UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

යමෙක් තවත් කෙනකුගේ සන්තානයේ හොඳ මෛත්‍රී , කරුණා ආදී ගුණ අවදිවීමට උපකාරී වන යම් ක්‍රියාවක් කළා නම්, එතැන කුසල ධර්ම දානයකුයි වෙලා තියෙන්නෙ. මේ ආකාරයෙන් බලනකොට අප මුළු දවසෙම මේකට මැදිවෙලා ජීවත් වන බව තේරුම් ගන්න අපට අමාරු වන්නෙ නැහැ.

අපවත් වී වදාළ අතිපූජ්‍ය කෝට්ටේ දේවානන්ද මාහිමියන් විසින් දාන සූත්‍රය ඇසුරෙන් සිදු කරන ලද-පටිගත කරන ලද ධර්මදේශනයක් ඇසුරෙන් කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද හොරගස් අගාරේ ධම්මක්ඛන්ධ හිමියන්ගේ මෙම ලිපිය අනුග්‍රහයෙන් සම්පාදනය කරන ලදී. එය,1997. 09.23 දින පැවැත්වූ ධර්ම දේශනයකි.

බුදුරජාණන් වහන්සේගේ ධර්ම විවරණ සැමවිටම අපගේ ජීවිත ඵලදායි කර ගැනීමට උදව් වන බව අප දන්නව. අප නිතර අසා ඇති ආමිස දාන හා ධර්මදාන දෙක ගැනත් උන්වහන්සේ විශේෂ විවරණයක් කරනව. නුවණින් විමසා නොබලන කෙනකුට බුද්ධ දේශනාවල අන්තර්ගත ධර්ම කරුණු වටහා ගන්න අමාරුයි. මේ නුවණ කියන්නෙ සංසාරයේ බොහෝ කාලයක් ගමන් කළ පුද්ගයකුගේ අත්දැකීම් තුළින් ගන්නා ලද තීරණ නැවත මතුවීමයි. නොයෙකුත් ආත්මවල විවිධ ගැටලුවලට අප මුහුණ දීල ඒවායේ හරි වැරැදි තෝරල, විශ්ලේෂණය කරල චිත්ත සන්තානයේ තැන්පත් කරගෙන ඒවා නැවත හමුවෙලා නිගමනය කරන විට අපි ඒකට කියනව නුවණ කියලා. අප ලත් අප්‍රමාණ අත්දැකීම් වල ප්‍රතිඵල හැටියටත් හඳුන්වන්න පුළුවන්.

මේ අනුව මේ කියන දාන විග්‍රහයේදී වර්ග දෙකකට බෙදා දැක්වෙන දාන ශබ්දයෙන් පෙන්නුම් කරන කාරණා තේරුම් ගන්න හැකි වන්නත් පුළුවන්. නොහැකි වන්නත් පුළුවන්. ආමිස හා ධර්ම යන දාන වර්ග දෙකෙන් බුදුරජාණන් වහන්සේ අගය කළේ ධර්ම දානයයි. බොහෝ කාලයක සිට අප පුරුදු වෙලා තියෙන්නෙ මේ දෙක තනිකරල අරගෙන වෙන වෙන ම හිතන්නටයි. ආමිස දාන වශයෙන් නිගමනය කැරෙන වස්තු, ද්‍රව්‍ය කෑමබීම ආදී දේ සමග ධර්මය සම්බන්ධයක් අරගෙන නැහැ. ධර්ම දානය ලෙස නිගමනය කරන්නෙ බණ කීම, කියවීම, දහම් පොතපත බෙදා දීම ආදියයි. ධර්ම දාන අර්ථය එහි තියෙන නිසා ඒ ක්‍රියා අප බැහැර කරන්නෙ නැහැ. නමුත් නියම තේරුමක් ඇතිව ධර්ම දානයෙහි යෙදෙන අයුරු බුදුරජාණන් වහන්සේ මෙහිදී විග්‍රහ කර වදාළේ එහෙම ම නොවෙයි.

ධර්මයක සමායෝජනයක් නැතිව ආමිසයක් අපට පාවිච්චි කරන්න බැහැ. ඒක කුසල හෝ අකුසල ධර්මයක් වන්න පුළුවන්. රහත්ඵලය ලැබුවාට පස්සේ නම් ඒක කුසල් හෝ අකුසල් නොවන අව්‍යාකෘත ධර්මයක් වෙන්නත් පුළුවන්. කෙනෙකුට කේන්ති යාම යනු අකුසල පක්ෂයේ ධර්මතාවයක් ද්වේශය ස්ව සන්තානයෙන් මුළුමනින්ම අස්කරනතුරු ඉඩ ලත් තැන සතර අපායට අයිති මොකක් හෝ දුකක් දෙනවාම යි. එතකොට යම් ආමිස දානයක් කේන්තියෙන් යුක්තව දුන්නොත් එතැන අධර්ම දානයක් වෙනව. ආමිසය තනිකර ම පාවිච්චි කරන්න බැහැ. ආදර සංග්‍රහයක් ලෙස හෝ ලාභ ප්‍රයෝජනයක් උදෙසා හෝ දුක ගැන බලල හෝ ආනිශංස ගැන හිතල හෝ යමක් දෙනව නම් ඒ අවස්ථාවේදී ආමිසය ආශි‍්‍රතව පුද්ගලයාගේ සිතෙහි ධර්ම වර්ග දෙකකට අයිති කුමක් හෝ සංවිධානය වෙනව. ප්‍රතිලාභයක් පතාගෙන හෝ යටින් ලෝභ සිතක් ඇතිව හෝ දෙන දීමක දී ඇතිවෙන්නේ අහිතකර අධර්මයක්. ලෝභය, ආශාව නැති කර ගැනීමේ හෝ තුනී කර ගැනීමේ චේතනාවක් ඇතිව දෙන දීමකදී සිදුවන්නේ කුසලධර්ම දානයක්.

බුදුරජාණන් වහන්සේ මේ දෙක පිළිබඳ තවත් විග්‍රහයක් කරනව. දානය, සංවිභාගය, අනුග්‍රහය කියල උන්වහන්සේ මේ දානය කියන ක්‍රියාව තුන් විදිහකට බෙදනව. යම් පුද්ගලයකුට ධර්ම, අධර්ම හෙවත් කුසල ධර්ම, අකුසල ධර්ම කියන මේ දෙකෙන් ඕනෑම එකක් දෙන්න පුළුවන්. හැබැයි ගන්න පුද්ගලයා ඒ විදිහට ගන්නව නම්, ගැනීමේත් මෙතැන වෙනසක් තියෙනවා. තමන් තවත් කෙනෙකු දිහා රවල ඔරවල බැලුවොත් අර පුද්ගලයාගේ සන්තානයෙහි කේන්තියක් ඇතිවන්න පුළුවන්. සිත දූෂණය වෙන්න පුළුවන්. සිතට රිදුමක් ඇතිවන්න පුළුවන්. එතකොට මොකක්ද වුණේ? අර ආමිසය කියන ඇස මගින් අර පුද්ගලයාගේ ජීවිතයට නරක ධර්මයක් දුන්න. දුක් විඳින ධර්මයක් දුන්න. අර තැනැත්තා ඒක ගත්ත. ගන්න කෙනෙකුට මිස නොගන්න කෙනෙකුට යමක් දෙන්න බැහැ. අව්‍යාකෘත ස්වරූපයෙන් සිත තියෙන රහත් කෙනෙකුට ඔය මොනවත් දෙන්න බැහැ. කුසලා ධම්මා, අකුසලා ධම්මා කියන කිසිවක් රහතන් වහන්සේ පිළිගන්නේ නැහැ. ඒ දෙකටම වඩා උසස් ධර්මයක් උන්වහන්සේ ළඟ තියෙනව. ඒ නිසා උන්වහන්සේට අප පරාදයි.

ගන්නට කෙනෙක් ඉන්නව නම් අකුසල ධර්ම වුණත් දෙන්න පුළුවන්. මෙහිදී ද්‍රව්‍යමය යමක් දෙනව නොවෙයි. යමක් දෙන විට එය ලබන තැනැත්තාගේ සන්තානයේ ඒ දීමේ ධර්ම ස්වරූපය සම්පූර්ණ වන ආකාරයයි මෙතැන කීවේ. දෙන තැනැත්තා ළඟ තිබුණ දෙයක් දෙනවා නොවුනාට අරගන්නට සලස්වනව. කවුරු හරි කපල තියෙන වළක් ඉදිරියෙන් යන්න කෙනෙක් එනව කියල හිතමු. වළ ළඟින් එන කොටම තව කෙනෙක් ඛ්යනව අර බලනවකො අර උඩ පියාඹන සතාගෙ හැටි කියල. එන තැනැත්තා එන ගමන් උඩ බලනකොටම වළේ වැටෙනව. දැන් මොකක්ද වුණේ? උඩ යන සතකුව පෙන්වපු තැනැත්තා අර වළේ වැටුණු කෙනාට දුන්නු දෙයක් නැහැ. අන්න ඒ වගේ් මේ කියාපු ධර්ම අපෙන් මොනවවත් දෙන්නෙ නැහැ. නමුත් ලබාගන්නට ඉඩ සැලැස්වීමත් දීමක්. ඒක එක ධර්ම දානයක්. වළේ වට්ටවල දුන්නෙ විනාශකාරි අධර්ම දානයක්.

යමෙක් තවත් කෙනකුගේ සන්තානයේ හොඳ මෛත්‍රී , කරුණා ආදී ගුණ අවදිවීමට උපකාරී වන යම් ක්‍රියාවක් කළා නම්, එතැන කුසල ධර්ම දානයකුයි වෙලා තියෙන්නෙ. මේ ආකාරයෙන් බලනකොට අප මුළු දවසෙම මේකට මැදිවෙලා ජීවත් වන බව තේරුම් ගන්න අපට අමාරු වන්නෙ නැහැ.

අපට අයිති යමක් කාට හරි දෙන්නයි අපි පුරුදු වෙලා ඉන්නෙ. දානය හැටියට අප තේරුම් අරන් ඉන්නෙත් ඒකයි. ඒක තමයි අපේ නොදත්කම උඩ අප ජීවත්වුණ කාල සීමාවේ තිබුණ දැනීම. නමුත් කාට හරි යහපත සලසන යම් යම් දේ උත්සාහයෙන් උපක්‍රම ශක්තියෙන් දුන්නොත් එවිට සිදුවන දානමය පුණ්‍ය කර්මය ආමිසයක් ම කරන්න කියල බුදුහාමුදුරුවො වදාරළ නැහැ. උන්වහන්සේ සෑම විටම ආමිසයට වඩා ධර්මය අගය කළා. ආහාර දානයක් දෙන කොටත් එය ලබන තැනැත්තාගේ සිතෙහි ද්වේශ මූලික පීඩාකාරී තත්ත්වයක් තිබුණානම් එය නැතිවෙලා යනව. එනම් ආහාරය උපකාර කර ගෙන එතෙක් තිබුණ දුකකින් නිදහස් වෙන්න ධර්ම ශක්තියක් එකතු කළා වෙනව. අන්න ඒ විදිහටයි බුදුහාමුදුරුවෝ අදහස් කළේ. එක්තරා කෙනෙක් කොහෙද බණකදී කියල තියෙනව එක තිරික්කලයක් දුන්නම තිරික්කල දහස් ගණනක් ලැබෙනව කියල. එහෙම වුනොත් ඒ මනුස්සයට පුදුම කරදරයක් නේද වෙන්නෙ? ඒවාගේ වැරැදි බාල අදහස් තමා අපට පැටවිලා තියෙන්නෙ. බුදුහාමුදුරුවො එහෙම ධර්මයක් දුන්නෙ නැහැ. පිරිසුදු බුදුදහම ලෝකයාගේ් ජීවිතය තුළට හරිහැටි කැව්වොත් අද සිදුවන බොහොමයක් වැරැදි නවතිනව. නමුත් අර විදිහේ වැරැදි අදහස් කවල සත්‍ය දහම තේරුම් ගන්න තියෙන ඉඩකඩ එක්තරා පිරිසක් වහල දැම්මා. දීමේ ක්‍රියාව විතරක් දාන ශබ්දයෙන් පෙන්නුව.යම් දෙයක් දුන්නම එය ලබාපු තැනැත්තාගේ සන්තානයෙහි කිසියම් සහනශීලි තත්ත්වයක් ඇතිකරවන, එසේ නැත්නම් පීඩාකාරී බවෙන් මුදවාලන චේතනාවක් දෙන තැනැත්තා තුළ ඇති කරගෙන දුන්නොත්, ඒකයි මෙතැන ධර්මදානය කීවේ. එහෙම නැතිව වෙලාවෙ හැටියට හරි ඉල්ලපු නිසා හරි, වැඩිපුර තියෙන නිසා හරි, අපතේ යයි කියල හරි දුන්නට ධර්මදානය වෙන්නෙ නැහැ. දෙන්නාත් ලබන්නාත් ‍ෙදන්නම සම්බන්ධ වන්න අවශ්‍ය බව මෙතන පේනව. අනිත් එක තමයි දෙන දේ, ලබන්නාට අවශ්‍ය උචිත දෙයක් වෙන්න ඕනෑ. පුංචි ළමයි තරුණ වැඩිහිටි අය ආදී වශයෙන් වයසට අනුවත් අවශ්‍යතාවල වෙනස්කම් තියෙනවා. සංඝයා වහන්සේට වෙනමයි. ඒවත් හිතන්න ඕනෑ. චේතනාව කර්මය යි කියල කීවේ. සෑම ආමිසයක් තුළින් ම ධර්මයක් සකස් කරගන්න පුළුවන්. ඒවා කුසල හෝ අකුසල වන්න පුළුවන්.

යම් දෙයක් අනුන්ගේ ජීවිතයට සැනසිල්ලක් දෙන්නට පාවිච්චි කෙරෙනව නම් ඒකට සංවිභාගය කියල කියනවා. අර එක්කෙනෙක් එක් තැනකදී ධර්ම දේශනාවක් කරන්න ගිහිල්ලා එයා මතක නැතිව බුලත් විටක් කාල දේශනාව කරන්න ලෑස්ති වෙනකොට කටේ කෙළ පිරිලා. බලනකොට පඬික්කමකුත් තිබිල නැහැ. මේක දැකපු දායකයෙක් ඉක්මණට පොල් කටුවක් ගෙනත් ඒ අපහසුකම මඟහරවා ගන්න ඉඩ සැලැස්සුවලු.

මතු සම්බන්ධයි

අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජුනි මස 15 වන දා සඳුදා අපර භාග 3.12 ට ලබයි. 16 වනදා අඟහරුවාදා අපරභාග 3.57 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජුනි මස 15 වනදා සඳුදාය.

මී ළඟ පෝය ජුනි 22 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

First Quarterපුර අටවක

ජුනි 29

Full Moonපසෙලාස්වක

ජූලි 06

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]