UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිරිපාදේ මැදින් මහේ කරුණාවේ

ශ්‍රී පාදය වන්දනා සමය යෙදෙන ශ්‍රී පාද වාරයට අයිති හය මාසය තුළ මැදියම් කාලය මැදින් පුර පසළොස්වකට එළඹෙයි. ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට සුදුසුම කාලගුණික දේශගුණික තත්ත්වය මැදින් මස උදාවෙයි.උදෑසන අධික සීතල අඩුවෙයි. ඉඳහිට වැසි ලැබී පරිසරය සිසිල් වෙයි. හවස ශ්‍රී පාද නැඟ උදෑසනම හෝ හවස බහින විට ගිනියම් අව්වේ පීඩාව නොදැනෙයි.මේ හේතු මත ශ්‍රී පාදස්ථානයට නැඟීමට වඩාත්ම සුදුසු කාලය මැදින් මාසයයි.

මැදින් පුර පසළොස්වකට ශ්‍රී පාදස්ථානයට ළඟා වන වන්දනාකරුවන් ප්‍රමාණය ලක්‍ෂ පහ ඉක්මවන බව පෙනේ. බොහෝ විට එය ලක්‍ෂ අට ඉක්මවන අවුරුදු ද තිබේ.

ශ්‍රී පාදස්ථානයට වන්දනාකරුවන් පැමිණෙන ප්‍රධාන මාර්ග තුනක් වේ. හැටන් මස්කෙළිය මාර්ගය රත්නපුර පාර හා කුරුවිට පාර යනුවෙනි.

ශ්‍රී පාදස්ථානය අවට පදිංචිකරුවන් හා පරිසරය මැනවින් දන්නා අය එම ප්‍රධාන මාර්ග තුන හැර තවත් කෙටි මාර්ග වලින් අඩි පාර ඔස්සේ ද ශ්‍රී පාදස්ථානයට පැමිණේ. එවැනි කෙටි අප්‍රකට මාර්ග අටක් පමණ ප්‍රදේශයේ විහිදී ඇත.

ශ්‍රී පාදස්ථානයට පිවිසෙන ප්‍රධාන මාර්ග තුනෙන් වඩාත් අසීරු කුරුවිට මාර්ගයයි. එහෙත් ඒ පරිසරයේ සුන්දරත්වය අසීමිතය. අතීතයේ සිටම ශ්‍රී පාදස්ථානයට පිවිසෙන වඩාත් ප්‍රකට ගමන් මාර්ගය වූයේ හැටන් මාර්ගයයි.

එහෙත් අතීතයේ එම මාර්ගය විහිදුනේ හැටන් මස්කෙළිය හරහා නොවේ. ගිනිගත්හේන හඟරාපිටිය හරහාය. එම සියලු මාර්ග මහගිරි දඹය ආසන්න වන විට එක් වෙයි.

මැදින් පුර පසළොස්වකට ලක්‍ෂ ගණනක් බැතිමත්හු ශ්‍රී පාදස්ථානයට ලඟා වන විට ඇතිවන අපහසුතා ගැනද කල්පනා කළ යුතුවේ. මැදින් පුර පසළොස්වකට පෙරදින ශ්‍රීපාදස්ථානයට පැමිණෙන වන්දනාකරුවන්ට ඇතැම් විට සෙනඟ තදබදය නිසා ඉහළට යාමට පැය කීපයක් ගත විය හැකිය.

ප්‍රමාදව ශ්‍රී පාද වන්දනාවට ලඟා වන වෑන් රථ බස් රථ ආදියට ශ්‍රී පාදස්ථානය පාමුල දක්වා යාමට ඉඩ නොලැබී ඇතැම්විට සැතපුම් දහයකට වැඩි දුරක් මෑත රථ වාහන නතර කර ඒ දුර පයින් ගමන් කිරීමට සිදුවේ.

පටු මාර්ග වල ඉඩ ඇති ස්ථානයන්හි වාහන නතර කරන බැවින් ප්‍රමාදව එන රථ වාහන වලට ඉදිරියට යාමට ඉඩ නොලැබීම ඊට හේතුවක් විය හැකිය.

තදබදය අධික වීමෙන් හෙම්බත්වීමෙන් අධික වෙහෙසට පත් වීමෙන් සමහරුන්ට ශ්‍රී පාදස්ථානය නැගීමට ඉඩ නොලැබී හිස් අතින් හැරී ඒමට ඇතැම්විට සිදුවීමට ඉඩ ඇත. වන්දනා කරුවන් ඒ තරමට අධික විය හැකි බැවිනි.

පැය ගණන් එක දිගට පෝලිම් වල සිටින විට ජලය හා වෙනත් කායික අවශ්‍යතා නිසා ඇතැම් පීඩා සිදුවෙයි.

මැදින් පුර පසළොස්වකට මේ තරම් වන්දනාකරුවන් පිරිසක් ශ්‍රීපාද වන්දනාවේ පිවිසීමට හේතු කවරේදැ යි විමසා බලමු.

ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙන්නේ දෙසැම්බර් මස යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයෙනි. වන්දනා සමයේ හය මාසය නිමවන්නේ වෙසක්පුර පසළොස්වක පෝදාය. දෙසැම්බර් ජනවාරි පෙබරවාරි දක්වා මුල් මාස තුනේ පරිසරය දේශගුණය අතිශය කටුක විය හැකිය.

උදෑසන දැරිය නොහැකි තද සීතල ඇඟපතට තදින් දැනිය හැකිය. ජලය හිම මෙන් සීතලය. මුළු පරිසරයම මීදුමෙන් වැසී ඇත. දිවා කල ඇඟ පුපුරු ගහන සැඩ හිරු රැස් බිමට පතිත වෙයි.විශාල ගහකොළ අඩු බැවින් සැඩ හිරු රැසින් ඇඟපතට රශ්මිය දැනේ. වන්දනා සමය ඇරඹුණු මුල් කාලයේ දී වෙළඳ සැල්, ආපනශාලා සෞඛ්‍ය පහසුකම් තරමක් අඩු බවක් පෙනේ. එමෙන්ම වන්දනා සමය අවසන් කාලය ලඟා වන විට එනම් අප්‍රේල් මැයි වනවිට වන්දනාකරුවන් බෙහෙවින් අඩුවී යයි.කඩ වැසී යයි. නැවතත් පාළුව උදාවෙයි.

මේ අනුව ශ්‍රී පාදය වන්දනා සමය යෙදෙන ශ්‍රී පාද වාරයට අයිති හයමාසය තුළ මැදියම් කාලය මැදින් පුර පසළොස්වකට එළඹෙයි. ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට සුදුසුම කාලගුණික දේශගුණික තත්ත්වය මැදින් මස උදාවෙයි. උදෑසන අධික සීතල අඩුවෙයි. ඉඳහිට වැසි ලැබී පරිසරය සිසිල් වෙයි. හවස ශ්‍රී පාද නැඟ උදෑසනම හෝ හවස බහින විට ගිනියම් අව්වේ පීඩාව නොදැනෙයි.මේ හේතු මත ශ්‍රී පාදස්ථානයට නැඟීමට වඩාත්ම සුදුසු කාලය මැදින් මාසයයි.

මැදින් පුර පසළොස්වකට බැතිමත්හු බහුලව රැස්වීමට වැරදි විශ්වාසයක් ද පැතිර පවතී. එනම් බුදුහිමි ශ්‍රී පාදය මත සිරිපතුල පිහිටවූයේ මැදින් පුර පසළොස්වක දිනකය යන වැරැදි විශ්වාසයයි.මහාවංශයේ පළමු පරිච්ඡේදයේ හැත්තෑ හතර ගාථාව අනුව පන්සීයක් භික්‍ෂු පිරිවර සමඟ බුදුරදුන් ශ්‍රී පාදයට වැඩියේ වෙසක් පුර පසළොස්වක පෝදාක බව පැහැදිලිවම සඳහන් කරයි.

ශ්‍රී පාද අඩවියේ ලක්‍ෂපාන ජල විදුලි යෝජනාක්‍රමය රාජ්‍ය මන්ත්‍රණ සභා යෝජනාවලියේ ඇරඹෙන විට බාධක රැසක් මතු විය. බිංගෙය කැපීමේදී කීපපදෙනෙක්ම ඊට යට වී මළහ. විවිධ බාධා මතු විය.ඒ මිය ගිය අය සිහි වීමට පසුකල හෝර්ටන් නගරයේ සමරු ඵලකයක් ඉදිකර ඇත.

එම කාර්යය භාරව සිටි ඇමැති සර් ජෝන් කොතලාවල මහතා ලක්‍ෂපාන පලමු විදුලි ආලෝකය ශ්‍රී පාදස්ථානයට ලබා දෙන බවට සමන් දෙවියන්ට භාරයක් විය.ලක්‍ෂපාන විදුලි යෝජනාවලිය සාර්ථක වූයේ ඉන්පසුවයි.

ලක්‍ෂපාන ජල විදුලි යෝජනා ක්‍රමයේ වැඩ නිමවී පළමු විදුලි ආලෝකය 1950 මාර්තු 04 වනදා ශ්‍රීපාද පද්මයට ලබා දුන්නේය. එම මංගල විදුලි ආලෝකය ලබාදීම වෙනුවෙන් ශ්‍රී පාද හැටන් මාර්ගයේ ඉදිකළ සිහිවටනය මකර තොරණයි. අද මකර තොරණ ශ්‍රී පාද පූජනීය භූමියේ සීමාව ලෙස සැළකෙයි. එය 1950 ඉදිකළ බව මකර තොරණේ සමරු ඵලකයක සටහන් කර ඇත. ඒ අනුව මැදින් පුර පසළොස්වක පෝදාට ශ්‍රී පාද වන්දනා කරුවන් බහුලව ඇදී යාම පෙර පැවති සිරිතකට වඩා 1950 විදුලි ආලෝකය ලබා දීමෙන් පසු ඇති වූ චාරිත්‍රයකි.

මැදින් පසළොස්වකට වාර්ෂිකව විදුලිබල මණ්ඩලය ශ්‍රීපාද පද්මය හා එහි එන යන සියලු මාර්ග විදුලි එළියෙන් ආලෝක කොට පද්මයේ විසිතුරු පිරිත් පින්කමක් පවත්වයි. වන්දනාකරුවන් වැඩි වීමට මෙයද එක් හේතුවකි.

දුම්රිය ධාවනය පැතිරී යාම - පෞද්ගලික වන්දනා බස්රථ හා වෑන් රථ වැඩිවීම තරුණ පරපුරේ ප්‍රබෝධය වැඩිවීම මැදින් උදාව සමඟ ඇතිවන යහපත් කාලගුණික තත්ත්ව මෑත කාලයේ රටේ ඇතිවූ සාමකාමී වාතාවරණය වන්දනාකරුවන් බහුලවීමට බලපාන තවත් හේතු බව සඳහන් කළ හැකිය.

මැදින් පුර පසළොස්වක පෝය
මැදින් පුර පසළොස්වක පෝය පෙබරවාරි 28 වන දා ඉරිදා පූර්ව භාග 01.50 ට ලබයි. 28 වන දා එදිනම අපර භාග 10.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 28 වන දා ඉරිදාය
මීළඟ පෝය
මාර්තු 07 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

Second Quarterඅව අටවක

මාර්තු 07

New Moonඅමාවක

මාර්තු 15

First Quarterපුර අටවක

මාර්තු 23

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]