UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

තාක්‍ෂණිකාධිපත්‍යය ගැන යළිත්

පාසලට ජංගම දුරකථන රැගෙන ඒම තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය දා ගත් තීරණය පිළිබඳ ව සමාජයේ අවධානය යොමු වී තිබේ. පාසල් වේලාවේ දී ජංගම දුරකථනයක් ළඟ තබා ගැනීමේ චෝදනාවට ලක් ව සිය ටයි පටියෙන් ගෙල වැල ලා ගත් කොළඹ මියුසියස් විදුහලේ නව වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අනුත්තරා කාවන්දි ජයවර්ධන (1995 –2009) නමැති ශිෂ්‍යාව ගේ මරණය මේ තීරණයට හේතුව බව රහසක් නො වේ. පාසල් සිසුන් ගේ විනය ආරක්‍ෂා කිරීම යන මාතෘකාව යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ අංක 2005/17 දරන චක්‍ර ලේඛය අනුව මින් ඉදිරියට ජංගම දුරකථන හෝ සංයුක්ත තැටි ආදිය පාසලට රැගෙන ඒම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තහනම් ය. මේ තීරණය ගැන කතා කිරීම වෙනුවට තාක්‍ෂණිකාධිපත්‍යය ගැන අප ලියූ 2007.10.03 දිනැති කතු වැකිය සම්පූර්ණයෙන් මෙහි උපුටා දැක්වීම මැනවයි සිතුවෙමු.

“ගල් යුගය, එඬේර යුගය ආදිය පසු කළ මිනිසා අද එළඹ සිටින්නේ තාක්‍ෂණික යුගයට ය. නූතන තාක්‍ෂණික යුගයේ මිනිසා ගේ ජීවිතයට දිනෙන් දින එකතු වන උපකරණ දෙස බැලූ විට ඔහු ඉතා වාසනාවන්තයෙකි. ජංගම දුරකථනය නමැති බහුකාර්ය උපකරණය පමණක් වූව ද අප ගේ මේ කියමන සනාථ කිරීමට ප්‍රමාණවත් වනු ඇත. අද දවසේ ජංගම දුරකථනය පරිගණකයකි. දත්ත ගබඩාවකි. කැමරාවකි. ගුවන් විදුලි යන්ත්‍රයකි. විදුලි පන්දමකි. මේ සියලු පහසුකම් කුඩා අත් දුරකථනයකින් ලබන්නා වාසනාවන්තයකු නො වේ ද?

මේ තත්ත්වය තාක්‍ෂණිකාධිපත්‍යය යැයි හඳුන්වනු ලැබේ. ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ විසූ ඉංජිනේරුවකු විසින් 1919 දී හඳුන්වා දෙන ලද තාක්‍ෂණිකාධිපත්‍යය (Technocracy)නමැති වචනයෙන් තාක්‍ෂණඥයන් ගේ පාලනයක් අදහස් කැරේ.

අනාගත ලෝකය විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් විසින් පාලනය කැරෙනු ඇතැයි මනෝරාජික සමාජවාදීන් විසින් කලකට පෙර අනාවැකි පළ කැර තිබිණ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදීන් අත පවතින පාලන බලය තාක්‍ෂණික විද්‍යාඥයන් අතට පත්වන බව මනෝරාජික සමාජවාදීන් ගේ අදහස විය.

මනෝරාජික සමාජවාදීන් ගේ අනාවැකිය ඒ ආකාරයට ම සඵල නො වූව ද තාක්‍ෂණිකාධිපත්‍යයට අප ගොදුරු වී සිටින බව වසන් කළ නො හැකි ය. ජංගම දුරකථනය මෙයට කදිම උදාහරණයකි. අප රටෙහි ද වර්ධනය වෙමින් පවතින විද්‍යුත් මුදල් සංස්කෘතිය (Electronic Money Culture)යටතේ අනාගත ජාතික හැඳුනුම්පත වන්නේ ජංගම දුරකථනය යි.

එ පමණක් නො ව, ජනමත විමසුමකට දායක වීම, ආධුනික ගායනා තරගයකින් ජය ගැනීම හෝ වෙනත් සංස්කෘතික කාර්යයක් සඳහා ද යතුර බවට පත් වී ඇත්තේ ජංගම දුරකථනය ම ය. නූතන තාක්‍ෂණික ශිෂ්ටාචාරයේ සාමාජිකයන් වන අප මුහුණ දෙන මේ යථාර්ථයෙන් පලායෑමට නුපුළුවන. එහෙත් මේ ජයග්‍රහණ දෙස බලා තාක්‍ෂණිකාධිපත්‍යය නිසා අත් විඳින පරාජයන් සැඟවිය යුතු නැත.

කෝටි දෙකකට අඩු ජනගහනයක් සහිත ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතය මේ වසර අවසානය වන විට ලක්ෂ හැත්තෑවක් වනු ඇතැයි පැවැසේ. එ සේ නම් මෙහි සමාජ බලපෑම පිළිබඳ ව අප බොහෝ සැලකිලිමත් විය යුතු ය.

ජංගම දුරකථන උපයෝගී කැර ගෙන සිදුවන සමාජ විරෝධී ක්‍රියා ගැන අපට නිරන්තරයෙන් අසන්නට ලැබේ. විශේෂයෙන් ම නාගරික පාසල් ආශි‍්‍රත අත්දැකීම් ඉතා අයහපත් ය. අසැබි දර්ශන නැරැඹීම සඳහා ඇබ්බැහි වූ ශිෂ්‍යවන් පිළිබඳ ව ද ලැබෙන තොරතුරු අනුව තත්ත්වයේ බැරෑරුම්කම අපට වටහා ගත හැකි ය.

මෙහි දී කරුණු දෙකක් වෙත අප ගේ අවධානය යොමු විය යුතු ය. නූතන තාක්‍ෂණය නිසි ලෙස පරිහරණ කළ නො හැකි වැඩිහිටි පරපුරක් යටතේ මේ තරුණ පරපුර හැදී වැඩීම පළමුවැන්න ය. දෙවැන්න නම්, තාක්‍ෂණික උපකරණ පරිහරණය සමඟ ශික්‍ෂණය හා සාරධර්ම තරුණ පරපුර වෙත ලබා නො දීම ය.

මේ අයහපත් තත්ත්වයෙන් ගොඩ එන්නේ කෙ සේ ද? අප ගේ ගොවිතැන, කලාව හා ආචාර ධර්ම ආදී සියලු අංගයන් පෝෂණය පිණිස උපයෝගී කැර ගත් බුදු දහම තාක්‍ෂණික ශිෂ්ටාචාරයේ ප්‍රගතිය උදෙසා ද යොදා ගත යුතු ය. එහෙත්, පන්සල නමැති සංස්කෘතික මධ්‍යස්ථානය ද තාක්‍ෂණිකාධිපත්‍යයට ගොදුරු වන අයුරු නිහඬ ව බලා සිටීමට අපි පුරුදු වී සිටිමු. ඒ පිළිබඳ ව කතා කිරීම ද දහමට නො ගැළපේ යැයි අරුත් දක්වනු ඇත.

ධම්මපදයේ තෘෂ්ණා වර්ගයේ විසි දෙවන ගාථාවෙන් කියැවෙන මේ අදහස මෙහි දී අවධාරණය කිරිමට කැමැත්තෙමු.

‘උපයෝගී පරිභෝග වස්තූහු අනුවණයා වනසත්. ඒවා නිවන් සොයන්නන්, නසන්නට සමත් නො වේ. අනුවණයා වස්තු තෘෂ්ණාවෙන් අනුන් නසන්නා සේ තමන් නසා ගනී.’

මෙයට මාස විසි දෙකකට පෙර අප ලියූ මේ කතු වැකිය අදට වඩාත් ගැළැපෙන්නකි. එහෙත්, ඒ බව ඇතැම් අයට අවබෝධ වනුයේ ජීවිත විනාශයකින් වීම අතිශයින් කනගාටුදායක ය.

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු 13 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 12.53 ට ලබයි.
14 වන දා සිකුරාදා පූර්ව භාග 11.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 13 වන දා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය අගෝස්තු 20 වන දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 13

New Moonඅමාවක

අගෝස්තු 20

First Quarterපුර අටවක

අගෝස්තු 27

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 4

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]