UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මරණානුස්සති භාවනාව වැඩිය යුතු ඇයි?

මරණය ගැන ශෝක ඉපදවීම ද, පී‍්‍රතිය ඉපදවීමද, සංවේගය නූපදීමද, බිය ඉපදවීම ද යන මේ සියල්ල වන්නේ මරණය පිළිබඳ සතිය ද, සංවේගයද , ඤාණය ද නැති බැවින්ය. එබැවින් මරණ අනුස්සතිය වඩන යෝගාවචරයා ඒ ඒ තැන්හි තමා දැක ඇති මරා දැමූ ද, මැරුණා වූ ද, සම්පත් වින්දනය කළාවුද, බලවත් වූ ද, පඬිවරු වූ ද, නායක වූ ද, අසරණයෝ ද ආදී කොට ඇති මරණයට පත්ව සිටි අය සිහි කරමින් සතිය ද සංවේගය ද ඤාණය ද උපදවා ඒ මරණ සිහි කළ යුත්තේය.

සිද්ධාර්ථ කුමාරොත්පත්තියත්, බුද්ධත්වය හා අනුපදිශේෂ පරිනිර්වාණයත් සිදුවූයේ මේ වෙසක් මාසයේය. මේ අසිරිමත් සිද්ධීන් තුන බෞද්ධයන් සමරන්නේ ත්‍රිවිධ මංගල්‍යයක් ලෙසය. ඒවා හේතු සහිත වේ. බුදුවරයෙකු වීම සඳහා අට කරුණක් සම්පූර්ණ විය යුතුය. ඒවා අතුරෙන් මනුෂ්‍යත්වයක් ලැබීම හා පුරුෂයකු වීම දෙකරුණකි. මේ දෙකරුණින්ම අප ශාස්තෘන් වහන්සේ පරිපුණ්නය. එමෙන්ම බුද්ධ උත්තමයකු ලොව පහල වන කරුණු තුනක් ද අංගුත්තර නිකායේ තික නිපාතයේ සඳහන්ව ඇත. එනම් ඉපදීමත් දිරීම හා මරණයත් යනු එම හේතුන් වෙති. තවද අල්පායුෂ්ක කාල වකවානු වලදී මේ ත්‍රිවිධ උපද්‍රවයෝ වහ වහා දැකීමට හැකි වීමද බුද්ධානුගාමීන් එවක් කාලයක් තුලදී බොහෝ සේ වීමට තවත් හේතුවක් ලෙසද සැළකිය හැකිය. අප ගෞතමයන් වහන්සේ මෙකී සියලු කරුණු ඇතිවම “සිද්ධාර්ථ “ නමින් මහාමායා දෙව් මවුකුසින් බිහිවූයේ මෙවන් වෙසක් මාසයේ දී ය.

එසේම සසරපුරා සැරිසරා භවගාමීව එකතු වූ කෙලෙස් සහිත විඤ්ඤාණය සියලු කෙලෙසුන් නසා, අන්තිම දේහය දරණ ප්‍රතිඥාව සිංහ නාදයෙන් ප්‍රකාශ කිරීම නම් වූ බුද්ධත්වයට පත්වූයේ මෙවන් වෙසක් මාසයේය.

එමෙන්ම බුද්ධත්වයෙන් පසු පන්සාලිස් වසක් සියලු ලෝක සත්ත්වයන් අමා දහමින් නිවා සනසාලමින් වැඩ හිඳ ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවීයේ මෙවන් වෙසක් මාසයේ පුන්පොහෝ දිනයකදීය.

මේ ත්‍රිවිධ මංගල්‍යයන් සමරණ බෞද්ධ අපි සම්බුද්ධ පරිනිර්වාණය මංගලය්‍යක් සේ සළකනු ලබන්නේ ඇයි ද යනු විමසීමට කරුණකි. ඉපදීම සියලු දුකට හේතුව බව බුද්ධානු සාසනයි. මෙවන් දීර්ඝ දුකක් ඇතිවන්නේ සසර දිගින් දිගට නැවැත නැවැත ඉපදීම නිසාය.

එහෙයින් නො ඉපදීම සියලු දුක් නැති කිරීමයි. “දහමෙහි නිවන “ නමින් හඳුන්වන්නේ මෙයයි. මේ “නිවන” සැපයක් සේ හඳුන්වන්නේ එය “සංඥා හා වේදනා රහිත වු සංඥාවේදයිත නිරෝධ “ යක් හෙයිනි. තථාගත සම්මා සම්බුද්ධයන් වහන්සේ මෙවන් වෙසක් දිනක සියලු දුක් ඇතිකරන පුනර්භවය නසාලමින් අන්තිම දේහය දැරීම ධර්මයට අනුව අපට මංගල්‍යයකි. එසේ වන්නට අපට ද කළ අනුශාසනාව සිහිගැන්විය යුතු හොඳම දිනය වෙසක් දිනයයි. එහෙයින් අපද අදවන් දිනයක හුදෙකලාවී මරණය අවසන් කරගැනීමට හා ඉපදීම නවතාලීමට කුමන පියවරක් ගතයුත්තේද යන්නට මරණානුස්මෘතිය කරා මේ ලිපියෙන් ඔබ කැඳවාගෙන යමි. ඒ මෙසේය.

සීලයෙන් (කය හා වචන සංවරය ) තොර සමාධියක් (සිතේ සංවරය ) නැත. සීල සමාධියෙන් තොර ප්‍රඥාවක් (සත්‍යාවබෝධයක්) නැත. එහෙයින් සීලයෙහි පිහිටි යෝගාවචරයාට සිතේ සමාධිය ඇතිකර ගැනීම සඳහා කමටහන් (සතිය , (සිහිය ) පිහිටුවා ගත යුතු ස්ථාන ) සතළිසක් හඳුන්වාදී ඇත. මේ සියල්ලෝම උපක්‍රම වශයෙන් යොදාගන්නා අතර සමථ භාවනා ගණයෙහිලා සැළකේ.

1.කසිණ දසයක්ද 2. දස අසුභ 3. දස අනුස්සති 4. සතර බ්‍රහ්ම විහාර 5. අරූපාවචර ධ්‍යාන සතරත් 6. ආහාරයෙහි පිළිකුල් සංඥාව හා 7. චතුධාතුවචත්‍ථානන් මේ සතළිසයි. රාග ද්වේෂ මෝහ ශ්‍රද්ධා බුද්ධි විතර්ක යන සය චරිත ඇත්තේ තමාගේ චරිතයට ගැලපෙන එක් කමටහනක් තෝරාගෙන නිතර නිතර පුහුණු කිරීම වඩාත් ප්‍රතිඵල ලබාදේ. මේවායින් දස අනුස්සති වලට අයත් මරණානුස්මෘතිය මෙහි විස්තර කෙරේ.

මරණ + අණු + ස්මෘති වනුයේ මරණානුස්මෘතියි. මෙහිලා ස්මෘති නම් සිහිකිරීමයි. අනු නම් නැවැති නැවැත යි. නැවැත නැවැත සිහිකරනුයේ අනුස්මෘතියි. තවද ස්මෘතියම නැවැත නැවැත උපදනා බැවින් අනුස්මෘතියයි ද කියයි. මරණය නැවැත නැවැත සිහිකරනුයේ මරණානුස්මෘතියයි.

ඒ කවර මරණයක් ද යත් එක් භවයකට අයත් ජීවිතේන්ද්‍රිය බිඳී යාමයි. මෙය ජීවිතේන්ද්‍රියොපචේද මරණයයි කියනු ලැබේ. සතරාකාර මරණ විස්තරයක් විශුද්ධි මග්ගයේ සඳහන්ව ඇත්තේ මෙසේය.

1. ජීවිතෙන්ද්‍රියොපචේඡද මරණය (කය සිඳීයාමෙන් සිදුවන මරණය)
2.සමුචේඡ ද මරණය (නැවත කොතැනකවත් පිළිසිද ගැනීම් නැති රහතන් වහන්සේ සියලු සසර දුකින් මිදීමේ (පිරිනිවීමයි) කාලක්‍රියාවයි.
3. ක්‍ෂණික මරණ (සංස්කාරයන්ගේ ක්‍ෂණ භංගයයි. උත්පාද ඨිති භංග වශයෙන් වු ඇතිවීම පැවතීම හා නැතිවීම යන ත්‍රිවිධ ක්‍ෂණ අවස්ථාවයි. (බිඳී යාමයි) හේතු ප්‍රත්‍යයෙන් උපන් සියලු සංස්කාරඳී මෙම ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා මරණයට ගොදුරු වේ.
4. සම්මුති මරණ (ගස මැරුණේය. අල මැරුණේය ශෂ්‍යය මැරුණෝය යනාදි වශයෙන් පවත්නා ලෝක සම්මත ව්‍යවහාර මරණයි)

මේවායින් ජීවිතෙන්ද්‍රියොපචේඡ ද මරණයම මරණානුස්මෘතිය සඳහා අනුස්සති වශයෙන් ගැනීම මෙහිලා සළකනු ලැබේ. ජීවිතේන්ද්‍රියොපචේඡ ද මරණය ද දෙවැදෑරුම් වේ. එය කාල මරණය හා අකාල මරණය වශයෙනි. කර්මානු රූපවම සත්ත්වයන් උත්පත්තිය කර්මයෙන් ගෙන ආ ආයුෂ ක්‍ෂයවීමෙන් හා පුණ්‍යයන් ක්‍ෂය වීමෙන් ලබන්නේ කාල මරණයයි. උපච්ඡේදක කර්මයෙන් (කුසල් වූ හෝ අකුසල් වූ හෝ උත්පත්ති කර්මයාගේ විපාකයට ඉඩ නොතබා විපාකදෙන ප්‍රබල කර්මය ) අනුව සිදුවන්නේ අකාල මරණයයි.

තවද මේ කාල හා අකාල මරණයද සතර ආකාරයකි.

1.ආයුක්‍ෂය මරණය
2. කර්මක්‍ෂය මරණය
3. උභයක්‍ෂය මරණය හා
4.උපච්ඡේදක මරණය වශයෙනි.

උපන් භවයෙහි ආයු සන්තතිය පවත්වා ගෙන යාමට හේතු වූ ආහාර ආදී ප්‍රත්‍යය සම්පත් ඇතත් ප්‍රතිසන්ධිය ලැබූ කර්මය විපාක දී අවසන් වීමෙන් යමෙකුගේ මරණය සිදුවේද එය පුණ්‍යක්‍ෂය මරණයයි. මෙය පුණ්‍ය පක්‍ෂයෙන් පමණක් නොව පාපපක්‍ෂයෙන් ද සිදුවිය හැක. මෙයට කර්මක්‍ෂය මරණයයි ද කියනු ලැබේ.

පින් පව් දෙකම අවසන් වීමෙන් ඒ මරණය සිදුවිය හැක. ප්‍රතිසන්ධිය ලබාදුන් කර්මයේ (ලැබූ භවයේ) ආයු කාලය කෙලවර කොට සිදුවන මරණය ආයුක්‍ෂය මරණයයි. කර්ම හා ආයුෂ දෙකේ ම ශක්තිය එක විට අවසන් වීමෙන්ද මරණය සිදුවේ. එම මරණය උභයක්‍ෂය මරණයයි. කර්ම ආයු දෙක්හිම ශක්තිය තව ශේෂව තිබියදීත් දිට්ඨධම්ම (මේ ආත්මයේදීම) වශයෙන් හෝ අපරාපරිය (ඉකුත් ආත්ම භාවයකදී) වශයෙන් හෝ කළ බලවත්ම වෙනත් කර්ම ශක්තියක් ඉදිරියට පැමිණ සිදුවන මරණය උපච්ඡේදක මරණ යයි ද කියනු ලැබේ. මෙය අකාල මරණයෙහි ලා සලකනු ලැබේ. එයද දෙආකාරයකින් සිදුවේ. ක්ෂණික වශයෙන් හා පූර්වකෘත වශයෙනි. මෙලොව වශයෙන් ඒ ඇසිල්ලෙහි කල බලවත් වූ අකුසල කර්මයකින් (ක්‍රියාවකින්) දිවි තොරවීම ක්‍ෂණික අකාල මරණයයි පෙර ජාතීන්හි කළ බලවත් කර්මයක් ඉදිරිපත්ව අවියෙන් සිදුකරනා හා සියදිවි නසාගැනීම් ආදි වශයෙන් සිදුවන මරණය පූර්වකෘත අකාල මරණයයි.

එක් කලෙක නාදික ගම ගිඤ්ජකාවසතයෙහි (ගඩොලින් කළ පහයෙහි ) වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි) භාවිත (අරමුණ) වශයෙන් වඩන ලද බහුලී කෘත (නැවත නැවැත අරමුණු ගැනීම්) වශයෙන් පුරුදු කරන ලද) මරණ සතිය මහත්ඵල මහානිශංස වෙයි. නිවන් පිණිස ඇත්තේ වෙයි. මහණෙනි, ඔබ මරණසතිය වඩන්නාහු ද?

එවිට එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් ‘ස්වාමීනි’, භාග්‍යවතුන් වහන්ස, මම මරණසතිය වඩමි ‘යි කීය.

1.භික්‍ෂුව, මරණසතිය කෙසේ වඩයි ද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම යම් විදියකින් රැයක් - දවාලක් (එක් දවසක්) ජීවත් වන්නට හැකි වුවහොත් ඒ කාලය තුල භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මෙනෙහි කරමින් මරණසතිය වඩමි “ යි කීය.

2. ඉන්පසු තවත් භික්‍ෂුවක් ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම ද මරණ සතිය වඩමි ‘යි කීහ. භික්‍ෂුව , ඔබ මරණසතිය කෙසේ වඩන්නෙහි ද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම යම් විදියකින් එක දවාලක් (දින භාගයක්) ජීවත් වන්නෙමි යි බුද්ධානුශාසනා, සිහිකරමින් මරණසතිය වඩමියි කීය.

3. ඉන්පසු තවත් භික්‍ෂූවක්, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, “ මම මේ කරුණෙහිලා එක පිණ්ඩපාතයක් වළඳන තුරු (වරු භාගයක්) ජීවත්වන්නෙමියි ඒ කාලය තුල මරණසතිය වඩමි” යි කීය.

4. තවත් භික්‍ෂුවක් “මෙවන් පිඬු සතරක් පහක් වළඳන තුරු ජීවත් වන්නෙමියි ඒ කාලය තුල මරණ සතිය වඩමි” යි කීය.

5. තවත් භික්‍ෂුවක් “ මම එක් බත් පිඬක් සාදා වළඳනතුරු, ජීවත් වන්නෙමියි ඒ කාලය තුල මරණ සතිය වඩමි ‘යි කීය.

6.තවත් භික්‍ෂුවක් “ මම හුස්ම ගෙන පිට කරන තුරු හුස්ම පිට කොට නැවැත හුස්ම ගන්නාතුරු ජීවත් වන්නෙමි යි ඒ කාලය තුල මරණ සතිය වඩමි යි කීය.

භික්‍ෂූන් වහන්සේ මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි මේ භික්‍ෂූන් අතුරෙන් 1,2,3,4 වූ භික්‍ෂූන් ප්‍රමාදශිලීව වෙසෙන්නාහුය. 5 - 6 භික්ෂූහු අප්‍රමාදව වාසය කරන්නාහුය. මොවුහු කෙලෙස් ප්‍රහාණය පිණිස තියුණු කොට මරණ සතිය වඩන්නාහු යයි ද කියනු ලබත්, මහණෙනි එහෙයින් මේ කරුණෙහිලා අප්‍රමාදව (එළඹසිටි සිහි ඇතිව) වාසය කරන්නෙමුය. තියුණු කොට මරණ සතිය වඩන්නෙමු යි. මෙසේ හික්මිය යුතුය. (අංගුත්තර නිකාය - ඡක්ක නිපාතය - පඨම මරණසතිය සූත්‍රය 6 - 1 - 2 - 9 )

නාදිකා ගම වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා මෙසේ වදාළ සේක.

මහණෙනි! වඩන ලද බහුල වශයෙන් පුරුදු කරන ලද මරණසතිය මහත්ඵල මහානිසංස ගෙන දෙන්නේය. නිවන පිණිස පවතින්නේය. නිර්වාණාබෝධය අවසන් කොට ඇත්තේ වෙයි. මරණසතිය කෙසේ වඩන්නේද ? මහණෙනි! දහවල ඉක්ම ගොස් රැය එළඹෙත්ම මෙසේ නුවණින් සැළකිය යුතුය.

මගේ මරණයට බොහෝ හේතු තිබේ. 1. සර්පයෙක් හෝ ගෝනුස්සෙක් හෝ පත්තෑයෙක් හෝ මා දෂ්ට කරයි. එයින් මාගේ මරණය සිදුවිය හැක. 2. මම පය පැටලී වැටී මිය යා හැක. 3. වැළඳු ආහාර නොදිරවා මිය යා හැක. 4. මගේ පිත කිපී 5. මගේ සෙම කිපී 6. මගේ වාතය කිපී මගේ කාලක්‍රියාව වන්නේය. එසේ වූ වොත් එය මට අන්තරාවකි. මහණෙනි, එහෙයින් මෙසේ නුවණින් සලකා බැලිය යුතුය. රෑ කලුරිය කරන මට අන්තරාය පිණිස පවත්නා වූ පහ නොකල අකුසල ධර්ම තිබේද? එවිට ඔහු හට ලාමක අකුසල ධර්ම ඇතැයි තම හට වැටහේ නම් ඒවා ප්‍රහීණ කිරීම සඳහා වැඩි කැමැත්තේ, ව්‍යායාමයක්, උත්සාහයක් අධික වීර්යයක්, නොපසුබට උත්සාහයක් සතියත් සම්පඡඤ්ඤයත් කළ යුතුමය. ඒ කෙසේද? ගිනිගත් හැඳීවත - ගිනිගත් හිස නිවාගැනීමට ගන්නා අධික විර්යය වෙහෙස මෙනි.

(අං:නි - ඡක්ක නිපාතය දුතිය - මරණසති සූත්‍රය 6 , 1 , 2 , 10 )

එසේම මේ ජීවිතෙන්ද්‍රියොපචෙඡ ද මරණය සිදුවන අවස්ථාව කෙතරම් වේදනාකාරි වන්නේද යත්,

බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවන ආරාමයෙහි වැඩ වසන සමයෙහි සාරිපුත්ත, මහාචුන්ද හා ඡන්න යන තෙරුන් වහන්සේ ගිජ්ඣකූට පර්වතයෙහි වැඩ වාසය කරති.

එසමයෙහි ඡන්න තෙරුණුවෝ දැඩිසේ ගිලන් වූහ. සමාපත්තියෙන් නැගී සිටි ආයුෂ්මත් සාරිපුත්ත තෙරුණුවෝ සවස් භාගයෙහි මහා චුන්ද තෙරුන් සමගින් ම ඡන්න තෙරුන් බැලීමට පැමිණියහ. පිළිසඳර කථා බහින් පසු එකත් පස්ව සිට කිමෙක්ද? ආයුෂ්මත් ඡන්දයෙනි, ඔබ වහන්සේට දුක් වේදනා ඉවසිය හැකි ද? දුක් වේදනා බලවත් ද? අඩුවන බවක් පෙනේද? වැඩිවන බවක් නොපෙනේද? යනුවෙන් ඇසීය. මරණාසන්නව වැඩ සිටි ඡන්න තෙරුන් වහන්සේ (මරණීය දුක්) වේදනා කියන්නේ, ස්වාමීනි, මට ඉවසිය නොහැකිය. දැඩිසේ දුක් වේදනා නැගීමක් මිස බැසීමක් නොදැනේ.

සැරියුත් හිමියනි, ශක්ති සම්පන්න පුද්ගලයෙක් තියුණු යහුලකින් මාගේ හිස මඩින්නාක් මෙන් බලවත් වාත වේදනාවන්ගෙන් හිස පෙලේ. මට ඉවසිය නොහැකිය.දුක් වේදනා වැඩිවීමක් මිස අඩු වීමක් නොදැනේ. ශක්ති සම්පන්න පුද්ගලයකු වරපටකින් හිස වෙලන කල බලවත් වේදනා ඇතිවන්නාක් මෙන් මහත් වූ වාත වේදනා හිසට පීඩා කරයි. දක්‍ෂ ගව මරන්නකු හෝ ඔහුගේ අතවැසියකු තියුණු වූ ආයුධයකින් බඩ කපන්නාක් මෙන් වාත වේදනාවන්ගෙන් මගේ කුසට පීඩා ඇතිවෙයි. මට ඉවසිය නොහැකිය. ශක්ති සම්පන්න පුද්ගලයකු දෙදෙනෙකු ඉතා දුර්වල පුද්ගලයකු අත්වලින් අල්ලා ගෙන අඟුරුවලකට දමා දැඩිසේ තවන්නාක් මෙන්, මාගේ ශරීරයෙහි අධික වූ දැවිල්ලක් දැනේ. මට ඉවසිය නොහැකිය. දුක් වේදනා වැඩිවීමක් මිස අඩුවීමක් නැත. ජීවත්වීමට නොහැක්කෙමි. ආයුධයකින් දිවිතොර ගැනීමට කැමැත්තෙමි. (නොබෝ වේලාවකින් ඡන්න තෙරුන් වහන්සේ පිරිනිවියහ)

(මජ්ඣිම නිකාය සූත්‍රය අංක 144 ඡන්නෝවාද සූත්‍රය)

මේ ආකාර වූ මරණය අනුස්සතියක් වශයෙන් වඩන යෝගාවචරයා හුදෙකලාවම විවේකීව හිද ඒකාන්තයෙන් (මට ද ) මරණය වන්නේය. ජීවිතේන්ද්‍රිය සිඳී යන්නේ කියා නුවණින් සිහිකළ යුතුය . (සම්පජන්නකාරීවද සතිය යෙන්ද) මරණය නියතය. කියා නුවණින් සිහිකළ යුතුය.

මරණය අනුවණින් සිහිකරන්නෝ වැදූ මව පි‍්‍රය පුත්‍රයාගේ මරණය සිහිකිරීමෙහිදී මෙන් ශෝකය උපදවන්නේය . තමාට සතුරු වූ වෛරකරන්නෙකුගේ හෝ අපි‍්‍රය ඇත්තෙකුගේ හෝ මරණයේ දී මෙන් පී‍්‍රති වන්නේය. මළමිනි දවන්නා හෝ යටකරන්නා මළමිනී දැකීමෙහි දී මධ්‍යස්ථයකු සේ සිට ඔහුට ඇති සංවේගයක් නැත්තා සේ සංවේගයක් නූපදින්නේය. තමා මරනු පිණිස කඩුව අමෝරා දිව එන වධකයා හෝ වෛරකරුවා දැකීමෙහි දී බිය සුල්ලෙකු මෙන් තමාගේ මරණය සිහි කිරීමේ දී භය උපදින්නේය. මෙසේ මරණය ගැන ශෝක ඉපදවීම ද, පී‍්‍රතිය ඉපදවීමද, සංවේගය නූපදීමද, බිය ඉපදවීම ද යන මේ සියල්ල වන්නේ මරණය පිළිබඳ සතිය ද, සංවේගයද , ඤාණය ද නැති බැවින්ය. එබැවින් මරණ අනුස්සතිය වඩන යෝගාවචරයා ඒ ඒ තැන්හි තමා දැක ඇති මරා දැමූ ද, මැරුණා වූ ද, සම්පත් වින්දනය කළාවුද, බලවත් වූ ද, පඬිවරු වූ ද, නායක වූ ද, අසරණයෝ ද ආදී කොට ඇති මරණයට පත්ව සිටි අය සිහි කරමින් සතිය ද සංවේගය ද ඤාණය ද උපදවා ඒ මරණ සිහි කළ යුත්තේය. මෙනෙහි කළ යුත්තේය. මෙසේ (“ජීවිතං අනියතං න අමරණීයං “ ) අනියත ජීවිතය තුල අමරණීය වූවෙක නැතැයි යන නුවණින් මෙනෙහි කලෝ වන්නේ එවිටය. මෙසේ සිතන්නට පටන් ගත්විට පංච නීවරණයෝ යටපත් වේ. මරණානුස්මෘතිය පිහිටයි. එසේම කර්මස්ථානය ධ්‍යානංගයෙහි මුලට පැමිණේ. (උපචාර සමාධියට සම්ප්‍රාප්ත වේ) මෙසේත් කරන කල්හි සතිය නොපිහිටන්නේ නම් මේ අට ආකාරයෙන් මරණය සිහිකළ යුතුය.

1.වධක පචචුපට්ඨානය - වධකයකු ගෙලට කඩුව අමෝරා සිටින්නේයයි සිහියට ගෙන

2. සම්පත්ති විපත්තිය - සම්පතින් යමෙක් බබුලුවන්නේ විපතක් එනතෙක්ය . මෙසේ සම්පත්ති විපත්ති සිහි කිරීම කළ යුතුය.

3.උපසංහරණය - බලවත් අනුන් හා සමගින් තමන් ගලපා බැලීම කළ යුතුය.

4. කාය බහුසාධාරණය - ස්වකීය ශරීරය අන්‍ය බොහෝ සත්ත්වයන් හා සසඳා බැලීම

5. ආයු දුබ්බලය - ආයු දුර්වල කම සලකා බැලීම

6. අනිමිත්තය - මෙතෙක් කල් ජීවත් වන්නේය යන නියමයක් හෝ සීමාවක් නැති බව

7. අද්ධාන පරිච්ඡේදය මෙකල මනුෂ්‍යයන්ගේ ජීවිත ආයුෂ මෙතෙක් කල් විය යුතුයයි නියමයක් නැත . කාලයක් නැති බව සිහි කිරීම .

8. ඛණ පරිත්තයං - ජීවිතය ඉතා ස්වල්ප ක්‍ෂණයක් පවත්නා එකක් වශයෙන් සළකා මරණය සිහිකළ යුතුය.

මරණය සිහිකිරීමේ ආනිසංස

1. මේ මරණානුස්මෘති භාවනාවෙහි යෙදුනු යෝගාවචරයා අප්‍රමාදව (සතියෙන් ) වසන්නේය. භවයන්හි නොඇලීමෙහි සංඥාව ලබන්නේය.

2. ජීවිත තෘෂ්ණාව හැර පියන්නේය.

3. පාපයට ගරහන්නේය

4. බහුලව සම්පත් රැස් නොකරයි

5. ලැබෙන දෙයෙහි මසුරු මල තැන්තෙක් වන්නේය.

6. ඔහු අනිත්‍ය සංඥාව පුරුද්දට ගෙනෙයි.

7. එනිසාම දුක්ඛ සංඥාව ද අනාත්ම සංඥාව ද වැටහෙයි.

8.මේ ආත්ම භවයෙහි ම යම් මාර්ග ඵල පිළිවෙලින් නිවන නොලද්දේ නම් මරණයෙන් මතු සුගතිගාමී වන්නේය.

අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වු මේ ජීවිතේන්ද්‍රිය කෙරෙහි මරණානුස්මෘතිය වඩන්නේ, නැවැත වඩන්නේ , මරණයකදී තමා ඉදිරිපත් වන්නේ කෙසේද? යන්නට පහත කතා ප්‍රවෘත්තිය සිහිපත් කරමි.

බෝසතාණන් වහන්සේ පෙර එක් කලෙක බ්‍රාහ්මණ පවුලක ඉපද ජීවිතය ගෙවන්නේ ගොවිතැනින් ජීවත්විය . එක් පුතෙකු හා එක් දුවක් ද සිටියහ. නිසි වයස්කල පුතු විවාහ කරදී මවත් - පියාත් , දුවත් පුතාත් ලේලිය හා මෙහෙකාරියත් සමගින් නිවසේ සමගියෙන් සතුටින් කල් ගෙවූහ.

බෝසතාණන් වහන්සේ නිතියෙන් ඔවුනට අවවාද කරන්නේ, ඔබ සියල්ලෝ අපට තිබෙන පරිදි නිති දන්දෙව, සිල් රකිව්, පෝය දින අටසිල් රකිව්. නිතර මරණ සතිය වඩව්. අපි හැම දෙන මැරෙන බව නිතර සිහිකරව්. මෙලොව ඉපදෙන හැම සත්ත්වයන්ගේම මරණය නියතය. ඒකාන්තය. ජීවිතය අනියතැයි, අස්ථිරයි , ඇතිවන සියල්ල නැතිවන සුලුය. එබැවින් දිවා රෑ දෙක්හි අප්‍රමාද වන්න. සිහියෙන්ම වසන්න, ආදී වශයෙන් අවවාද දුන්හ. ඔවුහු සියල්ලෝ අවවාද සතුටින් පිළිගෙන ඒ අනුව හැසිරෙමින් මරණය නිතර සිහි කරති.

සිරිත් පරිදි දිනක් පුතු සමග කුඹුරට යන්නේ කෙත්වත්හි එකතු වූ කුණු කසල රැස් කොට පුතු ගිනි තැබුවේය. මෙහිදී ඒ අසල පිහිටි තුඹසක සිට විෂඝෝර සර්පයකු දුමින් පීඩා විඳ එළියට ඇදී පුතුට තදින්ම දෂ්ට කළේය. ඔහු එතනම මැරී වැටුනේය. බෝසත් පියාණන් මෙය දකින්නේ මළ බව දැන ඔහු ඔසවා වෙල අද්දර ගසක් යට සෙවනේ හොවා තබා රෙද්දකින් පොරවා ලූහ. හැඩීමක් විලාපයක් නැති බෝසතාණන් පුරුදුකල මරණානුස්මෘතිය සිහිගන්වන්නේ සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. හැම ජීවිතයක්ම මරණින් කෙළවර වන්නේ යයි මෙනෙහි කරමින්ම කෙතෙහි වූ කාර්යයන්හි නිරත වූහ.

මෙහිදී කුඹුර සමීපයෙන් යන එක් අසල්වැසියකු දැක යහළුව , ඔබ අප ගෙදර පසුකරන්නේ නම්, අද වෙනදා මෙන් නොවැ එක් අයෙකුට පමණක් අහර ගෙනෙන්නටත්, එය මෙහෙකාරිය අතේ නොව, ගෙදර සිටින හතර දෙනාම සුදු වස්ත්‍ර හැඳ ගෙන සුවඳ මලුත් රැගෙන එන්නටත් තමාගේ භාර්යාව වූ බැමිණියට කියන්නැයි කීවේය.

ඔහු ‘මැනැවැ යි කියා පිළිගෙන එලෙසම නිවසට පණිවිඩය දුනි. මේ පණිවිඩය ඔබට කවරකු කියන ලදදැයි බැමිණිය කළ විමසීමට “ බමුණා “ විසින් යයි ඒ අසල්වැසියා කීය. තම පුතා මළ බව මව දැනගත්තාය. මරණය හොඳහැටි සිහිකළ සිත් ඇති ඒ බැමිණිය සෙසු කීප දෙනාත් සමග සුදුවස්ත්‍ර හැඳ සුවඳ මලුත්, අහරත් රැගෙන කුඹුරට ගියාය. කිසිවකුත් හැඬීමක් වැලපීමක් නැත.

බෝසත් තුමා මළ පුතා හුන් තැනම හිඳ ගෙන අහර වැළදීය. ඉන්පසු අවටින් රැස් කළ දර ටිකක් ගෙන චිතකයක් සාදා සිරුර තබා සුවඳ මලින් සරසා ගිනිදැල්වූහ. මරණය පිළිබඳ භාවනා කොට හොඳට පුරුදු මොවුහු කිසිවකු හෝ නොවැළපුණහ. නොහැඬීය. සෝ සුසුම් නොහෙළීය.

ඔවුන්ගේ පුණ්‍ය තේජසින් සක්දෙව් රජ ඒ සොහොන් භූමියට පැමිණ බෝසත් බමුණු ගෙන් විමසන්නේ.

ඔබලා කුමක් කරන්නෙහිද? අපි මළ මිනියක් දවමු. ඔබලා මළ මිනියක් නොව මුවෙකු මරා පුළුස්සනවා යයි මම සිතමි. නැත පින්වත, මළ මිනිසකු දවම්හ. එසේ නම් මළ අය සතුරකු වන්නට ඇත. නැත. පින්වත සතුරෙක් නොවේ. මේ මාගේ එකම පුතුය.

එසේ නම් අකීකරු පුතෙක් වන්නට ඇති. නැත මගේ පුතා හොඳම කීකරු දරුවෙකි. එසේ නම් ඇයි ඔබ නොහඬන්නේ . පින්වත , දිරාපත් වූ පරණ හැව අතහැර දමා යන සර්පයකු මෙන් මගේ පුතා ද ස්වකීය ශරීරය හැර දමා ගියේය. දවනු ලබන්නා වූ ඒ මළකුණ ජීවත්ව සිටින අපේ ඇඩීමක් හෝ වැලපීමක් හෝ නො දනී. ඔහුට යම් උත්පත්තියක් නියමිත ද ඔහු එතැන උපදින්නට ඇත. එහෙයින් මම ශෝක නොකරමි.

බෝසතාණන් ගේ බස් අසා බැමිණිය වෙත ගිය සක්දෙව් රජ, “අම්මේ ,මේ මළ තැනැත්තා ඔබ ගේ කවරෙක් ද “ පින්වත, දසමසක් කුසේ දරා සිට, ලේ කිරි කර පොවා අත් පා හදාවැඩූ මාගේ පුතුය .” අම්මේ, පියා නම් පිරිමි කම නිසා නො අඬනවා ඇති. මවුවරුන්ගේ ළය ඉතා මොළොක්ය . ඔබ කුමක් නිසා නොහඬන්නෙහිද?

අනබභිතො තතො ආග - අනනුඤ්ඤතො ඉතො ගතො
යථාගතො තථා ගතො - තත්ථ කා පරිදෙවනා ?

පින්වත, මේ පුතා මගෙන් කැඳවීමක් නොලබාම අපේ ගෙදරට ආවේය. මෙසේ ගියේ ද මගේ අනුදැනීමක් (අවසරයක්) නොගෙන මය. කර්ම වේගයෙන් යම්සේ ආවේ ද , කර්මානුරූපවම එසේම ගියේය. ඉතින් එහෙම නම් හඬන්නේ ඇයි? පැමිණි මව් ගේ කථාව ඇසූ සක්දෙව් රජ සහෝදරිය වෙත ගොස්,

“නැගණිය , මේ දවන තැනැත්තා ඔබේ කවරෙක් ද, “ පින්වත ඔහු මගේ සොහොයුරාය “ ඒ ඔබේ සොහොයුරා නම්, සොහොයුරියෝ සොහොයුරන්ට බොහෝ ආදර ඇත්තෝය. නුඹ කුමක් නිසා නොහඬන්නේ ද? ඒ හැඩීමෙන් මළ සොහොයුරුටවත්, මටවත් කිසි පලක් නැත. මාගේ හැඬීම වන්නේ නම් මගේ මව් - පියන්ට ද සිතට දුක් ඇතිවේ. එහෙයින් මම නො හඬමි”

අනතුරුව මළ අයගේ භාර්යාව වෙත ගිය සක්දෙව් රජ , නැගණිය , මේ මලේ නුඹේ කවරෙක්ද? හිමියෙනි, ඒ මගේ සැමියාය, සැමියා මළ කල්හි ස්ත්‍රීහු වැන්දඹුවෝ වෙති. එසේ වූ ඔබ කුමක් හෙයින් නොහඬන්නේ ද? හිමියෙනි, ඇතැම් කුඩා දරුවෝ හඳ දැක ඉල්ලා හඬති. මිය ගිය අයකු උදෙසා හැඩීමත් එවැනිම මෝඩ ක්‍රියාවකි. එහෙයින් මම ද නො හඬමි.

භාර්යාව ගේ කථාව ඇසූ සක්දෙව් රජ මෙහෙකාරිය වෙත ගොස්,

දරුව, මේ දවන තැනැත්තා නුඹේ කවරෙක්ද? ස්වාමීනි, හේ මගේ ආර්ය පුත්‍රයාය. (හාම්පුතාය ) එසේ නම් දරුව, ඒ ආර්ය පුත්‍රයා නුඹට තළන්නට ඇත. දඬුවම් කරන්නට ඇත.

ඒ නිසා නුඹ මොහුගේ මරණය ඉතා හොඳය යි සිතා නොහඬන්නෙහි යයි මම සිතමි.

ස්වාමීනි, එසේ නොසිතනු මැනැවි. එසේ කීම නුසුදුසුය. මේ හාම්පුතා ඉවසන සුලු මෛත්‍රී, කරුණා සිත් ඇත්තෙකි. මොහු මට මා ඇති දැඩිකළ පුතකු වැනිය. එසේ නම් ඇයි ඔබ නො හඬන්නේ , ස්වාමීනි, ඔසවා ගෙන යන මැටි කළයක් බිම වැටී හත් කඩකට බිඳුනු කල නැවැත එය සන්ධි කොට ප්‍රකෘති (මුල්) තත්ත්වයට ගන්නට නොහැකි වන්නේ යම් සේද? එසේම මිය පරලොව ගිය තැනැත්තකු උදෙසා හැඬීම, ශෝක කිරීම නිෂ්ඵල ක්‍රියාවකි.

සක්දෙව් රජ මේ හැම දෙනාගේ කථාව අසා පැහැදී අප්‍රමාද වූ ඔබ සියල්ලෝ විසින් මරණ සතිය වඩන ලදී. නැවැත නැවැත වඩන ලදී. මෙතැන් පටන් ඔබ සියල්ලෝ ශරීරය වෙහෙස නො කරව් මම සක්දෙව් රජ වෙමි. මම ඔබට අපමණ සත්රුවන් දෙන්නෙමි. ඔබ දන් දෙන්න. සිල් රකින්න. පෙහෙවස් රකින්න, නිතරම සිහියෙන් (සති) නුවණින් (ඤාණයෙන් ) කටයුතු කරන්න (අප්‍රමාදව) යනුවෙන් පවසා අපමණ ධනය දී දෙව්ලොවට ගියේය.

මරණානුස්මෘතිය ට අදාළව මෙය කියවන ඔබත් මෙහි ඇති කතාන්දර රසය හෝ කියවීමේ රසය හෝ පමණක් වින්දනය නො කොට කියවා අර්ථ රසය හා ධර්ම රසය උකහා ගන්නේ නම් අපට ද ලැබෙන පින් බොහෝය. ඔබට ද එසේ මය. එපමණක් නොව ලබාගත් ධර්ම රසය සත්‍ය වශයෙන්ම භාවනාවට නගමින් අපගේ ජීවිත කාලය තුල මෙවැනි අවස්ථාවන්ට සතියෙන් හා නුවණින් ඉදිරිපත් වන්නේ නම් මරණානුස්මෘතිය ඇත්තකු වන්නේය. එහෙයින්ම මෙලොව වශයෙන් සෝතාපත්ති ආදී මාර්ග ඵල නොලදහොත් සුගතිගාමී වන්නේය.

කාම - භව , විභව නො පතනන්න
නිවනට ම සිත් යොමුවේවා!

(ආශි‍්‍රත ග්‍රන්ථයෝ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා - අංගුත්තර නිකාය 4 - මජ්ඣිම නිකාය 3 - විශුද්ධි මග්ගය - අතිපූජ්‍ය අම්පිටියේ රාහුල හිමි. මරණානුස්මෘති භාවනා )

 

වෙසක් අව අටවක පෝය

මැයි මස 16 වන දා සෙනසුරාදා අපරභාග 11.56 ට ලබයි. 18 වනදා සඳුදා පූර්ව භාග 1.45 දක්වා පෝය පවතී. සිල් සමා දන්වීම මැයි මස 17 වනදා ඉරිදා ය. මීළඟ පෝය මැයි මස 24 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 17

New Moonඅමාවක

මැයි 24

First Quarterපුර අටවක

මැයි 31

Full Moonපසෙලාස්වක

ජුනි 07

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]