UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු සිරිතේ ආලෝකයෙන්...

මේ ලෝකයේ අපට දක්නට ලැබෙන පින්වන්ත චරිතය බුද්ධ චරිතය , ඒ බුද්ධ චරිතයෙ හැම පිටුවක්ම අර්ථවත්, රසවත්, ආදර්ශමත්, මේ මුළු ලෝකයම එකම පුස්තකාලයක් වගෙ හැම දෙයක්ම, හැම කෙනෙක්ම නුවණ තියෙන ඔබට යමක් ඉගෙනීමට පාඩම් ඇතුළත් පොත් වගේනෙ. ඔබේ ජීවිතයත් එයින් එක පොතක් “ බුද්ධ චරිතයෙ ආභාෂය ලබලා තියෙනවනම් ඔබේ ජීවිත පොත වඩාත් වැදගත්.

ඔබ දත යුතු දේ රැඳිල තිබෙන්නෙ ඔබ ළඟමයි. ඔබ ඇතුළු ඔබේ පවුලෙ චරිත අරගෙන කියවල බලන්න. ඒවා එක එක විදිහෙ ජීවිත පොත්. වෙනත් පොත පත කියවනවට වඩා විශාල දැනුම් සම්භාරයක් ලැබෙනව ජිවන පොත් කියවීමෙන්, තම ජීවිතේ ගත වෙච්ච පරිච්ඡේද කියවල බලන්න. ඒවයෙ සටහන්ව තිබෙනව ඔබ කළ කී දේ මොනවද, ලැබුණු විපාක මොනවද? අද කියන කරණ දේ මොනවද කියලා විමසල බලන්න.

හැබැයි ගෙවුනු අතීතය ගැන හිත හිතා පසුතැවිලි වීමෙන් වැඩක් නැහැ. වර්තමානය සකස් කර ගැනීමයි වැදගත්. එවිට අනාගතය හොඳ වෙනව. බුද්ධ දේශනාවෙ සඳහන් වෙනව කෙනෙක් ක්‍රම හතරකට වීරිය දරන්න කියල. ඒ තමයි තමන් මෙතෙක් කළ වැරැදි යළිත් නොකර සිටීමට වීරිය දැරීම. ගත වෙන මේ මොහොතෙ වැරැදි නොකර සිටීමට වීරිය දැරීම මෙතෙක් නොකළ යහපත් දේ කිරීමට වීරිය දැරීම , දියුණු කළ ගුණ ධර්ම ඉදිරියටත් ආරක්‍ෂා කරගෙන දියුණු කිරීමට වීරිය දැරීම, ඒ වගෙම එදිනෙදා දියුණුවටත් මේ වීරිය හතර උපයෝගී කරගත හැකියි.

ඔබ සිතා බලන්න. මෝඩකම් කරල ඥානවන්තවුණු අය ඉන්නව, අජාසත්ත කුමාරය වගෙ , ඥානවන්තව ඉඳල මෝඩකම් කරගත්තු අය ඉන්නව, දෙව්දත් තෙරුන් වගෙ දුප්පත්ව ඉඳල පොහොසත් වුණු අය ඉන්නව. පෝසත් ඉඳල දුප්පත් වුණු අය ඉන්නව. නිවැරැදිව ඉඳල වැරැදි කළ අය, වැරැදි කරල නිවැරැදිවුණු අය ඉන්නව.

මේ වගෙ විවිධ ගති පැවතුම් ඇති අය සමාජයෙ කෙතරම් ඉන්නවද? පින්වතුනි , ඔබ දන්නවනෙ ‘පෙරහන්කඩය ‘ ගැන ඒකෙන් වතුර පෙරා ගත්තම රොඩු ටික පෙරහනේ ඉතිරි වෙනව. පිරිසුදු වතුර පෙරිල ඉවතට යනව. කුල්ලට හාල් දමල පොලා ගත්තම සුන් සහල් දහයිය පොතු ඉවත් වෙලා හාල් ටික පිරිසුදු වෙනව.ඒ වගෙ ඔබ කළ යුත්තෙ සමාජ නමැති පොත කියවල හොඳ ගති සිරිත් නමැති පිරිසුදු ජලය ටික ඉවත් කරල රොඩු වගෙ අගුණ රැක ගැනීම නොවෙයි. අගුණ නමැති රොඩු ටික ඉවත් කරල ගුණ නැණ නමැති පිරිසුදු සහල් ටික සිත් බඳුනෙ තැන්පත් කර ගැනීමයි කළ යුත්තෙ.

අපේ බුදුරජාණන් වහන්සෙ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී ධර්ම පුරල අගුණ සහමුලින් දුරු කළා. ඒ නිසා උන් වහන්සෙ ගුණ සාගරයක් වුණා.මහා කරුණා නිධානයක් වුණා. වන්දනීයාති වන්දනීය වුණා. පූජනීයාති පූජනීය වුණා. ඒ ආශීර්වාදයෙන් අදත් ඔබ අප සැනසෙනව.

පින්වතුනි , බුද්ධ චරිතයෙන් බුදුරජාණන් වහන්සෙගෙ පින් බලය, ගුණ සුවඳ, සිල් සුවඳ, නැණ සුවඳ, දහම් සුවඳ, හොඳින් පැහැදිලියි. ඒ බුද්ධ චරිතයට ඔබ සමීපවුණු තරමට ඔබේ හදවතත් ගුණ නැණ සුවඳින් සුවඳවත් වෙනව. ඒ පිරිසුදු චරිතය ඔබව යහපතට දියුණුවට පත් කරනව. ඔබ නිසා ගෙදරත් ගමත් රටත් ලස්සන වෙනව. සදා නොමියෙන බුද්ධ චරිතය වගෙ උතුම් ජීවිත පොතක් සකස් කර ගැනීමට මෙම දහම් පණිවුඩය උපයෝගී වේවා! අනන්ත බුදු ගුණ සිසිලසින් ඔබ අප සිත් සතන් ධර්මාලෝකයෙන් ආලෝකවත් වේවා!

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය නොවැම්බර් මස 24 වනදා අඟහරුවාදා අපරභාග 01.55 ට ලබයි. 25 වන දා බදාදා අපරභාග 04.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 24 වන දා අඟහරුවාදාය.
 
මීළඟ පෝය දෙසැම්බර් 1 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

New Moonඅමාවක

දෙසැම්බර් 15

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]