UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

‘භික්ෂුණී ශාසනය වනිතා විමුක්තියේ ජය සලකුණකි’

මානව ඉතිහාසය තුළ කාන්තාවගේ අභිනිෂ්ක්‍රමණය වෙනුවෙන් ප්‍රබලතම තර්කය ඉදිරිපත් කළ දාර්ශනිකයා සහ තාර්කිකයා ලෙස ආනන්ද හිමියෝ ඉතිහාසගත වෙති. උන්වහන්සේ බුදුරදුන්ගෙන් විමසා සිටියේ පුරුෂයකු මෙන් ම බඹසර වසන කතකට පුරුෂයා සාධනය කර ගන්නා අරමුණ සාධනය කර ගැනීමට හැකි ද, නොහැකි ද යන්නයි.මේ ප්‍රශ්නයට ඇත්තේ ‘ඔව්’ හෝ ‘ නෑ’ යන පිළිතුරු දෙකින් එකක් පමණකි. නිවැරැදි පිළිතුර බුදුරදුන්ගෙන් ලැබිණි. එනම් ‘ඔව්’ යන්න යි.

ජීව විද්‍යානුකූ®ලව බලන විට ස්ත්‍රිය සහ පුරුෂයා සම වැදගත්කමක් උසුලන බව රහසක් නොවේ. සියලු වෘක්ෂලතා අතර පවා විද්‍යාමාන විශ්ව සාධාරණ ධර්මතාවක් වූ ස්ත්‍රී පුරුෂ ප්‍රභේදනය වූ කලී, ප්‍රජනනය සහ වාර්ගික අඛණ්ඩතාව පිළිබඳ මුඛ්‍යතම සාධකය යි.

පුරුෂයන්ගෙන් පමණක් හෝ ස්ත්‍රීන්ගෙන් පමණක් සමන්විත සමාජයක් ගැන සිතීම පවා විහිළුවකි. එහෙයින් සියලු සාධාරණ සහ බුද්ධිමත් මානවයෝ ලිංගික විවිධත්වය අත්‍යවශ්‍ය වූත් අනිවාර්ය වූත් සාධකයක් ලෙස පිළිගනිති.

නූතන වනිතා විමුක්ති ව්‍යාපාරයේ ඇතැම් අන්තවාදී සටන් පාඨ අප අනුමත නොකළ ද වනිතාවගේ සාධාරණ අයිතීන් ලබා දීමෙහිලා පුරුෂ පක්ෂයෙහි කිසියම් උදාසීනත්වයක් සෑම සමාජ තලයක ම පාහේ දෘශ්‍යමාන බව ප්‍රතික්ෂේප කළ නොහැකිය. මේ අතරට ආගම ද ඇතුළත් වීම සංවේගජනක බව කිව යුතුය. ස්ත්‍රීන් පහත් කොට අවමන් කිරීමට සහ පුරුෂාධිපත්‍යය තහවුරු කිරීමට අභිචාර විධි තරමට ම ආගම ද උපයෝගී කරගෙන තිබේ. බුදු සමය මේ අතිශය වැදගත් ගැටලුව විෂයෙහි ක්‍රියා කර ඇත්තේ කවර අයුරින් ද?

භික්ෂුණී ශාසනයේ ආරම්භය පිළිබඳව සාම්ප්‍රදායික වාර්තාව චුල්ලවග්ගපාලියේ භික්ඛුණීක්ඛන්ධකයෙහි අන්තර්ගත වෙයි. එය කියවන්නවුන් තුළ ඇතිවිය හැකි අදහස නම් බුදුරදුන් තුළ භික්ෂුණී ශාසනයක් පිළිබඳ කිසි ම අපේක්ෂාවක් තිබී නැති බවයි. එහෙත් එය මුළුමනින් ම සාවද්‍ය සංකල්පයකි. වනිතාවගේ අයිතිය පිළිබඳ බුදුරදුන් දැරූ ප්‍රබුද්ධ ආකල්ප දෙස බලන විට එවන් අදහසක් කිසිසේත් ම සත්‍ය විය නොහැකි අතරම එය බුදුරදුන්ට නිග්‍රහයක් ද වෙයි. භික්ෂූණී ශාසනයක් ඇති නොකර පිරිනිවන් පාන්නට බුදුරදුන් අපේක්ෂා නොකළ බව මහා පර්නිර්වාණ සූත්‍රයෙන් ඉතා පැහැදිලිව ගම්‍ය වෙයි.

බුදු වූ වහා ම පිරිනිවන් පාන ලෙස ඉල්ලීමක් කරමින් මාරයා තමන් වෙත පැමිණි බව සඳහන් කරන බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිවු පිරිස එක හා සමාන දහම් දැනුමෙන් පුෂ්ටිමත්ව අධිගම ද ලබා අනුනට ඉගැන්වීමට මෙන් ම වරින් වර මතුවන පර ප්‍රවාද නිසි නිග්‍රහයට භාජන කිරීමට සමත් වූ පසුව මිස තමන් පිරිනිවන් නොපාන බව ඔහුට පැවසූ බව ද වදාළහ. ඒ අනුව සනාථ වන්නේ අන් කිසිවකු භික්ෂූණී ශාසනයක් ගැන සිතන්නට පෙර ම බුදුරදුන් ඒ පිළිබඳව සිතා ඇති බව නොවේ ද? සිවු පිරිස විෂයෙහි ම උන්වහන්සේ දරා ඇත්තේ එක ම උදාර අපේක්ෂා මාලාවකි.

එසේ නම් කාන්තාවනට පැවිද්ද ලබා ගැනීම පිණිස ආනන්ද හිමියනට බුදුරදුන් සමග තර්ක කරන්නට සිදු වූයේ කවර හෙයින්දැයි යමකු විමතියට පත් වන්නට පිළිවන. එමෙන්ම ප්‍රජාපතී ගෝතමිය පැවිද්ද අයැද සිටි අවස්ථාවේදී බුදුරදුන් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේ කවර හෙයින්ද?

ප්‍රජාපතී ගෝතමිය පැවිදි කළා වුවද තම පවුලේ ම සසුනක් යන චෝදනාවට ලක්වීම වැළක්විය නොහැකිය. කෙසේ වුවද මෙහි යථා තත්ත්වය වටහා ගැනීමෙන් මෙන් ප්‍රජාපතී ගෝතමිය ඊළඟ උත්සාහය දැරුවේ 500 ක් කාන්තාවන් ද සමගය.

උතුම් අරමුණක් වෙනුවෙන් මෙසේ සාමූහික ක්‍රියා මාර්ගයකට භාරතීය කතුන් මීට පෙර ඉදිරිපත් වීමක් වාර්තා වී නැත. බුදුරදුන් මෙහෙණි සසුන පමා කිරීම ගැන අදහස් පළ කරන්නවුන් ගේ අවධානය මේ කරුණ විෂයෙහි යොමු නොවීම කනගාටුවට කරුණකි.

බුදුරදුන් මුලදී මෙහෙණි සසුන ඇති කිරීම පමා කළේ ඒ සඳහා සුදුසු පරිසරය සැකසෙන තුරුය. ප්‍රජාපතී ගෝතමිය වනිතා සංවිධානයක් ඇති කොට නියම විමුක්ති නායිකාවක සේ ක්‍රියා කිරීමෙන් ඊට අවශ්‍ය පසුතලය නිර්මාණය විය. කාන්තාවන්ගේ පැත්තෙන් බලන විට එය වනිතා විමුක්ති අරගලයේ ඓතිහාසික ජයග්‍රහණයක් පෙන්නුම් කරයි.

වනිතාවන් විසින් එවන් කල් පවත්නා ප්‍රගතිශීලි ජයග්‍රහණයක් සඳහා සිදුකළ මෙවැනි පෙළගැසීමක් භාරත ඉතිහාසයේ ඉන් පෙර සටහන්ව නැත. පුරුෂ මූලික සමාජයක් තුළ උද්ගත විය හැකි ගැටලු අවම කිරීම පිණිස මෙම ව්‍යාපාරය හේතු සාධක වන්නට ඇත.

මෙහෙණි සසුන ඇති කළ පසු ඒ හරහා වනිතාවනට ජයග්‍රහණ රැසක් හිමි විය. අභිනිෂ්ක්‍රමණ අයිතිය මේ අතින් ප්‍රමුඛස්ථානය ගනියි. පුරුෂයන් කාන්තාවක තම අවනතයට නතු කර ගන්නේ විවාහය මගිනි. විවාහය ප්‍රතික්ෂේප කර බ්‍රහ්මචාරීව විසීමට පුරුෂයනට ඇති අයිතිය ඒ හා සමානව ම කාන්තාවට ද තිබිය යුතුය. ප්‍රජාපතී ගෝතමිය ඒ බව අවධාරණයෙන් ඉතිහාසයට එක් කළේ බුදුරදුන් වෙත පැවිදි බිමට එක්ව සිටි පුරුෂයන් පන්සියයකගේ බිරින්දන් 500 ක් සමග පෙරහරින් දෙවුරමට පැමිණීමෙනි.

මෙම ඓතිහාසික අරගලයට පුරුෂ පක්ෂයෙන් අවශ්‍ය සහාය ලබා දුන්නේ ආනන්ද හිමියන් විසිනි. මානව ඉතිහාසය තුළ කාන්තාවගේ අභිනිෂ්ක්‍රමණය වෙනුවෙන් ප්‍රබලතම තර්කය ඉදිරිපත් කළ දාර්ශනිකයා සහ තාර්කිකයා ලෙස ආනන්ද හිමියෝ ඉතිහාසගත වෙති. උන්වහන්සේ බුදුරදුන්ගෙන් විමසා සිටියේ පුරුෂයකු මෙන් ම බඹසර වසන කතකට පුරුෂයා සාධනය කර ගන්නා අරමුණ සාධනය කර ගැනීමට හැකි ද, නොහැකි ද යන්නයි.මේ ප්‍රශ්නයට ඇත්තේ ‘ඔව්’ හෝ ‘ නෑ’ යන පිළිතුරු දෙකින් එකක් පමණකි. නිවැරැදි පිළිතුර බුදුරදුන්ගෙන් ලැබිණි. එනම් ‘ඔව්’ යන්න යි. ඒ අනුව ඊළඟට ආනන්ද හිමියෝ ඉතා තාර්කිකව සහ ප්‍රබලව වනිතා පක්ෂය වෙනුවෙන් පැවිද්ද ඉල්ලා සිටියහ.

මෙම ඉතා තීරණාත්මක අවස්ථාව බුද්ධකාලීන වනිතා විමුක්ති ව්‍යාපාරයේ ජයග්‍රාහක මොහොත උදා කළේය. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ කාන්තාවන්ගේ පැවිද්ද ආරම්භ කළහ. නිවැරැදි තර්කය, නිවැරැදි සන්දර්භය තුළ උචිත අවස්ථාවේදී ඉදිරිපත් කළ විට උන්වහන්සේ තම ස්ථාවරය වෙනස් කළහ. ස්ත්‍රීන් විෂයෙහි එකල සමාජයේ පැවැති අහිතකර ආකල්ප සහ පුරුෂයන් අතර වු අධිපතිවාදි චින්තනයේ ම රැඳී සිටීමට ඕනෑ තරම් අවකාශ තිබියදීත් උන්වහන්සේ තම ස්ථාවරය වෙනස් කරන්නට කැමැති වූහ. එය උදාර පෞරුෂයක පමණක් දැකිය හැකි ලක්ෂණයකි. වනිතා විමුක්තියේ ප්‍රථම ජයග්‍රහණය සනාථ කරගැනීමට බුදුරදුන් සහාය වූයේ එලෙසිනි.

එදා මෙදා තුර භික්ෂුණී ශාසනය උපයෝගී කර ගනිමින් වනිතාවගේ උදාරත්වය ලොවට හඬ ගා කියමින් ආධ්‍යාත්මික අධිගම සාධනය කරගනිමින් වනිතාවන් තම ශ්‍රේෂ්ඨත්වය ලොවට පළ කර සිටි අයුරු අපි හැම මනාව දනිමු. අපේ යුග මෙහෙවර වන්නේ මෙම උතුම් ජීවන රටාව ඉදිරි වනිතා පරපුරට ද දායාද කරනු පිණිස පිවිතුරුව සහ සවිමත්ව රැක ගැනීමයි.

මැදින් පුර පසළොස්වක පෝය
මැදින් පුර පසළොස්වක පෝය පෙබරවාරි 28 වන දා ඉරිදා පූර්ව භාග 01.50 ට ලබයි. 28 වන දා එදිනම අපර භාග 10.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 28 වන දා ඉරිදාය
මීළඟ පෝය
මාර්තු 07 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

Second Quarterඅව අටවක

මාර්තු 07

New Moonඅමාවක

මාර්තු 15

First Quarterපුර අටවක

මාර්තු 23

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]