UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිරිපා වන්දනා සමය උඳුවප් පෝ දා සිට ඇරැඹේ

2009 - 2010 සිරිපා වන්දනා සමයේ සමාරම්භක උත්සවය හා රිය පෙරහර ඉකුත් 30 වනදා පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රාජමහා විහාරස්ථානයෙන් ආරම්භ කැරිණි.

එදින අලුයම 1.30 ට පූජා භාණ්ඩ දොරට වැඩමවීම සිදු කැරුණු අතර අලුයම 1.45 -5.30 දක්වා සමන් දේව පූජාවද පැවැත්විණි. ඊට සමගාමීව ගල්පොත්තාවල ශ්‍රීපාද රජ මහා විහාරයේදී 29 වන දා රාත්‍රී අටවිසි බුද්ධ පූජාවක් සහ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද පැවැත්විණි.

අනතුරුව නොවැම්බර් 30 වනදා අලුයම 6.30 ට ගල්පොත්තාවල රජ මහා විහාරයේ සිට සිරිපා මළුව වෙත තුණුරුවන් පෙරටු කරගත් ඓතිහාසික සමන් දේව ප්‍රතිමාව රැගත් රිය පෙරහර නල්ලතන්නිය දක්වා ගමන් කැරිණි.

රත්නපුර ඓතිහාසික සමන් දේවාලයේදී 30 වන දා පෙරවරු 9.30 ට විශේෂ බුද්ධ පූජාවක් හා දේව පූජාවක් පැවැත් වීමෙන් පසු රිය පෙරහර නැවත ගමන් අරඹා 30 වනදා මධ්‍යම රාත්‍රිය වන විට නල්ලතන්නිය ශ්‍රීපාද බෞද්ධ මධ්‍යස්ථානය වෙත ලඟාවීමට කටයුතු යොදා තිබිණි.

එහිදී රත්නපුර හා නුවරඑළිය දිසාපතිවරුන්ගේ සංවිධානයෙන් ඒ ඒ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් හා අදාළ ප්‍රදේශයන්හි ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන්ගේ මෙහෙයවීමෙන් පිළිගැනීම් උත්සව සංවිධානය කැර තිබිණි.

උඳුවප් පුර පසළොස්වක පොහොය යෙදී ඇති දෙසැම්බර් 1 වනදා යෙදෙන සුබ නැකතින් 2009 /2010 සිරිපා වන්දනා වාරය ආරම්භ කිරීමට අවශ්‍ය සියලු පියවර ශ්‍රී පාදස්ථානාධිපති හඳපාන්ගොඩ විමල නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කර ඇති බව ශ්‍රී පාදස්ථානයේ භාරකාර දම්පහළ සීලානන්ද හිමියෝ ‘බුදුසරණ’ ට පැවැසූහ.

සුබ නැකතින් ශ්‍රීපාද පද්මය දෝවනය කර ශ්‍රීපාද මළුවේ සමන් දේවාලය සුවඳ පැනින් පවිත්‍ර කර පූජාභරණ තැන්පත් කැරේ.

ශ්‍රීපාද පද්ම වහන්සේට අලුයම සම්බුද්ධ පූජාව පවත්වා බැතිමතුන්ට වන්දනාමාන කිරීමේ අවස්ථාව උදා කැරෙන අතර සමන් දේව පූජාව පවත්වා බැතිමතුන්ට දේව ප්‍රතිමාවට පූජාවන් පැවැත්වීමට අවස්ථාව සලසා ඇතැයි ද උන්වහන්සේ පැවැසූහ.

ඒ අනුව 2010 වෙසක් පුර පසළොස්වක පෝදාට පසු දින දක්වා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ වන්දනා සමය සඳහා ශ්‍රී පාද පද්මයේ ආගමික වතාවත් සිදු කැරෙන බවද සීලානන්ද හිමියෝ පැවැසූහ.

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 01 වනදා අඟහරුවාදා අපරභාග 03.21 ට ලබයි.
02 වනදා බදාදා අපර භාග 12.59 දක්වා පෝය පවතී සිල්සමාදන්වීම දෙසැම්බර් මස 01 වනදා අඟහරුවාදාය.

 මීළඟ පෝය දෙසැම්බර් 09 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

New Moonඅමාවක

දෙසැම්බර් 15

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]