UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ගල්කිස්ස තපෝධනාරාමයේ ධර්ම ශාලාව සහිත දෙමහල් ගොඩනැඟිල්ල හා ශ්‍රී ලංකා කොරියා මුන්වා මධ්‍යස්ථානය විවෘත කිරීම සමග පැවැත්වෙන

තලල්ලේ ධම්මාලෝක අනු නා හිමි ගුණ සමරුව

8 වන දා උත්සවාකාරයෙන්
 

ධම්මාලෝක අනු නායක හාමුදුරුවෝ

අමරපුර සිරිසද්ධම්මවංශ මහානිකායේ අනුනායක ධුරන්දරව වැඩ විසූ ගල්කිස්සේ තපෝධනාරාමාධිපති සද්ධම්ම වාගීශ්වර ත්‍රිපිටක ධර්ම සාහිත්‍ය ශිරෝමණී සාහිත්‍යාචාර්ය රාජකීය පණ්ඩිත තලල්ලේ ශ්‍රී ධම්මාලෝක අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආදර්ශවත් සංඝ පීතෘවරයෙක් වූහ. උන්වහන්සේ අඩසිය වසකටත් අධික කාලයක් පුරා ගල්කිස්සේ තපෝධනාරාමාධිපතිව වැඩ වෙසෙමින් රට දැය සමයට මහත් මෙහෙයන් ඉටු කළහ. උන්වහන්සේ මෙරට වැඩසිටි විචිත්‍ර ධර්මකථිකයන් වහන්සේ නමක් ද වූහ.

තලල්ලේ ධම්මාලෝක අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ලෝක ශාසනික මෙහෙවර ලොව බොහෝ රටවල වැඩම කරමින් ව්‍යාප්ත කළහ. පෙරපර දෙදිග රටවල නිතරම වැඩමකළ උන්වහන්සේ දඹදිව පමණක් 41 වතාවක් පමණ වැඩම කළහ. ලොව බොහෝ රටවලින් උන්වහන්සේට ලැබුණු ආරාධනා නිසාම වසරකට දෙතුන් වර මාස කීපය බැගින් විදේශ ගත වූහ.

අල්පේච්ඡ චාම් සරල දිවි පෙවෙත හැම විටම අගය කළ තලල්ලේ ධම්මාලෝක නායක හාමුදුරුවෝ ඇසුරු කළ හැමදෙනාටම පි‍්‍රය මනාප වූහ. කවර තරාතිරමක අයෙකුට වූවද දුකෙහිදී පිහිට වීම උන්වහන්සේ සතු දුර්ලභ ගුණයක් විය.

ප්‍රාචීන අවසාන විභාගයෙන්ද සිංහල හා ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් ජ්‍යෙෂ්ඨ විභාගය ද සමත් වූ ධම්මාලෝක හාමුදුරුවෝ ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සමිතියේ සද්ධර්මාචාර්ය හා විනයාචාර්ය උපාධියද සමත් වූහ. කැලණියේ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනින් සාහිත්‍යාචාර්ය උපාධියද හිමිකර ගත් උන්වහන්සේ කටුකුරුන්ද ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් ද පුහුණුව ලැබූහ. උන්වහන්සේ කලක් අධ්‍යාපනය ලැබූ කොටහේන කුමාර විද්‍යාලයේ හා ගල්කිස්සේ ලලිත් ඇතුලත් මුදලි විද්‍යාලයේ ද ධර්මාචාර්යවරයකු ලෙස දිගු කලක් සේවය කළහ. මෙරට ජාතික ආගමික සාමාජීක විවිධ සංවිධානවල විවිධ තනතුරු රැසක් හෙබවූ තලල්ලේ ධම්මාලෝක අනුනායක හාමුදුරුවෝ දේශනයට මෙන්ම ලේඛනයට ද ප්‍රසිද්ධියක් ඉසූලූහ. භාෂා කිහිපයක් පිළිබඳ ප්‍රවීණත්වයක් ඉසිලූ උන්වහන්සේ නිකායත්‍රයේම මහා සංඝරත්නය අතර ගෞරවාදරයට පාත්‍රව වැඩ විසූහ.

1943 සිට ගල්කිස්ස තපෝධනාරාමායෙහි වැඩ සිටි තලල්ලේ ධම්මාලෝක හාමුදුරුවෝ ආචාර්ය තෙල්වත්තේ සුමනවංස මා හිමියන්ගේ අපවත්වීමෙන් පසු තපෝධනාරාමාධිපති පදවියට පත්වූහ. අද මෙන් නොදියුණු තත්ත්වයක පැවති තපෝධනාරාමය අංගසම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කිරීමට උන්වහන්සේ ස්වකීය පරිත්‍යාග සියල්ල ඒ සඳහා කැප කළහ.

සියලු විහාරාංගයන්ගෙන් සමන්විත තපෝධනාරාමයේ වත්මන් දියුණුවේ නිර්මාතෘන් වහන්සේ තලල්ලේ ධම්මාලෝක අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. ප්‍රදේශයේ විවිධ ස්වේච්ඡා සමිති සමාගම් වලට තපෝධනාරාමය කේන්ද්‍රස්ථානය බවට පත් කළහ. ප්‍රදේශයේ දරු දැරියන්ගේ යහගුණ වර්ධනයට ශ්‍රී සුමන දහම් පාසල ඇරඹූ අතර හෙළ සංස්කෘතිකාංග රැක ගැනීමේ අරමුණින් කලායතන ආදිය පිහිටුවීමටද කටයුතු කළහ.

එමෙන්ම පෙරපාසලක් ද ආරම්භ කළහ. කලක සිට විදේශීය භික්‍ෂූන් වහන්සේට නේවාසික ප්‍රත්‍ය පහසුකම් සැලසූහ. ප්‍රදේශයේ විශාල දායක දායිකා පිරිසකට ආගමික මාර්ගෝපදේශකත්වය සලසමින් සිදු කළ ආගමික මෙහෙවර සුවිශාලය. තලල්ලේ ධම්මාලෝක අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ බස්නාහිර පළාතේ අධිකරණ සංඝනායක ධූරයද, ශ්‍රී සුධර්මාකාරක සංඝ සභික ධූරයද හෙබවූ අතර අනතුරුව අනුනායක ධූරයෙන්ද පිදුම් ලැබූහ. ව්‍යක්ත විශාරද සංඝපීතෘන් වහන්සේ නමක් වූ උන්වන්සේ කොරියාවේ යෝරේ මහානිකායේ සම්මාන මහානායක පදවියෙන්ද පිදුම් ලැබූහ. ඉන්දුනීසියාවේ දී පැවැති බෞද්ධ සංඝ සම්මේලනයකට සහභාගී වී නැවත වැඩම කළ අතර මඟදී රෝගාතුර වී උන්වහන්සේ 2003 දෙසැම්බර් 31 වන දා සිංගප්පුරුවේදී අපවත් වී වදාළහ. උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු පානදුර පිංවත්ත සද්ධර්මාකර පිරිවෙන් විහාරාධිපති හා කෘත්‍යාධිකාරී අධ්‍යක්‍ෂවැඩ විසූ රාජකීය පණ්ඩිත පිංවත්තේ දේවානන්ද නා හිමියන්ගේ හා තලල්ලේ ධම්මාලෝක අනුනාහිමියන්ගේ ඡ්‍යොෂ්ඨ ශිෂ්‍ය තලල්ලේ මෙත්තානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගල්කිස්ස තපෝධනාරාමාධිපති පදවියට පත් වූහ.

තලල්ලේ මෙත්තානන්ද නා හිමියන්ද ස්වකීය ආචාර්ය රාජකීය පණ්ඩිත පින්වත්තේ දේවානන්ද නායක ස්වාමීන් වහන්සේට හා තලල්ලේ ධම්මාලෝක අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට හැම විටම ගෞරවෝපහාර දක්වමින් පිංවත්තේ සද්ධර්මාකර පිරිවෙන ද සංරක්‍ෂණය කරන අතර තපෝධනාරාමයේ සියලු කුදු මහත් ආගමික සාමාජික කටයුතු නොපිරිහෙලා ඉටු කරති. කෙතරම් කාර්ය බහුල වූවද සියලු කටයුතු සොයා බලා සිය ගුරුදේවයන් වහන්සේලා වෙනුවෙන් කළයුතු සියල්ල විමසා බලා කටයුතු කිරීම මහත් ආදර්ශයකි.

අභිනවයෙන් ඉදිකළ දෙමහල් මන්දිරය තලල්ලේ මෙත්තානන්ද නාහිමියන් විසින්. විශේෂයෙන් විදේශීය භික්‍ෂූන් වහන්සේට නේවාසික පහසුකම් සැලසීමට තරම් ප්‍රමාණවත් අයුරින් එය ඉදි කිරීම පැසසිය යුත්තකි.

එම අභිනව දෙමහල් මන්දිරය විවෘත කිරීම අමරපුර සිරි සද්ධම්ම වංශ මහානිකායේ අනුනායක ධූරන්දරව වැඩ විසූ තලල්ලේ ධම්මාලෝක අනුනාහිමියන්ගේ හයවන වාර්ෂික ගුණසමරුවත් නිමිත්තෙන් තපෝධනාරාමස්ථ ශ්‍රී සුජාතා කුළගන සමිතියේ ද දායක දායිකාවන්ගේද අනුග්‍රහයෙන් මෙම ජනවාරි 08 වනදා සිට 12 වන දා දක්වා දින තුළ පින්කම් මාලාවක් සිදු කිරීමට තලල්ලේ මෙත්තානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කටයුතු යොදා ඇත. ඊට දෙහිවල ගලකිස්ස මහ නගරසභාවේ ප්‍රතිපක්ෂ නායක කේසර ලාල් ගුණසේකර මහතා දක්වා ඇති සහයෝගය අගය කළ යුතු වේ. ධම්මාලෝක නා හිමියන් වැඩසිටි කාලයේ සිට කේසරලාල් ගුණසේකර මහතා විහාරස්ථානයට දක්වනුයේ මහත් සහයෝගයකි.

තලල්ලේ ධම්මාලෝක අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩ සිටි කාලයෙහි මෙන්ම එම විදේශීය සම්බන්ධතා සංවර්ධනය කරමින් මෙත්තානන්ද නාහිමියන් කටයුතු කිරීම සතුටට කරුණකි. එබැවින් තපෝධනාරාමයේ අභිනව දෙමහල් මැදුරේ දෙවන මහල ශ්‍රී ලංකා කොරියා මුන්වා මධ්‍යස්ථානය ලෙස නම් කිරීමද එම උළෙලට සමගාමීව සිදු කිරිමට කටයුතු යොදා ඇත.


නෙත් සිත් පහන් කරවන පින් බිමක්

ගාල්ල කොළඹ මහාමාර්ගයේ ගල්කිස්ස මන්සන්ධියට මඳක් නුදුරින් පිහිටා ඇති ගල්කිස්ස තපෝධනාරාමය ශත වර්ෂ එක හමාරක් පමණ පෞරාණික විහාරස්ථානයකි.

ශාන්ත සුන්දර නිසල පරිසරයක පිහිටි තපෝධනාරාමය දුටුවන්ගේ නෙත් සිත් පහන් කරවන පින් බිමකි. 1844 අගෝස්තු 28 වන දා ගල්කිස්සේ දායක පිරිසක් විසින් කලමුල්ලේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහ සඟරුවන වෙත සඟ සතුකර පූජා කරන ලද තපෝධනාරාමය අතීතයේ ‘උස්වත්ත පන්සල’ නමින් ප්‍රදේශවාසීහු හැඳින්වූහ.

තපෝධනාරාමයේ විහාරාධිපති පදවිය ඉසුලු සංඝපීතෘන් වහන්සේලා හත් අට නමක් වෙති. ඒ අතර තපෝධනාරාමයේ වත්මන් දියුණුවේ මාර්ගෝපදේශකයන් වහන්සේ තපෝධනාරාමාධිපතිව වැඩ විසූ අමරපුර සිරිසද්ධම්මවංස මහානිකායේ අනුනායක පණ්ඩිත තලල්ලේ ධම්මාලෝක අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.තලල්ලේ ධම්මාලෝක අනුනායක ස්වාමීන් වහන්සේ මෙරට වැඩ විසූ විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේ නමකි. පාසල් කීපයක ධර්මාචාර්යවරයකු ලෙසද සේවය කළ උන්වහන්සේ මෙරට ගිහි පැවිදි උභය සමාජයේ ගෞරවයට පාත්‍රව වැඩ විසූහ.

තපෝධනාරාමය සියලු විහාරාංගයන්ගෙන් අංගසම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කරන ලද්දේ ධම්මාලෝක අනුනාහිමියන් විසිනි. උන්වහන්සේ ලොව බොහෝ බෞද්ධ රටවල වැඩම කරමින් ධර්ම ප්‍රචාරක මෙහෙවරේද නිරත වූහ.

පානදුර පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙන් විහාරාධිපති හා කෘත්‍යාධිකාරී අධ්‍යක්‍ෂ හා වත්මන් තපෝධනාරාමාධිපති තලල්ලේ මෙත්තානන්ද නාහිමියන්ගේ මෙහෙවරද ආදර්ශවත්ය.

ඒ අනුව එම දෙමහල් ධර්ම මන්දිරය විවෘත කිරීම සහ තලල්ලේ ධම්මාලෝක අනුනායක ස්වාමීන් වහන්සේගේ 6 වන ගුණ සමරුවද නිමිත්තෙන් තලල්ලේ මෙත්තානන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම 8 වන දා සිට 12 වන දා දක්වා පින්කම් මාලාවක් පැවැත්වේ. අභිනව ධර්ම මන්දරය ශ්‍රී ලංකා කොරියා මුන්වා මධ්‍යස්ථානය නමින් නම් කිරීම ද එදින සිදු කෙරේ.



ලෝක ශාසනික මෙහෙවර සදානුස්මරණීය යි

ගල්කිස්සේ තපෝධනාරාමය ශත වර්ෂ එක හමාරක් පමණ ඉපැරණි විහාරස්ථානයකි. මෑත යුගයේ විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේ නමක් ලෙස වැඩ සිටි අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක රාජකීය පණ්ඩිත තලල්ලේ ධම්මාලෝක අනුනායක ස්වාමීන් වහන්සේ තපෝධනාරාමාධිපති ධූරය දශක පහක් පමණ කාලයක් පුරා හොබවමින් දේශීය හා විදේශීය සබඳතා ගොඩනඟමින් තපෝධනාරාමය කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ ලෝක ශාසනික මෙහෙවර සදානුස්මරණීයහ. උන්වහන්සේ මෙරට මෙන්ම විදේශයන්හිද මහත් ගෞරවාදරයට පාත්‍රව වැඩ විසූ ආදර්ශවත් සංඝ පීතෘන් වහන්සේ නමකි. තලල්ලේ ධම්මාලෝක අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප නිකායට මහත් ආශිර්වාදයක් වූහ.

එබඳු සංඝ පීතෘවරයෙකු ලෝක බෞද්ධ සංඝ සම්මේලනයක් සඳහා විදේශගත වූ අවස්ථාවක හදිසියේ රෝගාතුර වූහ. ඊට අදාළ වෛද්‍යප්‍රතිකාර සිංගප්පුරුවේ දී ලබාදීමට ක්‍රියා කළද, ලොව සොබා දහමට උන්වහන්සේද පත්වූහ. රාජකීය පණ්ඩිත පින්වත්තේ දේවානන්ද නාහිමියන්ගේ හා තලල්ලේ ධම්මාලෝක අනුනාහිමියන්ගේ ද ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය පානදුර පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙන් විහාරාධිපති හා කෘත්‍යාධිකාරී අධ්‍යක්‍ෂ සහ ගල්කිස්සේ තපෝධනාරාමාධිපති තලල්ලේ මෙත්තානන්ද නාහිමියන් ස්වකීය ගුරුදේවයන් වහන්සේලා වෙනුවෙන් දක්වන ගෞරවෝපහාර කෘතවේදීව සිහිපත් කළ යුතු වේ. තලල්ලේ ධම්මාලෝක අනුනාහිමියන්ගේ සයවන වාර්ෂික ගුණසමරුව සහ අභිනව දෙමහල් ධර්මශාලා මන්දිරය විවෘත කිරීම නිමිත්තෙන් මාගේ හදපිරි සුබාසිරි පිරිනැමීමටද මෙය අවස්ථාවක් කර ගනිමු.


දෙස් විදෙස් ජනතාවගේ අපමණ ගෞරවයට පාත්‍ර වී වැඩ සිටියා

ගල්කිස්ස, ගාලු පාර, උස්වත්ත, තපෝධනාරාම විහාරස්ථානයෙහි අභිනවයෙන් ඉදි කරන ලද ධර්ම ශාලා සහිත දෙමහල් ගොඩනැඟිල්ල හා ශ්‍රී ලංකා කොරියා මුන්වා මධ්‍යස්ථානය විවෘත කිරීම හා ගල්කිස්ස තපෝධනාරාමාධිපති අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක ත්‍රිපිටක ධර්ම සාහිත්‍ය, ශිරෝමනී සද්ධර්ම වාගීශ්වර රාජකීය පණ්ඩිත අතිගෞරවාර්හ තලල්ලේ ධම්මාලෝක අනුනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ගුණ සමරු උත්සවය නිමිත්තෙන් සුබාශිංසන පණිවිඩයක් නිකුත් කරනු ලබන්නේ හදපිරි සතුටිනි.

1918 දෙසැම්බර් මස 10 වන දින ජන්ම ලාභය ලැබූ අතිගෞරවාර්හ තලල්ලේ ධම්මාලෝක අනුනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ 1930 දී ප්‍රව්‍රජ්‍යාභූමියට පත් වූ අතර, කේම්බ්‍රිජ් ජුනියර් සහ ලන්ඩන් බී ඒ උපාධි ලබා ගැනීමට සමත් වූ උදාර සංඝ පීතෘවරයාණන් වහන්සේ නමකි.

දෙස් විදෙස් ජනතාවගේ අප්‍රමාණ ගෞරවාදරයට පාත්‍ර වී සිටි උන්වහන්සේ, කොරියාවේ යෝරේ බෞද්ධ නිකායේ මහානායක ගෞරවාර්හ සොක් ඉන්වන් නායක ස්වාමීන් වහන්සේ සමඟ පැවැති සම්බන්ධතාවය නිසා ආගමික, ශාසනික, සමාජික වශයෙන් අතිගෞරවාර්හ තලල්ලේ ධම්මාලෝක අනුනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් ඉටු කරනු ලැබූ සුවිශේෂී සමාජ මෙහෙවර මම විශේෂයෙන් අගය කරමි.

ශ්‍රී ලංකාවට ලැබුණු ආධාරයෙන් ඉදි කරන ලද ශ්‍රී ලංකා කොරියා මුන්වා මධ්‍යස්ථානය ආගමික මෙහෙවරක් ඉටු කිරීමට පිටිවහලක් වනු ඇතැයි මම සිතමි.

අතිගෞරවාර්හ තලල්ලේ ධම්මාලෝක අනුනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සිය ජීවිතයේ ඉටු කරනු ලැබූ සුවිශාල සේවාව ඇගයීම සඳහා ගුණානුස්මරණ උත්සවය පැවැත්වීමට කටයුතු කරන උපහාර කමිටුවටත්, විහාරස්ථ දායක සභාව ඇතුළු නන් අයුරින් උපකාර කරන සැමටත්, මාගේ කෘතවේදී භාවය පිරිනමන අතර, මෙම උත්සවය සාර්ථකවේවා! යි මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි.


මවු බිම ලද දහම් පඬුරු ඉමහත්

ගල්කිස්ස තපෝධනාරාම විහාරස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදි කරන ලද ශ්‍රී ලංකා කොරියා මිත්‍රත්ව බහුකාර්ය ගොඩනැඟිල්ල විවෘත කරන මෙම අවස්ථාවේදී ඊට උණුසුම් සුබපැතුම් පිරිනමන්නේ භක්තියෙන් ද යුතුව ය.

ලොව පුරා ධර්ම දූත සේවාවෙහි යෙදෙන රාජ්‍යයන් අතරින් කොරියාවට ද සුවිශේෂී ස්ථානයක් හිමිවන බව අපගේ අදහස වේ. එය බහුජන හිතසුව පිණිස චාරිකා කරන්නැයි ගෞතම බුදු හිමියන් විසින් දෙසා වදාළ දහම පිළිපැදීමකි. ලෝක ශාසන සේවාවේ නිරත කොරියාවේ යෝරේ බෞද්ධ නිකායේ මහානායක අතිපූජ්‍ය සොක් ඉන් වොන්ග් මාහිමිපාණන් මෙම පුණ්‍ය කටයුත්ත සඳහා අනුග්‍රහය දක්වා තිබේ. බොදු සසුනේ උන්නතිය පිණිස ශාසනාලයෙන් යුතුව උන්වහන්සේ විසින් ඉටුකරනු ලබන මෙම සේවාව නමස්කාර පූර්වකව සිහිපත් කරමින් පින් අනුමෝදන් කිරීම අවශ්‍ය ය.

කොරියාවේ යෝරේ නිකායත් ශ්‍රී ලංකාවේ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායත් අතර වූ අවබෝධතා ගිවිසුම මඟින් අප මව්බිම ලද දහම් පඬුරු ඉමහත් ය. එම අවබෝධතාව ගොඩනැංවීමෙහිලා මූලික වූ ගල්කිස්ස තපෝධනාරාමාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය තලල්ලේ ධම්මාලෝක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ නමස්කාර පූර්වකව ගෞරවයෙන් සිහිපත් කළ මනාය.

කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ආගමික සහසබැඳියාවට අමතරව ආර්ථික හා සාමාජීය සබඳතාවන් ද වේ. මෙවන් කටයුතු හරහා එම සබඳතා වැඩි වර්ධනය වන බව අපගේ හැඟීම ය. ශ්‍රී ලංකා කොරියා මිත්‍රත්ව බහුකාර්ය ගොඩනැඟිල්ල විවෘත කෙරෙන මෙම අවස්ථාවේ සිට එතුළින් සදහම් ආලෝකය විහිදේවා යැයි ද ලෝකයක් ඉන් ඤාණාලෝකය ලබත්වායි ද ශාසනාලයෙන් යුතුව ප්‍රාර්ථනා කරමි.



SOK IN WANG
KUN SUNIM

MEYON AN SUNIM

HAE AN SUNIM


පානදුර පින්වත්තේ
සද්ධර්මාකර පිරිවෙන් විහාරාධිපති හා කෘත්‍යාධිකාරී අධ්‍යක්‍ෂ හා තපෝධනාරාමාධිපති
තලල්ලේ මෙත්තානන්ද නා හිමි

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 07 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.43 ට ලබයි.
8 වන දා සිකුරාදා පූර්වභාග 03.45 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම 07 වන දා බ්‍රහස්පතින්දා ය.
මී ළඟ පෝය ජනවාරි 14 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 07

New Moonඅමාවක

ජනවාරි 14

First Quarterපුර අටවක

ජනවාරි 23

Full Moonපසෙලාස්වක

ජනවාරි 29

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]