UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ, මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් විසින් ගල්පිහිල්ලේ රජ මහා විහාරාධිපති ශාස්ත්‍රපති, උඩුගොඩ ධම්මක්ඛන්ධ හිමියන් වෙත “ ධර්ම කීර්ති ශ්‍රී සිද්ධාර්ථ සෝභිත “ යන ගෞරව නාමය සහිත දෙදුම්බර ප්‍රධාන අධිකරණ සංඝ නායක ධූරය පිළිබද ශ්‍රී සන්නස් පත්‍රය පිරි නැමු අවස්ථාව.
ඡායාරූපය :-සේනක ඩබ්ලිව්.එස්.කොටන්දෙණිය

කොළඹ නවම් මහා පෙරහරේ ඉකුත් 22 වන දා පැවැති මල් පෙරහර ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සහ ශ්‍රී ලංකා පොලීසියේ ද සහභාගීත්වයෙන් කොළඹ හුණුපිටිය ගංගාරාමයේ දී පැවැත්විණි. එහිදී පෙරහරේ වැඩම කරවීම සඳහා සධාතුක කරඬුව ගංඟාරාමාධිපති ආචාර්ය ගලබොඩ ඤාණිස්සර නාහිමියන් විසින් සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා වෙත පිළිගැන්වූ අවස්ථාව. ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ ද ඡායාරූපයේ වෙති. ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා ඇතුළු ලේක්හවුස් සේවකයන් සහ ශ්‍රී ලංකා පොලීසියේ විශාල පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වූහ. ඡායාරූපය - රොෂාන් පිටිපන

මාබිම, හෙයියන්තුඩුව තායි - ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ පවත්වනු ලබන සීවලී දහම් පාසලේ වාර්ෂික ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පසුගිය දා එම විහාරස්ථානයේ දී පැවැත්විණි. මෙවර එම උත්සවයේදී සියලුම සිසු දරු - දැරියන්ට පොත් බෑගයක්, පාසල් සපත්තු, අමතර පාසල් උපකරණ මෙන්ම ධර්ම පුස්තකද, පිරිනැමීම විශේෂත්වයකි. මීට අමතරව, 300 ක් පමණ වූ සිසු දරුවන්ට රුපියල් 600 බැගින් වූ මුදල් තැන්පතුවක් සහිත බැංකු ගිණුමක් බැගින් ආරම්භ කරන ලදී. එම බැංකු ගිණුම් වලට අවම වශයෙන් වසරකට තෙවතාවක් මුදල් තැම්පත් කිරීමට ප්‍රධානාචාර්ය හා විහාරාධිපති රාස්සගල සීවලී හිමියන් විසින් කටයුතු යොදා තිබීම විශේෂත්වයකි. මුල් වර්ෂයන් තුළදී වසරකට දෙවතාවක් සෑම සිසුවෙකු හටම රු. 2000/= ක පමණ මුදලක් පිරිනැමිණි. කේ.ජී.ලක්සිරි අමරසිංහ මහතා ගුරුවරු ගුරුවරියන්ට නිළ ඇඳුම් පරිත්‍යාග කිරීම පුරුදු පරිදි මේ වසරේදීත් සිදු කැරිණි. පෙබරවාරි 07 දින යෙදෙන පූජ්‍යපාද ශාස්ත්‍රපති රාස්සගල සීවලී ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය නිමිති කොටගෙන මහා සංඝරත්නය හැට නමකට සාංඝික දානමය පින්කමක් ද පැවැත්විණි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආර්.එස්.කරුණාරත්න මහතා පසුගියදා ජෝන් ද සිල්වා අනුස්මරණ ශ්‍රවණාගාරයේදී පැවැති කලාකරුවන්ට සම්මාන පිදීමේ උළෙලේදී කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීය. ඒ මහතා සංස්කෘතික අධ්‍යක්‍ෂ ඊ.එම්. අභයරත්න මහතා අතින් සම්මානය ලබා ගත් අවස්ථාව මෙහි දැක්වේ. කරුණාරත්න මහතා සන්ඩේ ඔබ්සර්වර් පුවත් පතේ නියෝජ්‍ය කර්තෘවරයා වන අතර, ඔහු බුදුසරණ පත්‍රයට ඉංග්‍රීසි ලිපි සංස්කරණයෙන්ද සහාය වෙයි.

මරණයට කැප වූ ගවයන් තිදෙනකුට අභය දානය දීමේ පින්කමක් පසුගිදා (20) පිළියන්දල මඩපාත ජීවක වෙද නිවසේදී සිදු කැරිණි. එය සිදුවූයේ ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ සභාපති නිහාල් විජේරත්න මහතාගේ 50 වන ජන්ම දිනය නිමිත්තෙනි. එම අවස්ථාවට නිහාල් විජේරත්න, ජීවක වෙද නිවසේ වෛද්‍යාචාරිනී ගීතා ජානකී හේරත්, අවිහිංසාවාදී මහා සංගමයේ කැස්බෑව සම සංවිධායක ජනක වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.
ඡායාරූපය - ගාමිණී සුසන්ත

 

මැදින් පුර පසළොස්වක පෝය
මැදින් පුර පසළොස්වක පෝය පෙබරවාරි 28 වන දා ඉරිදා පූර්ව භාග 01.50 ට ලබයි. 28 වන දා එදිනම අපර භාග 10.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 28 වන දා ඉරිදාය
මීළඟ පෝය
මාර්තු 07 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

Second Quarterඅව අටවක

මාර්තු 07

New Moonඅමාවක

මාර්තු 15

First Quarterපුර අටවක

මාර්තු 23

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]