UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කුරුණෑගල ශ්‍රී සම්බෝධි මහා විහාරය

දැවැන්ත ඇතුගල පාමුල පිහිටි කුරුණෑගල නගරයේ සිට ත්‍රිකුණාමලය දෙසට ඇති ප්‍රධාන මාර්ගය දඹුල්ල පාර ලෙස ජනතා ව්‍යවහාරයේ පවතී. කුරුණෑගල සිට දඹුල්ල මාර්ගයේ කිලෝමීටර් 4 ක් පමණ ගමන් කරන විට ෙඓතිහාසික බඩගමු රක්‍ෂිතය හමුවේ.


අභිනව සමාධි බුදු පිළිම මන්දිරය

1993 මැයි 13 දා යග්ගහපිටිය වතුයායේ බඩගමුව වනයට සීමා වූ බිම් තීරයක ඉදිවූ පොල් අතු පැලකින් මේ විහාරස්ථානය ආරම්භ විය.

බුද්ධරත්නයත් ධර්මරත්නයත් පමණක් පිහිට කොටගත් හුදෙකලා වූ සංඝරත්නයකට වියාගත් පොල් අත්ත සයනයක් විය. පොල් කටුව දිය පොදක් තොලගාන්නට උපකාර විය.

අඳුර මකන්නට ගිනිමැලයක් පිහිට විය. මෙසේ මහා දුෂ්කර ක්‍රියා මැද ශ්‍රී සම්බෝධි මහා විහාරය ආරම්භ විය. අදට අවුරුදු 20 ක් සපුරා ඇති විහාර භූමියට අද ඇතුලුවන කෙනෙකුට මෙවන් කෙටි කලකදී මේ විහාරස්ථානයේ වර්ධනය පිළිබඳ සිතා ගන්නටත් බැරි තරමට, මෙය සර්වාංගයෙන්ම පරිපූර්ණ වූ සොඳුරු දසුන් මවනා මහා විහාරයක ලකුණ ජනිත කරවයි.

විහාර භූමියක අසිරිමත් වෘක්ෂය බෝධීන් වහන්සේයි, විහාරයට ඇතුල්වන පිවිසුම් දොරටුව අසල විරාජමානව වැඩහිදී. තද පැහැති හරිත වර්ණ නා වෘක්‍ෂයද සහයට පසෙකින් සිටී. දෙවෙනි වැලි මලුව සංඝාවාසයට පිවිසුම යි.


වැලිවෙහෙර ඤාණීන්ද නා හිමි

දෙපසින් පස්වස් සමරු ගොඩනැගිල්ල සහ දෙමහල් දාන ශාලාව හා පුස්තකාලයයි.

තෙවැනි මලුවේ තෙමහල් මහා විහාර මන්දිරයේ පිවිසුමයි. වම් පසින් අභිනව සමාධි බුදුපිළිම මන්දිරය හා දහම් පාසල් ගොඩනැගිල්ලයි.

සිව්වන මළුවෙන් ධර්ම ශාලාවට පිවිසුම් මාර්ගයයි. පස්වන මලුවෙන් තෙමහල් විහාර මන්දිරයේ දෙවැනි හා තුන්වැනි මහලට පිවිසිය හැක. පියස්සකින් ආවරණය වූ චෛත්‍යය පිහිටා ඇත්තේ තෙවැනි මහලේයි.


විහාර මන්දිරය

සයවෙනි මලුවේ සිල්වතුන් උදෙසා ඉදි වූ ධර්ම ශාලාව පිහිටා ඇත. සත්වෙනි මලුවේ ඓතිහාසික බෝධින් වහන්සේ වැඩ හිදී. මෙසේ ආරම්භක පිවිසුමේ සිට කෙමෙන් නැගයන මට්ටම් හතකින් මේ පුණ්‍ය භූමිය පිහිටා ඇත.

ආරම්භක භූමියෙන් නැගෙනහිරට මායිම්ව තවත් බිම් තීරයක නාහිමිපාණන් වහන්සේගේ සැලසුම් ශිල්පී ඤාණයෙන් පෝෂිත වී මට්ටම් කිහිපයකින් නැග යන පරිදි ඉදිකිරීම් කර ඇත.

ජල තටාක උයන් පසුකර මෙසේ ලඟා වන්නේ ස්වේත වර්ණාලේපිත සමාධි බුදුපිළිමය අභියසටයි.

පාලු මුඩු බිමක වසර 20 ක් තුල මෙවන් ඉදිකිරීමේ මාලාවක ඉංජිනේරුවරයා, සැලසුම් ශිල්පියා, ගෘහ නිර්මාණ ශිල්පියා නම් විහාරාධිපති වැලිවෙහෙර ඤාණීන්ද මහා ස්ථවිරයානෝම ය.

සියලු ඉදිකිරීම් සඳහා බරපැන දැරුවෝ නම් මේ තුන් හෙලයේ සැදැහැතියෝම ය.

මේ පිං බිමෙන් හා තෙරුවන් පිහිට ලබන්නට මානසික සහනශීලතාවය විදිනට පිං කැමති සහනය අපේක්‍ෂා කරන සැදැහැති දනන් හට මෙය කෙම්බිමකි.

ඤාණින්ද මහ ස්ථවිරපාදයානන් වහන්සේගේ ආත්ම විශ්වාසය පෙරදැරිව ආත්ම ශක්තිය මෙහෙයවමින් මෙවන් සුවිශේෂී පූජනීය ස්ථානයක් නිර්මාණය ඉදි කර ඓතිහාසික වයඹ පළාතේ පුදබිම් හා ඈදෙන වර්තමාන නියෝජනය උදෙසා නිර්මාණ ශිල්පීය ලක්‍ෂණයන්ගෙන්ද, අධ්‍යාත්මීය සුවය උදෙසා ද, සමාජ සත්කාර්ය ආගමික උන්නතිය වෙනුවෙන්ද, කැපවුණු ශ්‍රී සම්බෝධි විහාරය ඓතිහාසික කුරුණෑගල පුරවරයට ආලෝක ප්‍රදීපයක් බඳු ය.

 

 

වෙසක් අව අටවක පෝය

මැයි මස 16 වන දා සෙනසුරාදා අපරභාග 11.56 ට ලබයි. 18 වනදා සඳුදා පූර්ව භාග 1.45 දක්වා පෝය පවතී. සිල් සමා දන්වීම මැයි මස 17 වනදා ඉරිදා ය. මීළඟ පෝය මැයි මස 24 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 17

New Moonඅමාවක

මැයි 24

First Quarterපුර අටවක

මැයි 31

Full Moonපසෙලාස්වක

ජුනි 07

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]