස්ත්‍යාර්ථය)
3. නිර්වාණය වචනයෙන් ප්‍රකාශ කළ හැක්කක් නොවේ .(අනිර්වචනීය)
4. නිර්වාණය වචනයෙන් ප්‍රකාශ කළ හැකි තත්ත්වයකි.(නිර්වචනීය)

5. නිර්වාණය ආචාරාත්මක පරිපූර්ණතාවක් මිස එම ආචාරමාර්ගයෙන් විනිර්මුක්ත වූවක් නොවේ.

යනුවෙන් නිවන පිළිබඳ ඒ ඒ දෘෂ්ටිකෝණයෙන් ඉදිරිපත් කරන නිර්වචන නිවැරදි බව කිව හැකිය. එහෙත් ඒ නිර්වචනය වුවද නිවන පිළිබඳ පරිපූර්ණ අර්ථයක් ඉදිරිපත් කිරීමට සමත් නොවන්නේමය.

තථාගතයන් වහන්සේ තුළ බුදුරජාණන් වහන්සේගේ පැවත්ම පිළිබඳව, රහතන් වහන්සේ පිළිබඳ (මරණින් මතු ශාස්වත වේද උච්ඡේද වේද) නිර්වාණය පිළිබඳ ආදි වශයෙන් ඉදිරිපත් වූ ප්‍රශ්න වලට පිළිතුරු නොදී තුෂ්ණිම්භූත වූයේ ඒවාට පිළිතුරු දෙනු නොහැකිව නොවන අතර යථාර්ථය අවබෝධ කළ කල්හි එබඳු පැනයකට ඉඩක් නොලැබෙන බැවිනි.

”අත්‍ථංගතස්ස න පමාණමත්ථි
යෙන නං වජ්ජු තං තස්ස නත්ථි
සබ්බේසු ධම්මේසු සමූහතේසු
සමූහතා වාදපථාපි සබ්බේ “ (සුත්ත නිපාතය)

“නිවන අවබෝධ කළ තැනැත්තා මැනීමට මිණුම් දණ්ඩක් නොමැත. යමකින් ඔහු ගැන කිව හැකිද ඔහුට එය නැත. සියලු ධර්ම විනාශ වී ගිය කල්හි සියලුවාද පථයන් ද (කථා ව්‍යවහාරයන්) විනාශ වේ.

මෙයින් යථෝක්ත විවරණය සාධනය වන අතර, “ වච්ඡය උපදී යන්න නොගැලපේ. නූපදී යන්න ද නොගැලපේ. උපදී සහ නූපදී යන්න ද නොගැලපේ. උපදින්නේ නොවේ.

නූපදින්නේ නොවේ යන්න ද නොගැලපේ “ යනුවෙන් බුදුරදුන් රහතන් වහන්සේගේ මරණින් මතු පැවැත්ම ගැන වච්ඡ ගොත්තයන්ට පැහැදිලි කර දුන් ආකාරය තුළින් අපට එළැඹිය හැකි නිගමනය නම් චතුෂ්කෝටික වාද පථය උපයෝගී කරගෙන බෞද්ධ යථාර්ථ සාධනයන් විවරණය කිරීමට දරන ප්‍රයත්නය අසාර්ථක බවය.

බුදුසමය වූ කලී අතක්කවාචර වූ දහමකි. සම්මුති සත්‍යයේ සිට පරමාර්ථය දක්වා වූ එහි ගමන් මඟ සකස් වී ඇත්තේ භාෂාමය හරඹයකින් නොව ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයෙනි.

එහෙයින් සියලු වාද පථයන් ඉක්ම වූ බෞද්ධ යථාර්ථවාදය තේරුම් ගැනීමට චතුෂ්කෝටිය ප්‍රාමාණික නොවන අතර ඉන් මෙහා වූ ධර්ම කරුණු විග්‍රහයට පමණක් එහි භාවිතාව උපයෝගී කරගෙන ඇති බව කිව හැකිය.

මැදින් පුර පසළොස්වක පෝය
මැදින් පුර පසළොස්වක පෝය පෙබරවාරි 28 වන දා ඉරිදා පූර්ව භාග 01.50 ට ලබයි. 28 වන දා එදිනම අපර භාග 10.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 28 වන දා ඉරිදාය
මීළඟ පෝය
මාර්තු 07 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

Second Quarterඅව අටවක

මාර්තු 07

New Moonඅමාවක

මාර්තු 15

First Quarterපුර අටවක

මාර්තු 23

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]