UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

හෙළ වනිතා පරපුර විමුක්තියේ ආලෝකය ලද ඓතිහාසික දිනය

මේ අයුරින් ආරම්භ වී ව්‍යාප්ත වූ භික්ෂුණී ශාසනය ලංකා වනිතා සමාජය තුළ මහා පරිවර්තනයක් උදා කළේය. ඉන් ප්‍රධාන ම කරුණ වන්නේ එතෙක් ලෝකෝත්තර සුවය ලැබීමට වනිතාවන්ට තිබූ සෑම බාධකයක්ම ඉවත්ව යාමය. මේ නිසා ලංකාව පුරා සිටි කාන්තාවන්ට පැවිදිවීමට ඉඩකඩ විවර විණි. අනුලා බිසව ගිය අඩිපාරේ පසුකාලීන වනිතාවෝද ගමන් කළහ. සිල්වත්, ගුණවත්, නැණවත් උසස් භික්ෂුණී ශාසනයක් මෙරට එලෙස ස්ථාපිත විය.


වසරක අවසානය ළඟා වෙත් මැ එළැඹෙන උඳුවප් පුරපසළොස්වක පොහොය මෙරට බෞද්ධ ජනයා ස්මරණය කරන්නේ ඉමහත් බැතියෙනි. ඊට හේතු වන්නේ බෝධිසත්වයන් වහන්සේට බුද්ධත්වය ලැබීමේදී සෙවණ ලබාදුන් මුල් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබාගත් දක්ෂිණ ශාඛාවක් මෙරටට වැඩමවීම එදින සිදුවීමය.ඒ සමඟම අප සිහියට එන්නේ එම බෝධීන් වහන්සේ මෙරට වැඩම කැරගෙන සපැමිණි සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්ෂුණීන් වහන්සේය. මහින්ද මහ රහතන් වහන්සේගේ වැඩමවීම හා සමාන උසස් පිළිගැනීමක් හා විශිෂ්ටත්වයක් උසුලන සංඝමිත්තා තෙරණියගේ සපැමිණීම ලංකා ඉතිහාසයේ භික්ෂුණීන් වහන්සේ සම්බන්ධව නව පරිච්ඡේදයක සමාරම්භය බව, බොහෝ දෙනා ගේ පිළිගැනීමය.

මිහිඳු මහ රහතන් වහන්සේ මෙරට ව්‍යාප්ත කළ බුදුදහමේ ආලෝකය රජමැඳුරේ සිට මුළු රට පුරා පැතිරෙන්නට පටන් ගත් අවස්ථාවේ දේවානම්පියතිස්ස රජතුමාගේ සොහොයුරු මහානාග උප රජුගේ බිසව වූ අනුලාදේවි ප්‍රධාන පන්සියයක් කාන්තාවෝ රජමැඳුරේ දී මිහිඳු හිමි දෙසූ බණ අසා පැහැදී සෝවාන් ඵලයට පත්වූහ. මහමෙවුනා උයන විහාර භූ®මියක් හැටියට මිහිඳු හිමියන් පිළිගත් අවස්ථාවේ මෙම කාන්තාවෝ පැවිද්ද ඉල්ලා සිටියහ. නමුත් කාන්තා පැවිද්ද තමාට කළ නොහැකි නිසා ඒ සඳහා දඹදිව වෙසෙන සංඝමිත්තා තෙරණිය වැඩමවා ගන්නා හැටියට උන්වහන්සේගෙන් උපදෙස් ලැබිණි.

ඒ වන විට සංඝමිත්තා තෙරණිය මෙරටට වඩිනතුරු අනුලා බිසව ඇතුළු කාන්තාවෝ පන්සියයක්ද, අන්තඞපුර කාන්තාවෝ පන්සියයක්ද දස සිල් සමාදන් වැ කහවත් හැඳ බුදු සසුන්හි පැවිද්ද බලාපොරොත්තුවෙන් මෙහෙණ අසපුවක වාසය කළහ. එය උපාසිකා මෙහෙණවර නමින් හැඳින්විණි. තිස්ස රජුගේ මඟුල් ඇතාට විසීමට ඇත්හලක් ඉදිකොට තිබිණි. පසුව එහි ස්තූපයක් ගොඩ නැංවීය. සංඝමිත්තා තෙරණිය මෙරටට වැඩම වූ පසු එතුමිය එහි වාසය කරමින් විවේකීව වැඩ සිටියහ. රජතුමා එහි අලංකාර මෙහෙණ අසපුවක් ඉදි කළේය. හස්ථියා නිසා පහළ වූ චෛත්‍ය භූ®මියෙහි කරන ලද අසපුව පසුව “හත්ථාල්ලක මෙහෙණවර “ නමින් ප්‍රසිද්ධියට පත් වූ බව සඳහන් වෙයි. ඉන්පසු එය මෙහෙණින් වහන්සේගේ මූලස්ථානය බවට පත්විය.

පෑතිස් රජතුමාගේ ථූපාරාම විහාර පූජාවෙන් පසු සංඝමිත්තා තෙරණිය වැඩමවාගෙන ඒම පිණිස රජතුමාගේ බෑණනුවන් වන අරිට්ඨ අගමැතියා අසෝක රජතුමා වෙත යවන ලදී. එම දූත ගමනේ ප්‍රතිඵල ලෙස සඟමිත් තෙරණිය බෝධීන් වහන්සේ වැඩමවාගෙන උඳුවප් මස පුර පසළොස්වක පොහොය දින උතුරේ දඹකොළ පටුනෙන් ලංකාවට වැඩියහ. බෝධීන් වහන්සේට උවැටන් කළයුතු කරනු වස්, විවිධ වෘත්තීන්ට අයත් දහ අට කුලයක ජනයා මෙරටට පැමිණීම සුවිශේෂ කරුණකි. විවිධ පුද පූජාවෙන් ගෞරව කරමින් බෝධි ශාඛාව මහමෙවුනා උයනේ රෝපණය කරන්නට යෙදිණි. පැවිදිවීමේ උතුම් චේතනාවෙන් සිටි කාන්තා පිරිසට එහිදී පැවිද්ද ලැබුණේය.

මෙරට භික්ෂුණී ශාසනය එලෙස ඇරැඹුනේය. එතැන් සිට වේගයෙන් භික්ෂුණී ශාසනය ව්‍යාප්ත විණි. රජකුමරියෝ ඊට මනා ශක්තියක් ගෙන දුන්හ. දීප වංශයෙන් හෙළිවන පරිදි උත්තරා, හේමා උපාසිකාව අග්ගිමිත්තා, ධම්මදාසි ආදී භික්ෂුණීන් සමග භික්ෂුණීහු විසි දහසක් පමණ විටින් විට එරටින් මෙරටට පැමිණ ඇත.

මේ අයුරින් ආරම්භ වී ව්‍යාප්ත වූ භික්ෂුණී ශාසනය ලංකා වනිතා සමාජය තුළ මහා පරිවර්තනයක් උදා කළේය. ඉන් ප්‍රධාන ම කරුණ වන්නේ එතෙක් ලෝකෝත්තර සුවය ලැබීමට වනිතාවන්ට තිබූ සෑම බාධකයක්ම ඉවත්ව යාමය. මේ නිසා ලංකාව පුරා සිටි කාන්තාවන්ට පැවිදිවීමට ඉඩකඩ විවර විණි. අනුලා බිසව ගිය අඩිපාරේ පසුකාලීන වනිතාවෝද ගමන් කළහ. සිල්වත්, ගුණවත්, නැණවත් උසස් භික්ෂුණී ශාසනයක් මෙරට එලෙස ස්ථාපිත විය. කාවන්තිස්ස රජතුමාගේ දියණිවරුන් ද එදා පැවිදිව සිටි බව දීපවංශය සඳහන් කරයි. එසේම සමුද්ධා, නාවා, දේවි , සීවලී යන නම් වලින් හැඳින්වෙන්නේද පැවිදි වූ රාජ දියණිවරුන් ය.

අනුරාධපුර සමයෙහි කොපමණ භික්ෂුණීන් සංඛ්‍යාවක් ජීවත් වූවාදැයි ඉතිහාස පොත්වල සඳහන්ව නැත. සංඝමිත්තා තෙරණියගේ පැමිණීමෙන් පසුව භික්ෂුණීන් වහන්සේ විසිදාහක් පමණ සිටි බව දීපවංශය අනාවරණය කරයි. එපමණක්ද නොව මිරිසවැටි දාගැබ පූජා කිරීමේ උත්සවයට පැමිණි භික්ෂුණී සංඛ්‍යාව අනූදහසකැයි මහාවංශය සඳහන් කරයි.

බුදුසසුනේ ව්‍යාප්තිය සේ මැ දියුණුව ඇතිවීමට ද භික්ෂුණීන් වහන්සේගෙන් ලැබුණු පිටුබලය , දායකත්වය ,කැපවීම අතිමහත්ය. අති උදාරය. බෞද්ධ පොතපත ලියූ භික්ෂුණීන් වහන්සේගේ සහභාගිත්වය ද කැපී පෙනෙන්නට තිබේ. ඉන්දීය ඉතිහාසයේ එබඳු පුවත් සඳහන් වෙද්දී, චීන රටේ භික්ෂුණී ශාසනය, පිරිහී ගිය අවස්ථාවක එය නැවත ඇති කළේ, ලංකාවෙන් වැඩම කළ සිංහල භික්ෂුණීන් වහන්සේය. මෙලෙස ජාත්‍යන්තර කීර්තියට පත් ලාංකික භික්ෂුණී සමාජයේ සේවය අති විශිෂ්ටය.උදාරය. එදා බැමිණිටියා සාය ‘ නම් දුර්භික්ෂ කාලපරිච්ඡේදය අවස්ථාවේ ධර්මය කටපාඩම් කැර ගැනීමට බාධක පැමිණෙද්දී එය රැක ගැනීමට භික්ෂුණීන් වහන්සේද දැඩි උත්සාහයක් ගෙන ඇත. තවද උන්වහන්සේ ආරෝග්‍ය ශාලා පිහිටුවා රෝගීන්ට ප්‍රතිකාර කළ බව ද ශිලා ලේඛනවල සඳහන් වෙයි. මෙලෙස එදා මෙදා තෙක් භික්ෂුණීන් වහන්සේ ගෙන ගිය සමාජ, සංස්කෘතික ආගමික සේවාව මෙපෙමණයැයි මිල කළ නොහැකි ය.

තවද බොදු හෙළ කතුන්ගේ හැදියාව, ගිහි ජීවිතය ආදියට මෙහෙණින් වහන්සේගෙන් ලැබුණු මඟ පෙන්වීම, අපමණය.

 

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 01 වනදා අඟහරුවාදා අපරභාග 03.21 ට ලබයි.
02 වනදා බදාදා අපර භාග 12.59 දක්වා පෝය පවතී සිල්සමාදන්වීම දෙසැම්බර් මස 01 වනදා අඟහරුවාදාය.

 මීළඟ පෝය දෙසැම්බර් 09 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

New Moonඅමාවක

දෙසැම්බර් 15

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]