UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කාන්තාවට විමුක්තිය දුන් බුදු සමයේ සමාජ විප්ලවය

කාන්තාවගේ උත්පත්තිය විශේෂයෙන් පියාට අසුභ දෙයක් බව අර්ථ ගන්වා තිබු සමාජයකට කාන්තාව එබඳු කෙනකු නොවන බව පෙන්වා දීම කාන්තාව ලද මහඟු වරප්‍රසාදයකි. දිනක් කොසොල් මහරජුට දුවක් හිමි වූ බව බුදුරජුන් ඉදිරිපිටදී කන වැකෙත්ම ඔහු ඒ පිළිබඳ කම්පාවට පත් විය. එහිදී බුදුරජුන් රජුට ඒ පිළිබඳ දුක් නොවන ලෙසත් කාන්තාව ශ්‍රේෂ්ඨ තැනැත්තියක් විය හැකි බවත් දේශනාකළ ආකාරය, කෝසල සංයුක්තයේ ධීතු සූත්‍රයේ පෙන්වා දෙයි.


පුරාතන භාරතීය කාන්තාවන්ගේ සමාජ තත්ත්වය බ්‍රාහ්මණ මත වාද හා ඉගැන්වීම් තුළින් පරිහානියකට පත්ව තිබූ අවධියක ස්ත්‍රියට ගෞරවනීය බවක් ඇතිකර ගැනීමට අවශ්‍ය පසුබිම මෙන්ම ඊට ඔබින ක්‍රියාදාමයක් බුදුදහම තුළින් ලෝකයාට පෙන්වාදීම කාන්තා අයිතිවාසිකම් පිළිබඳ විශේෂ කඩඉමක් සනිටුහන් කරන්නකි. එමනිසාම බුදුදහම කාන්තාවන් අතර වඩාත් ප්‍රචලිත වූ සෙයක් හා බුදුදහමට කාන්තාවගේ ගෞරවාදරයක් ලැබී ඇති බව පෙනේ.

ස්ත්‍රිය සමාජ සංස්ථාවේ ප්‍රධාන කොටස්කාරියකි. ඇය එසේවූයේ බුදුදහම නිසා ය. ලොවුතුරු බුදුරජාණන් වහන්සේ මෙලොව පහළවන්නට පෙර, එනම් ක්‍රි.පූ. 06 සියවසට පෙර පැවැති සමාජයේ ඇයට සුදුසු තැන හිමි වූවා ද යන්න එම කාලවකවානුව දෙස බලන විට මැනවින් පෙනෙයි. වෛදික යුගයේදී කාන්තාව ආගමික හා අධ්‍යාපනික වශයෙන් සැලකිය යුතු නිදහසක් හා අයිතිවාසිකමක් භුක්ති වින්ද බවට සාක්ෂි ද ඇත. වේදය ඉගෙනුමට මෙන් ම වේදය රචනා කිරීමට ද ඇයට ඉඩකඩ වෙන්ව තිබූ බව පෙනේ.

විශ්වවාරා
සිකතා
නිවාවරී
අහලා
ඝොෂා
ලෝපමුද්‍රා

වැනි කාන්තාවෝ මෙසේ සෘග්වේද රචනා කළ කාන්තාවන් අතර ප්‍රධාන වෙති. නමුත් පසු කාල වන විට කාන්තාව සතු අධ්‍යාපන අයිතිය බ්‍රාහ්මණ සමාජය විසින් පැහැරගැනුණු අතර, බ්‍රාහ්මණ න්‍යාය ග්‍රන්ථවලින්ම කාන්තාවගේ් බුද්ධිමය තත්ත්වය අවඥාවට ලක් කොට අධ්‍යාපන අයිතිය ද ඇයගෙන් නැත්තටම නැතිකර තිබේ. එමෙන්ම සමාජමය වශයෙන්ද ඇය පහත් තත්ත්වයට ඇදද දැමිණි.

කාන්තාව ළමා කළ සිටම දැඩි රැකවරණ මැද ජීවත් විය යුතුය යන සංකල්පය ද සමාජය තුළ ගොඩනැඟිණි. ඇය කෙරෙහි ඇති විශ්වාසී බවද තුරන් කිරීමට ඔවුහු පොහොසත් වූහ.

කාන්තාව කිසිම කලෙකදී ස්වාධීනත්වයට භාජනය නොකළ යුතු බවටත් උතුම් කුලයක ඉපදුණත් රූසපුවෙන් හා පරිවාර ජනයාගෙන් අනූන වුවද සිය චර්යයා වෙනස් කිරීමට ඇය අකැමැති බවටත්, ඔවුන්ට වඩා වෙනත් පාපී දෙයක් නොමැති බවටත්, භයංකර බවටත්, භයානක ගුණාංගයන්ගෙන් පිරිපුන් බවටත්, තමා සමඟ ලිංගික කාර්ය සඳහා එක්වන්නට හැර වෙනත් කෙනකුට ඔවුන් කැමැති නොවන බවටත්, කාන්තාවන් හූනියම් හා සමාන බවත් මහාභාරතය නම් බ්‍රාහ්මණ ග්‍රන්ථය සඳහන් කරයි. මේ කරුණු වලින් පෙනී යන්නේ සමකාලීන සමාජය තුළ කාන්තාවගේ තත්ත්වය, එම සමාජ ආකල්ප මෙවැනි බ්‍රාහ්මණ ග්‍රන්ථ මඟින් තවදුරටත් තහවුරු කරලීමට ක්‍රියාකළ බවයි.

කාන්තාව නොමැති නම් බුද්ධ ශාසනයක් නැතැයි කිවයුතු තරමට මෙහෙවරක් කාන්තාවගෙන් බුදු සසුනට සිදුවෙයි. බුදුරජාණන් වහන්සේ කාන්තාවන් සමඟ කථාබහ කරන විට සතියෙන් හෙවත් සිහියෙන් යුතුව කථාකළ යුතු යැයි ද විටෙක ආනන්ද හිමියන්ට දේශනා කර ඇත.

‘ඒ ථ, තුම්හේ භික්ඛවේ. මාතු මත්තීසු මාතුචිත්තං උපට්ඨාපේථ, භගිණිමත්තීසු භගිණිචිත්තං උපට්ඨාපෙථ, ධීතු මත්තීසු ධීතු චිත්තං උපට්ඨාපෙථ’.

යන අවවාදය පරිදි මවු තරම් ස්ති‍්‍රයක් සමඟ කථා කරන විට මවක යන්න සිත තබා ගෙනද, නැගණියක් තරම් ස්ත්‍රියක් සමඟ කථා කරන විට නැගණියක් යන්න සිත තබාගෙනද දුවක පමණ ස්ත්‍රියක සමඟ කථා කරන විට දුවක යන්න සිත තබාගෙන ද කථා කරන්න යැයි උන්වහන්සේ දේශනා කරන ලදී. සිහියෙන් තොරව පමණට වඩා ස්ත්‍රීන් සමග ආශ්‍රය කිරීමෙන් වියහැකි විපතේ බරපතලකම මේ කථාවෙන් දැකිය හැකිය. මෙනිසා සමාජයේ සිටින කවුරුත් කාන්තාව සමග ප්‍රමාණයට කථාකළ යුතු වන්නේ නොදැනීම එහි අන්තයට ගොස් විනාශවන බැවිනි. එම ගතිය කාන්තාවගේ සහජයකි.

කෙසේ වෙතත් අප බුදුරජුන් නම් කාන්තාවට නියම තැන ලබාදී ඇත. ඒ බව ත්‍රිපිටකාගත කරුණුවලින් විද්‍යාමාන වෙයි. සමාජයෙන් පැමිණෙන ප්‍රශ්න හා ගැටලුවලට මුහුණදීමට ශක්තියක් පුරුෂයා තුළ ඇත. එම පුරුෂ ශක්තිය ස්ත්‍රියටද ලබාගත හැකි ය.

ස්ත්‍රියගේ මානසිකත්වය පුරුෂ මානසිකත්වයට හරවා ගැනීමෙන් පුරුෂභාවයක් ඇයටද ලද හැකි බව දීඝ නිකායේ සක්කපඤ්හ සූත්‍රයෙන් පෙන්වා දෙයි. පුරුෂයකුගේ පරම මිතුරිය සිය බිරිය බව බුදුරජුන් විසින් දේශනා කරනු ලැබීමෙන්ද කාන්තාව පුරුෂ පක්ෂය අතර අවමානයට පහත් තත්ත්වයට ඇදවැටීමෙන් මුදවාගෙන ඇත. එමෙන්ම මවක්මෙන් ගෞරව ලැබිය යුතු බවද පෙන්වා ඇයට සමාජයේ ඇති තත්ත්වය තවත් අතකින් ශකතිමත් කර ඇත. බුදුරජුන් තම සුළු මවුහට බුදු සසුනේ් පැවිද්දට ඉඩකඩ ලබා දුන්නද එතුමිය පිරිනිවනට යන අවස්ථාවේ එතුමිය වටා පැදකුණු කොට දොරටුව දක්වා පසුගමන් කළේද මවකට, කාන්තාවකට දිය යුතු අයිතිවාසිකම හා ගෞරවය ලබාදිය යුතු නිසාය.

කාන්තාවගේ උත්පත්තිය විශේෂයෙන් පියාට අසුභ දෙයක් බව අර්ථ ගන්වා තිබු සමාජයකට කාන්තාව එබඳු කෙනකු නොවන බව පෙන්වා දීම කාන්තාව ලද මහඟු වරප්‍රසාදයකි. දිනක් කොසොල් මහරජුට දුවක් හිමි වූ බව බුදුරජුන් ඉදිරිපිටදී කන වැකෙත්ම ඔහු ඒ පිළිබඳ කම්පාවට පත් විය. එහිදී බුදුරජුන් රජුට ඒ පිළිබඳ දුක් නොවන ලෙසත් කාන්තාව ශ්‍රේෂ්ඨ තැනැත්තියක් විය හැකි බවත් දේශනාකළ ආකාරය, කෝසල සංයුක්තයේ ධීතු සූත්‍රයේ පෙන්වා දෙයි.

ඉත්ථිපිහි එකච්චියා
සෙය්‍යා පෝස ජනාධිප
මේධාවිනී සීලවතී
සස්සුදෙවා පතිබ්බතා
තස්ස යෝ ජායතී පොසෝ
සූරො හොති දිසම්පති
තාදිසා සුභගියා පුතෙතා
රජ්ජමිජි අනුසාසතීති

රජතුමනි, ඇතැම් ස්ත්‍රීන් ශ්‍රේෂ්ඨ ය. පෝෂණය කරනු මැනවි. නුවණැති සිල්වත් නැදිමයිලන් සලකන පතිදම් රකින ඇයට යම් පුතකු උපදී ද , ඔහු දක්ෂයෙක් වෙයි. එබඳු යහපත් තැනැත්තියගේ පුත්‍රයා රජකමට ද සුදුසු වෙයි.

මෙලෙස කි. පූ. 6 වන සියවසෙහි කාන්තාවට හිමි වූ තැන කොතරම්ද යන්න පෙනෙයි. රජවරු පවා තමාගේ දරුවා දුවක් වූ විට කම්පාවට පත් වූ අවස්ථා එමට ය. එවැනි ආකල්ප නිසා කාන්තාව සමාජයේ මහත් අපහසුතාවකට පත් විය. මෙම බ්‍රාහ්මණ සංකල්ප ඉවතලමින් බුදුරජුන් ත්‍රිපිටකයේ නොයෙක් තැන කාන්තාවගේ ගුණ දේශනා කර ඇත. ඒ අතර මහාමංගල සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය, පරාභව සූත්‍රය, වසල සූත්‍රය ප්‍රධාන ය.

මෙලෙස ලොවුතුරු බුදුපියාණන් වහන්සේ සමාජයේ නොයෙක් හැල හැප්පිලි වලට යට වූ කාන්තාව බුදුදහමින් පුබුදු කළ සේක.

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 01 වනදා අඟහරුවාදා අපරභාග 03.21 ට ලබයි.
02 වනදා බදාදා අපර භාග 12.59 දක්වා පෝය පවතී සිල්සමාදන්වීම දෙසැම්බර් මස 01 වනදා අඟහරුවාදාය.

 මීළඟ පෝය දෙසැම්බර් 09 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

New Moonඅමාවක

දෙසැම්බර් 15

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]