UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පමා නොවීමෙන් වැඩෙන යසස

දියුණුව යහපත කැමැති කෙනෙක්නම් වහ වහාම, දැන් දැන්ම කළ යුතු දේ කළ යුතුයි. ‘අප්පමාදො අමත පදං පමාදො මච්චුනො පදං’ නොපමා බව දියුණුවට මඟ වන අතර, පමාවීම පරිහානියට මඟ බව බුද්ධ දේශනාවයි. පමා නොවී වහ වහාම වැඩ කටයුතු කරගෙන තම විමුක්තිය පිණිස කටයුතු කරන්නැයි, බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනය තුළින්ද දේශනා කර ඇත.

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
උට්ඨානවතො සතිමතො
සුචිකම්මස්ස නිසම්මකාරිනො
සඤ්ඤතස්ස ච ධම්ම ජීවිනො -
අප්පමත්තස්ස යසොභි වඩ්ඪති

පින්වත්නි,

තථාගත බුදුරජාණන් වහන්සේ විසින් මෙම ගාථාව දේශනා කළේ කුම්භඝෝෂක නම් තරුණයෙක් අරභයා වේ. යහපත් ගතිලක්ෂණ සමුදායකින් සමන්විතව සිටි එම තරුණයා කාගේත් ප්‍රසාදය දිනා ගනිමින් උත්සාහවත්ව කටයුතු කර මහත් ධනසම්පත් ඇති සිටුවරයෙක් බවට පත්වූ බව ඇසීමෙන් පසු බුදුරදුන් විසින් ඉහත ගාථාව දේශනා කරමින් දහම් දෙසූහ.

වාසනාවන්ත ජීවිතයක් අපේක්ෂා කරන පුද්ගලයෙකු ළඟ තිබියයුතු ගතිලක්ෂණ හතක් මෙම ගාථාවෙන් ඉදිරිපත් කරනව. ඒ කරුණු නම් වීර්යවන්තබව, සිහියෙන් කටයුතු කිරීම, නිර්දෝෂි කෙනෙකුවීම, හොඳින් සිතා බලා කටයුතු කිරීම, සංවර බව, දැහැ අයෙකු වීම හා අප්‍රමාදීව කටයුතු කිරීම යන මේවායි. යම් කෙනෙකු ළඟ මෙම කරුණු පවතිනවානම් ඔහු යහපත් අයකු වන බවත්, මහත් ධනයකට හිමිකම් ඇත්තෙකු වන බවත්, බොහෝ අයගේ ගෞරව සම්මාන ආදියට ලක්වන බවත්, මහත් කීර්තියක් ඇත්තෙකු වන බවත් මේ තුළින් පෙන්වා දෙනවා.

භවභෝග සම්පත් ඇති ධනවතෙකු වීමටත්, බොහෝ දෙනාගේ සැලකිලි හා ගෞරව ලැබීමටත් ප්‍රසිද්ධියට පත්වෙන්නත් බොහෝ දෙනා කැමතියි. ඒ සඳහා ද ඉහත ගතිලක්ෂණ අවශ්‍යයි. ඕනෑම අයෙකුගේ දියුණුවට, උත්සාහය අත්‍යවශ්‍ය දෙයක්. ඈලිමෑලිකම්, කම්මැලිකම් පසෙකට දා, අධිෂ්ඨානශීලිව, තම අපේක්ෂාවන් ඉටුවන තෙක් ක්‍රියාශීලිවීම දියුණුවේ මඟයි. ධෛර්යවන්ත පුද්ගලයන් කුමන බාධා ආවත් ඒවාගෙන් නොසැලී තමාගේ් අපේක්ෂාවන් ඉටුවන තෙක් ඉදිරියටම යනවා. බාධා එල්ලවීම ස්වභාවයක්. ඒවාට නොසැලී ඉදිරියටම යාමයි කළ යුත්තේ. එවිට සියලු යහපත් අපේක්ෂාවන් ඉටුවෙනවා.

සිත හැම දෙයකට මුලයි. මනා සිහියෙන් කරන ක්‍රියාවන් තුළින්මයි යහපත දකින්නට පුළුවන් වන්නේ. නොමනා සිහියෙන් කරන දේ අයහපත පිණිස හේතු වෙනවා. දූෂිත වූ සිතින් කරන කියන දේ අකුසල වන බවත් ඒවාගෙන් සිදුවන විපාක තමා පසුපසම එන බවත් තමාට දුක ගෙනදෙන බවත් ධම්මපදයේ සඳහන් වෙනව.

එනිසා යහපත කැමැතිවන කවුරුත් මනා සිහියෙන් කටයුතු කිරීම අවශ්‍යමයි. කෙනෙකුට සිතෙන හැම දෙයක්ම සිතෙහි රඳවා ගැනීම අමාරුයි. එනිසා සිතට ගතයුතු දේ තීරණය කර ගැනීම වැදගත්. අවශ්‍ය දේ පමණක් සිතට ගතහොත් සිත අවුල් වන්නේ නෑ. සිත දූෂිත වන දේ බැහැර කර සිතට සහනය ගෙනදෙන දේ පමණක් සිතට ගෙන යහපත් සිහිය පවත්වාගෙන යාමෙන් යහපත සැලසෙනවා.

පුද්ගල යහපත හා දියුණුව සඳහා නිර්දෝෂි චරිතය ඉතා වැදගත්. නුවණැත්තන්ගේ් අවධානයට ලක්වන ඉතා කුඩා වරදක් හෝ නොමැතිව ජීවත්විය යුතු බව කරණීය මෙත්ත සූත්‍රයේද සඳහන් වෙනවා. වැරැදි චරිතයක් ඇත්තාට සමාජයෙන් තැනක් ලැබෙන්නේ නෑ. ඔහු පිළිකුලට බඳුන් වෙනවා. ඔහු නියම නායකයෙක් නොවෙයි. නියම මවක හෝ පියෙකු නොවෙයි. ආදර්ශවත් වැඩිහිටියකු ද නො වෙයි. නිර්දෝෂි තැනැත්තාට කාගේත්, පිළිගැනීමද ගෞරවයද සහායද ආශිර්වාදයද ලැබෙනවා.

ඕනෑම දෙයක් කරන්නට පෙර හොඳින් සිතා බැලීම වැදගත්. හදිසි තීරණයන්ට එළඹීම, කේන්තියෙන් තීරණ ගැනීම, විවිධ ක්‍රියාමාර්ග ගැනීම, වැරැදි වචන පිට කිරීම, තමාගේ විනාශයටයි හේතු වන්නේ.

කේන්තියෙන් තීරණ ගෙන ක්‍රියාකිරීම නො කළයුතු දෙයක්. ඇසූ පමණින් දුටු පමණින් ඉක්මන් තීරණ ගැනීමද නොකළයුතු දෙයක්. හැම විටම විමසා බලාම කටයුතු කිරීම තමාගේ යහපතට හේතු වෙයි. ඇතැම්විට නොවිමසා කටයුතු කිරීම තුළින්, තමා ඉතා පි‍්‍රයකරන අය තමාගෙන් ඈත් වෙනවා. තමාට ලැබියයුතු දේ නැති වෙනවා. පාඩු සිදුවෙනවා. එනිසාම කායික හා මානසික බවින් පිරිහෙනවා.

සංවරකම ද යහපත් දිවියක තිබිය යුතු සුවිශේෂ අංගයක්. කායික, මානසික, හා වාචසික සංවරකම මෙහිදී වැදගත්. අපහසුවෙන් නමුත්, කායික සංවරකම රැකගත යුතුයි. අත්පා ආදි අඟපසඟ, ඇස, කන, නාසය, දිව යන මේවා පාලනය කර ගත්තේ නැත්නම් සිදුවන හානි කොතරම් ද? ඒ ගැන නිතර සිතීම වැදගත්. ලෝකය පාලනය කරන්නට හා විනාශ කරන්නට හැකි මහා පුදුම බලයක් වචනයට තිබෙනවා. ලෝකයේ පරිහානියට නොව පැවැත්මට අදාළ යහපත් වදන් පිටකිරීම යහපත් ලක්ෂණයක්. තමාගේ් යහපතට අදාළ නොවන දේ ඇසීම බැලීම නොකළයුතුයි.

අදාළ දේ පමණක් ග්‍රහණය කර ගන්නට ක්‍රියා කිරීම යහපතට මගයි. එසේම කෑම පිළිබඳව සැලකිලිමත් නොවුවහොත් වැඩිකල් නිරෝගීව ජීවත්වීමට නො හැකි වේවි. අකාලයේ ලෙඩවේවි. ජීවිත කාලය කෙටිවේවි. කිසිවෙකුට සමාජයේ හුදෙකලාව ජීවත්වීමට නො හැකියි. අන්‍යයන් සමග සම්බන්ධතා ඇතිකර ගැනීමට සිදුවෙයි. තමා හැමවිටම සමාජයට අයත් සාමාජිකයෙකු විය යුතුයි. එසේ වීමට හැකිවන්නේ සමාජය අගය කරන යහගුණවලින් පෝෂිත ශීලාචාර අයෙකු වුවහොත් පමණයි. එසේ වුවහොත් සමාජයට පි‍්‍රය, කාගේත් අවධානය දිනාගත්, කාගේත් සහය ලැබෙන කාටත් අවශ්‍ය පුද්ගලයෙකුවීමට කාටත් පුළුවන්.

ජීවත්වීමට ඕනෑම ආකාරයක පුළුවන්. කෙසේ හෝ ජීවත්වීම නොව දැහමින් ජීවත්වීම වැදගත්. යුතුකම්, අයුතුකම්, හොඳ නරක කුසල් අකුසල් ආදී කරුණු පිළිබඳ දැනුමැති අයට දැහැමිව ජීවත්වීම අපහසු නෑ. තම අපේක්ෂාවන් ඉටුකර ගැනීමේදී ඒවා දැහැමිව ලබා ගැනීමට වෙර දැරීම දැහැමියකුගේ ලක්ෂණයකි.

මුදල් ඉපයීමේදී මී මැස්සෙක් මල නොතලා රොන් ගන්නාක් මෙන් කිසිවකු නො පෙළා මුදල් ඉපයීම ඉතා සුදුසු ක්‍රමය බව බුදුදහමින් අගය කරයි. හොරකම, කාමමිථ්‍යාචාරය, මත්පැන්, මත්ද්‍රව්‍ය, විෂ ද්‍රව්‍ය හා අවි වෙළඳාම මස් වෙළඳාම වැනි ක්‍රම මගින් හම්බ කිරීම දැහැමි ජීවිතයකට අදාළ නොවෙයි.

මනා සිහියෙන් හා මනා කායික ශක්තියක් ඇතිව ක්‍රියාකිරීමට හැකි කාලය ඉතා සීමිතයි. ජීවිත කාලයෙන් හරි අඩකටත් වඩා කාලයක් නින්දට ගත කරයි. ලෙඩ දුක් අසනීප සඳහා ද කාලයක් වෙන්කළ යුතු අතර, කුඩා අවධිය හා මහලු අවධියට කාලයක් වෙන් කළ යුතුයි. එවිට, වැඩකළ හැකි කාලය කෙතරම් කෙටිදැයි සිතා බලන්න. ඒ කාලය තුළ කෙතරම් දේ කිරීමට තිබෙනවද? තමාගේත් තම පවුලේත්, රටේ සමාජයේත්, යහපත වෙනුවෙන් කළයුතු යුතුකම් කෙතෙක්ද? එසේනම් අපට ලැබී තිබෙන කෙටි කාලය තුළ බොහෝ දේ කළ යුතුයි.

වැඩ පමා කිරීම අලසයෙකුගේ ලක්ෂණයකි. කම්මැලියා විවිධ දේ කියමින් තම කටයුතු කල්දමයි. මොනවා කල් දැම්මත් ඔහුට, වයස කල් දැමීමට බැහැ. ජීවත්වන කාලය කල් දැමීමට බෑ. ලෙඩරෝග කල් දැමීමට බෑ. එනිසා දියුණුව යහපත කැමැති කෙනෙක්නම් වහ වහාම, දැන් දැන්ම කළ යුතු දේ කළ යුතුයි. ‘අප්පමාදො අමත පදං පමාදො මච්චුනො පදං’ නොපමා බව දියුණුවට මඟ වන අතර, පමාවීම පරිහානියට මඟ බව බුද්ධ දේශනාවයි. පමා නොවී වහ වහාම වැඩ කටයුතු කරගෙන තම විමුක්තිය පිණිස කටයුතු කරන්නැයි, බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනය තුළින්ද දේශනා කර ඇත.

මාතෘකා ගාථාවට අනුව, යමෙක් උත්සාහවත්ව, සිහියෙන් කටයුතු කරන, නිර්දෝෂි වූද, දැහැමි වූද, අප්‍රමාදීවූද කෙනෙක් වෙයිනම් ඔහු ඉතා හොඳ නායකයෙක් වෙයි. කාගේත් ගරු බුහුමන් ලබන ඔහු ප්‍රසිද්ධ අයෙකු මෙන්ම ධනවත් අයෙකු ද වන බව පැහැදිලි වෙයි.

තෙරුවන් සරණයි!

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 5 වන දා සිකුරාදා අපර භාග 5.23 ට ලබයි. 6 වන දා සෙනසුරාදා අපරභාග 05.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 05 වන දා සිකුරාදා ය.

මී ළඟ පෝය පෙබරවාරි 13 වන දා සෙනසුරාදා ය..


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 05

New Moonඅමාවක

පෙබරවාරි 13

First Quarterපුර අටවක

පෙබරවාරි 22

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]