UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

උඩරට අමරපුර මහා නිකායේ මධ්‍යම පළාතේ උප ප්‍රධාන සංඝ නායක පදවි ප්‍රාප්ත සිරි මුනිවර වංසාලංකාර විනයවාදිනී සාහිත්‍ය ශිරෝමණි පණ්ඩිත, ශාස්ත්‍රපති පණ්ඩිත

මාදිපොල ධම්මික ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිගැනීමේ මහෝත්සවය

මෙම 7 වන දා පස්වරු 2 ට මහනුවර හාරිස්පත්තුව ඉහගම ශ්‍රී සුගත මහා විහාරයේ දී

ධර්ම ශාස්ත්‍රධර මහ තෙර නමකි

උඩරට අමරපුර නිකායේ මධ්‍යම පළාතේ උප ප්‍රධාන සංඝ නායක පදවියට අභිනවයෙන් පත් වූ මාදිපොල ධම්මික මහ ස්ථවිරයන් වහන්සේ දහරවියේ සිටම අපගේ ධර්මාන්තේවාසී ඡාත්‍රයෙකු ලෙසින්, කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනින් ධර්ම ශාස්ත්‍රෝද් ග්‍රහණය කළ අවධිය අදද මට සතුටින් සිහිපත් කළ හැකි ය. උසස් ගුරු ගෞරවයකින් ක්‍රියා කරන මුන් වහන්සේ මා දන්නා පමණින් පරෝපවාද විරහිත භික්‍ෂුවක වශයෙන් හැඳින්විය හැකි ය. ධර්ම ශාස්ත්‍රධාරී මහතෙර නමක් ලෙස දායක කාරකාදීන්ගෙන් ප්‍රසාදය දිනාගනිමින් ශාසනෝන්නතිය වෙනුවෙන් සිදුකෙරෙන සේවාවන් පිළිබඳව අපගේ ප්‍රසාදය පළ කරමු. රජයේ ගුරුවරයෙකු වශයෙන්ද විවිධ ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ හා ලේඛක රචනා කරන ලේඛකයෙකු වශයෙන්ද උන්වහන්සේ ප්‍රසිද්ධියට පත් වූ හිමිනමකි. උන්වහන්සේගේ ලෝක ශාසනික සේවාවන් අගය කරමින් අපේ උඩරට අමරපුර නිකාය මගින් උන්වහන්සේට වැදගත් ශාසනික පදවියත් ප්‍රදානය කිරීම අගය කරන අතර ඒ පිළිබඳව අපගේ අනුමැතිය හා ප්‍රසාදය මෙයින් පළ කරමු. ලැබූ ශාසනික පදවියේ කටයුතු වඩාත් හොඳින් සිදු කිරීමට අපේ ධම්මික මහ ස්ථවිරයන් වහන්සේට රත්නත්‍රයානුභාවයෙන් ආයුරාරෝග්‍යාදී සම්පත් ලැබේවායි ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය වෙනුවෙන් මෙතින් සිතින් ප්‍රාර්ථනා කරම්හ.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක
ග්‍රන්ථ විශාරද, අග්ග මහා පණ්ඩිත මහෝපාධ්‍යාය
දවුල්දෙන ඤාණිස්සර මහා නා හිමි


ගෞරවය දිනා සිටිනවා

මහනුවර හාරිස්පත්තුවේ ඉහගම සුගත මහා විහාරාධිපති ශාස්ත්‍රපති මාදිපොළ ධම්මික මහා ස්ථවිරයන් වහන්සේ ළමාවියේ දී සසුන්ගත වී උගතමනා බණදහම් භාෂා ශාස්ත්‍රාදිය හදාරා ධර්මවිනයධාරී මහාස්ථවිර නමක්ව වැඩ වෙසෙති.

උන්වහන්සේ සතු සංවිධාන ශක්තිය දැක ඇත්තෙමි. මීට වසර දහයකට පමණ ඉහත දී මහනුවර ගන්නෝරුව සිරිමහබෝධි සීමාමාලකයේ දී සිදු කළ සමස්ත ලංකා අමරපුර නිකායික උපසම්පදා විනය කර්මයේ දී භාරධූර වගකීම් රාශියක් දරමින් උන්වහන්සේ කළ සේවාවන් තවමත් මතක ඇත. දිවයිනේ විවිධ පළාත්වල ධර්මදේශනා පවත්වමින් පොත්පත් පළ කරමින් සිදු කරන සේවාවන් ද අගය කරමි.

ධර්මශාස්ත්‍රධාරී කාර්යශූර ශ්‍රවණසාරුප්‍ය ගුණෝපේත මෙවන් මහස්ථවිර නමකට උඩරට අමරපුර නිකාය මගින් මධ්‍යම දිසාවේ උපප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම ඉතා යෝග්‍ය බව ප්‍රකාශ කරන අතර රත්නත්‍රයෙහි බලයෙන් හා මහනුවර වැඩසිටින සිරිදළදා වහන්සේගේ අනුහසින් මාදිපොළ ධම්මික නායක මහාස්ථවිරයන් වහන්සේට අභිනව ශාසනික තනතුරෙහි වැඩ වැඩීමට කායික මානසික සුවපත් භාවයත් චිරජීවනයත් ලැබේවා.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති, අග්ගමහා පණ්ඩිත
කොටුගොඩ ධම්මාවාස අනු නා හිමි


සසුන බබළවන මෙහෙවරක් කළා

වර්තමාන ශ්‍රී ලංකා භික්‍ෂු සාසනයේ අද්විතීය ස්ථානයක් උඩරට අමරපුර මහානිකායට හිමිවේ. ජාතික ආගමික සාමාජික මෙහෙවර කුමක්ද යන්න අවබෝධ කරගෙන යුගයේ අවශ්‍යතාවය වෙනුවෙන් අප නිකායේ සියලු සාමාජික යතිවරුන් ක්‍රියා කරති. අතිපූජ්‍ය විදුරුපොල පියතිස්ස මහානායක ස්විමීන්ද්‍රපාදයන් වහන්සේගෙන් ආරම්භ වූ වියත් සඟපරපුර අද දක්වාම සිය අනන්‍යතාව රැක ගනිමින් ශාසනයෙහි උජ්ජලිත තාරකාවන්සේ බබලති. මහනුවර ඉහගම ශ්‍රී සුගතමහා විහාරාධිපති නුගවෙල මධ්‍ය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති මාදිපොල ධම්මික මහා ස්ථවිරයන් වහන්සේ තරුණ භික්‍ෂු සංස්ථාව තුළ ඉහළ නායකත්වයක් ලබමින් සාසනෝන්නතිය පිණිස කටයුතු කරයි. උගත්කමද ධර්ම විනය පිළිබඳ ලබා ඇති පරිචයද, ඒ පිළිබඳව ලබා ඇති උපාධි සංඛ්‍යාවද බලනවිට උන්වහන්සේගේ ධර්ම විනය ඥානය තේරුම්ගත හැකි ය. වසර සියයකටත් වැඩි දීර්ඝ ඉතිහාසය තුළ උඩරට භික්‍ෂු වංශයෙහි බටගලු පරපුරෙහි කැපී පෙනෙන යතිවරයෙකු ලෙස කටයුතු කරන අපේ බලවත් ප්‍රසාදයට පාත්‍ර වූ මාදිපොල ධම්මික මහාස්ථවිරයන් වහන්සේට යුගයේ අවශ්‍යතාවයන්, කාර්ය භාරයන් තව තවත් ශක්තිමත්ව හා පුළුල්ව කරගෙන යාම සඳහා අප උඩරට අමරපුර මහා නිකායේ විනයවාදිනී කාරක සංඝ සභාව වෙතින් “සිරි මුනිවර වසාලංකාර විනයවාදිනි සාහිත්‍ය ශිරෝමණී පණ්ඩිත” යන ගරු නාම සම්මුතිය සහිත මධ්‍යම පළාතේ උපප්‍රධාන සංඝ නායක පදවිය පිරිනමන්නට යෙදුණි.

උඩරට අමරපුර මහා නිකායේ මහා නායක, මහා මහෝපාධ්‍යාය, රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී, අග්ග මහා පණ්ඩිත
තෙරිපැහැ සෝමානන්ද මහා නා හිමි


සිදු කරන සේවය ප්‍රශංසනීය යි

නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති, හාරිස්පත්තුව ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී, හාරිස්පත්තුව තෛ‍්‍රනිකායික විහාරාධිපති සංගමයේ ලේකම්, ශාස්ත්‍රපති, අධ්‍යාපන ඩිප්ලෝමා උපාධිධාරී මාදිපොල ධම්මික ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත උඩරට අමරපුර මහානිකාය මගින් මධ්‍යම පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරන්නේ බලවත් සතුටිනි. ඉහගම ශ්‍රී සුගත මහා විහාරය, දොඹගම්බන ශ්‍රී සුදර්ශනාරාමය යන උභය විහාරාධිපතිව වැඩ විසූ ශාසනවංශාලංකාර බටගල්ලේ සුමනසාර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ගුරු දේවයන් වහන්සේලා සය නමක් ගුරු තනතුරෙහිලා පැවිදි බව ලැබූ මාදිපොළ ධම්මික හිමි මූලික අධ්‍යාපනය කන්තලේ අග්‍රබෝධි පිරිවෙණින් හා පේරාදෙණිය ශ්‍රී භාරතීන්ද්‍රිය පිරිවෙණින් ලැබී ය. අනතුරුව පැවිදි දිවියේ උසස් අධ්‍යාපනය සඳහා කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙණට ඇතුළත් වූ ධම්මික ස්වාමීන්ද්‍රයන් වහන්සේ භික්‍ෂු අධ්‍යාපනය ඉතා ඉහළින් ලබා ගැනීමට සමත් වූහ. සෑම පන්තියකම ගුරු ශිෂ්‍ය දෙපක්‍ෂයේම ගෞරවයට පාත්‍ර වෙමින් මැනවින් ඉගෙනීමේ ක්‍රියාවලියෙහි යෙදෙමින් අවසාන ශ්‍රේණි විභාගයෙන් ඉහළ සාමාර්ථය ද ලැබී ය. සිංහල, පාලි, සංස්කෘත, ප්‍රාකෘත, ඉංගී‍්‍රසි සහ ත්‍රිපිටක ධර්මයට අදාළ මූලික ත්‍රිපිටක ග්‍රන්ථ අධ්‍යයනයෙන්ද මනා දැනුමක් ලැබීමට උන්වහන්සේට හැකි විය.

කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පරිවේණාධිපති
ගාලු සහ බස්නාහිර දෙ දිසාවේ ප්‍රධාන සංඝ නායක, දර්ශනපති
බලන්ගොඩ සෝභිත නා හිමි


කැපවීම සුවිශේෂ යි

පූජ්‍යපාද මාදිපොල ධම්මික ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත උඩරට අමරපුර මහා නිකායේ මධ්‍යම පළාතේ උපප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත.එය උඩරට අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය තෙරිපැහැ සෝමානන්ද මහනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු විනයවාදිනී කාරක සංඝ සභාව ගනු ලැබූ ඉතා උචිත හා කාලෝචිත තීරණයක් වන්නේය.

ජාතික, ආගමික, ශාසනික හා සාමාජික සියලු කාර්යයන්හිදී උන්වහන්සේ සිදුකරනු ලබන කැප කිරීම සුවිශේෂී වන්නේය. කාලය ශ්‍රමය කැප කරමින් මෙලෙස ක්‍රියාකරන භික්ෂූන් වහන්සේලා ඉතා අල්ප යුගයක අභිනව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැනි තරුණ නායකත්වයන් සමාජයට අත්‍යවශ්‍ය සමයක යුගයේ ශාසනික මෙහෙවර සඳහා අවශ්‍ය නායකත්වය සුදුසුම භික්ෂූන් වහන්සේ නමක් උදෙසා ප්‍රදානය කිරීම පිළිබඳව අපගේ ගෞරව නමස්කාරය පුද කරනු කැමැත්තේය. අභිනව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සතු ගුණවත් බවත් ශීලවත් බවත් ශ්‍රමන ආකල්ප සම්පත්තියත් සංඝ සමාජය කෙරෙහි වඩාත් ඇද බැඳ තබා ගැනීමට හේතු වන්නේය.

සිදුකරන ලද සමාජ හා ශාසනික මෙහෙවර වඩාත් තීව්‍ර ලෙස සිදුකරමින් බෞද්ධ සමාජයට අවශ්‍ය භික්ෂු නායකත්වය ලබා දෙන්නට ගරු මාදිපොල ධම්මික ස්වාමින්ද්‍රයන් වහන්සේට ආයු ශක්තියත් කායික හා මානසික නිරෝගිතාවයත් නොඅඩුවම සැලසේවායි! ප්‍රාර්ථනය කරමි.

අග්‍රාමාත්‍ය
රත්නසිරි වික්‍රමනායක


කාලෝචිත තීරණයක්

උඩරට අමරපුර මහා නිකායේ මධ්‍යම පළාතේ උපප්‍රධාන සංඝනායක පදවිය පූජ්‍යපාද මාදිපොල ධම්මික ස්වාමීන්ද්‍රයන් වෙත පිරිනමා ඇත.එය උඩරට අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය තෙරිපැහැ සෝමානන්ද මහානායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු විනයවාදිනි කාරක සංඝ සභාව ගනු ලැබූ ඉතා උචිත හා කාලෝචිත තීරණයක් වන්නේය. ජාතික, ආගමික, ශාසනික හා සාමාජික සියලු කාර්යයන්හිදී උන්වහන්සේ විසින් සිදුකරනු ලබන කැප කිරීම සුවිශේෂීය. එය අප ප්‍රත්‍යක්‍ෂයෙන්ම දන්නා කරුණකි.

කාලය ශ්‍රමය කැප කරමින් මෙලෙස ක්‍රියාකරන භික්ෂූන් වහන්සේ ඉතා අල්ප යුගයක අභිනව නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වැනි තරුණ නායකත්වයන් සමාජයට අත්‍යවශ්‍ය සමයක යුගයේ ශාසනික මෙහෙවර සඳහා අවශ්‍ය නායකත්වය සුදුසුම භික්ෂූන් වහන්සේ නමක් උදෙසා ප්‍රදානය කිරීම පිළිබඳව අපගේ ගෞරව නමස්කාරය පුද කරනු කැමැත්තේය. අපේ අභිනව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප ඉතා ළඟින් ඇසුරු කරන යතිවරයෙකි. උන්වහන්සේගේ ගුණවත් බවත් සිල්වත් බවත් ශ්‍රමන ආකල්ප සම්පත්තිය සංඝ සමාජය කෙරෙහි වඩාත් ඇද බැඳ තබා ගැනීමට හේතු වන්නේය.

.සිදුකරන ලද සමාජ හා ශාසනික මෙහෙවර වඩාත් තීව්‍ර ලෙස සිදුකරමින් බෞද්ධ සමාජයට අවශ්‍ය භික්ෂු නායකත්වය ලබා දෙන්නට ගරු මාදිපොල ධම්මික ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආයු ශක්තියත් කායික හා මානසික නිරෝගිතාවයත් නොඅඩුවම සැලසේවායි! ප්‍රාර්ථනය කරමි.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති හා රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශක
කෙහෙළිය රඹුක්වැල්ල


ක්‍රියාකාරී දක්‍ෂ හිමි නමකි

ඉහගම ශ්‍රී සුගත මහ විහාරාධිපති පූජ්‍යපාද මාදිපොල ධම්මික ස්වාමිපාදයන් වහන්සේ මම හොඳින් හඳුනමි. ධර්ම ශාස්ත්‍ර මනාසේ හදාරා බහුශ්‍රැත බවින් යුක්ත උන්වහන්සේ මධ්‍යම පළාතේ වැඩ සිටින ක්‍රියාකාරී දක්‍ෂ තරුණ භික්‍ෂුන් වහන්සේ නමකි. ජාතික, ආගමික, අධ්‍යාපනික හා සාමාජික වශයෙන් මහඟු සේවයක් සිදු කරන උන්වහන්සේ දිවයිනේ කීර්තිමත් මධ්‍ය විද්‍යාලයක් වන නුගවෙල මධ්‍ය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ස්වාමීන් වහන්සේ ලෙස විශිෂ්ට සේවයක් සිදු කරන බව පෞද්ගලිකවම මම දනිමි. ස්වනිකාය වෙනුවෙන් ඉටුකරන ශාසනික මෙහෙයද භාෂා සහ සාහිත්‍යමය වශයෙන් ඉටුවන සේවය ද උන්වහන්සේගේ සුවිශේෂී සමාජ මෙහෙවර අතිශයින් විශේෂතාවයට පත් කරයි. මෙම සියලු කටයුතු අගයකරමින් උඩරට අමරපුර මහනිකාය මඟින් උන්වහන්සේට සිදුකළ යුතුම වන නිසි ගෞරවය මධ්‍යම පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය ප්‍රදානය කිරීමෙන් සිදුකොට ඇත. ලැබූ උසස් පදවියට හිමි ගෞරවයද රැක ගනිමින් එහි වගකීම මැනවින් ඉටු කිරීමට අභිනව නාහිමිපාණන් වහන්සේට ශක්තිය ඇති බව දනිමි. ඒ සඳහා උන්වහන්සේට උතුම් වූ දළදා වහන්සේගේ පිහිට ආරක්‍ෂාව ලැබේවායි ශුභාසිංශන පූර්වකව ප්‍රාර්ථනා කරමි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර
ටිකිරි කොබ්බෑකඩුව


උපහාර පිදිය යුතු යි

උඩරට අමරපුර මහානිකායේ මධ්‍යම පළාතේ උපප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබන ශාස්ත්‍රපති පූජ්‍ය මාදිපොළ ධම්මික ස්වාමින් වහන්සේට උපහාර දක්වන උත්සවය නිමිති කරගෙන මධ්‍යම පළාතේ මහාමාත්‍යවරයා වශයෙන් අපගේ ගෞරවය පිරිනැමීමට ලැබීම පිළිබඳව මම අතිශය සතුටට පත්වෙමි. අභිනව නායක හිමිපාණන් වහන්සේ ඉහගම සුගත මහාවිහාරාධිපතීන් වහන්සේ වශයෙන් වැඩවසමින් දිගු කලක සිට අප පළාතේ ජාතික ආගමික කටයුතුවලදී නායකත්වය ගෙන ක්‍රියා කරන ධර්මශාස්ත්‍රධර එඩිතර යතිවරයෙකු වශයෙන් ප්‍රසිද්ධය. කලක් විදේශීය ධර්මප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් ශාසනික වශයෙන් මහත් සේවාවන් ඉටුකළ බව අපි දනිමු. දිවයිනේ කීර්තිමත් විද්‍යාලයක් වන නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති තනතුර දරමින් දහස් සංඛ්‍යාත ශිෂ්‍ය පිරිසකගේ ශුභසිද්ධිය වෙනුවෙන් උන්වහන්සේ සිදු කරන සේවයට ජාතියේම උපහාරය පිරිනැමිය යුතුය. විශේෂයෙන් උඩරට අමරපුර නිකායේ අභිවෘද්ධියට අදාළ ඇතැම් කටයුතුවලදී නිරතුරුව අප සමග එකතු ව ක්‍රියා කළ ආකාරය සිහිපත් කළ යුතුය. තවද ගරුතර ධම්මික හිමිපාණෝ චතුර ධර්මකථිකයෙකු මෙන්ම දක්‍ෂ ලේඛකයෙකු වශයෙන් ද මධ්‍යම පළාතේ කීර්තියක් දිනාගෙන සිටින ස්වාමීන් වහන්සේ නමකි. මෙවන් ප්‍රසංසනීය ලෝක ශාසනික සේවාවන් සිදුකරන ගරුතර මාදිපොළ ධම්මික හිමිපාණන් වහන්සේ වෙත උඩරට අමරපුර මහානිකාය මගින් මධ්‍යම පළාතේ උපප්‍රධාන සංඝනායක තනතුර පිරිනැමීම ඉතා කාලෝචිතය.

මධ්‍ය පළාත් ප්‍රධාන අමාත්‍ය
සරත් ඒකනායක


සසුනට සිත් ඇද ගත්තා

මාදිපොල ධම්මික ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත උඩරට අමරපුර මහා නිකායේ මධ්‍යම පළාතේ උපප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත. එය උඩරට අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය තෙරිපැහැ සෝමානන්ද මහානායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු විනයවාදිනී කාරක සංඝ සභාව විසින් ගනු ලැබූ ඉතා උචිත හා කාලෝචිත තීරණයක් වන්නේ ය.

ජාතික, ආගමික, ශාසනික හා සාමාජික සියලු කාර්යයන්හිදී උන්වහන්සේ සිදු කරනු ලබන කැප කිරීම සුවිශේෂී වන්නේ ය.

අභිනව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සතු ගුණවත් බවත් ශීලවත් බවත් ශ්‍රමණ ආකල්ප සම්පත්තියත් සංඝ සමාජය කෙරෙහි වඩාත් සිත් ඇඳ බැඳ තබා ගැනීමට හේතු වන්නේ ය. සිදු කරන ලද සමාජ හා ශාසනික මෙහෙවර වඩාත් තීව්‍ර ලෙස සිදුකරමින් බෞද්ධ සමාජයට අවශ්‍ය භික්‍ෂු නායකත්වය ලබා දෙන්නට ගරු මාදිපොල ධම්මික ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආයු ශක්තියත් කායික හා මානසික නිරෝගීතාවයත් නොඅඩුවම සැලසේවායි! ප්‍රාර්ථනා කරමි.

විපක්‍ෂ නායක
රනිල් වික්‍රමසිංහ

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 5 වන දා සිකුරාදා අපර භාග 5.23 ට ලබයි. 6 වන දා සෙනසුරාදා අපරභාග 05.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 05 වන දා සිකුරාදා ය.

මී ළඟ පෝය පෙබරවාරි 13 වන දා සෙනසුරාදා ය..


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 05

New Moonඅමාවක

පෙබරවාරි 13

First Quarterපුර අටවක

පෙබරවාරි 22

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]