UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කොළඹ නවම් මහ පෙරහර

තුනුරුවන්ට කෙරෙන පුදපූජාවක් ලෙසින් ඇරඹුණු මෙම පෙරහර සැරියුත් - මුගලන් දෙනමගේ පදවි ප්‍රාප්තියද සිහිපත් කෙරේ. නවම් මහා පෙරහර ආරම්භ කරන කාලය තුළ කොළඹ නගරයේ කිසිදු ආගමික පෙරහරක් නොතිබුණු අතර, මෙවැනි ශක්තිමත් සංස්කෘතික ප්‍රබෝධයක් ඇතිවන ක්‍රියාවලියක ආරම්භය සියලු දෙනාගේ ප්‍රශංසාවටත් අමන්දානන්දයටත් හේතුවිය. නවම් මහා පෙරහර සියලු කලා නිර්මාණයන්ගේ එකතුවකි. උඩරට පහතරට වශයෙන් ලංකාවේ විවිධ පළාත්වල කලාකරුවන්ගේ කලා ශක්‍යතාවයන් විදහා පෙන්වන තෝතැන්නක් ලෙස ද මෙම පෙරහර නම්කළ හැකිය.

සකල ලංකාවාසීන්ට තුනුරුවනේ සරණින් සාමය - සතුට පිරි සෞභාග්‍යමත් ජීවිත ගතකිරීමේ ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරගෙන මෙවරත් කොළඹ නවම් මහා පෙරහර මෙම මස 27 - 28 යන දෙදින පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ උතුම් සත්කාර්යයට ආශිර්වාදය ප්‍රාර්ථනා කරගෙන සතිපිරිත් දේශනාව හා මල් පෙරහර පෙබරවාරි 20 වන දින ආරම්භ කිරීමට නියමිතව තිබිණි.

‘කොළඹ ඇසළ පෙළහර’ නමින් බොහෝ කාලයකට පෙර බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව නිමිතිකරගෙන පෙරහරක් පැවැත්වුවද පසුකාලීනව යම් යම් කාරණා නිසා එය පැවැත්වීමට නොහැකි විය.

හුණුපිටිය ගංගාරාමාධිපති කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගලබොඩ සිරි ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්¸යෙන් හා මූලික මඟපෙන්වීමෙන් එකල අග්‍රාමාත්‍යව සිටි ආර්. පේ‍්‍රමදාස මැතිතුමාණන්ගේ අනුග්‍රහය ලබමින් ‘ කොළඹ නවම් මහා පෙරහර’ නමින් 1979 වසරේදී නැවතත් නව්‍යත්වයකින් ආරම්භ විය.

තුනුරුවන්ට කෙරෙන පුදපූජාවක් ලෙසින් ඇරඹුණු මෙම පෙරහර සැරියුත් - මුගලන් දෙනමගේ පදවි ප්‍රාප්තියද සිහිපත් කෙරේ.

නවම් මහා පෙරහර ආරම්භ කරන කාලය තුළ කොළඹ නගරයේ කිසිදු ආගමික පෙරහරක් නොතිබුණු අතර, මෙවැනි ශක්තිමත් සංස්කෘතික ප්‍රබෝධයක් ඇතිවන ක්‍රියාවලියක ආරම්භය සියලු දෙනාගේ ප්‍රශංසාවටත් අමන්දානන්දයටත් හේතුවිය.

සෙංකඩගල ශ්‍රී දළදා පෙරහර ශ්‍රී ලංකා පෙරහර ඉතිහාසයේ ඓතිහාසිකවූත් අග්‍රගණ්‍යවූත් කලා මංගල්‍යයි. ඒ හැර විවිධ විෂයයන් ඔස්සේ ලංකාවේ සතරදිග් භාගයේ වසරේ එක් එක් මාසවල පෙරහර පැවැත්වේ. ඒ සෑම පෙරහරකටම වඩා විශේෂත්වයක් ගනිමින්, දළදා පෙරහරට නොදෙවෙනි ආකාරයෙන් නවම් මහා පෙරහර ප්‍රදර්ශනය වේ.

ලංකාවේ අනෙක් පෙරහරවලට වඩා විශේෂ වන කාරණා අතර තුණුරුවන්ට කෙරෙන පුදපූජාවක් ලෙස මෙම පෙරහර පැවැත්වීම ඉතා වැදගත්ය. එසේම අනෙක් සෑම පෙරහරකම දක්නට ලැබෙන දේව පිළිම හා දේවාල මුල්කරගත් නිළමෙතුමන්ලා ද මෙහි දක්නට නැත. ඒ වගේම වැඩිම අලි - ඇතුන් සංඛ්‍යාවක් යොදාගත් පෙරහර වශයෙන් ද හැඳින්විය හැකිය.

නවම් මහා පෙරහර සියලු කලා නිර්මාණයන්ගේ එකතුවකි. උඩරට පහතරට වශයෙන් ලංකාවේ විවිධ පළාත්වල කලාකරුවන්ගේ කලා සඛ්‍යතාවයන් විදහා පෙන්වන තෝතැන්නක් ලෙස ද මෙම පෙරහර නම්කළ හැකිය. මෙවරද නැටුම් කණ්ඩායම් සියයකට අධික ප්‍රමාණයක් සහභාගි කරවීමට නියමිතය. ලංකාවේ බොහෝ කලායතනවල සහභාගිත්වය මේ සඳහා නොමඳව ලබාදේ. එම කලාකරුවන් හා අලි , ඇතුන් බලන අය මෙන්ම, පෙරහරට සම්බන්ධ වන සෑම කෙනෙක්ම විශේෂ උනන්දුවකින් මේ සඳහා සහභාගි වන්නේ අතිගෞරවණීය නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ මේ සඳහා දක්වන දැඩි කැපවීම නිසා මෙන්ම, උන්වහන්සේගේ නොමඳ පිළිසරණ හා පිහිටාධාරය හේතුකොට ගෙනය.


ආචාර්ය
ගලබොඩ සිරි ඤාණිස්සර නා හිමි

පසුගිය කාලයේ වෙහෙර විහාරස්ථානවල පෙරහර පින්කම් ඉතා කෙටියෙන් පැවැත් වූ අතර සමහර ප්‍රධාන පෙලේ පෙරහර ද පැවැත්වීමට නොහැකි විය. එහෙත් ත්‍රස්තවාදයේ රුදුරු ගිනි ඇවිල යන මොහොතේ පවා නවම් මහා පෙරහර නතර කළේ නැත.

එවන් අවස්ථාවල සමහර දෙනා පෙරහර පැවැත්වීම පිළිබඳව බිය සැක සංකා මතුකළත් එහිදී අතිගෞරවණීය පොඩිහාමුදුරුවන් වහන්සේගේ අදහස වූයේ “රටට ජාතියට උරුම වූ මෙවැනි සංස්කෘතික කටයුත්තක් නතරකර දැමුවොත් අපට හැමදාමත් හැංගිලා සිටින්නට සිදුවන බවත්, එය ත්‍රස්තවාදීන්ගේ අභිලාශය හා ඒකායන අරමුණ ඉටුකර ගන්නා බවත්ය.

පසුගිය කාලයේ රටතුල විවිධාකාර දුක් පීඩාවන්ගෙන් හෙම්බත්ව සිටි අවස්ථාවේ ලංකාවේ හදවත බදු කොළඹ නගරයේ මෙවැනි වික්‍රමයක් පාන්නට එඩිතර චිත්ත ශක්තියකින් ක්‍රියාකිරීම රටට කෙතරම් ශක්තියක් ද? ආශිර්වාදයක් ද? සංස්කෘතික වශයෙන් මෙන්ම, ආගමික වශයෙන් ද පැවතුනු උත්සව නතර වූ මොහොතක සෑම ගැටළුවකටම, බාධාවකටම නොබියව මුහුණ දී මෙවැනි කලා සංග්‍රහයක් අඛණ්ඩව එළිදක්වන්නට හැකිවීම රටටත්, ජනතාවටත් මහා භාග්‍යයක් ම වනු ඇත.

කතරගම නිරන්තරයෙන් බැතිමතුන්ගෙන් පිරී පවතින ස්ථානයකි. එහෙත් පසුගිය කාලයේ එම ප්‍රදේශයේ ඇතිවූ ත්‍රස්තවාදී බිය නිසා කතරගම ජනශූන්‍ය නගරයක් විය. මේ නිසා එදාවේල පිරිමහගෙන ජීවත්වුනු බුලත්විට විකුණන, මල් විකුණන අයට පමණක් නොව ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයින්ටද යන එන මං නැතිවිය.

එම අවස්ථාවේ අතිගෞරවණීය පොඩිහාමුදුරුවන් වහන්සේ කතරගම පවතින අරාජිකත්වය නැති කරන්නට ක්‍රියාත්මක වූහ. උන්වහන්සේ පළමුවෙන්ම කළේ පිරිසක් සමග එම ප්‍රදේශයට වියලි ආහාර ද්‍රව්‍ය යැවීමය. එපමණක් නොව දින තුනක් පුරා දිනකට පෙරහර වාර දෙකක් වශයෙන් කතරගම නගරයේ ප්‍රදර්ශනය කළහ. එයින් එහි වූ බිය සැක සංකා දුරුවිය. ඉන්පසුව යළිත් කතරගමට සෙනඟ ඇදී එන්නට වූහ. සමහර දෙනාට මේ කළ මෙහෙයයන් අමතක වී ඇත.

දැන්මේ රටට නියමාකාරයෙන් නිදහස ලැබී ඇත. ඒ නිදහස වෙනුවෙන් අතිගෞරවණීය පොඩිහාමුදුරුවන් වහන්සේගෙන් සිදු වූ සේවාව අති ශ්‍රේෂ්ඨය.

අවශ්‍ය සෑම අවස්ථාවකදීම රට, ජාතිය, ආගම වෙනුවෙන් කරන්නට ඇති දේ දුරදක්නා නුවණින් විමසා බලා යථාවාදීව, තථාකාරීව ක්‍රියාත්මක වන සංඝ පීතෘන්වහන්සේ නමක් හැටියට අතිපූජ්‍ය ගලබොඩ සිරි ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේගේ නොනිමි සමාජ මෙහෙවර දේශයට ශක්තියක්මය. එසේම ජාත්‍යන්තරවද ශ්‍රී‍්‍ර ලංකාවේ ප්‍රෞඪත්වය ඇති කරන්නට උන්වහන්සේගේ දායකත්වය අතිශයින් මහෝපාකාරී විය.

මේ ආකාරයෙන් රටේ එකමුතුකම, සාමය, සමගිය හා සෞභාග්‍යය ඇතිවී සියලු රටවාසීන්ට සහජීවනය හා සුඛිත මුදිතභාවය ඇතිවේවායි ප්‍රාර්ථනාවෙන් මෙවරත් නවම් මහා පෙරහර වීථි සංචාරය කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇත.

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය පෙබරවාරි 21 වනදා ඉරිදා අපර භාග 6.26 ට ලබයි.
22 වන දා සඳුදා අපරභාග 5.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 22 වන දා
 සඳුදාය.
මීළඟ පෝය පෙබරවාරි 28 ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 22

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

Second Quarterඅව අටවක

මාර්තු 07

New Moonඅමාවක

මාර්තු 15

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]