UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි සුව දුලබ ය

වර්තමානයේ පැවිද්ද දිළිදු පවුල්වල දරුවන් සඳහා වූවකැයි බොහෝදෙනා විශ්වාස කරති. දිළඳු බව හෝ ධනවත් බව මනිනු ලබන්නේ සාපේක්‍ෂ වශයෙනි. ධනවතාට මෙන්ම දිළින්දාටද තමා සතු දේ අගනේය. පැවිද්දට පුද්ලයාගේ ධනවත් කම හෝ දිළිඳුකමේ බලපෑමක් නැත. මහා කප්පින රජතුමා සියලුසැප සම්පත් අතහැර පැවිදි විය.

දිනපතා “ අහො සුඛං අහො සුඛං” යැයි උදන් අනමින් සිටියේ රජකම් කරද්දී තිබුන සුවයට වඩා උසස් සුවයක් පැවිදි වීමෙන් පසු ලැබූ නිසයි. පුක්කුසාති රජතුමා එතුමාගේ දහසක් පිරිවරද සමග පැවිදි වූහ. රජකමටත් වඩා ධන සම්පත් වලින් ආඪ්‍යව සිටි ජෝතිය සිටුතුමා ඒ සියල්ල හැරදමා පැවිදි බිමට පත්වූයේ පැවිද්දෙහි ඇති උසස් සැපත නිසාමයි. එබැවින් ස්වල්ප වූ හෝ මහත්වූ හෝ ධනය හා මවු දෙමාපිය ආදීන් මෙන්ම නෑදෑයින්ද හැර දමා යම් කුල පුත්‍රයෙකු බුදු සසුනට දිවිදී පැවිදි වන්නේනම් ඒ දුෂ්කර කාර්යය කිරීම නිසාම අන් අයගේ ගරු බුහුමන් ලැබීමට සුදුසු වන්නේය.

ජලාශයකට බසින කෙනකුට බිය සතරකට මුහුණ පෑමට සිදුවේ. මේ පිළිබඳව මනා වැටහීමකින් තොරව දියට බැසීම නිසා ඔහුට අනතුරකට මුහුණ පැමටද සිදුවේ. සසුන් ගතවන පැවිද්දෙකුට ද බිය සතරක් කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුවේ.

දීඝ නිකායේ චාතුව සූත්‍රයේ දැක්වෙන පරිදි මේ සතර බිය වන්නේ ඌම්භය, කුම්භීල භය, ආවට්ට භය හා සුසුකාභය වශයෙනි. දියට බසින්නා දිය රළ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි. රළට හසුවීමෙන් ගසාගෙන යා හැකිය. පිරිසුදු වීම සඳහා දියට බට ඔහුට, විනාශය උරුම විය හැක. පැවිදි බිමට පත්වූ කෙනකුට ඒ මොහොතේ සිටම විවිධ වූ බොහෝ දෙනා උපදෙස් දෙති.

ශබ්ද නඟා සිනා නොවිය යුතු කෑ නොගසා සිටිය යුතු, රාත්‍රියට කෑමෙන් වැළකිය යුතු ආදී වශයෙන් ඉවරක් නොවන උපදෙස් දෙති. මොවුන් අතර නූගත් බාලයන් හා චරිතය කෙලසාගත්තවුන්ද වෙති. නිතර නිතර හැමදෙනාම මෙලෙස කීම නිසා කෝපවීමෙන් පැවිද්දා සිවුර හැරදමා යෑමට සිතයි. ඌම්භය ලෙස පැවිද්දා තුළ ඇති බියනම් කෝපයයි.

ජලාශයක කිඹුලන් සිටිය හැක. කිඹුලාට ගොදුරුවන කෙනකුට පහසුවෙන් බේරීමටද නුපුළුවන. ගිහිගෙයි වසන ළමයින්ට මෙන්ම තරුණ පිරිසටද ඉඳුරන් පිනවීමට අවස්ථා රාශියක් තිබේ. ඔවුන් විවිධ ඇඳුම් ආයිත්තම් වලින් සැරසෙති. තමන්ට සිතූ සිතූ වේලාවන්හි ආහාර පාන ගනිති. චිත්‍රපට නැරඹීම, සංගීත සංදර්ශන, නැටුම්, ගැයුම් ආදියට සහභාගී වෙති.

පැවිද්දා ඇස් ඇතැත් දෑස් නොපෙනෙන සේ සිටිය යුතුයි. මුඛය, නාසය ඇතැත් ඒවා අක්‍රිය වූවන් සේ ජීවත් විය යුතුය. පැවිද්දාට ගිහි ජීවිතය පිළිබදව ඇති වන්නේ කෑදරකමකි. තමන්ටත් ඒ ආකාරයට නිදහස් ලෙස ගිහිව සිටියේ නම් රිසි රිසි පරිදි කැමති වේලාවට ආහාර පාන ගත හැකි නමුත් පැවිද්දෙකු ලෙස එසේ කළ නොහැකි යයි සිතා සිවුරු හැරදමා යෑමට සිතයි. මෙය කුම්භීල භය ලෙස දක්වයි කිඹුල් බිය යනු කෑදරකමට නමකි. ජලාශයක දිය සුළිය ඉතා භයානකය. සුළියකට හසුවූ තැනැත්තාට ඉන් බේරීමට හැකි වෙතොත් ඒ කලාතුරකිනි. දිය සුළි ගැන නොදැන දියට බැසීම අනතුරුදායකයි. පැවිදි බිමට ඇතුළත් වන්නා සමාජය තුළ තමා කළඹවමින් ඇද ගැනීමට සමත් දිය සුළි ඇති බව දැන ගත යුතුයි. දිය සුළි ලෙස දැක්වෙන්නේ පංච කාමයයි. පැවිද්දා බොහෝවිට ගිහියා දෙස බලන්නේ ඔහු නිදහසේ සතුටින් ජීවත්වන, සැප සම්පත් රිසිසේ භුක්ති විඳින්නෙකු හැටියටයි.

ගිහි ජීවිතය ගත කරන්නා තමාට උවමනා නිවාස, ආහාර පාන, ඇඳුම් පැලඳුම් හා බේත් හේත් ආදී සියල්ල තමා විසින් සොයා ගතයුතුයි. දිවා රාත්‍රි ගැන නොසිතා, කුසට නිසි ආහාරක්, ඇසට නින්දක්, ගතට විවේකයක් නැතිව දහඩිය මුගුරු හෙලමින්, මහ පොළව සමඟ ගැටෙන්නේ ඔවුනගේ ප්‍රත්‍ය පහසුකම සලසා ගැනීමටයි. රාත්‍රි නින්දට වැටෙන්නේ හෙට දවස ජීවත්වීම පිළිබදව බරක් හිසේ පුරවාගෙනයි. පැවිද්දාට ඒ කිසිවක් ගැන වෙහෙසිය යුතු නැත.

දායකයෝ දුක් මහන්සියෙන් උපයා ගත් දෙයින් පන්සල හදා දෙති. තම දරුවන්ට පාන් කැබැල්ලක් දී ඉතා ප්‍රණීත ලෙස සකසන ලද දානය ගෞරවණීය ලෙස රැගෙන විත් පන්සලට පූජා කරති. සිවුරුපිරිකර හා බේත් හේත් ආදියෙන්ද අඩුවක් ඇතිවීමට ඉඩ නොදෙති. එහෙත් ඉඳුරන් පිනවීමට ඇති කැමැත්ත හා සතිය නිවැරදිව පිහිටුවා නොගැනීම නිසා ගිහි ජීවිතය සැපයැයි සිතා භික්‍ෂූත්වය හැර දමා යන අයද සිටිති. ඔවුහු පංචකාම දිය සුළියට හුසුවූවෝ වෙති.

කිඹුලන් මෙන්ම විෂ සහිත දරුණු මත්ස්‍යයන්ද ජලාශයක සිටිය හැක. ඔවුන්ගෙන් බේරීමටද දියට බසින්නා තුළ අවබෝධයක් තිබිය යුතුය. එසේ නොමැති නම් අනතුරට පත්වීමට පුළුවන. සසුනෙහි සැදැහැයෙන් පැවිදිවූ ඇතමෙක් සිහියෙන් තොරව ඉන්ද්‍රිය සංවරයද නැතිව ගම, නගර ආදියෙහි සැරිසරණ විට නොමනා ලෙස හැඳ පැළඳ, රාගික හැඟීම් ඇති කරවන පරිද්දෙන් වෙසෙන ස්ත්‍රීන් දැක, ඔවුන් කෙරෙහි ඇලී, සිවුරු හැරදමා යති. ඒ රාගික හැඟීම් නිසයි. රාගය පැවිද්දා සාසනයෙන් පහ කර දමන බැවින් ඊට සුසුකාභය යැයි කියනු ලැබේ.

අප ජීවත් වන වර්තමාන ලෝකය විද්‍යා හා තාක්‍ෂණ දැනුමෙන් ඉතා ඉහළ මට්ටමකට පැමිණි ඇති බැවින්, දිනපතා නවීන නිපැයුම් ලෝකයට එක්වෙයි. ඒ සියල්ල ඉඳුරන් සංතර්පන කිරීම සඳහා වූ බැවින් බුද්ධකාලීන සමාජයට වඩා වර්තමානයේ භික්‍ෂුවට තම භික්‍ෂු ජීවිතය සුරක්‍ෂිත කර ගැනීම දුෂ්කරවී තිබේ.

සංනිවේදනය තුළින් ලෝකය අපට සමීප කර ඇති බැවින්, විවිධාකාර වූ සමාජ රැළි ඉතා ඉක්මනින් සමාජය තුළ ව්‍යාප්තවී යයි. ඇඳුම් විලාසිතා, සපත්තු විලාසිතා, කොණ්ඩා විලාසිතා, සංගීත විලාසිතා, නාට්‍ය හා ගීත, ජංගම දුරකථන, පුවත්පත්, සඟරා මේ ආදී විවිධාකාර විලාසිතා වසංගත මෙන් කලින් කල සමාජය වසා පැතිර යයි. සමාජ රැළි වලට විශේෂයෙන් තරුණ භික්‍ෂූන් වහන්සේ ඇදී යන බවක් පෙනෙයි.

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 01 වනදා අඟහරුවාදා අපරභාග 03.21 ට ලබයි.
02 වනදා බදාදා අපර භාග 12.59 දක්වා පෝය පවතී සිල්සමාදන්වීම දෙසැම්බර් මස 01 වනදා අඟහරුවාදාය.

 මීළඟ පෝය දෙසැම්බර් 09 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

New Moonඅමාවක

දෙසැම්බර් 15

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]