UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරජාණන්වහන්සේ සහ බුදු දහමේ ශ්‍රේෂ්ඨත්වය

ගෞතම බුදුරදුන් ශ්‍රේෂ්ඨවන්නේ උන්වහන්සේ මුනිවරයකු හෝ ආගමික ප්‍රතිසංස්කාරකයකු වීම නිසා පමණක් නොවේ. ඇයි ද යත්, එතුමෝ නොපසුබස්නා වෙර ඇත්තෙක් ද, අධිෂ්ඨාන පරවශ වූවෙක් ද, සෘජු

පෞරුෂ්‍යයක් ඇත්තෙක් ද, වන නිසා ය. සිය ගම්භීර ප්‍රාමාණික චින්තනයට අදාළව සකසන ලද ප්‍රායෝගික සදාචාර විනය නීති පද්ධතිය සහ පෙරදිග  ආසියාවේ සමස්තය පුරා පතළ  සංස්කෘතිය මූර්තිමත් කළ  සංවිධානයකට පදනම දැමූ නිසාත්,  උන්වහන්සේගේ  ශ්‍රේෂ්ඨත්වය කිසිසේත් ලඝු නොවන්නේ ය.

ආචාර්ය නලිනක්ෂ දත් පඬිවරයාගේ Greatness of Buddha and Buddhism මැයෙන් වූ ලිපියේ පරිවර්තනයකි. පරිවර්තනය සඳහා එය උපුටා ගැනුණේ  Mahabodhi Centenary Commemorative Volume - SAMBHASHA  කලාපයෙනි. කතුවරයා එය ලියා ඇත්තේ 1951 දී ය. මේ ලිපිය අදට වඩාත් වැදගත් වන්නේ එදා අග්‍රගණ්‍ය ඉන්දියා පඬිවරයකු විසින් ඉන්දියාව සම්බන්ධයෙන් පළ කොට ඇති අනාවැකිය නිසා ය.

වෛශ්‍යාඛ – පූර්ණමී, නිසැකයෙන් ම ඉන්දියා ඉතිහාසයේ විශිෂ්ට දිනයකි. ඇයි ද යත්, ඉන්දියාවට අභිමානයක් වූ මහා පුරුෂයකුගේ උපතින් ද, සත්‍යවබෝධයෙන් ද, මේ ක්ෂණ භංගුර ලෝකයෙන් අදිසි බවට යෑමෙන් ද සිහි කටයුතු දිනයක් වූ හෙයිනි.

ඉන්දියාවෙහි බුදුන් වහන්සේගේ සම්ප්‍රාන්තිය සිදුවූයේ, ගී‍්‍රසියේ සොක්‍රටීස් හා ප්ලෝටෝගේත්, චීනයේ කොන්ෆියුසියස්ගේත්, පර්සියාවේ සොරෝ අස්තර්ගේත් සංවාදයන්ගෙන් ලෝකය ඇලළී යමින් තිබියදී ය. ඒ අතර ඉන්දියාවේත්, බ්‍රාහ්මණ දාර්ශනිකයෝ උපනිෂද් සංවාදයෙන් ද, ජෛනයෝ සත්‍යද්වාද සහ අනේකාන්තවාදයෙන් ද, පකුධ කච්චායන සහ තවත් අය ඔවුනොවුන්ගේ භෞතික හා අර්ධ භෞතිකවාදී චින්තනයන්ගෙන් ද වාදාරෝපණයේ අභියෝගශීලී වූහ. බෞද්ධ පාඨග්‍රන්ථයන්හි, මේ විචාරාත්මක යුගය විස්තර කැරෙන අතර, තවත් එවන් වාද ගැන ද සඳහන් වෙයි. එනම් අවමානයට පත් නොයෙක් ව්‍රත සහ ආගමික අපවාද යි. සීමාව ඉක්මවා ගිය බ්‍රාහ්මණික පූජාවිධි සදාචාරාත්මක අගයෙන් පිරිහෙමින්, බෙහෙවින් අවුල් සහගත ක්‍රමයකට වැඩී ගොස් තිබිණ. වර්ණාශ්‍රම ධර්ම සම්ප්‍රදාය තරයේ ම යල් පැන ගොස්, පල රහිත බවට පත් වූවක් විය. සම්ප්‍රදායෙහි එන හැටියඨ බුදුන් වහන්සේ ලොව පහළ වූයේ එවන් මිථ්‍යා වාද නැති කරන්නට ය.

බුදුන් වහන්සේගේ මුල් ජීවන සමය විවිධ ආගමික ව්‍යාපාර පිළිබඳ සෘජු පෞද්ගලික අධ්‍යයනයක් පිණිස කැපවූවක් විය. ඒ අනුව, පවත්නා ආගමික වත්පිළිවෙත් හා විශ්වාසයනට එරෙහිව සිය ආක්‍රමණික පිළිවෙත දියත් කළේ ඒවායේ නිශ්ඵලත්වය තහවුරු ලෙස පිළිගැනීමෙන් පසුව ය. ඉක්බිති සිය නව චින්තනය හා පරමාදර්ශ ඉදිරිපත් කරන ලදී.

ගෞතම බුදුරදුන් ශ්‍රේෂ්ඨ වන්නේ උන්වහන්සේ මුනිවරයකු හෝ ආගමික ප්‍රතිසංස්කාරකයකු වීම නිසා පමණක් නොවේ. ඇයි ද යත්, එතුමෝ නොපසුබස්නා වෙර ඇත්තෙක් ද, අධිෂ්ඨාන පරවශ වූවෙක් ද, සෘජු පෞරුෂ්‍යයක් ඇත්තෙක් ද, වන නිසා ය. සිය ගම්භීර ප්‍රාමාණික චින්තනයට අදාළව සකසන ලද ප්‍රායෝගික සදාචාර විනය නීති පද්ධතිය සහ පෙරදිග ආසියාවේ සමස්තය පුරා පතළ සංස්කෘතිය මූර්තිමත් කළ සංවිධානයකට පදනම දැමූ නිසාත්, උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය කිසිසේත් ලඝු නොවන්නේ ය.

බ්‍රාහ්මණාගම සිය පූජක සංස්ථාවේ ආධිපත්‍යයෙන් ඉන්දියානු භූමිකාව තුළ ගුඹුරින් මුල්බැස තිබිණ අපමණක් චින්තකයන් එහි අතාර්කීකත්වය හඳුනා ගෙන සිටියත්, එළිපිට එයට එරෙහිව අභියෝගයක් දියත් කරන්නට ඒ කිසිවකුට දිරියක් තිබුණේ නැත. එසේ තිබියදී ආගමික පුද පූජා සහ උත්සව, ආගමික විශ්වාස සහ සංස්ථාවන්ගේ ශූන්‍යත්වය අනාවරණය කළේත්, එසේ කරන්නට සිය හෘදය සක්‍ෂිය විෂයයෙහි අධිෂ්ඨාන සහගත දිරියක් තිබුණේත් ගෞතම බුදුරජාණන් වහන්සේට පමණකි. තමන් තුළ පැවති යථාර්ථාවබෝධය පිළිබඳ ස්ථිර විශ්වාසය කෙතරම් ශක්ති සම්පන්න වූයේ දැයි උන්වහන්සේගේ පහත දැක්වෙන ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි.

සබ්බාභිභූ සබ්බච්දූහමස්මි

සබ්බේසු ධම්මේසු අනූපලිත්තෝ

සබ්බඤජහෝ තණ්හක්ඛයේ විමුත්තෝ

සයං අභිඤඤාය කමුද්දිසෙය්‍යං” (ධම්ම පදය – 353 )

“මම සියල්ල මැඬලීමි. මම සියලු දේ දනිමි. සියලු දෙයෙහි නොඇලෙමි. සියල්ල දුරලීමි. තණ්හාව කෙළවර කරලීමෙන් සියල්ලෙන් මිදුණෙමි. සියල්ල තමා විසින් අවබෝධ කළ හෙයින් කවරකු මගේ ගුරුවරයා වෙති යි කීයම් ද?”

මේ එඩිතර ප්‍රකාශයෙන් උන්වහන්සේගේ ආත්ම විශ්වාසයේ ප්‍රබලත්වය එළිදරවු වනු පමණක් නොවේ. එසේම ශ්‍රේෂ්ඨ පෞරුෂ්‍යය ද ප්‍රකට වෙයි. කීර්තිමත් විනයධරයන් සහ බහුශ්‍රැතයන් උන්වහන්සේ සිසාරා එක්රොක් වූයේත්, කුලීන හා කුලහීන, දුප්පත් සහ පොහොසත්, උගත් හා නූගත් ජනයා අතර සිය පණිවිඩය සන්නිවේධනයට කරන්නට ලැබුණේත් මේ පෞරුෂය මහිමයෙනි. උන්වහන්සේ විසින් මිනිසා ගණන් ගනු ලැබුවේ ඔහුගේ කුලයෙන්වත්, සමාජ තත්ත්වයෙන්වත් නොවේ. ඒ සමාජය තුළ බ්‍රාහ්මණයෙක් හෝ හරිජනයෙක් නොවී ය. මේ දැක්ම අද ඉන්දියාවට බරපතල ලෙස වුවමනා වන්නකි.

සත්තකින්ම බ්‍රාහ්මණ බලාධිකාරය තුළ චින්තන නිදහසට තිබුණේ ඉතා සුළු අවකාශයකි. හිමාලය කඳු පාමුල දිගින් දිගට පිටිසර පෙදෙසහි අබ්‍රාහ්මණික චින්තකයන් කීප දෙනෙක් දකින්නට ලැබිණි. ඒවායේ බ්‍රාහ්මණාගමේ ග්‍රහණය දුබල එකක් විය. බුදුන් වහන්සේ ඉදිරිපත් කළ චින්තන ක්‍රමය බුද්ධිගෝචර වුණා පමණක් නොවේ. එය ගැඹුරු ද දුරවබෝධය ද විය. එයින් අමතන ලද්දේ ඉන්දියාවේ බුද්ධිමත් ජනතාවයි. බුදුන් වහන්සේගේ අද්වෛත දර්ශනය බෙහෙවින් ම පසු කල්හි ශංකරාචාර්ය වරයාගේ අද්වෛතවාදයට සමාන විය. බ්‍රාහ්මණික චින්තන ගුරුකුලයක් විසින් ශංකරාචාර්යවරයා වෙස් වළාගත් බෞද්ධයෙකියි නම් පටබඳින ලද්දේ ඒ නිසා ය.

19 වන සියවසේ මුල හරියේ දී ප්‍රතිභාපූර්ණ ජර්මන් දාර්ශනික ෂෝපන්හවර් සිය දාර්ශනික චින්තා උපනිෂද් සහ වෙසෙසින් ම බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වලින් උපුටා ගත්තේ ය. ඔහු පුද්ගල අභිලාෂ සිද්ධාන්තය, එනම්, පුද්ගලත්වරණ මූල ධර්මය, දුකට මූලික හේතුව ආසන්න වශයෙන් බුදුන් වහන්සේගේ “පුද්ගල මතය” තුළ දැක්වෙන පරිදි පුද්ගලත්වය හෙවත් “මමංකාරය” සමඟ බැඳී ඇති බවට කරුණු දක්වා ඇත. බුදුන් වහන්සේට අනුව ‘නිර්වාණය’ සාක්‍ෂාත් කර ගත හැකි වන්නේ, තෘෂ්ණාව මුලිනුපුටා දැමීමෙන් සහ ‘අනාත්මන්’ පිළිබඳ යථාර්ථාවබෝධයෙනි. එසේ ම ෂෝපන්හවර්ට අනුව විමුක්තිය සාක්‍ෂාත් වන්නේ මමත්වය ක්‍ෂය කිරීමෙන් සහ සර්වකාලීන හා සාර්වභෞමික අවලෝකනයෙනි.

ෂෝපන්හවර් කෙතරම් දුරට බුදුදහම කෙරෙහි පැහැදුණේ ද යත්, ඔහු සිය අධ්‍යයන කටයුතුවල නිරතව සිටියදී, එමැනුවෙල් කාන්ට්ගේ උඩුකය පිළිරුවක් එක්කම බුදුපිළිමයක් ද තබා ගත්තේ ය. ඒ අතර බුදුදහම මුළු ආසියාව පුරා පිළිගනු ලබනු ඇතැයි ලිවුවේ ය. එසේම කිතුදහම විසින් බුදුදහම අවතැන් කරන්නට දරන ප්‍රයත්නය ගිරි ශිඛරයකට වෙඩි උණ්ඩයක් විදීම හා සැසඳී ය.

බුදුන් වහන්සේගේ ඉගැන්වීම් කෙරෙහි ප්‍රහර්ෂයෙන් ඇලළී ගිය, 20 වැනි සියවසේ විසූ තවත් වියතකු වූයේ ඇල්ඩස් හක්ස්ලි ය. ඔහු මෙසේ ලියයි. කෙටියෙන් කියතොත්, නීරස වාක්කෝෂයකින් යුක්ත වූවත්, මහායාන සූත්‍රයන්ගෙන් විශිෂ්ටතමයෙහි සනාතන දර්ශනයේ යථාභූත ක්‍රම සංයෝජනය ඇතුළත් වෙයි. එය ඇතැම් කරුණු අතින් වෙනත් ඕනෑම එකකට වඩා පරිසමාප්ත ක්‍රමසංයෝජනයකි. ‘හක්ස්ලි තත් ත්වං අසී’ යන්නෙහි උපනිෂදික ඉගැන්වීම අවධාරණය කර තහවුරු කරමින්, එහි විශිෂ්ටතම විවරණය බෞද්ධ පාඨ ග්‍රන්ථයන්හි හමුවෙතියි යන මතය දරයි.

බුදුන් වහන්සේ පළමුවෙන් තමා විසින් ම, තමාගේ ක්‍රමවේදය ගැඹුරු සහ දුරවබෝධ (දුද්දසෝ දුරනුබෝධෝ නිපුණෝ පණ්ඩිතවේදනීයෝ) හෙයින් එවක ජනතාවට තේරුම් ගැනීම අපහසු වෙති යි සිතා ඉදිරිපත් කරන්නට අදිමදි කළහ. එහෙත් දෙවැනි පියවරේ දී ආධ්‍යාත්මික වශයෙන් දියුණුව සිටියවුන්ගේ යහපත තකා වඩාත් සරල ආකෘතියකින් සිය දහම ඉදිරිපත් කරන්නට තීරණය කළ සේක. ද්‍රව්‍ය ලෝකය පවතින්නේ හුදෙක් සාපේක්‍ෂව බව (ඉදප්පච්චයතා ඉදං සති ඉදං හෝති) බුදුන්වහන්සේ පැහැදිලි කළහ. නිරපේක්‍ෂ වන්නේ නිර්වාණය පමණකි. එය නියතය, සනාතනය. ඉන්දියාවේත්, චීනයේත් බුද්ධිමතුන් ආකර්ෂිත සනාතන දර්ශනය වූයේ එයයි. ඉක්බිති එය ප්‍රාචීන ආසියාවේ අනෙක් රටවල් විසින් ද ආකර්ෂණය කර ගන්නා ලදී.

ඇතැම්හු බුදුන් වහන්සේගේ ධර්මය ආකෘතියෙන් ප්‍රතිෂේධාත්මක වන අතර අන්තර්ගතයෙන් ප්‍රතිජානනාත්මක වෙතියි යන මතයෙහි සිටිති. එවන් මතයක් සත්‍ය පදනමක් මත පිහිටියක් නොවේ. උන්වහන්සේ දේශනා කළේ දුරාචාරයේ සහ මිථ්‍යා දෘෂ්ටියේ නිෂේධනයයි. එය නිර්වාණප්‍රාප්තිය සඳහා වූ ප්‍රාථමික කොන්දේසියයි.

එහෙත් මේ නිෂේධනය සාධනය කළ හැකි වන්නේ පරමාදර්ශී ශ්‍රමණ ජීවිතයක් ගත කිරීමෙනි. ඒ සඳහා විදර්ශනා භාවනාව වැඩිය යුතු ය. එමඟින් විදර්ශනා ඥානය ලැබිය යුතු ය. ඉක්බිති ඒ සියල්ල ඉක්මවා සියලු සත්ත්වයන්ගේ දුක්ඛ නිවාරණය පිණිස අවශ්‍ය සේවාව ඉටු කළ යුතු ය.

භික්‍ෂු භික්‍ෂුණීනට සේවාව සඳහා සිය වෛද්‍ය ඥානය කැප කරමින් ජීවක වෛද්‍යවරයා ඉටු කළේ ඒ පරමාදර්ශී සේවාව යි. අනේපිඬු සිටුවරයාත්, විශාඛාවනුත් සිය ධනය පැවිදි සමාජයේ යහපත පිණිස යෙදවූ අතර, අශෝක අධිරාජයා සිය රටවැසියන්ගේත්, අසල්වැසි ජාතීන්ගේත් සුවසෙත පිණිස සදාචාර වර්ධනයට පහසුකම් සැලසී ය. මේ පරමාදර්ශී සමාජ සේවාව ආදර්ශයක් කොට ගත් සිය ගණනින් යුත් පරිත්‍යාගශීලීහු තමනට හැකි පමණින් ගිලන්හල්, ආරාම, අධ්‍යාපන ආයතන ආදිය පිහිටුවන්නට ඉදිරිපත් වූහ. කලාශිල්පීන්ගේ පන්හිඳ, ගල්කටුව හා තෙලිතුඩින් ඉන්දියානු කලාවේ විශිෂ්ට කලාකෘතීන් බිහි වන්නට විය. ඒ සියල්ල ඉක්මවා මේ පරමාදර්ශී සේවාවෙන් පන්නරය ලත් භික්‍ෂූහු, ඈත එපිට දේශාන්තරයන්හි ජීවත් වූ ජනතාවගේ ආධ්‍යාත්මික ප්‍රවර්ධනය සඳහා අවදානම් සහගත සංචාරයේ යෙදෙමින් සියලු දුක් කරදර සහ අනතුරු වලට නිර්භීතව මුහුණ දුන්හ.

ඇතැමුන් විසින් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් දාර්ශනික හෝ ආධ්‍යාත්මික වනුවට වඩා ආචාර විද්‍යාත්මක වෙතියි සලකනු ලැබිණ. ප්‍රාග් බෞද්ධ යුගයේ ඉන්දියාවේ ආචාර විද්‍යානුබද්ධ ඉගැන්වීම් නොතිබුණා නොවේ. එහෙත් එහිලා සත්‍යය නම්, ක්‍රමවේදගත පද්ධතියක් නොතිබීමයි. බුදු හිමියෝ ඒ හිදැස පිරවූහ. උන්වහන්සේ එය පරිපූර්ණත්වයට පත් කළේ, ආගමික චින්තාවක ගුරුවරයකු ලෙස නිතර ම, දාර්ශනික ගුණයට වඩා ආචාර විද්‍යාත්මක විවරණයක් ඉදිරිපත් කරමිනි. අපේ අත්දැකීමට අනුව ආචාර විද්‍යානුබද්ධ ඉගැන්වීම් දළ වශයෙන් තුන් ආකාරයකින් බෙදනු හැකි ය.

01. අකුසලය කුසලයෙන් ජය ගැනීම, දුසිරිත සුසිරිතින් ජය ගැනීම, සුසිරිත වෛරයෙන් ජය ගැනීම නොව මෛත්‍රීයෙන් අත්කර ගැනීම සහ ජනතාව සඳහා සීමාවකින් තොර ප්‍රජාතන්ත්‍රවාදය (බුදුන් වහන්සේ සහ ජේසුස් වහන්සේ)

02. දුසිරිත බලයෙන් මර්දනය කිරීම, බලයෙන් සුසිරිත අත්කර ගැනීම, ජනතාව සඳහා බලසම්පන්න, නමුත් ජනහිතකාමී වැඩවසම් ඒකාධිපති පාලනය (මැකියාවෙල්ලි සහ නිට්ෂේ)

03. බුද්ධිමත් භාවයෙන් සුසිරිත අත්කර ගැනීම, ජනතාව උදෙසා වැඩවසම් හා ප්‍රජාතන්ත්‍රවාදී මිශ්‍රණයක් (සොක්‍රටීස්, ප්ලේටෝ සහ ඇරිස්ටෝටල්)

මෙයින් දෙවැන්න හා තුන්වැන්න අත්හදා බැලීමට ලක් කර ඇත. එහෙත් කනගාටුදායක ලෙස ඒ සැලසුම් දෙකම, මහ ජනතාවගෙන් විශාලතම කොටසට උපරිම මට්ටමින් යහපත සලසන්නට අසමත්ව ඇත. 20 වැනි සියවසේ දී මේ සැලසුම් දෙක පිළිබඳ අත්දැකීම තිත්ත හා කටුක එකකි. එසේ තිබිය දී ඇතැම් විට කල් නොයාදී, බුදුන් වහන්සේගේ හා යේසුස් වහන්සේගේ ආචාර විද්‍යාත්මක ඉගැන්වීම් මානව සංහතියේ සන්තුෂ්ටිය පිණිස ඒකායන මාධ්‍යය ලෙස පිළිගනු ලැබිය හැකි ය. ලෝකය කල්තබා මේ සත්‍යය අවබෝධ කර ගත් තරමට වඩා හොඳ ය. බෞද්ධ ආචාර විද්‍යාත්මක ඉගැන්වීමේ ප්‍රවණතාව පහත දැක්වෙන ගාථාවෙන් මැනවින් විවරණය කැරේ.

න හි වේරේන වේරානි - සම්මන්තිධ කුදාචනං

ආවේරේන ච සම්මන්ති – ඒස ධම්මෝ සනන්තනෝ “ (ධම්ම පදය – 05 )

“කවරදාකවත් වෛරය වෛරයෙන් නොසන්සිඳෙයි. අවෛරයෙන්ම සන්සිඳෙයි. මේ සනාතන ධර්මයයි.”

බුදුරජාණන් වහන්සේ ආගමික ආධිපත්‍යවාදී සම්ප්‍රදාය අනුමත කළේ නැත. ආගමික සංවිධානයන්ගේ නායකත්වයට තදනන්තර නම් කිරීමේ ක්‍රමයට උන්වහන්සේ තරයේ ම නොමනාපය දැක්වූහ. පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයකු වූ උන්වහන්සේ සිය පරිනිර්වාණයෙන් පසු ධර්මය සහ විනය, ගුරුවරයා වනු ඇති බවත්, තමා අනුප්‍රාප්තිකයකු නම් නොකරනු ඇති බවත් පළ කළහ.

හැම සඟ සමුළුවකට ම, සංඝයාගේ කාර්ය සාධනය විෂයයෙහි පුරෝගාමී නායකයකු තෝරා ගැනීමේ බලය පවරන ලදී. පැවිද්දන් පිළිබඳ හැම පැනවීමක් ම සංඝ සභාවක් විසින් ක්‍රියාත්මක කළ යුතු විය. අධ්‍යාත්මක වශයෙන් කෙතරම් පුරෝගාමීව සිටියත් එය තනි පුද්ගල භික්‍ෂුවක විසින් නොකළ යුතු විය.

බුදුන් වහන්සේගේ යශෝකීර්තිය රඳා පවත්නේ, වසර දහසකටත් වැඩි කලක් පුරා බුදුදහම් ධජය මුදුන් තලයේ ලෙළ දෙවන්නට සමත් පරාර්ථසාධක කාර්යශීලී බලකායක් වන සඟ පරපුරක් සංවිධානය කිරීමේ යථාර්ථය තුළ ය. ඉන්දියාව එමඟින් මැනවින් පාලනය කරන ලද කීර්තිමත් විද්‍යායතන වලට උරුමකම් කියන්නට වාසනාව ලද්දා ය. එනම්, තක්‍ෂිශිලා, මථුරා, නාලන්දා, ඕදන්තපුරී, වික්‍රමශීලා, උජ්ජයිනි, අමරාවතී, කාඤ්චි, සෝමපුරී සහ ජගද්දලා නම් වූ විශ්ව විද්‍යාල තත්ත්වයේ විද්‍යායතනයයි.

මේ ආරාමික ශාස්ත්‍රීය ආයතනයන්හි උගත්තාහු විදේශගතව ඒවායේ එවන් ආයතන පිහිටුවා ආගමික හා සංස්කෘතික ව්‍යාපාර දියුණු කළහ. අසිත, බෝධිධර්ම, කුමාරජීව, බුද්ධඝෝෂ ආදීහු ඔවුන් අතරින් පෙරමුණේ සිටින කීප දෙනෙකි. ඔවුන් විසින් අත්කර ගන්නා ලද ජයග්‍රහණ ගැන සිතා බලන විට ධර්ම ප්‍රචාරකයන් විශාල පිරිසක් විදේශ සේවාවෙහි නියුතුව සිටි බව අවංකව ම පිළිගන්නට සිදුවෙයි.

මධ්‍යම ආසියාවේත්, උතුරින් තිබ්බතයේත්, දකුණින් බුරුමයේ (මියන්මාරය) සහ ශ්‍රී ලංකාවේත් බෞද්ධ ධර්ම දේශකයෝ හෝඩියේ සිට ගෘහ නිර්මාණ ශිල්පය තෙක් ඒ රටවල සංස්කෘතියේ සම්පූර්ණ පෙරළියක් ඇති කළහ. ඒ අතර චීනයේත්, සිය උනන්දුවට මූලාශ්‍රයක් ලෙස විනය විනිවිද දුටු කොරියාව හා ජපානය වැනි රටවලත්, ධර්ම දේශකයෝ බෞද්ධ පූජාවිධි සමග වත්පිළිවෙත්, සාහිත්‍යය සහ දර්ශන හඳුන්වා දෙමින් තෘප්තිමත් භාවයට පත්වූහ. ඉක්බිති එයින් ඒ ඒ රටෙහි දේශීය කලා සහ ගෘහ නිර්මාණ ශිල්පය විෂයයෙහි බලපෑමකට මඟ පෑදිණ.

චීන්නු ලාඕට්සේ සහ කොන්ෆියුසියස් විසින් සූත්‍රගත කරන ලද ඔවුන්ගේ හෝඩිය, සාහිත්‍යය සහ චින්තනය පවා කටපාඩමින් මතකයෙහි රඳවා ගත්හ. කොරියානුවෝ, මොන්ගෝලියානුවෝ සහ ජපන්නු ද, බුදුන් වහන්සේ කෙරෙහි චීනුන්ගේ කැපවීම පවා ඉක්මවමින්, තමන් කැප වූ බෞද්ධයන් බවට පත් වූහ. එහෙත් ඔවුන් කෙළින්ම ඉන්දියාව සමඟ සෘජු සම්බන්ධතා පැවැත්වූයේ නැත. කෙසේ වෙතත් ඔවුන්ගේ රටවලට ඉන්දියානු සංස්කෘතිය ද පිවිසියේ ය. ඒ ප්‍රධාන වශයෙන් චීනය ඔස්සේ ය.

මැලේසියාව, ඉන්දුනීසියාව සහ ඉන්දුචීනයේ බුදුදහමේ ව්‍යාප්තිය පිළිබඳ කතාපුවත මඳක් වෙනස් ය. පළමුවෙන් මේ රටවල් ජනාවාස වී තිබුණේ බ්‍රාහ්මණ සංස්කෘතියක් සමඟ වූ දකුණු ඉන්දියානුන්ගෙනි.

බුදුදහම ඒ රටවලට පිවිසියේ ඔවුන් එහි පදිංචි වී යම් කලකට පසු ය. එහෙත් බුදු දහම ව්‍යාප්ත වීමෙන් අනතුරුව, ඒ රටවලට එකී බලපෑම වඩාත් හොඳින් දැනිණ. ඈත පෙරදිග රටවල සංස්කෘතියෙන් වැඩි කොටසක් බෞද්ධ මූලාශ්‍රයන්ගෙන් ප්‍රභින්න බව පෙනේ.

බෞද්ධ ධර්ම දේශකයෝ පාල රජවරුන්ගේ යුගය දක්වා ඉන්දියාව හා ඈත පෙරදිග අතර කිට්ටු සංස්කෘතික හා ආගමික සබඳතා පවත්වා ගත්හ. පාලනයට පසු දිගටම දේශපාලන බලය පිරිහීමෙන් අනතුරුව ඉන්දියාව කෙමෙන් මේ විදේශීය රටවල් සමඟ වූ සබඳතා අත්හැර දැමී ය.

එහෙත් අද ඉන්දියාවට නැවතත් ආසියාව තුළ ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කරන්නටත්, ආසියාවේ සියලු රටවල් සමඟ සංස්කෘතික සබඳතා පණ ගන්වන්නටත්, අද බටහිර ලෝකයේ යුරෝපීය ජාතීන් කරන්නාක් මෙන් සංස්කෘතික වශයෙන් සියලු දෙනා එක් පවුල් කණ්ඩායමකට අයිතිවූවන් වෙතියි යන හැඟීම ජාතීන් අතර පණ ගන්වන්නටත් හැකි අවස්ථාව උදා වී ඇත.

නවම් පුර අටවක පෝය


නවම් පුර අටවක පෝය පෙබරවාරි 02 වනදා සඳුදා අපර භාග 05.20 ට ලබයි. 03 වන දා අඟහරුවාදා අපර භාග 03.51 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 02 වන දා සඳුදා ය.

මීළඟ පෝය පෙබරවාරි 09 වනදා සඳුදා.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

New Moonඅමාවක

පෙබරවාරි 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]