UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය
සත්වයා සසර දුක හා එක්ව බැඳී පවත්නා සසරෙහි සදාකාලිකව ගිල්වා තබන දෑ සඳහා පෙළ දහමෙහි සංයෝජන නමින් හඳුන්වා තිබේ. සස්ස සංවිජ්ජති තං පුග්ගලං වට්ටස්මිං සංයොජෙති බන්ධතීති’ සංයෝජනං සංයෝජනයෝ යමෙකුට වෙත්නම් ඒ පුද්ගලයා සසර කැමැත්තෝ ය. සසරට බසින්නෝ ය. මේවා දසයක් වශයෙන් දේශනාවන්හි සඳහන්ව ඇත. ධර්මානුකූලව පැහැදිලි කරන්න.

පිළිතුර
දස සංයෝජන උද්ධම්භාගීය ඕරම්හාගීය යන නාමයෙන් දෙකොටසකට බෙදා ධර්මයෙහි විවරණය වෙයි. උද්ධම්භාගීය සංයෝජන පසකි. රූපරාග, අරූප රාග, මාන උද්ධච්ච අවිජ්ජා ඒ පසයි. රූපා රූප භවයන්හි සත්වයා උපත ලබන්නේ මේ හේතුව නිසයි. ‘ඔරං වුච්චති කාම ධාතු ඔර’ යනුවෙන් කියවෙන්නේ කාමලෝකය යන අර්ථයයි. ඒ නිසාම කාමලෝකයෙහි වූවෝ ඔරම් භාගීය නම් වෙයි. එනම් සක්කාය දිට්ඨි, විචි කිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද යන පසයි. මේ සංයෝජන පංචකය ඉතා බලගතු වෙයි. සත්වයා සසර බැඳ තබා ගැනීමේ බලවත් ශක්තියක් මොවුනට ඇත. උද්ධම්භාගීය සංයෝජන පස ඉතිරි සංයෝජන පසසේ බලගතු නොවන හෙයින් ‘අණුං’ (කුඩා) යනුවෙන් ද ‘ථූලං’ මහත් වූ යනුවෙන් ඉතිරි සංයෝජන හැඳින්වීමෙන් ද එය පැහැදිලි වේ.


ප්‍රශ්නය
හැම මතු භවයක්ම ඇතිවන්නේ මරණ මොහොතෙහි බලවත්ව සිටින කුසල හෝ අකුසල කර්මය අනුව බව බුදුදහමේ ඉගැන්වෙයි. මෙබඳු කර්ම සුවිශේෂ නාමයකින් හඳුන්වයි. ඒ නම කුමක්ද?

පිළිතුර
පුද්ගල මරණය හුදෙක් තාවකාලික සංසිද්ධියක (ක්‍රියාවලියක) තාවකාලික නැවැත්මක් පමණි. ශරීරය විසිරයාමත් සමග මෙතෙක් ක්‍රියාත්මක වූ කර්ම ශක්තිය මුළුමනින්ම විනාශ නොවන හෙයින් වර්තමාන රූපය විනාශ වූවද ඊට මුළුමනින්ම වෙනස් හෝ මුළුමනින් ම සම නොවන තවත් රූපයක් මරණ මොහොතේ බලවත්ව පැවැති සිතට ගැළපෙන පරිදි ඇතිවන්නේ ය. පුද්ගලයෙකුගේ අනතුරු භවය විනිශ්චය කරන මෙම අවසන් චිත්ත වීථිය ජනක කම්ම නම් වේ.


ප්‍රශ්නය
ලංකා ඉතිහාසයේ පළමුවරට ධර්ම සංගායනාවක් ගැන සඳහන් වන්නේ කුමන රජකෙනෙකුන් රාජ්‍ය සමයෙහි දී ද එම අවස්ථාව කුමක්ද?

පිළිතුර
දෙවනපෑතිස් මහරජතුමා දිනක් මහා මහින්ද මහ රහතන් වහන්සේ හමුව, ස්වාමීනී! මෙලක් බිමෙහි සසුන ස්ථිරව පිහිටියේ වේදැයි ඇසුහ. සසුන ස්ථිරව පිහිටියේ නමුත් මුල් බැස නොගත්තේ ය යනු උන්වහන්සේගේ පිළිතුර විය. සසුන මුල්බැස ගැනීම සඳහා කළයුත්තේ කුමක්දැයි රජතුමා ඇසී ය. ලක්දිව කුල පුත්‍රයෙකු මෙහිම පැවිදිව මෙහිම විනය ඉගෙන මෙහිම විනය දේශනා කළ විට සසුන මුල් බැසගනී යැයි මහතෙරණු පිළිවදන් දුන්හ. ස්වාමීනී! එබඳු භික්‍ෂුවක් මෙහි මෙසේ දැයි රජතුමා පිළි විසීය. මහරිට්ඨ භික්‍ෂුව එයට සමතෙකැයි මිහිඳු මාහිමි පිළිතුර විය. රජ ඒ සඳහා අවශ්‍ය කටයුතු නිම කිරීමට මෙඝ වණ්නාභය ඇමතියන් වෙත පැවරීය. ඇමති රජනියමයෙන් තමන් විසින්ම ථූපාරම බිමේ කරවන ලද පිරිවෙනෙහි අලංකාර මණ්ඩපයක් කරවා සංඝායනාව සඳහා සියලු කටයුතු සපුරාලූහ. මහ අරිට්ඨ තෙරුන් වහන්සේ විනය සංගායනා කළ දිනයෙහිදී අට සැට දහසක් පමණ භික්‍ෂුණු එක් රැස් වූහ. මිහිදු මහරහතන් වහන්සේගේ නියමයෙන් මහා අරිට්ඨ තෙරුන් වහන්සේ ධර්මාසනයෙහි වැඩ සිටියහ. මහා අරිට්ඨ මහතෙරුණුවෝ සම්පූර්ණ විනය පිටකය දේශනා කළහ.


ප්‍රශ්නය
කාමලෝකයෙහි විපාක ලබාදෙන අකුසල කර්ම දසයකි. එයින් කය මුල් වී කරන අකුසල පාණාතිපාතය, අදින්නාදානය, කාමයෙහි වරදවා හැසිරීමය යන අකුසලයන්ගෙන් පාණාතිපාතා අකුසල ක්‍රියාව පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.

පිළිතුර
සිතා මතා කවරම සතෙකුගේ හෝ දිවි තොර කිරීම ප්‍රාණඝාතයයි. පාලියෙහි පාණ යන්නෙන් යමෙකුගේ පැවැත්මට අදාළ නාම රූප සංඛ්‍යාත ජීවය අදහස්වෙයි. මෙම ජීවයට නිසි මුළු ආයුෂ විඳගන්නට නොදී නිකරුණේ වනසා දැමීම පාණාතිපාතයයි. ප්‍රාණඝාත අකුසල කර්මය සම්පූර්ණ වීම සඳහා පහත සඳහන් කරුණු පහ සම්පූර්ණ විය යුතු යි.

1. ජීවත්වන ප්‍රාණියෙකු වීම
2. ප්‍රාණියෙකු බව ඝාතකයා හොඳින් දැන සිටීම.
3. ඝාතනය සඳහා උපක්‍රමයන් යෙදීම
4. මැරීමේ අභිප්‍රායයක් (සිතිවිල්ලක් තිබීම)
5. මරණය සිදු කිරීම

ප්‍රාණඝාතයෙහි දරුණු විපාක අතර ආයුෂ කෙටිවීම රෝගාබාධ බහුලවීම පි‍්‍රයයන්ගේ මරණය නිසා නිතර දුක් වන්නට සිදුවීම හා නිතර මරණ භයින් ජීවත් වීමට සිදුවීමය.


ප්‍රශ්නය
දුක්ඛ සමුදය සත්‍ය දේශනාවෙහිදී තෘෂ්ණාව තෙවදෑරුම් බව එනම් කාම – භව- විභව වශයෙන් තෙකොටකට දක්වා තිබේ. මෙයින් කාම තණ්හාව පැහැදිලි කරන්න.

පිළිතුර
පස්කම් සැප විඳීමට වුවමනා වස්තූන් කෙරෙහි ද රාග, දෝස, මෝහ ආදී කෙලෙස් කෙරෙහි ද පවත්නා ඇලීම කාමතෘෂ්ණාවයි. කාම වස්තූන් කෙරෙහි ඇලීම වස්තුකාම නම් වෙයි. රාගාදී සිතිවිලි සිහි කරමින් සිතින් රසවත් වීම ක්ලේශ කාම නම් වෙයි. තමා පි‍්‍රය මනාප වස්තූන් කෙරෙහි පවත්නා කැමැත්ත කාම නමි කාම වස්තු විනෝදය ගෙනදෙන පි‍්‍රය මනාප වස්තු ලෙස සලකමින් එහි රස විඳ ගැනීම කම්සැප විඳීම නම් වෙයි.


ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්මදේශනය වූ ‘ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙහි දී’ දෙවන ආර්ය සත්‍ය ගැන සඳහන් කරමින් මෙසේ වදාළහ. පුනර්භවය ඇතිකරන්නේ තම් තෘෂ්ණාව විසින්මය. (යායං තණ්හා පොනොභවිකා) උන්වහන්සේ මෙම දේශනය සමාප්ත කරන්නේ ‘මේ මාගේ අවසාන උපතයි. මෙයින් මතු පුනර්භවයක් නැත. යනුවෙනි. පුනර්භවය පිළිබඳව මෙම දේශනාවන් උපයෝගී කර ගැනීමෙන් බෞද්ධ (පුනරුත්පත්තිය) පුනර්භවය පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.

පිළිතුර
භාග්‍යවතුන් වහන්සේගේ චරිතාපදානය බෞද්ධ පුනර්භවයේ උසස්ම අධිකාරයයි. බුද්ධත්වය සාක්‍ෂාත් කරගත් රාත්‍රී ප්‍රථමයාමයෙහිදී උන්වහන්සේ පූර්ව ජන්මයයන් දැක ගැනීමෙහි ‘පුබ්බේ නිවාසානුස්සති ඤාණය ලබාගත්හ. මගේ අනේක විධ වූ පූර්ව ජන්මයන් මම මෙසේ ආවර්ජනය කළෙමි.

එක් පෙර ජන්මයක් අනතුරුව ජන්ම දෙකක් තුනක් හතරක් අනතුරුව පිළිවෙළින් සිය දහසක් ආදී වශයෙන් උන්වහන්සේගේ පූර්ව ජන්මයන් විස්තර කොට ඇත.

රාත්‍රී දෙවන යාමයෙහිදී උන්වහන්සේ සුවිශුද්ධ වූ අතිමානුෂික ඤාණයෙන් සත්වයන් එක් භවයකින් වුතව තවත් භවයක පිළිසිඳ ගන්නා ආකාරය දැකගත්හ. පහත්, උසස් හා සුරූපී විරූපී සුඛිත දුක්ඛිත බොහෝ දෙනා කර්මානුරූපව සංසාර ගමනෙහි යෙදී ඇති අයුරු දුටහ. (ම.නි. මහාසච්චක සූත්‍ර)


ප්‍රශ්නය
අභිධ්‍යා විෂම ලෝභය සිතින් කරන අකුසල් වලින් එකකි. පැහැදිලි කරන්න.

පිළිතුර
අභිධ්‍යා යනු විෂම ලෝභය හෙවත් දැඩි ආශාවයි. අංග දෙකක් සම්පූර්ණ වීමෙන් මෙම අකුසලය සිදුවේ.

අන්සතු දෙයට ආශා කිරීම

අනුන් සතු යස ඉසුර තමා සතු වේවායි සිතීම.

තවද වස්තුව අනෙකෙකු ගේ බව දැනීම හා තමා එම වස්තුව ලබා ගැනීම සඳහා ඇති කැමැත්ත මෙම අකුසලය සම්පූර්ණවීමට හේතු වන අංග වශයෙන් ද සටහන්ව ඇත. කෙසේ වෙතත් සතර අපා දුක් විඳිය හැකි අකුසලයකි.


ප්‍රශ්නය
වචනය (පදුට්ඨෙන චෙතසා) දුෂිත සිතක් යෙදීමෙන් අකුසල බොහොමයක් සිදුවේ. පිසුණා වාචා (කේළාම්කීම) ඉන් එකකි. පැහැදිලි කරන්න.

පිළිතුර
දෙදෙනෙකු අතර හෝ දෙපක්ෂයක් අතර හෝ පවත්නා සමගිය බිඳ හෙලනු පිණිස, කියන වචන කේළාම් කීමය. එය අකුසලයක් සඳහා අංග 04 ක් එක්විය යුතු ය. එනම්,

බිඳුවන චේතනාව

තමා වෙත පි‍්‍රය භාවය ඇතිකර ගැනීමේ කැමැත්ත උත්සාහය අරමුණු ඉටුකරගැනීම සඳහා ශ්‍රාවක (අසන්නාන්) නොමගට පෙළඹීම ආදිය වේ.


ප්‍රශ්නය
කාමාවචර කුසල කර්ම කළ තැනැත්තන් උපත

ලබන ස්ථාන මොනවාද?

පිළිතුර
මනුෂ්‍ය ලෝකය
සදිව්‍ය ලෝකය
චාතුර් මහා රාජිකය
තාවතිංසය
යාමය
තුසිතය
නිර්මාණ රතිය
පරමිනිම්මිත වසවර්තිය වේ.


ප්‍රශ්නය
අරූපාවචර කුසල් සිත් පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුර
1. ආකාසානඤ්චායතන චිත්තය (අනන්ත වූ ආකාශය අරමුණු කොට පවත්නා සිත)
2. විඤ්ඤාණඤ්චායතන චිත්තය
විඤ්ඤාණය (සිත) අරමුණු කොට පවත්නා සිත
3. ආකිඤ්චඤ්ඤයතන චිත්තය
පළමුවන අරූපාවචර සිත නැති බව අරමුණු කොට පවත්නා සිත.

4. නේවසඤ්ඤා නාසඤ්ඤායතන චිත්තය
සඤ්ඤාවක් ඇති නැති තරමට සියුම් වූ කුසල් සිත.

අරූපාවචර කුසල් සිත් උපදවා ගත් අය ඒ ඒ අරූපාවචර භූමිවල උපත ලබති.

 

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 07 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.43 ට ලබයි.
8 වන දා සිකුරාදා පූර්වභාග 03.45 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම 07 වන දා බ්‍රහස්පතින්දා ය.
මී ළඟ පෝය ජනවාරි 14 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 07

New Moonඅමාවක

ජනවාරි 14

First Quarterපුර අටවක

ජනවාරි 23

Full Moonපසෙලාස්වක

ජනවාරි 29

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]