UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු දහමේ තර්කයට හිමි තැන

බුද්ධ කාලීන භාරතයෙහි චින්තකයෝ ලෝකය ශාස්වත, ලෝකය, උචෙජදය, ආත්මයක් ඇත. ඊශ්වරයකුගේ පැවැත්ම සත්‍යයකි යනුවෙන් කරුණු දක්වමින් ඒවා තමන්ගේ ඤාණයෙන් අවබෝධ කරගත් බව ප්‍රකාශ කර සිටියහ. නියතිවාදී අදහස් සහ භෞතිකවාදී, ශාස්වතවාදී, උච්ඡෙදවාදී ආදී එවැනි අදහස් ඉදිරිපත් කිරීම පිණිස ඔවුන් ඤාණය ලබා ගන්නේ විවිධ ඤාණ මාර්ග ඔස්සේ ගමන් කිරීමෙනි. බුද්ධ කාලීන වෙනත් චින්තනයක් ඉදිරිපත් කළ ඤාණ මාර්ග පිළිබඳ වැදගත් තොරතුරු සූත්‍ර කිහිපයක සඳහන් වෙයි. තර්කයෙන් නිවැරැදි දැනුමක් ලැබිය හැකි යැයි පිළිගත් චින්තකයන් බුද්ධකාලීන භාරතයෙහි සිටි බව දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයෙහි සඳහන් වෙයි.

ඤාණය ලබා ගැනීම පිළිබඳ කරුණු ඉදිරිපත් කළ පෙර – අපර දෙදිග දාර්ශනිකයන් මූලික වශයෙන් කොටස් 2 කි. බුද්ධි වාදීන් සහ අනුභූතිවාදීන් යනු ඒ දෙක යි. ඤාණය ලබා ගත හැකි වන්නේ තර්ක විතර්ක කිරීමෙන් බවත්, තර්කයෙන් සියල්ල දත හැකි බවත් බුද්ධිවාදීන්ගේ අදහස විය. ජීවිතය හා ලෝකය පිළිබඳ සත්‍ය ඤාණය ඔවුන් ලබා ගත්තේ, බුද්ධිමය තර්කය තුළිනි.

බුද්ධිවාදීන්, තර්කය සිය ඤාණ මාර්ගය ලබා ගැනීමේ මාධ්‍යය කරගත් අතර, අනුභූතිවාදීන් සිය ඤාණය ලබා ගැනීමේ මාධ්‍යය ලෙස අනුභූතිය පිළිගත්හ. තර්කයෙන් සත්‍ය ඤාණය ලැබිය නොහැකි බව ප්‍රකාශ කරන අනුභූතිවාදීන්, සත්‍ය ඤාණය ලැබිය හැකි වන්නේ ලෝකය හා ජීවිතය පිළිබඳ අත්දැකීමෙන් පමණක් බව ප්‍රකාශ කරති. අප අත්දැකීම් ලබන්නේ ඇස, කන, නාසය ආදී ඉන්ද්‍රියන් මඟින්, රූප, ශබ්දාදී අරමුණු ගැනීමෙනි. ලොව සියල්ල තේරුම් ගත හැකි වන්නේ ඉන්ද්‍රිය ඤාණයෙන් මිස, තර්කයෙන් නොවන බව මෙමඟින් පැවසෙයි. ඉන්ද්‍රිය, අරමුණු සමඟ එක්වීමෙන් ඤාණය ලබා ගත හැකි යැයි අනුභූතවාදීහු පැවසූහ. මෙම ගණයට වැටෙන දර්ශන වන්නේ බෞද්ධ, චාර්වාක, පායාසි දර්ශනය.

ඤාණ මාර්ගයක් වශයෙන් තර්කය ගැනීමේ දී, එහි විවිධ අඩුපාඩු දක්නට ලැබේ. ඒවා නම්,

1. තර්ක කරන්නාගේ උගත්කම මත සත්‍යය තීරණය වීම.
2. තර්ක කරන්නා හොඳ කථිකයකු නම් අසත්‍යයක් වූවත් සත්‍යයක් ලෙස පෙන්වීමේ හැකියාව ඇත.
3. තර්ක කරන්නා කීර්තිමත් අයකු නම් ඔහුට දිනීමට හැකි ය.
4. තර්ක කරන්නා කාය ශක්තියෙන් හා නායක ගුණවලින් යුක්ත අයකු නම්, ඔහුට එයින් දිනීමට හැකි වීම.

මෙම කරුණු අනුව පෙනී යන්නේ, සත්‍ය එහි දී බාහිර කරුණා මත රඳා පවතින බවයි. මෙම කරුණු නිසා අසත්‍ය වූ දෙයක් වුවත් සත්‍ය වීමට පුළුවන. මේ නිසා තර්කය ඤාණ මාර්ගයක් වශයෙන් ගැනීමේ දී විවිධ දුෂ්කරතා වලට පත් වීමට සිදු වේ. සත්‍ය දැකීමේ දී තර්කය ප්‍රමාණවත් නොවන බව, පහත දැක්වෙන කරුණු වලින් ද මනාව පෙනී යයි.

සත්‍යය බාහිර කරුණු මත පදනම් වීම.
විවිධ අරමුණු ඇතිව තර්ක කරන්නන් සිටිය හැකි වීම.
සමහරු සත්‍ය කියා පහදා දීමට නොව, ප්‍රසිද්ධිය පතා තර්ක කිරීම.
සමහරු තමා පිළිගත් මතය කෙසේ හෝ ජයග්‍රහණය කරවීමට තර්ක කිරීම.
සමහරු අනුන්ගෙන් පළිගැනීමට තර්ක කිරීම.
සමහරු තමා උසස් කොට, අනුන් පහත් කොට සැලකීම සඳහා තර්ක කිරීම.
සත්‍යය ඉස්මතු වීමට වඩා, වෛරය, පළිගැනීම, කළ කෝලාහල, තර්කය නිසා සිදුවිය හැකි ය.

තර්කයට දෘෂ්ටි ග්‍රහණය පදනම් විය හැකි ය.
සියල්ල ශාස්වත යැයි තර්ක කිරීම.
සියල්ල උචෙඡ්ද යැයි තර්ක කිරීම.
සියල්ල කර්මයට අනුව සිදුවන බවට තර්ක කිරීම.
තර්කයෙන් පැමිණෙන නිගමනය සත්‍ය මෙන්ම, අසත්‍ය විය හැකි ය.
තර්කයේ මාධ්‍යය භාෂාවයි.
භාෂාව අදහස් ප්‍රකාශ කරවන මාධ්‍යයකි. අකුරු, වචන, වාක්‍ය, හදාගත් දෙයක් බැවින් එය බොරුවක් විය හැකි ය.
තර්කයෙන් පැමිණි නිගමනය, තවත් තර්කයකින් බිඳ දැමීමට පුළුවන.

මෙම කරුණු අධ්‍යයනය කරන විට, සත්‍ය කරුණු දැන ගැනීමේ දී තර්කය ප්‍රමාණවත් නොවන බව පෙනී යයි. බුදුරදුන් දවස භාරතයේ නොයෙක් ආගමික දෘෂ්ඨි කරපින්නාගත් මහණ බමුණන් සිටි බවත්, ඔවුන් නොයෙක් අයුරින් තර්ක විතර්ක කොට සිය දෘෂ්ටිය සත්‍ය බව ඔප්පු කිරීමට උත්සාහ කළ බවත්, බ්‍රහ්මජාල සූත්‍රයේ මෙසේ සඳහන් වෙයි. ‘මහණෙනි, මෙහි එක්තරා මහණ බමුණෙක් තර්ක කරන්නේ වෙයි. ඒ ඒ කරුණින් තර්ක කොට විමසුම් නුවණ පමණින්ම ආත්මයත්, ලෝකයත්, සදාකාලිකය යනාදී වශයෙන් දේශනා කරති. මෙසේ බලන කළ බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් ඇතැම් දාර්ශනික මත පිළිබඳ ඤාණය තර්ක කොට ලබා ගත් ඒවා වෙයි. අංගුත්තර නිකායේ කාලාම සූත්‍රයේ දී මෙවැනි තර්ක පිළිබඳ තොරතුරු දැක්වෙයි.

කාලාමයෙනි, තර්කයට ගැළපෙන නිසා හෝ න්‍යායට ගැළපෙන නිසා හෝ යමක් පිළිබඳ එහි මතු පිට ආකාර ඛ්හිපයක් පමණක් බැලීමෙන් හෝ දෘෂ්ටියට මතයට ගැළපෙන නිසා හෝ නොපිළිගනිව්, තර්කය, න්‍යාය, ආකාර පර්විතර්කය හා දෘෂ්ටිය යන සියල්ලම බුද්ධවාදී ඥාණ මාර්ග ය. බුදුන් වහන්සේ එම ඥාණ මාර්ග ප්‍රතික්‍ෂේප කළහ.මජ්ඣිම නිකායේ මජ්ඣිම පණ්ණ සකයේ සංගාරව සූත්‍රයේ දී එකළ පැවැති ඥාණ මාර්ග පිළිබඳ මෙසේ සඳහන් කරයි.

සද්ධා මාත්‍ර වශයෙන් ඉහත ආත්මයෙහි නිවන් පැමිණි බව කියා ආදි බ්‍රහ්මචරිය ප්‍රකාශ කෙරෙද්ද එබඳු කිසියම් මහණ බමුණු කෙනෙක් ඇත. තර්කාග්‍රාහී වූ විමසංක වූ බ්‍රාහ්මණයෝ ද වෙති. එසේම තර්කග්‍රාහී හෙවත් තර්කය ඤාණ මාර්ගයක් ලෙස පිළිගත්තවුන් පිළිබඳ මජ්ඣිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකයේ සන්ධක සූත්‍රයේ මෙසේ සඳහන් වෙයි. සන්ධකය, තවත් කරුණක් කියමි. ශාස්තෘවරයෙක් තර්කයෙන් පමණක් විමසා, එයින්ම තීරණ ගැනීමට දේශනා නොකරති.

“ඉධ භික්ඛවෙ ඒකවෙවා සමණොවා, බ්‍රාහ්මණොවා, තක්ක හොති, විමංසි සො තක්කිපරියාහතං විමසානුචරතං, සයං පටිහානං එවමාහි සස්සතො අත්තාව ලොකොච” දීඝ නිකාය බ්‍රහ්මජාල සූත්‍රය.

“මා තක්කහෙතු, මා නය හෙතු මා ආකාර පරිවිතකෙන මා දිට්ඨි නිජ්ජානක් ඛන්තියා...” කාලාම සූත්‍රය, අංගුත්තර නිකාය. බුද්ධ කාලීන තාර්කිකයන් ගැන වැදගත් තොරතුරු සුත්ත නිපාතයේ ද දක්නට ලැබේ. මජ්ඣිම නිකායේ චංකී සූත්‍රයේ තර්කවාදීන් ගැන සඳහන් වෙයි. පසු කාලීනව මෙම තර්කාවාදීන් පිළිබඳ විග්‍රහයේ යෙදෙන අටුවාචාරීහු ඔවුන් සතර වැදෑරුම් කොට දක්වති.

1. අනුශ්‍රවය (ඇසුදෙය, සම්ප්‍රදාය, ප්‍රධාන කොට තර්ක කරන්නෝ)
2. කිසියම් ධ්‍යාන ලාභී බවට පැමිණ ඒ අනුව තර්ක කරන්නෝ
3. පෙර ජාති සිහි කොට මම පෙර වූයෙමි, ආදිය මුල්කොට තර්ක කරන්නෝ
4. ශුද්ධ තාර්කිකයෝ (තර්කයට පමණක් සැලකූ අය)

තර්ක කොට සිතට ගෙන, සංකල්පනය කොට, විවිධ දෘෂ්ටි උපදවා, මා කියන දෙය සත්‍යය. නුඹ කියන දෙය අසත්‍ය යැයි කියන්නවුන් තාර්කිකයින් බව අටුවා ග්‍රන්ථවල සඳහන් වේ. එසේම තර්කයට ප්‍රධානත්වය දෙන නිසා මොවුන් බුද්ධවාදීන් ලෙස ද හැඳින්විය හැකි ය.

තර්කය පිළිබඳ බෞද්ධ මතය අනුව තර්කයෙන් සත්‍ය ඤාණය ලැබිය නොහැකි ය. එය ඤාණ මාර්ගය වශයෙන්ද ප්‍රමාණවත් නොවේ. බුදුසමය තර්කය බැහැර කරන්නේ කරුණු ගෙන හැර දක්වමිනි. තර්කයෙහි විවිධ දුබලතා ඇති බව ඉන් පෙනී යයි. තර්කය ඇසුරුකොටගෙන නිගමන සතරකට එළඹිය හැකි ය. ඒ බව සන්ධක සූත්‍රයෙන් පැහැදිලි වෙයි.

1. හරියට තර්ක කොට හරි නිගමන වලට එළඹිය හැකි ය.
2. වැරැදියට තර්කකොට වැරැදි නිගමන වලට එළඹිය හැකි ය.
3. තර්ක කොට ලබා ගත් ඤාණය සත්‍යවීමට ද හැකි ය.
4. තර්ක කොට ලබා ගත් ඤාණය අසත්‍යවීමට හැකි ය.

තර්කයෙන් අප ලබන දැනුම ඉහත දැක් වූ කරුණු සතරෙන් එකක් විය හැකි ය. නියම වශයෙන් කුමකට අයත් වේ දැයි ස්ථිර ව කිව නොහැකි ය. එම නිසා තර්කය ඤාණය ලබා ගැනීම පිණිස සුදුසු නොවේ. සත්‍ය ඤාණය ලබා ගැනීමට තර්ක නොකරන ඔවුහු, විවිධ පටු පෞද්ගලික හා ආගමික බලාපොරොත්තු ඇතිව තර්ක කරති. සුත්ත නිපාතයේ අට්ඨක පරායන වග්ගවල එවැනි පුද්ගලයන් ගැන කරුණු දක්නට ලැබේ.

සුත්ත නිපාතයේ දක්නට ලැබෙන එවැනි කරුණු වලින් පෙනී යන්නේ තර්කය ඤාණොපාදයක් වශයෙන් උපයෝගී කර ගත නොහැකි බවයි. තර්කය නිසා ඇති වන්නේ චිත්ත විඝාතිය, දෘෂ්ටි කලහ මත ගැටුම් ය. ඇතැම් මහණ බමුණෝ කිසි සත්‍යයක් දැන ගැනීමේ අපේක්‍ෂාවෙන් යුතුව තර්ක කරති. උදෙසා අනුන් හෙළා දැකීමේ අරමුණින් තර්ක කළ අය ද වූහ. ස්වකීය ඇදහීම අනුව තමන්ම දක්‍ෂ යැයි කී ඔවුහු තර්කය අනුවම යති. යම් හේතුවකින් ලෝකයේ සත්‍ය බහුත්වයක් ද දෘෂ්ඨි කලහයක් ද උපදින බව ද බෞද්ධ ඉගැන්වීම් වල එයි.

ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතර කලහ විවාද ගැටුම් ඇති වන්නේ කාමරාගයටත් වඩා දෘෂ්ටි රාගය නිසා ය. තමන් බැසගත් දෘෂ්ටිය සත්‍ය යැයි අන්තගාමීව තර්ක කරන්නට යෑම නිසා බොහෝ ගැටුම් ඇති වේ. එසේ දෘෂ්ටි පිල් මත වාදවලට හිර වී සත්‍ය ඤාණය ලැබිය නොහැකි බවත් අන්තගාමී මත වල එළඹ සිටීම සත්‍ය දැකීමට බාධාවක් බව බුදුන් වහන්සේ දේශනා කළහ. බුදු දහම මෙයම සත්‍ය ය. අන් සියල්ලම අසත්‍යය. නිසරුය. හිස් යැයි නොකියයි. එසේම දෘෂ්ටියෙන් සත්‍යවබෝධය ශුද්ධිය නොපෙන්වයි.

අන්තගාමී මත කරගසා ගත්තෝ ලෝකයෙහි නිරතුරු ගැටෙමින් වසති. බුදු දහම දෘෂ්ටියක් කර ගසා ගත නොගත යුතු පෙන්වා දෙයි. බුදු දහම වූ කලි දැඩි ලෙස ග්‍රහණය කිරීම පිණිස නොව සසරින් එතර වීම පිණිස පමණකි. එබැවින් ධර්මය පහුරකට උපමා කෙරේ. තර්කය නිසා සිදු වන්නේ අන්තගාමීන් අතර ගැටුමක් පමණකි.

එයින් සත්‍යයක් ලද නොහැකි ය. සච්චකයට අවශ්‍ය වූයේ ද සත්‍ය ඤාණයක් ලැබීමට නොව තර්කකොට අනෙකුත් ආගමික මත බිඳ දැමීම පමණකි. බුදුන් වහන්සේ තර්කය ගුරු කොට නොගෙන තිබියදීත් සුනක්ඛත්ත භික්‍ෂුව වැනි අය බුදුන් වහන්සේ තර්කානුකූලව දහම් දෙසතැයි විශ්වාස කළහ. තමන්ට පක්‍ෂයක් හෝ තහවුරු කළ යුතු නිගමනයක් නැතිව තර්ක කරන්නට එන්නෝ ද වූහ. මේ සඳහා සන්ථානඝර ශාලා වැනි ස්ථාන තෝරා ගත්හ. ඔවුන් අරමුණ වූයේ පරමත ඛණ්ඩනය පමණකි. ඇතැම් අය තර්කකොට ඒ තුළින් උභතොකෝටික ප්‍රශ්න නිර්මාණය කොට ගෙන අන් සමයවාදීන් පීඩාවට පත් කළ බව සුත්ත නිපාතයේ සඳහන් වෙයි.

තර්කයේ මාධ්‍යය, භාෂාවයි. භාෂාව යනු සිතින් නිමවා ගත් ව්‍යවහාරික සම්මුතියකි. සංකේත සංඥා හෙවත් අකුරු ද එම ව්‍යාජ සංකේත එක්කොට තැනූ පද, වාක්‍ය ද සහිත වූවකි. තර්ක කරන්නන් භාෂාව නැමැති උපකරණය තර්ක කිරීමට යොදා ගනිති. එහෙත් සිතින් නිපදවා ගත් සම්මුතියක් වූ භාෂාවෙන් සත්‍ය ප්‍රකාශ නොවේ.

කුල්ලුපමං වො භික්ඛවේ
ධම්මං දෙසීසසාමි
නිත්ථරණතථාය
නො ගහණත්ථාය
(අලගද්ධූපම සූත්‍රය, ම. නිකාය)

භාෂාව, දේශය, කාලය හා ජාතිය අනුව භාෂාව වෙනස් වේ. විෂය ලෝකය පිළිබඳ අප උපදවන සංකල්පනා සංකේතානුසාරයෙන් පැවසීමට භාෂාව උපකාර වෙයි. එමඟින් ප්‍රකාශ කළ හැකි වන්නේ සම්මුතියකි.

රිය සක ගරාදි බොස්ගොඩිය ආදී අංගෝපාංග එක් වූ කළ, රථය යන සම්මුතිය භාෂා ව්‍යවහාරය අනුව යොදා ගත්ත ද එය යථාර්ථය නොවේ. අවිද්‍යාව හෙවත් නොදැනීම නිසා උපන්, ඉන්ද්‍රිය මඟින් ලත් කල්පනයෙන් නැගුණු විකෘති අරමුණු, භාෂාවට නැගෙයි. වාග් ද්වාරයෙන් පිට වෙයි. භාෂාව පිළිබඳ බෞද්ධ මතය නම් එයයි. ව්‍යවහාරය පහසුව පිණිස තථාගතවරු භාෂාව ව්‍යවහාර කරති.

එහෙත් දැඩි කොට එහි අරුත් අල්ලා නොගනිති. දේශය, කාලය, ජාතිය අනුව වෙනස් වන භාෂාව, සංකේත සමූහයක් වන භාෂාව තර්කයේ මාධ්‍යය නම්, තර්කය සත්‍ය ඤාණ මාර්ගයක් ලෙස පිළිගත නොහැකි ය.

තර්කය, බෞද්ධ විචාර මඟින් ප්‍රතික්‍ෂේප කොට ඇත. තර්කය පිළිබඳ බෞද්ධ විචාරය කෙටියෙන් දක්වමින් මෙම කරුණු දැක්විය හැකි ය.

හරියට තර්ක කිරීමෙන් හරි නිගමනද, වැරැදියට තර්ක කිරීමෙන් වැරැදි නිගමන ද ලැබේ.
සත්‍ය නිරවද්‍ය ඥාණය පිළිබඳ අපේක්‍ෂාවෙන් තොරව, තර්ක කරන්නවුන් දක්නට ලැබේ.
චිත්ත විඝාතය, දෘෂ්ඨි කලහය, කෝපය, තර්ක කිරීම් වල, ප්‍රතිඵලය විය හැකි ය.
තර්කයට, දෘෂ්ටි ග්‍රහණයක් පදනම් වීම.
තර්කයේ මාධ්‍යය, භාෂාව වීම.

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය නොවැම්බර් මස 24 වනදා අඟහරුවාදා අපරභාග 01.55 ට ලබයි. 25 වන දා බදාදා අපරභාග 04.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 24 වන දා අඟහරුවාදාය.
 
මීළඟ පෝය දෙසැම්බර් 1 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

New Moonඅමාවක

දෙසැම්බර් 15

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]