UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

26 වන වරටත් පැවැත්වෙන උඩුගම ශ්‍රී මහා බෝධිරාජ මහ පෙරහර

ඓතිහාසික උඩුගම ශ්‍රී මහා බෝධිරාජ මහා පෙරහර ජනවාරි 10 දින සවස 2.00ට 26 වන වරටත් උඩුගම නගරයේ වීථි සංචාරය කෙරේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි. ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙහි පමණක් නොව දස පෙරුම්දම් පිරූ බෝධිසත්ව සමයේද දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්මාදීන්ගේ අනේක විධ මහාර්ඝ පූජාමය පරිහාරයෙන් හෙවත් විචිත්‍ර පුද පෙරහරින් පුදනු ලැබූ ආකාරය වංශ කථාවන්හි හා බෞද්ධ සාහිත්‍යයෙහි මැනවින් අන්තර්ගතය.

මහින්දාගමනයෙන් පසු සඟමිත් මහ තෙරණිය විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කිරීමත් සමග බුද්ධාභිවන්දන පූජෝත්සව සඳහා අසිරිමත් පෙරහර පැවැත්වීම අපට හුරුවිය.

1976 දි එවකට පැවති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රජයේ පූර්ණ අනුග්‍රහයෙන් හා එවකට ඉන්දීය ජය රජයේ අගමැතිණිය වූ ඉන්දිරා ගාන්ධි මැතිණියගේ හා එවකට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වූ විලියම් ගොපල්ලව මැතිතුමාගේ මූලිකත්වයෙන්ද, ඉන්දීය මහාබෝධි සමාගමේ ප්‍රධාන සභභාපතිවරයා වූ භාරත දේශයේ ප්‍රධාන සංඝනායක නෙළුවේ ශ්‍රී ජිනරතන නාහිමිපාණන්ගේ මැදිහත් වීමෙන්ද ලෝක තරුණ බෞද්ධ සම්මේලනයේ ප්‍රධාන සභාපති වූ, ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක උඩුගම ශ්‍රී ශාසනාලංකාරාම විහාරාධිපති නෙළුවේ ශ්‍රී ගුණානන්ද නාහිමිපාණන් වහන්සේ විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් ඉන්දියාවේ සිට රාජ්‍ය ගෞරව සහිතව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට රතුපලස මතින් වැඩම කරවා උඩුගම ශ්‍රී ශාසනාලංකාරාම පුරාණ මහා විහාර භූමියට වැඩම කරවන ලදහ.

1976 ජනවාරි 10 වන දින එවකට ගාල්ල මහදිසාපතිවරයා වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා විසින් මෙම බෝධි රෝපණය සිදු කරන ලදී.

ඊට උපහාර පිණිස 1977 ජනවාරි 10 දින සිට ඓතිහාසික උඩුගම ශ්‍රී මහා බෝධි රාජ පෙරහර ආරම්භ කරන ලද්දේ නෙළුවේ ශ්‍රී ගුණානන්ද නාහිමිපාණන්ගේ අනුශාසනා ඇතිව උඩුගම හා අවට ගම්වාසීන්ගේ සහායද ඇතිවය. ගුණානන්ද නා හිමිපාණන්ගේ අපවත් වීමෙන් අනතුරුව උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වත්මන් විහාරාධිපති හිනිදුම් පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී උඩුගම සමිත නාහිමිපාණන් විසින් අඛන්ඩව වසර 20 ක් පමණ පෙරහර පවත්වන ලදී.

පසුගිය කාල පරිච්ඡේදයේ ඇති වූ ගංවතුර ආදී විවිධ ව්‍යසන හා කරදර හේතුවෙන් වසර කිහිපයක් පෙරහර පවත්වා නොමැත. 2008 වර්ෂයේ සිට නැවත පෙරහර ආරම්භ කිරීමට උඩුගම සමිත නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී හා නෙළුව ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී උඩුගම සාරානන්ද හිමිපාණන් ඇතුළු පෙරහර කමිටුව කටයුතු යොදා ඇත.

ගාලු දිසාවේ මහා සංස්කෘතික කලා මංගල්‍යය නමින් හැදින්වෙන උඩුගම බෝධිරාජ මහා පෙරහර අලි ඇතුන්, උඩරට, පහතරට, සබරගමු සංස්කෘතිකාංග වලින් සමලංකෘතව 2010 ජනවාරි 10 දින පස්වරු 2.00 සිට උඩුගම නගරයේදී වීථි සංචාරය කෙරේ.

පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වෙන මෙම මහා පෙරහරේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ විහාරස්ථානයේ රෝපිත ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස පැවැත්වෙන සුවිශේෂී පූජාවකින් හා මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුවය.

උඩුගම ශ්‍රී ශාසනාලංකාරාමයෙන් ගමන් අරඹා උඩුගම බාර් හන්දිය දක්වා ගමන් කොට අනතුරුව උඩුගම කැටගොඩ බස් නැවතුම් පොල දක්වාද ගමන් කොට නැවත රාත්‍රී 7.00 ට පමණ විහාරස්ථානයට ගෙවදීමට නියමිතය. අනතුරුව රාත්‍රී 8.00 ට විහාරස්ථාන භූමියේදී සංස්කෘතික සන්දර්ශනයක්ද පසුවදා පාන්දර දේව දානයක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පෙරහරේ සමාරම්භක අවස්ථාවට මහ නුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාද, අමාත්‍ය හේමකුමාර නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, යන මහත්වරුන්ද දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ක්‍රිෂාන්ත පුෂ්පකුමාර, විජේපාල හෙට්ටිආරච්චි, මනුෂ නානායක්කාර, රන්දිම ගමගේ, ආනන්ද ලැනරෝල් යන මහත්වරුද සහභාගි වීමට නියමිතය.

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 07 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.43 ට ලබයි.
8 වන දා සිකුරාදා පූර්වභාග 03.45 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම 07 වන දා බ්‍රහස්පතින්දා ය.
මී ළඟ පෝය ජනවාරි 14 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 07

New Moonඅමාවක

ජනවාරි 14

First Quarterපුර අටවක

ජනවාරි 23

Full Moonපසෙලාස්වක

ජනවාරි 29

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]