UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

තිස් වසරක ශේෂපත්‍රය

රූපවාහිනී මාධ්‍ය විසින් හසුරුවන සමාජයක කොටස්කරුවන් බවට අප පත් වී හමාර ය. බහුතරයක ගේ දෛනික කාලසටහන පවා රූපවාහිනී ප්‍රවෘත්ති, ටෙලිනාට්‍ය හෝ ක්‍රීඩා විකාශයන්ට අනුකූල ව සකස් කැරගෙන තිබේ. එ පමණක් ද නො ව භාණ්ඩ, විලාසිතා හා කලා අංග සමාජගත කිරීම සඳහා රූපවාහිනී මාධ්‍ය කැර ඇති බලපෑම අති විශාල ය. රූපවාහිනිය මෙ රටට හඳුන්වා දී ගත වූ දශක තුනක කාලය තුළ හැදී වැඩුණු පරම්පරාව විසින් මේ මාධ්‍යය සම්පූර්ණයෙන් ම හසුරුවන තත්ත්වයක් තවමත් උදා වී නැත. එ සේ තිබිය දී රූපවාහිනී මාධ්‍ය සංස්කෘතිය අප සමාජයට උරුම කැර ඇත්තේ කුමක් ද?

කොළඹ විශ්වවිද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය සරත් විජේසූරිය විසින් ලියන ලද පුවත්පත් ලිපි ඇතුළත් “විනයක් නැති රටක” නමැති කෘතියෙහි එක් කුඩා ඡේදයක් උපුටා දැක්වීමෙන් අප නෙළාගත් රූපවාහිනී මාධ්‍ය අස්වැන්න ගැන යම් අවබෝධයක් ලබා ගැනීමට පුළුවන.

‘ජාතික රූපවාහිනියේ සිටි අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක් එක්තරා දැන්වීමක් ප්‍රචාරය කිරීමට අවසර නුදුන්නේ ය. ඒ දැන්වීමේ දී වර්ණ ගැළපීම සඳහා කාන්තා යට ඇඳුමක් සොරකම් කරයි. මෙය මානසික රෝගයකි. ඒ රෝගය සමාජගත නො කළ යුතු ය යන දැනුම මත පිහිටා ඔහු මේ දැන්වීම ප්‍රචාරය කිරීමට ඉඩ නුදුන්නේ ය. ඔහු ඒ තනතුරින් ඉවත් වූ පසු ඒ දැන්වීම ප්‍රචාරය කෙරිණ.’

එහෙත්, 1982 අංක 06 දරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනතේ 7 (2) (අ) වගන්තිය යටතේ දැක්වෙන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ එක් යුතුකමක් මෙ සේ ය.

‘මනා රසවින්දනයට නැතහොත් ශිෂ්ටත්වයට හානිකර හෝ අපරාධ කිරීමට පොළඹවන හෝ කැළඹීමට තුඩු දෙන හෝ යම් වාර්ගික හෝ ආගමික හැඟීම් වලට හානිකර හෝ මහජන හැඟීම්වලට හානි කළ හැකි කිසිවක් ඒ වැඩසටහනක ඇතුළත් නො කැරෙන බවට වගබලා ගත යුත්තේ ය.’

ෂාන් වික්‍රමසිංහ, අනිල් විජේවර්ධන හා බොබ් ක්‍රිස්ටි යන මහත්වරුන් විසින් 1979 අප්‍රේල් මස 14 වන දින ආරම්භ කළ ස්වාධීන රූපවාහිනී සේවය හෝ 1982 පෙබරවාරි මස 15 වන දා උපන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මෙන් ම එම්.ටී.වී, සිරස, ඊ.ටී.වී, ඩයිනවිෂන්, ටී.වී. ලංකා, ස්වර්ණවාහිනී, මැක්ස්, දෙරණ, බෞද්ධයා, ටී.එන්.එල් ආදී රූපාවාහිනී නාලිකා සමාජ විරෝධී යැයි චෝදනා කිරීම අප ගේ අරමුණ නො වේ. 2004 වසරේ රට මුහුණ දුන් සුනාමි ව්‍යසනය හමුවේ සියලු රූපවාහිනී සේවා එකමුතු ව වගකීමෙන් යුතු ව මාධ්‍ය භාවිත කළ ආකාරය අපට මතක ය. ඊට අමතර ව ජනතාව දැනුවත් කිරීම, විනෝදය ලබා දීම, කලාව හා ක්‍රීඩාව පෝෂණය කිරීම ආදී බොහෝ සේවාවන් මේ නාලිකාවන් මඟින් ඉටු කැරෙන බව ද අපි දකිමු. එහෙත් මේ සියලු රූපවාහිනී නාලිකාවන් සිය ජාතික වගකීම නිසි ලෙස ඉටු කැරේ ද යන්න සැක සහිත ය.

අපි උදාහරණ වශයෙන් වැඩසටහන් කිහිපයක නම් ගෙන බලමු. ශ්‍රී ලන්කන් ලයිෆ් (ජාතික රූපවාහිනිය) ලයිව් ඇට් ෆිෆ්ටි ෆයිව්, ඩාන්සින් ස්ටාර් (සිරස), ලයිව් ඇට් එයිට්, කොමඩ් ස්ටාර් (ස්වර්ණවාහිනිය), ලිට්ල් ස්ටාර්, සිටි ඔෆ් ඩාන්ස් (දෙරණ) යන සියලු වැඩසටහන් සිංහල භාෂාවෙන් මෙහෙයවන ඒවා ය. සිංහල වැඩ සටහනකට පවා ඉංගී‍්‍රසි නම් යෙදීමෙන් ජනතාවට දෙන පණිවුඩය කුමක් ද?

කිසිදු ප්‍රමිතියකින් තොර ව විකාශය කැරෙන වෙළෙඳ දැන්වීම්, අන්ධානුකරණයෙන් යුත් විදේශීය වැඩසටහන් ආදියට මේ සියලු නාලිකා ගොදුරු වී ඇත. පොදුවේ ගත් කල දක්නට ලැබෙන ප්‍රවෘත්ති නිපදවීම, අර්ථ කථනය, මත සමාජගත කිරීම, ඒත්තු ගැන්වීමේ උපක්‍රම, සැඟවුණු න්‍යාය පත්‍ර අනුව කටයුතු කිරීම ආදී දුබලතා හඳුනා ගැනීමට බහුතර ප්‍රේක්‍ෂක පිරිසකට අවබෝධයක් ඇතැයි සිතමු. එහෙත්, ඇතැම් නාලිකාවන්හි ක්‍රියාත්මක වන සංස්කෘතික ආක්‍රමණයට ජනතාව නො දැනුවත් ව ම ගොදුරු වෙති. හින්දි සිනමා නර්තන අනුකරණ රැල්ල අද වන විට පෙර පාසල් අවධිය පවා ආක්‍රමණය කැර අවසන් ය. රූපවාහිනී මාධ්‍ය මෙ රටට සම්ප්‍රාප්ත වීමට පෙර දැඩි පාලනයකින් යුතු ව පරාජය කළ ඉන්දීය ගී තනු අනුකරණයට රූපවාහිනී නාලිකා යළි පණ දෙන ආකාරය කනගාටුදායක ය. දෙරණ නාලිකාව පැවැත් වූ ඩ්‍රීම් ස්ටාර් ආධුනික ගායනා තරගයේ එක් දිනක් හින්දි ගී තනු අනුකරණයෙන් නිර්මාණය කළ නවතම සිංහල ගීත සඳහා වෙන්කැර තිබිණ. මෙය, සුනිල් ශාන්ත, ආනන්ද සමරකෝන්, අමරදේව ආදී විශිෂ්ට සංගීතඥයන් විසින් මහත් පරිශ්‍රමයක් දරා වපුරන ලද දේශීය කලා කෙත වැනසීමක් නො වේ ද?

දැනට සෑම රූපවාහිනී නාලිකාවක ම උත්සාහය වී ඇත්තේ යථාර්ථවාදී සම්ප්‍රදාය ලෙසට හඳුන්වන බටහිර ආකෘතියක් යටතේ ගායනා හා වෙනත් තරග පැවැත්වීම ය. ටෙලිනාට්‍ය මඟින් දිනාගත් ප්‍රේක්‍ෂක සමූහය ‘රියැලිටි’ වැඩසටහන් සමඟ රඳවා ගැනීමේ උත්සාහය මිස මෙරට රූපවාහිනී සේවාවන්ට වෙනත් විකල්පයක් ඇති බවක් නො පෙනේ. රූපවාහිනී මාධ්‍ය මෙ රටට හඳුන්වා දී තිස් වසරක් සපිරි මේ මොහොතේ හෝ දේශීය සංස්කෘතිය හා ජාතික අවශ්‍යතාව මත පදනම් වූ මාධ්‍ය භාවිතයකට යොමු වන්නේ නම් මැනවි.

බක් අව අටවක පෝය

අප්‍රේල් 17 වන දා සිකුරාදා පූර්ව භාග 05.51 ට ලබයි.18 වන දා සෙනසුරාදා පූර්ව භාග 08.20 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම අප්‍රේල් 17 වනදා සිකුරාදාය.

මීළඟ පෝය අප්‍රේල් 24 වනදා සිකුරාදා.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 17

New Moonඅමාවක

අප්‍රේල් 24

First Quarterපුර අටවක

මැයි 01

Full Moonපසෙලාස්වක

මැයි 08

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]