UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අසිරිමත් බුදුරජාණන් වහන්සේ

කර්තෘ - ශ්‍රී සද්ධර්ම විභූෂණ මහෝපාධ්‍යාය බටුවන් හේනේ මෙත්තාරාම අනුනාහිමි
මිල - රු. 300/=
විමසීම් - අමල් සම්පත් කුමාර, ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහා විහාරය, බටුවන්හේන, ඇල්පිටිය

බෙන්තර වළල්ලාවිට කෝරළයේ බටුවන්හේනේ ශ්‍රී සුදර්ශනාරාමාධිපති ශ්‍රී සද්ධර්ම විභූෂණ මහෝපාධ්‍යාය බටුවන්හේනේ මෙත්තාරාම අනුනායක මාහිමිපාණන් වහන්සේ විසින් එළි දැක්වුණු ‘අසිරිමත් බුදුරජාණන් වහන්සේ’ අගනා කෘතියකි. සව්සතට පි‍්‍රය වූ, මහා කාරුණික වූ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ජීවිතය පිළිබඳව කරනු ලැබූ මෙම කෘතිය පාඨක සිත් තුළට කදිම ධර්මෝපදේශයකි.

සම්බුදු සිරිත ඉතාමත් ම පිවිතුරු ලෙස පරිච්ඡේද අටක් යටතේ බෙදා දැක්වීම සිදුකර තිබේ. මෙහි ප්‍රථම පරිච්ඡේදයේ දී උතුම් වූ සම්බුදු රජාණන් වහන්සේට වන්දනා කිරීම සිදුකර ඇත. එය ‘මජ්ඣිම නිකායට්ඨකථාවේ’ ආරම්භක ගාථාත්‍රය ඇසුරෙන් සිදුකර තිබීම ද සුවිශේෂී වූවකි. තවදුරටත් වන්දනාව පිළිබඳ තොරතුරු සඳහන් කරතොත් අසේස ජන වන්දනීය වූ ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී නාමය කන වැකුණු ‘අනේපිඬු මහ සිටුතුමා’ සීත වනයට අසිරිමත් බුදුරජාණන් වහන්සේ දැක වැඳ පුදා ගැනීමට යෑම සිහිපත් වේ. සම්බුද්ධ රාජ්‍යයට පත් වූ සම්බුදු පියාණන් වහන්සේ උපක ආජීවකට තමා පිළිබඳව හඳුන්වා දීමේ දී අනන්ත ජින වෙමි’ යි යන එම යෙදුම සිත් කාවදින ලෙසත්, කනට මිහිරක් වන ලෙසත් යොදා ගැනීමට සමත් වී ඇත.

ලෝකවාසී සත්ත්වයන් හැම විට ම ලොව්තුරා බුදුගුණ මෙනෙහි කිරීමට පුරුදු වී සිටිති. ධජග්ග සූත්‍රයේ දී දෙව් බඹුන් යම් බයක් තැති ගැනීමක් වූ විට තමතමන්ගේ ධජ පිළිබඳව සිතන්නට උපදෙස් දෙන අයුරින්, සම්බුදු සුගතයාණන් වහන්සේ සිය අනුගාමිකයන්ට උපදෙස් ලබාදෙන්නේ තමන් වහන්සේගේ ගුණ සිහිකරන ලෙසයි. එසේනම් අද දක්වා ම දනන්ගේ මුවග නව අරහාදී බුදුගුණ සිහිපත් කිරීම ඉතාමත් අගය කළ යුත්තකි. මෙම බුදුගුණ මෙනෙහි කිරීම ද අසිරිමත් බුදුරජාණන් වහන්සේ කෘතියේ දී සිදුකර තිබේ.තවද සුමේධ අත්බවයේ පටන් බුද්ධ චරිතය පිළිබඳව දීර්ඝ විවරණයක් කිරීමට අමතක කර නොමැත. සුමේධ අවධියේ දී සිප්සතර හදාරා දෙමාපියන්ගේ ඇවෑමෙන් මුළු මහත් ධනස්ඛන්ධය ම දුගී මගී යාචකාදීන්ට දන් දී හිමවතට ගොස් තපස් කරනා අතරතුරේ දී දීපංකර පාද මූලයේදී තමන් වහන්සේට සසරින් එතෙරවීමට ලද ඉඩ ඉවත දමා සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පිරීමට අවශ්‍ය අභිනීහාරයන් සිදු කිරීම මෙහිදී සඳහන් කර ඇත. ඉතාමත් ම සරල බසින් සැමට අවබෝධ කර ගැනීමට හැකිවන අයුරින් සුමේධ කතා පුවත ඉදිරිපත් කර ඇත. එසේ ම මෙම භද්‍රකල්පයෙහි බුදු වූ සිව් බුදුවරයන් වහන්සේලා පිළිබඳව ද තොරතුරු රැස්කොට ඇත.

එපමණක් ද නොව සූවිසි බුදුවරයන් වහන්සේලා පිළිබඳව ම සම්පිණ්ඩිත තොරතුරු රැසක් ම මෙම කෘතියෙහි සංගෘහිතය. සුමේධ කතා පුවත ඇසුරෙන් පාඨක සැමට අගනා මුතුරුවන් දමක් අමුණන්නා සේ කරුණු රැස් කිරීම අගේ කළ යුත්තකි. සූවිසි බුදුවරයන් වහන්සේලාගේ ශරීර ශෝභාව, ආයු කාලය, මව්පියන් ආදී තොරතුරු සොයා ගැනීමට ද මෙමගින් ඉමහත් මෙහෙයක් ලැබෙන බව කිව යුතුය.

එසේ ම ජාතක පොතේ් එන නළපාන, වට්ටක, සස, ගුත්තිල ආදී ජාතක කතා සතක් ඇසුරෙන් දසපාරමිතා, දසෝපපාරමිතා, දසපරමත්ත පාරමිතා ප්‍රගුණ වන අන්දමින් කරුණු ගොනුකර තිබේ. අධිෂ්ඨාන පාරමිතාව, වැඩිහිටියන්ට ගරුකිරීම, දාන පාරමිතාව, ධර්මයට ඇති කැමැත්ත, අසරණයන්ට පිහිටවීම, ආදී ගුණාංග ඉස්මතු කෙරෙන ජාතක කතා ඇසුරු කරමින් බුද්ධ චරිතයේ වැදගත්කම බෝධි සත්ත්වගුණ වැනීම සිදුකර ඇති බවද පැවසිය යුතු ය. ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිළිබඳව සතර වන පරිච්ඡේදයේ දී වර්ණනා කර ඇති අයුරු ප්‍රශංසනීයය.

2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින (ශ්‍රී බු.ව. 2548 උඳුවප් පුන් පොහෝදා) ඉන්දියාව, ජපානය, මාලදිවයින ලංකාව ආදී රටවලට ගැලූ සුනාමි උවදුර ද මෙහි දක්වා ඇත. මෙහිදී ලංකාදීපයේ සිව්දිශාවෙහි වැඩ සිටින්නා වූ හිටි පිළිම, ඉඳි පිළිම කිසිවකට හානි නොවී තිබීම විශ්මය ජනකය. අපගේ යතිවරයාණන් වහන්සේ ඒ පිළිබඳව ද තොරතුරු දක්වා තිබීම ප්‍රශංසනීයය.

අටවන පරිච්ඡේදයේ එන අසිරිමත් සිදුවීමක් ලිපියෙන් එදා ශ්‍රී දළදා වහන්සේට මිත්‍යාදෘෂ්ටිකයන් නොයෙකුත් තාඩන පීඩන සිදුකිරීමේදීත් ඒ කිසිවකටවත් විනා කළ නොහැකි වූ අතර දීපාරාම නාහිමියන්ට බලංගොඩ ප්‍රදේශයෙන් ධාතුන් වහන්සේ නමක් ලැබීම හා එයට පුද පූජා පැවැත්වීම පිළිබඳව කදිම තොරතුරක් අන්තර්ගත කර තිබීමෙන් ශ්‍රී ශාරීරික ධාතුන් වහන්සේලාට එදා ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට සිදුකරනු ලබන පුද පූජා විධි පැවැත්විය යුතු බව සනිටුහන් කර තිබීමෙන් පැහැදිලි වන්නේ බුද්ධ ගෞරවයෙන් ශ්‍රද්ධා ගෞරවයෙන් ඇප උපස්ථාන සිදුකළ යුතු බවය. මේ අනුව සලකා බලන කළ අසිරිමත් බුදුරජාණන් වහන්සේ නමැති මේ කෘතිය ඉතාමත් සුවිශේෂි කෘතියක් වන අතර සදහම් දැනුමින් පෝෂණය වීම සඳහාත්, පිරිපුන් මිනිසෙකු වශයෙන් ආගමික දිවි පෙවෙත සාරවත් කර ගන්නා ආකාරය ඉස්මතු කර දීම සඳහාත්, බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව වඩවා ගැනීම සඳහාත් උචිත කෘතියක් ලෙස අගය කළ හැකිය.

මැදින් පුර පසළොස්වක පෝය
මැදින් පුර පසළොස්වක පෝය පෙබරවාරි 28 වන දා ඉරිදා පූර්ව භාග 01.50 ට ලබයි. 28 වන දා එදිනම අපර භාග 10.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 28 වන දා ඉරිදාය
මීළඟ පෝය
මාර්තු 07 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

Second Quarterඅව අටවක

මාර්තු 07

New Moonඅමාවක

මාර්තු 15

First Quarterපුර අටවක

මාර්තු 23

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]