UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

‘භික්ෂුත්වය ගොඩනගන කාර්ය භාරයට පමණක් පිරිවෙන කැපවිය යුතු’

සම්බුද්ධ ශාසනය මැනවින් නගාසිටුවීම උදෙසා පරමාර්ථ වශයෙන් අතිඋත්තරීතර භික්ෂුන් වහන්සේ පිරිසක් බිහිකළ යුතුය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම භික්ෂුන් වහන්සේ කෙනෙකු වීම සුළුපටු කාර්යයක් ද නොවේ. මේ අතර උතුම් කාර්යභාර මැනවින් ඉටු කිරීම සඳහා වර්තමානයේ අප දකින පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයේ සංශෝධනය විය යුතු අංග රැසක් හඳුනා ගත හැකිය.

භික්ෂූන්වහන්සේ සැබවින්ම බහුශ්‍රැත විය යුතුය. මේ නිසාම උන්වහන්සේට මනා අධ්‍යාපනයක් ලබාදිය යුතු ය.

මෙහිදී විශේෂ කරුණ රැසක් අවධානයට ගත යුතුය. එනම් භික්ෂූන් වහන්සේ විසින් හැදෑරිය යුත්තේ මොනවාද? හැදෑරිය නොයුත්තේ මොනවාද? මේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් භික්ෂූ අධ්‍යාපනය මෙහෙයවන පිරිස වෙත තිබිය යුතුය. මුලින්ම භික්ෂුන් වහන්සේ කෙනෙකු කෙසේ විය යුතුද යන ප්‍රශ්නයට පිළිතුරු සපයා ගැනීම සුදුසුය.

භික්ෂූන් වහන්සේට ලබාදිය යුතු අධ්‍යාපනය කවරාකාර විය යුතුද යන ප්‍රශ්නයට පිළිතුරු සපයාගත හැකි වන්නේ, එවිටය. භික්ෂූන් වහන්සේ කෙනෙකු ධර්මධර වියයුතුය. විනයධර විය යුතුය. රටේ රජුට පවා අවවාද අනුශාසනා කළ හැකි කෙනෙකු බවට පත් විය යුතුය. දණගසා වැඳීමට සුදුසු අයෙකු විය යුතුය.

දැනට අප රටේ භික්ෂුන් වහන්සේට අධ්‍යාපනය ලබාදෙන කේන්ද්‍රස්ථානය වී ඇත්තේ පිරිවෙන ය. ගුණගරුක, විනය ගරුක භික්ෂූන් වහන්සේ කෙනෙකු ගොඩනැංවීමෙහිලා පිරිවෙන් අධ්‍යාපනයෙන් ප්‍රමාණවත් කාර්යභාරයක් ඉටුවෙනවාද යන්න මෙහිදී සලකා බැලිය යුතුය.

භික්ෂූ අධ්‍යාපනයෙහිලා අත්‍යවශ්‍ය ධර්මාවබෝධය ලබාදෙන තැනක් බවට පිරිවෙන පත් වන්නේ නම් ඉන් පිරිවෙනක මූලික කාර්යභාරය ඉටුවන බවට අපට සතුටු විය හැකිය. එහෙත් වර්තමාන පිරිවෙනහි ඉගැන්වෙන විෂය ධාරාව භික්ෂූත්වයේ වර්ධනයට හේතුවෙද යන්න සැක සහිත ය.

සාමාන්‍යය ගිහි ශිෂ්‍යයන් ඉගෙන ගන්නා සෑම විෂයයක්ම පිරිවෙන් අධ්‍යාපනයට ඇතුළත් කොට තිබීම අනුමත කළ නොහැකිය. සාමාන්‍ය පෙළ, උසස් පෙළ නිමවා උසස් අධ්‍යාපනයට යොමුවන භික්ෂුව භික්ෂුත්වයට අයත් රාමුව ඉක්මවා යන අධ්‍යාපන ක්‍රමවේදයනට පිළිපන් අයෙකි. වාණිජ, නැතහොත් ජීව විද්‍යාව, විෂයයන් ගණිතය හෝ අවශේෂ කලා හැදෑරීම මෙන්ම ඒ ඒ විෂයයන්ගේ ප්‍රවීණයන් භික්ෂූන්වහන්සේ අතරින් අපේක්ෂා කරන්නේ නම් එය භික්ෂුත්වය වරදවා ගැනීමකි.

මේ ආකාරයට අද පිරිවෙන් අධ්‍යාපනය හා සාමාන්‍ය පාසල් අධ්‍යාපනය අතර කිසිම වෙනසක් නැත. පිරිවෙනෙහි එකම පන්ති කාමරයෙහි දෙපසද ගිහි හා පැවිදි ශිෂ්‍යයෝ උගනිති. මෙහිදී ඔවුන් දෙපාර්ශවය වෙනස් වන්නේ ඇඳුමෙන් පමණි.

පිරිවෙනෙහි උගැන්වීමට යොදාගන්නා ගුරුවරුන් පිළිබඳව විමසීම මෙහිලා ඉතා වැදගත්ය.

ගුරුවරයකුට කෙසේ වෙතත් පිරිවෙන් අධ්‍යාපනය ලබාදෙන ගුරුවරුනට විශේෂයෙන් ශ්‍රද්ධාව තිබිය යුතුය. නැතහොත් ඒ පිරිවෙන් අධ්‍යාපනය සාර්ථක නොවේ. පිරිවෙන් අධ්‍යාපනය ලබාදෙන ගුරුවරුන් ශ්‍රද්ධාවන්ත කැරලීමෙහිලා පරිවෙණාධිපතීන් වහන්සේට විශාල කාර්යභාරයක් ඉටුකිරීමට තිබේ. එම කාර්යභාරය මැනවින් ඉටුකැරලීමට නම් පරිවෙණාධිපතීන් වහන්සේ ශ්‍රද්ධා සම්පන්න විය යුතුය.

එවිට පවතින ක්‍රමය මධ්‍යයේ පිරිවෙන් අධ්‍යාපනයේ අරමුණවලින් අඩක් හෝ ඉටු වනුයේ. සංඝයාවහන්සේ හැසිරවීම, පාලනය කිරීම, ඔවුනට ගුරුහරුකම් ලබාදීම පහසු නොවේ. සංඝයා වහන්සේ යනු මේ ලෝකයේ වසන්නා වූ පිරිසිදුම පුද්ගලයන් පිරිසය. වචන කතා කරන අය අතර ශ්‍රේෂ්ඨතම පුද්ගලයා වනුයේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ය. එසේ වූ ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයන් සේ සලකන මහා සංඝරත්නයට අධ්‍යාපනය ලබා දෙන්නත් සද්ධා සම්පන්න විය යුතුම ය.

සංඝරත්නය කෙරෙහි පිහිටන්නා වූ විශේෂ ගුණ පිළිබඳ මෙහිදී මෙනෙහි කැරගත යුතුය. මහාසංඝරත්නය සුපටිපන්න ගුණයෙන් එනම් රාග, ද්වේෂ, මෝහ නැති මග අනුගමනය කිරීමෙන් යුත්ක ය. සෘජු ප්‍රතිපත්ති ගුණය එනම් අවංක ප්‍රතිපත්තියෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් යුක්ත ය.

ඥායපටිපන්න ගුණයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් යුක්තය. මෙසේ වූ අප්‍රමාණ ගුණ ධර්ම පුරුදු පුහුණු කළ යුතු සංඝරත්නයට අධ්‍යාපනය ලබාදීම එසේ මෙසේ කාර්යයක් නොව සුවිශාල භාරදූර කාර්යයකි.

මේ කාර්ය නිසි ලෙස ඉටුකරන්නා වූ ස්ථානයන් ලෙස පිරිවෙන් සැකසිය යුතු ය. නැතිව ඉන් පලක් වන්නේ නැත.

ඕනෑම විෂයයක් පිළිබඳ මූලික අවබෝධයක් තිබීම සෑම අයකුටම වැදගත් ය. එහෙත් භික්ෂූන්වහන්සේට අනෙකුත් විෂයයන් ඉගැන්වීම බුදුරජාණන් වහන්සේ තහනම් කොට ඇත. නිර්වාණගාමී ප්‍රතිපදාවට අනෙකුත් විෂයයන් ඉගෙනීමෙන් සිදුවන බාධාව එම විෂයයන් තහනම් කිරීමට හේතුවයි.

බුදුරජාණන් වහන්සේ මෙසේ වූ ධර්ම පාඨයක් දේශනා කොට තිබේ.

‘තථාගත පවේදිතා
ගම්භීරා ගම්භීරර්ථා
සුඤ්ඤත පටිසංසුතා.

මෙහි ගම්භීර යනු පරම ගාම්භීර බවයි. සුඤ්ඤා පටිසංයුතා යනු මම මගේ මගේ ආත්මයෙන් තොර වූ ධර්මය යන්නයි. තථාගත සංවේදිතා යනු තථාගතයන් වහන්සේ විසින් පනවන ලද යන්නයි.

මේ ආකාරයට ධර්මයට කන් යොමු නොකර සිටීමෙන් වෙනත් වෙනත් ආකාර වූ තිරිසන් ගත විද්‍යාවනට භික්ෂූන්ගේ අවධානය යොමු වේ. මේ ආකාරයට කටයුතු සිදුවන විට ගම්භීර ධර්මය අතුරුදන් වේ. මෙබඳු අතිශය භයානකකමක් අප හමුවේ ඇත.

මේ වාතාවරණය සසුනට විශාල අනතුරකි. බාධකයකි. හානියකි. අප හැමට සියලු යස ඉසුරු පැවතියද පිරිසුදු බුදු සසුනක් නැතිනම් ඵලක් නොමැත. සැබවින් පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය යනු පිරිසුදු බුදු සසුනක් බිහි කරන තක්සලාව ය. මෙය වහා සංශෝධනය විය යුතුය. දොස් සොයා බලා එහි අරමුණුවලට සරිලන ලෙස එවා නිවැරැදි කැරගත යුතුය. එය වග කිව යුතු සැමගේ පරම යුතුකමයි.

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 5 වන දා සිකුරාදා අපර භාග 5.23 ට ලබයි. 6 වන දා සෙනසුරාදා අපරභාග 05.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 05 වන දා සිකුරාදා ය.

මී ළඟ පෝය පෙබරවාරි 13 වන දා සෙනසුරාදා ය..


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 05

New Moonඅමාවක

පෙබරවාරි 13

First Quarterපුර අටවක

පෙබරවාරි 22

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]