UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ජීවිතාවබෝධයට නිසි මඟ

ජීවිතය යනු කුමක්දැයි මිහිපිට ජීවත්වන අප කිසිවෙකු ප්‍රත්‍යක්‍ෂ වශයෙන් අවබෝධ කරගෙන නොමැත. ජීවිතය කුමක්ද යන්න ප්‍රශ්නයට පිළිතුරු සැපයීම පිණිස අප ආගමික කර්තෘවරුන් දෙසට හෝ දාර්ශනිකයන් දෙසට හෝ හැරෙන්නේ අප තවමත් ප්‍රත්‍යක්‍ෂ වශයෙන් අවබෝධ කර ගනු නොලැබූ මේ ගැටලු සඳහා නිශ්චිත පිළිතුර ඔවුන් සතුව යැයි අප සිතා සිටින බැවිනි.

බොහෝ දෙනෙක් ජීවිතය යනු කුමක් දැයි සොයති. මේ අතර ඇතැමෙක් ජීවිතය වින්දනය කරන අතර තවත් සමහර දෙනෙක් ජීවිතය විඳවති. සැබවින්ම මෙය මෙසේ වන්නේ ඇයි? සැබෑ ජීවිතය යම් කිසිවක පවතිනවා නම් එය ඇත්තේ කොහිද? ඇතැම් විටෙක ජීවිතය පිළිබඳව අපට විශාල කලකිරීමක් දැනෙන අතර තවත් අවස්ථාවක දී අප ජීවිතයෙන් හෙම්බත් වන්නමු. ජීවත්වීම යනු ගැටලු හා අභියෝගවලට මුහුණදීම බව කිසියම් දැනුමක් අවබෝධයක් තිබෙන ඇතැම් කෙනෙක් පවසති. මේ කතාවෙහි කිසියම් හරයක් ඇති බව අපට හැඟෙන්නේ ජීවිතයෙහි අත්දකින්නට වන විවිධ කරදර හිරිහැර දුක් කම්කටොලුවලට මුහුණ පාන්නට සිදුවන අවස්ථාවල දී ය. සැබවින්ම ජීවිතය යනු කුමක් ද? අප ජීවත්වීමෙහි කිසියම් අර්ථයක් තිබේද? මෙම ප්‍රශ්නයට අවංකව පිළිතුරු සැපයීමට උත්සාහ දැරීමම කිසියම් විචාර පූර්වක චින්තනයක් ඔස්සේ සිත සකස් කිරීමට හේතුවක් ද වනු ඇත සමහර විටෙක මේ ප්‍රශ්නය සඳහා ඔබ පිළිපදිනු ලබන කිසියම් ආගමික ඉගැන්වීමක ගැබ්වන කිසියම් අර්ථකථනයක ජීවිතය පිළිබිඹු කොට දැක්වෙන ආකාරය අනුව ඔබ ද හිතන්න ක්‍රියාකරන්න පෙළඹෙන්න ඉඩකඩ තිබේ. එසේ නැතහොත් ඔබ දැඩි ලෙස විශ්වාස කරනු ලබන ජීවිතය විග්‍රහවන කිසියම් දාර්ශනික ආකාරයට අනුව ඒ පිළිබඳව දකින්නට සිතන්නට ක්‍රියාකිරීමට පෙළඹී තිබෙනවා වන්නට පුළුවන.

නමුත් අපට සැබවින්ම අවශ්‍ය වනුයේ කවුද හරි යන්න දැන ගැනීමට නොව කුමක් ද හරි යන්න දැනගැනීමටය. නමුත් ආගමික ඉගැන්වීම් හෝ දාර්ශනික මතවාද අපව පොළඹවා ඇත්තේ කුමක් ද හරි යන්න දැකීමට හෝ අවබෝධ කිරීමට නොව කවුද හරි යන්න ගැන කිසිදා නොනවතින මතවාදීමය අරගලයක අප සදාතනිකව සිරකොට තැබීමට ය. ඒ ඔස්සේ අපට හමුවන අසන දකින හැම දෙනාම උත්සාහ කරනුයේ කුමක් හෝ ආගමික හෝ දාර්ශනික මතවාදයක් අප මත පැටවීමට ය. නැතහොත් තමන්ගේ අදහස් හා මතවාද ගෙඩි පිටින් ගිල්ලවා අපව ඒ ආගමික ඉගැන්වීම්වල හා දාර්ශනික මතවල මානසික ගොදුරක් කර ගැනීම පිණිස විනා ඒ හැර කිසිදු විචාර පූර්වක චින්තනයකට මොනයම්ම හෝ අවකාශයක් ඒ ඔස්සේ අප තුළ පහළ නොකරනු ලැබීමට වෑයම් කරනාකාරය අවබෝධ කරගත හැකි ය. වෙනත් විදිහකින් පවසතහොත් අප සිතන්නට උත්සාහ කරන පළමු නිමේෂය තුළදීම අපගේ චින්තනයට වැටකඬුළු දමා වසන්නට ඒ සිතීමට ගනු ලබන පළමු උත්සාහය මඟින්ම අපව පොළඹවාලීම නිසා අපගේ උත්සාහය තුළම චින්තන සිරකරුවකුවීමට සිදුවීම අතිශයෙන්ම අවාසනාවන්ත සිදුවීමකි. නමුත් අප ජීවත්වන සාමාන්‍ය ලෝකයෙහි මෙය ඉතාමත්ම සාමාන්‍ය සිදුවීමකි. කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් මෙම තත්ත්වය තුළ ස්වකීය ජීවන පැවැත්ම සකසා ගෙන ජීවිතය ගෙනයාමට අපට සිදු වේ. ඒ නිසා පවතින මේ තත්ත්වය අවබෝධ කරගෙන සිටම එයට මුහුණදීමට මනා පිටිවහලක් වනු ඇත.

ජීවිතය යනු කුමක්දැයි මිහිපිට ජීවත්වන අප කිසිවෙකු ප්‍රත්‍යක්‍ෂ වශයෙන් අවබෝධ කරගෙන නොමැත. ජීවිතය කුමක්ද යන්න ප්‍රශ්නයට පිළිතුරු සැපයීම පිණිස අප ආගමික කර්තෘවරුන් දෙසට හෝ දාර්ශනිකයන් දෙසට හෝ හැරෙන්නේ අප තවමත් ප්‍රත්‍යක්‍ෂ වශයෙන් අවබෝධ කර ගනු නොලැබූ මේ ගැටලු සඳහා නිශ්චිත පිළිතුර ඔවුන් සතුව යැයි අප සිතා සිටින බැවිනි. මේ ලෝකයෙහි අතීතයෙහි ජීවත් වූ විවිධ ආගමික කර්තෘවරුන් හා දාර්ශනිකයන් ජීවිතයෙහි පරමාර්ථය සාක්ෂාත් නොකළ බව හෝ ඔවුන් අසාර්ථක පුද්ගලයන් බව කියන්නට ගන්නා වෑයමක් ලෙස මෙලෙස පැවසීම වරදවා නොගත යුතුව ඇත. මාහට ඔබට පවසා සිටින්නට අවශ්‍යව ඇත්තේ කවුරුන් විසින් කුමක් අවබෝධ කරගනු ලැබූවත් තවමත් මමත්, ඔබත් ජීවිතයෙහි නියම රහස අවබෝධ කර නොගත් පුද්ගලයන් බව පෙන්වා දීම තුළින් කිසියම් විචාර පූර්වක චින්තනයකට පදනම සකස් කිරීමට ය. වෙනත් ලෙසකින් කිවහොත් ඔබගේ බුද්ධියෙහි දොරගුළු විවර කිරීමට ය. බුද්ධියට දොරගුළු දමා සවිමත්ව වැසීම මඟින් කිසි දිනෙක කිසිවෙකුහට තමාගේ ජීවිතයෙහි අර්ථය නියමාකාරයෙන් වටහා ගැනීමට අවශ්‍ය ඉඩකඩ නොලැබේ. මධ්‍යස්ථ බව, විචාර පූර්වක ස්වභාවය හා හැඟීම්වලට වහල්ව ක්‍රියා කිරීමෙන් තොරබව ජීවිතාවබෝධයට හා ජීවිත සාර්කත්වයට මඟ සලකුණු වේ.

ඒ හැරෙන්නට ඔබව කිසියම් ආගමික මතවාදයක කොටු කර තැබීමට වෑයම් කිරීම මගින් ද සිදු වන්නේ එකී ආගමික මතවාදය වඩ වඩා ප්‍රචලිත කිරීමට මඟ පෑදීම විනා ජීවිතයෙහි නියමාර්ථය අවබෝධ කර ගැනීමට මාවතක් සැකසීම නොවේ. මෙසේ පැවසූ කළ ඔබ කිසියම් ආගමික චින්තනයක හෝ දාර්ශනික මතවාදයක සැදැහැයෙන් බැඳුනු පුද්ගලයෙකු වී නම් මා සමඟ උරණ වනවා ඇත. කුඩාකල පටන්ම දැඩි ලෙස ආගමික වත්පිළිවෙත්වලට ප්‍රායෝගිකවම නැඹුරු වූ පුද්ගලයෙකු වූ හෙයින් විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය තුළට ප්‍රවේශවීමත් සමඟම එහි අධ්‍යාපන රටාව නැඹුරු වනුයේ විචාර පූර්වකව හා පර්යේෂණාත්මකව කරුණු අධ්‍යයනයට බැවින් එහි අන්තර්ගත විද්‍යාත්මක චින්තනය හා මා තුළ පූර්වයෙන් මුල් බැසගෙන පැවති දැඩි ශ්‍රද්ධා මූලික ආගමික චින්තනය හා දාර්ශනික මතවාද අතර ද එවන් නිහඬ චින්තනමය සංඝට්ඨනාත්මක අවස්ථාවන් මගේ සිත තුළත් ඇති වූ බව මට මතකය. එයින්ද නොනැවතී එවන් විචාර පූර්වක විද්‍යාත්මක චින්තන ඔස්සේ කරුණු ගවේෂණය කරන පුද්ගලයන් මිථ්‍යා දෘෂ්ටිකයන් හා අන්‍යයන් නොමග හෙළන්නන් හැටියට සැලකීමට පවා පුරුදු වී සිටියෙමි. නමුත් මා සිර වී සිටි දෘෂ්ටිමය රාමුවෙන් බැහැර වී මධ්‍යස්ථ ලෙස ඒවා නිරීක්‍ෂණය කිරීමට විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් හා ඉන් අනතුරුව ශාස්ත්‍රීය පර්යේෂණ කාර්යයන්හි නිරතවීමෙන් ලැබූ අත්දැකීම් තුළින් වටහාගනු ලැබූ බැවින්, පසු කාලීනව වඩාත් සාධාරණ ලෙස කල්පනා කිරීමට මා ලැබූ ශාස්ත්‍රීය ශික්‍ෂණය නිසාම හැකිවිය. එලෙස දැකීම සමඟම වඩාත් ගැඹූරු ස්ථිර ලෙස හා හෘදයාංගමව විද්‍යාත්මක චින්තනය ඔස්සේ ආගම හා දර්ශනය සමග බද්ධව වෘත්තීමය ජීවිතය සාර්ථක කර ගැනීමට එය මනා පිටිවහලක් විය.

ඇතැම් විටෙක දිගු කලක් ජීවිතයෙහි ගැටලු හා අභියෝගවලට මුහුණදීම නිසා ඔබ ජීවිතයෙහි බොහෝ ජීවන අත්දැකීම් විඳ ඇති පුද්ගලයෙකු වන්නට පුළුවන. ඔබ ළමා වියෙහි, යොවුන් වියෙහි, මැද වියෙහි හෝ මහළු වියෙහි දිවි ගමන ගෙනයන පුද්ගලයෙකු හෝ වන්නට පුළුවන. නිවසෙහි පවුල් පසුබිම තුළ, අධ්‍යාපන ආයතනයන්හි හා සේවය කරන ස්ථානයන්හි එමෙන්ම සමාජය තුළ විවිධ යුතුකම්, වගකීම් සිත තුළ දරමින් කටයුතු කරන්නෙකු විය හැකි ය. වෘත්තියෙන් ඔබ වෛද්‍යවරයෙකු, ඡ්‍යොතිෂවේදියෙකු, ජන සන්නිවේදකයෙකු, ගුරුවරයකු හෝ එවැනි කිසියම් වෘත්තියෙකු හෝ ලෙස කටයුතු කිරීමේ දී ඔබගේ වෘත්තීය ප්‍රවීණතාව වඩාත් ඔපවත් වී ඔබ සමාජයෙහි වඩා පිළිගැනෙන සුළු පුද්ගලයෙකු ලෙස කීර්තියට පත් වන්නේ ජීවිතය පිළිබඳව ඔබ දරන ආකල්පය මත බව ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කිරීමට හැකි ය. වෙනත් ලෙසකින් කිවහොත් ඔබ විසින් වර්තමානයෙහි සමාජය තුළ දරනු ලබන ස්ථානය කුමක් වූවත් ඒ හැම කටයුත්තක දීම ඔබ තුළ ඇති ජීවිතාවබෝධය, අන්‍යයන්හට ඔබව නියමාකාරයෙන් අවබෝධ කර ගැනීම පිණිස මඟ පෙන්වන්නෙකු ලෙස ක්‍රියා කරනු ලබයි. සමාජයෙහි අන්‍යයන් අතර වඩාත් පිළිගැනීමට ලක් වන්නේ ද දිගු කලක් මුළුල්ලේ තමන්ගේ සාරධර්ම වටිනාකම තහවුරු කරගෙන ජීවත්වනු ලබන්නේ ද හුදෙක් කිසියම් ක්‍ෂේත්‍රයක් පිළිබඳව ඇති කරගනු ලැබූ විශේෂඥ දැනුම හෝ අන්තර් ඥානය හෝ ශාස්ත්‍රාලයීය කුසලතාව හෝ නිසාම පමණක් නොව එකී පුද්ගලයා තුළ ස්වයංව ඇතිකරගෙන තිබෙන ජීවිතාවබෝධයයි. මේ ජීවිතාවබෝධය ඔහු කරන කියන සෑම කටයුත්තක දීම පාහේ සෙවණැල්ලක් සේ නිරන්තරයෙන් පසුපසින් රැඳී සිටිමින් සමාජයෙහි අන්‍ය පුද්ගලයන් අතර එකී පුද්ගලයා ජනපි‍්‍රය හා වඩාත් පිළිගන්නා සුළු පුද්ගලයෙකු බවට පත් කරවයි. සමාජයෙහි සමාජ සම්බන්ධතා පැවැත්වීමේ දී අන්‍යයන් හොඳ හා බුද්ධිමත් පුද්ගලයෙකු ලෙස හැඳින්වීමට හා එලෙස පිළිගනු ලැබීමට මුල් වන්නේ එලෙස තමන් විසින් ලබන ලද ජීවිතාවබෝධය මත පිහිටා සිට ක්‍රියාකිරීම වේ.

නමුත් ඒ අතරතුර දී ආගමික හා දාර්ශනික අදහස්වල අන්තවාදී හා අන්ධ ලෙස ඇලී ගැලී සිටීම නිසා එයම හේතුවක් කරගනිමින් සමාජයෙහි බොහෝ විෂම හා කෛරාටික අදහස් ඇති පුද්ගලයන් විසින් රවටනු ලැබීමට හා විවිධ සමාජ වල පහසු ගොදුරක් වීමට ද අවශ්‍ය වන ඉඩකඩද වර්තමාන සමාජයෙහි පවතින සාරධර්ම නොවන සමාජ වටිනාකම් නිසාම මේ තුළම නිර්මාණය වී නොමැත්තේ යැයි පැවසීමට අපහසු ය. මෙලෙස විවිධ ප්‍රද්ගලයන්ගේ රැවටීම්වලට හසුව කාලය, ශ්‍රමය හා ධනය කැප කොට පසුව විවිධ ආගමික හා දාර්ශනික චින්තන දෙස වපරැසින් බැලීමට යොමු වන්නන් ද විරළ නොවේ. එයින් පෙන්නුම් කරනු ලබන්නේ එවන් පුද්ගලයන් තුළ ඇත්තා වූ ජීවිතාවබෝධයෙහි මඳ බවයි. ජීවිතාබෝධය යනු යමක් කෙරෙහි දැඩි හා අන්ධ ලෙස එල්බ සිටිමින් විශ්වාස කිරීම නොවේ. එසේම වර්තමාන සමාජයෙහි දිවි ගෙවීමේ දී ආත්මාරක්‍ෂාව උදෙසා සැකයන් කිසියම් කාර්යභාරයක් සිදුවන බව පෙනුනත්, අස්වාභාවික ලෙස නිරන්තර සැකයෙන් යුක්තව දිය කොරහේ කිඹුලන් දකින මානසිකත්වයෙන් යුතුව කටයුතු කිරීම ද ජීවිතාවබෝධය ඇති පුද්ගලයෙකුගේ ලක්‍ෂණයක් නොවේ. සැකය වර්ධනය වී ගිය විටෙක එක්තරා අවස්ථාවක දී එය මානසික රෝගී අවස්ථාවක් දක්වා විකාශය වන බව වෛද්‍යවරු දනිති.

වඩාත් වැදගත් වන්නේ ජීවිතය පිළිබඳ දාර්ශනික අර්ථකථන ඉදිරිපත් කිරීමට වඩා සාර්ථකව හා ප්‍රායෝගිකව ජීවිතයට මුහුණදීමයි. ඕනෑම කෙනෙකුගේ උපතේ සිට මරණය දක්වා ඇති සිද්ධි හා ක්‍රියා සමුදාය ජීවිතය ලෙස සරලව පැහැදිලි කළ හැකි ය. මේ අනුව උපතේ සිට මරණය දක්වා දිවෙන මෙම සිද්ධි හා ක්‍රියා සමුදායට සම්පූර්ණයෙන්ම මුහුණ දුන් පුද්ගලයාම වඩා හොඳින් ජීවිතය අවබෝධ කරගත් නැතැත්තා ලෙස සැලකූ කළ සැබවින්ම නියමාකාරයෙන් ජීවිතය යනු කුමක්දැයි අපට පහදා දිය හැකි ජීවමාන කිසිවෙකු අපට හමු නොවේ. මෙය වඩාම හොඳ මනුෂ්‍යයා නූපන් තැනැත්තා මිය ගිය තැනැත්තා ය යන කියමනට මඳක් සමානත්වය ගනු ලබන්නකි.

මින් අදහස් වන්නේ ජීවිතයෙහි සත්‍ය පරමාර්ථය අජීවමානය හෝ අවිධ්‍යාමානය යන තත්ත්වය නොව ඕනෑම පුද්ගලයෙකු ජීවත්වීමේ දී එකී පුද්ගලයා අතින් අතපසුවීම් හා වැරැදි සිදුවිය හැකි බවත් එය මනුෂ්‍යත්වයෙහි ස්වාභාවික ධර්මතාවයක් බවත් අප විසින් තේරුම් ගත යුතු බවයි. ජීවිතයෙහි අගය වඩාත්ම හොඳින් අවබෝධ වන්නේ ද සියලු සුව පහසුකම් මධ්‍යයේ ජීවත් වන්නාට නොව මරණයට වඩාත් කිට්ටු තැනැත්තාහටය යන්න පිළිගනු ලැබූ සත්‍යයකි. එසේම අන්‍යයන්ගේ ජීවිතයෙහි වටිනාකම වඩාත් හොඳින් අවබෝධ කරගත් තැනැත්තා වන්නේ තමාගේ ජීවිතය මරණය නැමැති නැවතුම්පළෙහි දී නිසැක වශයෙන්ම නිමවන බව වඩාම හොඳින් තහවුරුව අවබෝධ කරගනු ලැබූ තැනැත්තාමය. ජීවිතය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට නම් පළමුව මරණය යනු කුමක්දැයි වටහාගෙන තිබීම වැදගත් යැයි සැලකෙන්නේ උපන් හැම සත්වයාම මරණයට පත්වෙන බැවිනි. උපත හා මරණය ජීවිතයෙහි අවිනිශ්චිත හා නිෂ්පුද්ගල ස්වරූපය විද්‍යාමානිත එක්තරා පැතිකඩවල් ලෙස ද සැලකිය හැකි ය.

අප ඉදිරියෙහි ඇත්තේ ඉතාමත් ශීඝ්‍රගාමී සමාජයකි. සමාජ වටිනාකම්, පුරුෂාර්ථ, සාරධර්ම හා ප්‍රතිමාන වේගයෙන් වෙනස්වෙමින් යයි. එයට අනුකූලව සමාජ සම්බන්ධතා ද විවිධ හැඩතල ගනියි. විටෙක අක්‍රමවත්, විෂම, අසංවිධානාත්මක හා විකාරරූපී ස්වරූපයක් උසුලනු ලබයි. ඒ තුළ හිරවී තෙරපී මිරිකී හෙම්බත් වන මානවයා තුළ ජීවිතයට ඇති වටිනාකම පවා දිනෙන් දින ක්ෂයව යයි. මෙවන් සමාජ වාතාවරණයක් මැද ජීවත්වන පුද්ගලයන් හට මෙවැනි විචාර පූර්වක සිතිවිලි වර්ධනය කර ගැනීම තුළින් ලැබිය යුතු චින්තන සංහඳියාවන් හා මානසික ආතති සමනයන් කෙතරම් අවශ්‍ය වූවත්, අවසනාවකට මෙන් තවමත් බොහෝ දෙනෙකු මෙම විෂය ක්‍ෂේත්‍රයන්හි ගැබ්වන ජෛව, වෛද්‍ය හා මනෝ විද්‍යාත්මක වටිනාකම තවමත් හරිහැටි අවබෝධ කොටගෙන නොමැති බැවින් එවැනි සිතා බැලීම් කෙරෙහි යොමු කිරීමට ලැබෙන අවස්ථා පවා වර්තමාන යුගයෙහි අතිශයින්ම දුර්ලභ වී තිබේ. අතීතයෙහි දී ආගම හා දර්ශනය වෙත පමණක් තල්ලු කොට පසෙකට දමා තිබූ මානව ජීවිතය පරිපූර්ණවීම සඳහා තුළ තිබිය යුතු සාරධර්ම හා ප්‍රතිමානවල ජෛව හා වෛද්‍ය විද්‍යාත්මක වටිනාකම බටහිර සංවර්ධිත රටවල් මැනවින් වටහාගෙන තිබීම නිසා විද්‍යාත්මක චින්තනයෙන් යුක්තව එකී විෂය ක්‍ෂේත්‍රයන් වර්ධනය කොට එම රටවල සම්මත අධ්‍යාපන රටාව තුළට සාර්ථකව අන්තර්ගත කර ඇත.

ජීවිතයෙහි සැබෑ හරය අවබෝධ කර ගැනීමට කිසියම් ආගමක හෝ දර්ශනයක ඉගැන්වීම් හැදෑරීම අනිවාර්යය නොවේ. ජීවිතය වනාහී අප ඉදිරියෙහි සැබවින්ම පවතින යථාර්ථයයි. පවතින යථාර්ථය හැඳිනීම පිණිස බැහැරින් අර්ථකථන ආදේශ කිරිම යෝග්‍ය යැයි පිළිගත හැකි නොවේ. එවැනි දේ මඟින් විවෘත මානසික මට්ටමකට බාධා ඇතිවන බැවිනි. විවෘත මානසික මට්ටමකින් තොරව විද්‍යාත්මක චින්තනය මතු කළ හැකි නොවේ. යම් කිසිවක සැබෑ ස්වරූපය ඒ දේ පවතින අවස්ථාවෙහිම එය තුළින්ම දැකිය යුතු ය. අර්ථකථනවලට තමාගේ චින්තනය සීමා කිරීම තමාගේ දෙඅතින් තමාගේම දෙනෙත් වසා ගැනීම හා සමාන ක්‍රියාවකි. මෙයින් ලොව තුළ විද්‍යාමාන කිසිදු ආගමික හෝ දාර්ශනික චින්තනයක ශ්‍රේෂ්ඨත්වය හා වටිනාකම පහළ හෙළන්නට උත්සාහ කරතැයි හෝ විද්‍යාත්මක චින්තනය මුළුමනින්ම අන්තර්ගතව ඇත්තේ පුස්තකාලවල, පර්යේෂණාංශවල හෝ විද්‍යාගාරවල පමණක් යැයි වරදවා වටහා නොගත යුතු ය. ජීවිතය පිළිබඳව විද්‍යාත්මක චින්තනය මෙහෙයවා නිරීක්‍ෂණය හා පර්යේෂණ කිරීමට හොඳම ස්ථානය නම් තමාගේම චිත්තාභ්‍යන්තරයයි. සියලු මානසික ආතතීන්ගෙන් හා ක්ලමථ මානසික ආවේගයන්ගෙන් නිදහස්වීම් මාර්ගය තමාගේම ජීවිතයෙහි යථාර්ථය විශදව නිරීක්‍ෂණය කිරීම හා ජීවිතය කෙරෙහි එහි උපත හා මරණ යන පැතිකඩවල බලපෑම තමාගේ හා අන්‍යයන්ගේ ජීවිත ස්වභාවය කෙරෙහි උපයුක්ත වන ආකාරය සන්සන්දනාත්මකව විමසීම මඟින් ජීවිතාවබෝධය කෙරෙහි වඩාත් තර්කානුකූල පදනමක් සපයනු ලබන බව පෙන්වා දිය හැකි ය.

බක් අව අටවක පෝය

අප්‍රේල් 17 වන දා සිකුරාදා පූර්ව භාග 05.51 ට ලබයි.18 වන දා සෙනසුරාදා පූර්ව භාග 08.20 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම අප්‍රේල් 17 වනදා සිකුරාදාය.

මීළඟ පෝය අප්‍රේල් 24 වනදා සිකුරාදා.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 17

New Moonඅමාවක

අප්‍රේල් 24

First Quarterපුර අටවක

මැයි 01

Full Moonපසෙලාස්වක

මැයි 08

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]