UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දෙදෙනෙක් හෝ පිරිසක් මුණගැසුණු විට කතාබහ කිරීමේ සිරිත මනුෂ්‍ය වර්ගයා අතර එදා සිට අද තෙක් පැවත එන්නකි. අනාගතයේදීත් මේ සිරිත පවතින බවට අනුමානයක් නැත. මේ කතාබහ කිරීමේ ක්‍රම භාෂාන්තර, පුද්ගලාන්තර, දේශාන්තර හා සමාජාන්තර ලෙස විවිධාකාරයෙන් හැඩගැස් වී ඇත.

අපරදිග සිරිතට අනුව කෙනෙක් හමුවීමට ගිය විට කෙළින් ම ප්‍රස්තුතයට බැසීම සිරිත යි. එහෙත් පෙරදිග සංස්කෘතියට අනුව කෙනෙක් හමුවීමට පැමිණි විට සුවදුක් ආ ගිය තොරතුරු විමසා මුඛ්‍යාර්ථය විමසීම සිරිතයි. අපේ සිංහල ජනතාවටත් හුරු වී ඇත්තේ පෙරදිග සම්ප්‍රදායය යි. ඒ බුදුදහමේ ආභාෂය කාලාන්තරයක් පුරා ලැබුණු හෙයිනැයි සිතිය හැකි ය.

සිංහලයා ලොකු වුවමනාවකට වුවද කෙනෙක් හමුවීමට ගිය විට ‘නිකම් මේ පැත්තෙ ඇවිත් යන්න හිතුණ’ ‘ඒ පැත්තෙ නම් හරියට වැස්ස. මෙහෙත් එහෙම වෙන්න ඇති’, ‘බුලත් විටක් හෙම කමුද’ යනුවෙන් කතාබහ කොට අපේක්ෂිත දේ පැවසීම සිරිතයි. බුදුරජාණන් වහන්සේ අනුගමනය කොට ඇත්තේ පෙරදිග කථා ක්‍රමය යි. උන්වහන්සේ බැහැදැකීමට කෙනෙක් පැමිණි විට පළමුව කතා කිරීම අරඹා සතුටු විය යුතු කතා (සම්මෝදනීය කථං) සිහි කටයුතු කතා (සාරාණීයං කථං) කොට අභිමතාර්ථය විමසීම සිරිත යි.

ආගිය තොරතුරු කතාබස් කොට නිකරුණේ කතාබහ කර කර සිටීම බුදුදහමින් අනුමත වී නැත. රැස් වූ විට දැහැමි කතා කළ යුතු ය. එසේ නැතහොත් ආර්ය තූෂ්ණීම්භාවයෙන් ගතකළ යුතු ය. (සන්නිපතිතානං වෝ භික්ඛවේ ද්වයං කරණීයං ධම්මි වා කථා අරියෝ වා තුණ්හීභාවෝ) සාමාන්‍ය ජනතාව රැස් වූ විට ඕපා දූප කථා කිරීම, විහිළු තහළු කිරීම, ගේදොර පිළිබඳ කතා කිරීම සිරිත ය. මේ නිසා භික්ෂූන් වහන්සේ කතා කිරීමේ දී රාජකථා, චෝරකථා දී දෙතිස් කතාවෙන් තොරවිය යුතු බව පෙන්වා දුන්හ. බුදුරජාණන් වහන්සේට වන්දනමාන කිරීමට උන්වහන්සේගෙන් බණ දහම් ඇසීමට, දහම් ගැටළු විසඳා ගැනීමට, කමටහන් ගැනීමට මෙන් ම වාදාරෝපණය කිරීමට ද පිරිස් පැමිණියහ. බුදුරජාණාන් වහන්සේ ඒ සෑම දෙනෙක් සමග ම පිළිසඳර කථා කොට සුදුසු පරිදි දම් දෙසූ සේක.

ඒ සඳහා උන්වහන්සේට ‘ආසයානුසය ඤාණය’ වැනි බුදුරජාණන් වහන්සේ නමකට පමණක් ලැබෙන ඤාණ ලබා තිබීම ද මහෝපකාර විය. එහෙයින් තමන් වෙත පැමිණියවුන්ගේ අදහස් බලා චරිතයන්ට අනුකූ®ල වන පරිදි අවවාදයක් දීමට අනුශාසනාවක් කිරීමට හැකි විය. මේ හැකියාව නුවණින් අගතැන් පත් ශ්‍රාවකයාණන් වූ ‘සැරියුත් මහරහතන් වහන්සේට ද නො තිබුණි. තමාගේ ශිෂ්‍යයකු වූ ‘ස්වර්ණකාර’ තෙරුන්ට අශුභ කර්මස්ථානය දුන්හ. ඒ අනුව උන්වහන්සේ ආරණ්‍යවාසී ව තෙමසක් භාවනා කළමුත් සිතෙහි එකඟ බවක්වත් ඇති නොවීය. ‘ස්වර්ණකාර’ භික්ෂුව ඒ බව ‘සැරියුත් තෙරුන්ට’ දැන් වූ විට නැවත එම කර්මස්ථානය ම සවිස්තරව කියා දුන්හ. උන්වහන්සේ නැවත වනගතව තෙමසක් භාවනා කළ මුත් ප්‍රතිඵලයක් නො වීය. නැවත පැමිණ ඒ බව උන්වහන්සේට දැන් වූ විට උපමා සහිතව ඒ කමටහණ විස්තර කරදී නැවත වනයට පිටත් කළහ. එයින් ද ප්‍රතිඵල නො ලැබ නැවත පැමිණ දැන්වූ විට සැරියුත් මහරහතන් වහන්සේත් සමඟ බුදුරදුන් වෙත පැමිණ විස්තරය දැන්වීය. එවිට බුදුරජාණන් වහන්සේ රියසකක් පමණ නෙළුම් මලක් මවා දී ‘රත ය, රත ය’ යි කියමින් භාවනා කරන්නට සැලැස්වූහ. සෝභන වූ අරමුණෙහි තරුණ භික්ෂුවගේ් සිත එකඟ වී චතුර්ථ ධ්‍යානය උපදවා ගත්තේ ය. බුදුරජාණන් වහන්සේ නොළුම මළානික බවට පත්කළහ. ඒ දුටු භික්ෂුවගේ සිත විදර්ශනාවට යොමු විය. සෘද්ධිමය බුදුරදුන්ගෙන් ගාථාවක් අසා මහරහත් භාවයට පත්විය. ‘මහා පත්ථක’ තෙරුන්ට හාරමාසකින් වත් සතර පද ගාථාවක් පාඩම් කරවීමට බැරි වූ ‘චුල්ල පන්ථක’ තෙරුන් බුදුරජාණන් වහන්සේ සුදු රෙදි කඩක් අතගාන්නට දී වරුවකින් මහරහත්භාවයට පත්කිරීම මෙකරුණ පැහැදිලි වන තවත් කතාවකි.

බුදුරජාණන් වහන්සේ මෙලොව යහපත දැක්විය යුත්තන්ට මෙලොව යහපත දැක්වූහ. පරලොව යහපත පෙන්විය යුත්තන්ට පරලොව යහපත පෙන්වූහ. සමහරුන්ට දෙ ලොව ම යහපත පිණිස අනුශාසනා කළ හ. එසේ අනුශාසනා කරනුයේ මතු දිනෙක හෝ මගඵල ලබා ගැනීමට හේතු වාසනා ඇතිවනු පිණිස ය. ‘සච්චක’ ආදීන්ට ධර්මදේශනා කළ සේක. ඔහුට අනාගතයේදී සත්‍ය දර්ශනය උදාවීම සඳහා ය. පසු කලෙක ඔහු ලක්දිව අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ බුදුසසුන ස්ථාපිත කළායින් පසු දක්ෂිණාගිරි විහාරාසන්නයෙහි ඇමැති පවුලක ඉපිද කුඩා කළ දී ම පැවිදිව ‘කාලබුදධරක්ඛිත’ නමින් ප්‍රසිද්ධ විය. ත්‍රිපිට ධර්මය උගත් උන්වහන්සේ දිනක් තම ශිෂ්‍ය පිරිසත් සමග උපාධ්‍යායයන් වහන්සේ බැහැදැකීමට ගිය විට අමනාප වූ බවක් පෙන්වූහ. ‘කාලබුද්ධරක්ඛිත’ හිමි එයට හේතු විමසූ විට “ඔබ ත්‍රිපිටකය උගෙන ගෝල බාලයන්ට ඉගැන් වූ පමණින් පැවිදි කිස සම්පූර්ණ වූයෙහි යැයි සිතන්නේ දැයි විමසූහ. ඉන් පසු උපාධ්‍යායයන් වහන්සේගේ උපදෙස් අනුව කසිතපබ්බත ආරාමයට ගොස් භාවනා කොට සිවුපිළිසිඹියාවන් සහිත මහරහත් භාවයට පත්විය.

සමහර විට අවස්ථානුකූලව ‘අනුපුබ්බී කථා’ පිළිවෙල ඉක්මවා කරන දම් දෙසුම් ද නැත්තේ නො වේ. බුදුරදුන් පිඬුසිඟා වඩින විට දම් දෙසැන්නැයි ආරාධනා කළ ‘දාරුචීරිය’ පරිව්‍රාජකයාණන්ට දම් දෙසූයේ ‘දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති’ යනුවෙන් හුදෙක් නිවන ම අරමුණු කොටගෙන ය. අවබෝධ කරගන්නා ආකාරය බලා සමහරුන්ට සංකේෂපයෙන් දම් දෙසති. සමහරුන්ට විස්තරාත්මක ව දම් දෙසති. උපමා රූපකාදී නිදර්ශන දැක්වීමෙන් අවබෝධ වන්නන්ට එසේ දම් දෙසති. මේ කුමන ක්‍රමයකින් දම් දෙසුවන් ආනුපුබ්බී දේශනා ක්‍රමවේදය අනුල්ලඞ්ගනය කොට දම් දෙසා සත්‍යාවබෝධය ලබාදෙන සේක.

අනුපිළිවෙල (ආනුපුබ්බී) කථාව නම් දාන කථා, සීල කථා, සග්ග කථා කාමයන්ගේ ආදීනව කාමයන්ගේ ලාමක බව, කාමයන් නිසා සත්ත්වයන් කිළිටිවන බව, සසර දිග්ගැසෙන බව ආදිය පැහැදිලි කර දීම යි. එයින් ධර්ම දේශනාව සඳහා පදනම සකස් වෙයි. බොහෝ විට මෙම ක්‍රමවේදය අනුගමනය කරන්නේ් හික්මවිය යුතු වේනෙය්‍ය ජනයන් උදෙසා ය. දාන කතාවෙන් දන්දීම පිළිබඳ විස්තර කරන විට තණ්හාව තදඞ්ග වශයෙන් යටපත් වේ. කර්මය කර්ම ඵලය ඇදහීම නිසා මෝහය ද ඒ සමගම යටපත් වේ’ ද්වේෂය මෝහය යටපත් වන්නේ සීලයෙනි. එහි ආනිශංස ඊළඟට ප්‍රකාශ වේ. දාන සීලා දියෙහි ආනිශංස වශයෙන් ලැබෙන දිව්‍ය සම්පත් පිළිබඳව ප්‍රකාශ කළ විට වෙනත් අළුත් ආශාවක් ශ්‍රාවකයන්ගේ සිත් සතන් තුළ පහළ වේ.

සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය පංචස්කන්ධය මම ය මාගේ ය යැයි උපාදාන වශයෙන් ගැනීම යි. එම අල්ලා ගැනීම කලක් තිස්සේ පැවතගෙන එන බැවින් අතහැරීම එතරම් ලෙහෙසි පහසු නො වේ. දිව්‍ය සම්පත් පිළිබඳව වර්ණනා කරන විට මම ය, මාගේ ය යන හැඟීම ලිහිල් වී දිව්‍ය සම්පත් කෙරෙහි සිත යොමුවෙයි. පරණ බැඳීම ලිහිල් කොට අළුත් බැඳීමක් සිත තුළට රිංගවා එහි ද අනිත්‍යතාවය පෙන්වා දීමෙන්, කාමාදීනව ප්‍රකාශ කිරීමෙන් පරණ හා අළුත් බැඳුම් දෙක ම ලිහා දැමීමට පහසු වෙයි. කාම වස්තූන් අතහැරීමෙන් ඇතිවන සැනසීම, සුවය ප්‍රකාශ කරනුයේ ඊළඟට ය. අනතුරුව ආර්ය සත්‍යය ප්‍රකාශ කරනුයේ බැඳීම් යටපත් වූ සිත පිරිසුදු වූ විට ය. එහි ප්‍රතිඵලය සත්‍යාවබෝධයෙන් සංසාර දුකින් අතමිදී පරම ශාන්ත නිර්වාණ සුවය ළඟාවීම ය.

මේ මනෝවිද්‍යාත්මක ක්‍රමවේදය බුදුරජාණන් වහන්සේ වෙනත් සන්නිවේදන ක්‍රම තුළින් ද භාවිත කොට ඇති බව පෙනේ. උන් වහන්සේ නන්ද කුමරු මහණකළ සේක්. ගෘහ ප්‍රවේශ මංගල්‍යය, අභිෂේක මංගල්‍යය හා සරණ මංගල්‍යය යන තෛ‍්‍රමංගල්‍යයක් එළඹී තිබුණු අවස්ථාවෙහිදී ය. පාත්‍රය ගෙන බුදුරදුන් පසු පස යන නන්ද කුමරු දුටු ජනපද කල්‍යාණිය ‘ස්වාමීනි! ගියාට කමක් නෑ. ඉක්මනට එන්න’ යැයි කීයේ ජලස්නානය කොට හිස පීරමිනි. පැවිදි බවට පත් නන්ද තෙරුන්ට භාවනාවට සිත යොමු කළත් සිහිපත් වන්නේ ජනපදකලණ ගැන යි.

දිය නාගෙන හදිසියේ දුවැවිත් උඩුමහලේ සිට හිස පීරමින් කී කථාවයි. ඇයගේ ස්වරූපය යි. කෙතෙක් උත්සාහ කළත් කමටහණට සිත යොමු කිරීමට නො හැකි විය. එහෙයින් උකටලී වූ ‘නන්ද තෙර’ අන්‍ය භික්ෂූන්ට තමාගේ කලකිරීම ප්‍රකාශ කරයි.

භික්ෂූන් වහන්සේ නන්ද තෙරුන්ගේ තත්ත්වය බුදුරදුන්ට සළකර සිටියහ. උන්වහන්සේ නන්ද තෙරුන් කැඳවා ඒ පිළිබඳ විමසූහ. නන්ද හිමි සත්‍යය නොවලහා ප්‍රකාශ කළේ ය. ඒ පිළිබඳ දෝෂාරෝපණයක් හෝ අවවාදයක් හෝ නො කළ බුදුරජාණන් වහන්සේ නන්ද තෙරුන් සමග දිව්‍යලෝක සංචාරයක නිරත වූහ. දෙව්ලොවට වැඩිය බුදුන් වැඳීමට විශාල දිව්‍ය සේනාවක් පැමිණියහ. ඒ අතර දිව්‍යාංගනාවන් ද අඩුවක් නො වුණි.

බුදුන් වඳින දිව්‍යාංගනාවෝ බුදුරදුන් අසල වැඩසිටින නන්ද තෙරුන්ටද වැඳීමට අමතක නොකළෝ ය. වැඳ වැඳ යන දිව්‍යාංගනාවන් දකින නන්ද තෙරුන්ට දෙවඟනන් පිළිබඳ සිතක් උපදී. එය දැනගත් බුදුරජාණන් වහන්සේ දෙවඟනන් පන්සියයක් ලබාදීමට පොරොන්දු වෙති. එසේ දිව්‍යාංගනාවන් ලබාදීමට නිසි පරිදි භාවනා කරන බවටද ගිවිස්සා ගෙන මනුෂ්‍ය ලෝකයට වැඩමවති.

දැන් නන්ද තෙර හොඳින් භාවනා කරයි. අළුත් අරමුණක් සිතට කා වැදී ඇති නිසා ජනපද කල්‍යාණිය, ඇගේ වදන් සිහියට නො නැගෙයි. එපමණකින් බුදුරජාණන් වහන්සේ නන්ද තෙරුන් පිළිබඳ ක්‍රියාදාමය නො නැවත් වූ සේක. තරුණ භික්ෂූන් කීප නමකට නන්ද දිව්‍යාංගනාවන් ලබා ගැනීමට හොඳින් භාවනා කරන බව දන්වාලූහ.

ඒ හිමිවරු නන්ද තෙරුන් වෙත ගොස් බුදුරදුන් ඇපයට තබාගෙන දෙවඟනන් ලබා ගැනීමට භාවනා කිරීම ගැන විහිළු තහළු කළහ. ලජ්ජාවට පත් නන්ද හිමි හොඳින් භාවනා කොට සව් කෙලෙසුන් නසා මහරහත් භාවයට පත්විය.

ආනුපුබ්බී කථාවෙහි දී මනුෂ්‍යත්වය පිළිබඳ ඇලීම දෙව්සැප පිළිබඳ වර්ණනා කොට ලිහිල් කරන්නාක් මෙන් නන්ද තෙරුන්ගේ ජනපද කල්‍යාණිය ගැන හැඟීම දෙවඟනන් පෙන්වා ලිහිල් කොට අවසානයේදී සෑම බැඳීමකින් ම විනිර්මුක්තව නිවන් සැප සලසා ගැනීමට මග පාදා දුන්හ.

සම්බුද්ධ දේශනා ක්‍රමවේදයෙහි ගැඹුරු අර්ථය මෙනයින් බලන විට මනාව පැහැදිලි වනු ඇත. එහෙයින් මේ ක්‍රමවේදය වත්මන් සමාජයට වුව ගැලපෙනු ඇත.

පෙළ දහම් තේරුම් ගැනීමට අටුවා ග්‍රන්ථ නොමැති නම් කිසිසේත් කළ නොහැකි ය. මේ නිසා බුද්ධ දේශිත ධර්මය විකෘත නො කොට ආනුපුබ්බී සම්ප්‍රදායානුකූලව ධර්ම දේශනා පවත්වන්නේ නම් එය බුදුදහමේ චිරස්ථිතියට කරන මහඟු සේවාවකි.

ඇසළ පුර පසළොස්වක පෝය
ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 6 වනදා සඳුදා අපරභාග 12.25 ට ලබයි. 7 වනදා අඟහරුවාදා අපරභාග 2.53 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජූලි 6 වනදා සඳුදාය.
මීළඟ පෝය ජූලි 15 වනදා බදාදාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 06

Second Quarterඅව අටවක

ජූලි 15

New Moonඅමාවක

ජූලි 21

First Quarterපුර අටවක

ජූලි 28

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]