UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

චීන බෞද්ධ සත්‍ය කථා

ජීවිත මැණික් හා සමාන ය

කිවිපති - මාර්ටින් ජයවර්ධන

ඈත අතීතයේ චීනයේ සුචව් නගරයේ වැංටාලින් නමැති කාරුණික මනුෂ්‍යයෙක් ජීවත් වූයේය. සෑම ජීවිතයක්ම “ මැණික් වලටත් වඩා වටිනා දෙයක්ය” යන මතයෙහි ඔහු දැඩිව එල්බ සිටියේය. ලොකු හෝ වේවා කුඩා හෝ වේවා සෑම ජීවියකුට තම ජීවිතය ඉතා අගනේය යන මතය තමා තුළ පමණක් නොව වෙනත් අයටත් අවබෝධ කිරීමට ඔහු නිතර වෑයම් කෙළේය.

නිවාසවල කූඩුකර හිරකරගෙන සිටින සතුන් ඔවුන්ට මුදල් ගෙවා ලබාගෙන නිදහස් කිරීම, එම සතුන්ගේ ජීවිත ආපදාවෙන් ගලවා ගැනීම තම යුතුකම සේ සිතා ඔහු ක්‍රියාවට නැංවීය.

ඔහු ගේ ගමේ ළමයි මත්ස්‍යයින් කුරුල්ලන් සිවුපාවුන් හෝ කුඩා කෘමීන් පවා විනෝදයට හෝ වෙනත් කරුණකට හෝ අල්වා ගනු දුටු විට ඔහු මුදල් ගෙවා ඒ සතුන් මිලදී ගෙන මුදා හැරියේය. එබඳු අවස්ථාවල වැංටාලින් එම ළමයින් දැනුවත් කරන්නේ මෙසේ කියමින් ය.”

ළමයිනේ ජීවිත හානිය ඉතාම නරක අත්හැරිය යුතු පුරුද්දක් කැලෑවෙ ජීවත්වෙන කුරුල්ලො සින්දු කිය කියා ඉතාම සන්තෝසෙන් ඉන්න බව පේනව නේද? එම සතුන් අල්ලා ගත්තාම ඔවුන ගෙ මවුපියන්ට කොපමණ දුකක් කණගාටුවක් ඇති වෙනවද? හිතා බලන්න. බලන්න මාළු වතුරෙ පීනන කොට, ඉදිරියට පසුපසට පීනන කොට බලන් ඉන්න ආසයි නේද? සෑම දියකඩිත්තක්ම මාළු නිසා අපට ඉතා පි‍්‍රය මනාප බලන්න ආස හිතෙන තැනක් වෙනව නේද? සතුටින් ජීවත්වෙන සතුන් අල්ලා ඔවුනගෙ ජීවිත විනාශ කිරීම ඉතාම බරපතල පාපයක්.

ඒ නිසා ජීවිත හානියෙන් ඔය ළමයි සම්පූර්ණයෙන්ම ඈත් විය යුතුයි. කවරාකාරයකවත්, කවර හේතුවක් සඳහාවත් ජීවිත හානියක් නොකළ යුතුයි “චැංටාලින්ගේ මෙම උපදෙස් අසා සිටින ළමයින් ගෙදර වලට ගොස් තම දෙමාපියන්ටද මෙම විස්තරය සැල කිරීම නිසා බොහෝ දෙනෙක් පර පණ නැසීමෙන් වැලකුණහ. සත්ව ඝාතනය මහා පාපකාරී ක්‍රියාවක් බව වටහා ගත්හ.

මෙසේ කාලයක් ගතවෙන විට චෑංට අනපේක්‍ෂිත ලෙස රෝගයක් වැළඳුණි. එය සුවකළ නොහැකි මාරාන්තික ලෙඩක් බව වෛද්‍යවරු නිගමනය කළහ. වෛද්‍යවරුන්ගේ උපදේශය වූයේ දැනට මෙම රෝගි පුද්ගලයා ගේ මරණය ඉතා ළඟ නිසා ඔහුගේ භුමදාන කටයුතු සඳහා වළක් කැණ සූදානම් විය යුතු බවය.

මරණාසන්නව නිසසලව සයනයෙහි වැතිර සිටි චෑංට දෙවියන් අමතන බව ඇසුණි. තමාගේ දෙසවන් පවා විශ්වාස නොකළ ඔහු අව සිහියෙන්ම ඒ ගැන කිසි තැකීමක් නොකෙළේය.

ඉතා සෞම්‍ය ලෙස දෙවියන් චෑං අමතා මෙසේ ප්‍රකාශ කළහ. “ චෑංටාලින් දැන් ඔබේ මෙලොව ජීවිතය හැර යෑමේ වෙලාවයි. ඔබ මේ ගත කරන්නේ මෙම ජීවිත ආත්මයේ අවසාන මොහොතයි. නමුත් ඔබ බොහෝ ජීවිතවලට අභය දානය දී ඇති කාරුණික පුද්ගලයෙක් නිසා ඔබේ ජීවිතයටත් එලෙසම අභය දානය ඒකාන්තවම ලැබෙනවා. ඒනිසා දැන් ඔබ මිය යන්නේ නැහැ.”

මරණ මංචකයේ නිසොල්මන්ව සිටි චෑංටාලින්ගේ වැසි තිබුණ නෙත් විවර විය. “ මම තාම මැරි, නෑ” යයි ඔහු පවුලේ අයට හඬනගා කියා සයනයෙන් නැගී සිටියේ අවට සිටි පිරිස මවිතයට පත් කරමින්ය. ඔහුගේ ආසාධ්‍ය රෝගී තත්ත්වය පහව ගොස් තිබුණි. චෑං මිය යෑමේ ශෝකය ප්‍රදේශයෙන්ම පහව ගියේය.

අකාලයේ මිය යාමට කරුණු යෙදී තිබුණ චෑං වසර 97 ක් සුවසේ කිසිදු ආපදාවක් නැතිව ජීවත්වීමේ වාසනාව ලැබුවේය. චෑං ඒ සා අරුම පුදුම වාසනාවකට හිමිකරුවකු වූයේත්, මාරාන්තික රෝගයෙන් අත්මිදුනේත් ඔහුගේ අසීමිත සත්ව කරුණාව හේතුවෙන්ය. ඔහු ඔහුගේ දරුවන් , මුණුපුරු මිණිපිරියන්, මී මුණුපුරු මිනිපිරියන් හා ඔවුන් ගේද දරුවන් සමග විශාල පවුලක් ලෙස ඉතා සතුටින් පරමායුෂ භුක්ති විඳීමට හේතුව විශාල ජීවිත සංඛ්‍යාවක් මරණයෙන් මුදා නිරුපද්‍රිත කිරීමය.

The Love of Life ඇසුරින් සකස් කැරිණි.

මැදින් පුර පසළොස්වක පෝය
මැදින් පුර පසළොස්වක පෝය පෙබරවාරි 28 වන දා ඉරිදා පූර්ව භාග 01.50 ට ලබයි. 28 වන දා එදිනම අපර භාග 10.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 28 වන දා ඉරිදාය
මීළඟ පෝය
මාර්තු 07 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

Second Quarterඅව අටවක

මාර්තු 07

New Moonඅමාවක

මාර්තු 15

First Quarterපුර අටවක

මාර්තු 23

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]