UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිත කෙලෙසන අතිමානය

මානවකය, මේ ලෝකයේ ,සමහර ස්ත්‍රී පුරුෂයෝ මානයෙන් තද වූයේ, ඉතා උඩඟු වූයේ වැඳිය යුත්තන්ට නොවඳිති. හුනස්නෙන් නැගිටිය යුත්තා දැක හුනස්නෙන් නොනැගිටිති ඔවුහු මෙසේ වරදවා ගත් ඒ කර්මයේ විපාක වශයෙන් කය බිඳී ගොස් සැප නැති නපුරු ගති ඇති නිරයෙහි උපදිති. ඉදින් පෙර පිනකින් හෝ නිරයේ නූපදී, මිනිසත් බවට පැමිණේ නම් පහත් කුලයකම උපදිති

අතිමානො චිත්තස්ස උපක්කිලෙසො” අතිමානය සිතේ උපක්ලේශයකි. සිත කිළිටි කරන දහමකි. අභිධර්මයේ චෛතසික 52 ක් ඉගැන්වේ. ඉන් 14 ක් අකුසල් චෛතසික වේ. මානය මේ තුදුස් අකුසලයන්ගෙන් එකකි. රහත්වීමේදී ක්‍ෂය වන අකුසල චෛතසිකයක් හා සංයෝජන ධර්මයක් වන ‘මානය’ පුද්ගල මනසේ විවිධ ස්වරූපයන්ගෙන් පවතියි.

බුද්ධ කාලයේ සිටි ශාක්‍ය වංශිකයෝ හා මානත්‍ථද්ධ බමුණා වැනි බ්‍රාහ්මණ වංශිකයෝ අතිමානී පුද්ගලයෝ වෙති. රාහුල සාමණේර මෙන් මානය අවම කරගත් උතුමෝ අනතිමානීහු ය. බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේ නිහතමානී පුද්ගලයෝ වෙති.

ස්වභාවයෙන්ම පුහුදුන් පුද්ගලයන්ගේ සිතේ පවතින කෙලෙස් දහමකි මානය. මානය වැඩිවීම , වර්ධනය වීම හෙවත් අතිමානී තත්ත්වයට පත්වීම, මානසික රෝගී අවස්ථාවකි.

ජාතිත්‍ථද්ධො ධනත්‍ථද්ධො

ගොත්තත්‍ථද්ධො ච යො නරො

සඤාති අතිමඤ්ඤති

තං පරාභවතො මුඛං”

පරාභව සූත්‍රයෙදී වදාළ පරිදි “යම් මිනිසෙක් ජාති මානයෙන් සිත් තද වූයේ ධන මානයෙන් සිත් තද වූයේ, කුල මානයෙන් සිත් තද වූයේ සිය නෑයන් ඉක්මවා සිතා ද (හෙවත් ජාතිය, ධනය, කුලය , ආදිය නිසා ඔහු තම ඥාතීන් හෙළා දකියි ද ) එය පිරිහීමේ දොරටුවකි. මිනිසත් බව පිරිහෙළන දහමකි. අභිවෘද්ධිය කැමැති තැනැත්තා මෙම චින්තන රටාවෙන්, මානසික රෝගයෙන් දුරුවිය යුතු ය.

සෙය්‍ය මාන, සදිස මාන, හීන මාන යනුවෙන් මානයේ ප්‍රභේද තුනක් දහමෙයි ඉගැන්වේ. අනුන්ට වඩා තමා උසස් යැයි සිතීම සෙය්‍ය මානය යි. අනුන් හා තමා නිතර ම සමාන කරමින් මැනීම, සදිස මානය යි. තමා පහත් කර නිතර සිතීම හීන මානය යි. මේ කවරාකාර ක්‍රමයකින් හෝ සිතේ පවතින මානය, අනර්ථදායක ය. අවැඩදායක ය.

අනුන් පහත් කර තමා කොඩියක් සේ, කොතක් සේ උසස් කොට සලකන මානය අතිමාන නම් වේ. අතිමානී තත්ත්වයට සිත පත් වූ විට, එම පාපී ස්වභාවයෙහි සිත නිරන්තරව පවත්නා විට, පුද්ගලයා තමාගේ තත්වය ද අනුන්ගේ තත්වය ද වටහානොගනියි. යථාර්ථය නොදකියි. මානය නමැති කිළිටි දහමින් වෙලී පරිහානියට ඔහු පත්වෙයි. තෝදෙය්‍ය බමුණා බුදුරදුන්ට පවා ගැරහූ අතිමානී පුද්ගලයෙකි. ඔහු තම එම මානසික රෝගී බවේ ප්‍රතිඵලය ලෙස සුනඛකු ව උපන්නේ ය. එම සුනඛයා පෙර අත්බවෙහි ‍තෝදෙය්‍ය බමුණා බව සාක්ෂි සහිතව පෙන්වා දුන් බුදුපියාණෝ සුභ මානවකයාට මෙසේ වදාළහ.

“මානවකය, මේ ලෝකයේ සමහර ස්ත්‍රී පුරුෂයෝ මානයෙන් තද වූයේ, ඉතා උඩඟු වූයේ වැඳිය යුත්තන්ට නොවඳිති. හුනස්නෙන් නැගිටිය යුත්තා දැක හුනස්නෙන් නොනැගිටිති. වෙත පැමිණි අසුනක් දිය යුත්තාට අසුනක් නොදෙති. මඟ ඉඩ දිය යුත්තාට මඟ ඉඩකඩ ලබා නොදෙති. සත්කාර කළ යුත්තාට සත්කාර නොකරති. ගරුකළ යුත්තාට ගරු නොකරති. බුහුමන් කළ යුත්තාට බුහුමන් නොකරති. පිදිය යුත්තා නොපුදති. ඔවුහු මෙසේ වරදවා ගත් ඒ කර්මයේ විපාක වශයෙන් කය බිඳී ගොස් සැප නැති නපුරු ගති ඇති නිරයෙහි උපදිති. ඉදින් පෙර පිනකින් හෝ නිරයේ නූපදී, මිනිසත් බවට පැමිණේ නම් පහත් කුලයකම උපදිති “ මානෙන මක්කටො හොති - අතිමානෙන කුක්කුරො “ මානය නිසා වඳුරකු වෙයි. අතිමානය නිසා සුනඛයකු වෙයි. මේ අතිමානයේ පරලෝ විපාක ය. අතිමානයේ මෙලොව පල දෙන විපාක ද රැසෙකි. ශාක්‍ය වංශය සමූලඝාතනය වූයේ ද ඔවුන්ගේ සිතේ පැවති අතිමානය නිසයි. විඩූඩභ කුමරුට අවමන් කිරීමෙන් ශාක්‍ය සංහාරය සිදුවිය. මාණ්ඩව්‍ය කුමරු අතිමානයෙන් මාතංග තාපසතුමාට නින්දා කිරීමේ විපාක වශයෙන් ඒ මොහොතේම අතිශය විරූපී අඳබාලයකු තත්වයට පත්වූ ආකාරය, මාතංග ජාතකයෙන් හෙළි වෙයි. ඇමරිකාවේ පැවැති සුදු කලු වර්ණ භේදයේ විපාක ද මෙහිදී අප සිහියට නැගෙයි.

අතිශය දරුණු ආකාරයෙන් ඇමෙරිකාවේ පැවැති සුදු කළු වර්ණ භේදය, එදා බුද්ධකාලීන හා මෑතකාලීන ඉන්දියාවේ පවතින කුලීන, කුලහීන භේදයට බෙහෙවින් සමාන ය. වත්මන වන විට මෙම විපරීත මානසික ස්වභාව මඳින් මඳ හෝ ඇමෙරිකානු ජන සමාජයෙන් තුරන් වීම සතුටට කාරණයකි.

“ජාතිමදයද අතිමානයද (ජාති මදො ච අතිමානිතා ච) ලෝභය ද තරහව ද, මදය ද, මුලාව ද, (ලොහොච දොසො ච මදොච මොහො) යන පාපී ධර්ම යමෙකු තුළ වෙයිනම්, ඔහු විෂ සර්පයන්ගෙන් පිරී ගිය තුඹසක් වැනි ය. එබඳු පුද්ගලයා දක්‍ෂිණාර්හ නොවේ. පාලු වී ගිය කෙතක් හා සමාන ය.” යනුවෙන් අතිමානී පුද්ගලයා තුළ පවතින අනෙකුත් පාපී සිතුවිලි ද විග්‍රහ කර දක්වා ඇත. මාතංග ජාතකයේ දී උපමා තුනකින් අතිමාතී පුද්ගලයා පත්වන අපහසුතාව විසිතුරු ලෙස පෙන්වා දී ඇත.

1. ගිරිං නඛෙන ඛණසි - කන්දක් නිය පිටින් සැරීමක් බඳු ය.

2. අයො දන්තෙන ඛාදසි - දත්වලින් යකඩ කෑමක් බඳු ය

3. ජාතවෙදං පදහසි - ගින්දර ගිලීමට උත්සාහ කිරීමක් බඳු ය.

ජාති, කුල, ගෝත්‍ර, උගත්කම්, ධනවත්කම්, බලවත්කම් ආදිය ඉදිරිපත් කරගෙන අනුන් හෙළා දකින්නා අනුන්ට පරිභව කරන්නා (අතිමානී ස්වභාවයෙන් පිරීගිය පුද්ගලයා) එසේ කිරීමෙන් සිදුකරගනුයේ, තමාට ම අවැඩකි. අනර්ථයකි. ඉහත උපමා තුනින්ම ධ්වනිත වනුයේ එසේ කරන්නාම වෙහෙසට පත්වන බවයි. අතිමාතී පුද්ගලයාට මෙලොව සතුරන් වැඩි වෙයි. ශාක්‍යයන්ට මෙන් ඔහුට දේපළ හා ජීවිත හානි ද සිදුවිය හැකි ය. අතිමානය නිසා මෙලොව වශයෙන් විඳීමට සිදුවන විපාක ද බරපතල ය.

පින් කිරීමට ද අතිමානය බාධාකරන අවස්ථා රේරුකානේ චන්දවිමල මහ නා හිමියෝ පෙන්වාදෙති. ඇතැමෙක්, පාවහන් ගැලවීමට ඇති අකැමැත්ත නිසා බිම වාඩිවීමට අකැමැති නිසා හා තමාට වඩා උගත්කමින් කුලයෙන් ජාතියෙන් වයසින් අඩු භික්‍ෂුන් වහන්සේට වැඳීමට සිදුවන නිසා පන්සල් නොයති. කුලීන, කුලහීන, දුප්පත්, පොහොසත් ආදී සැමදෙනා සමඟ එකට බිම හිඳ ගැනීමට සිදුවන නිසා පන්සල් නොයති, ධර්ම ශ්‍රවණ නොකරති.

තවත් සමහරු “ඔය පන්සල දුප්පතුන්ගේ පන්සලකි, කුලහීනයන්ගේ පන්සලකි, ඔය පන්සලේ අසුවල් කුලයේ හාමුදුරුවරු සිටිති. ඔය පන්සලේ හාමුදුරුවරු පාලි, පෙළ දහම් නොදනිති, මා තරම්වත් පෙළ දහම ගැන නොදනිති. පාලි ගාථා වැරැදියට කියති. මෙය දුප්පත් පන්සලකි. කුඩා පන්සලකි. ආදී වශයෙන් අතිමානය නිසා විවිධාකාර සිතිවිලි අදහස් ප්‍රකාශ කරති. ඇතැමෙක් අතිමානී මානසික රෝගයේ දරුණුතම නිසාම භික්‍ෂූන්ට පසඟ පිහිටුවා නොවඳිති. තම මවුපියන්ට වැඩිහිටියන්ට හෝ ඔවුහු පසඟ පිහිටුවා නොවඳිති. එය මදිපුංචිකමක් සේ සලකති. තම නිවසට වැඩම කළ මහා සංඝරත්නයට සේවකයන් ලවා දන්දීම් හා පූජා සත්කාර කරවති. අතිමානී ස්වභාවය, මේ ආකාරයෙන් පුද්ගලයා පින්කිරීමෙන් වළක්වයි. කුසලය වැඩීමෙන් වළක්වයි. ලබාගත් මිනිසත්බව පිරිහෙළා ගැනීමට උපකාර කරයි. සතර අපා උත්පත්තියට, එය උපකාර කරයි.

මේ අයුරින් මානයේ ආදීනව අප විසින් මෙනෙහි කළ යුතු ය. මෙලොවදීම අපමණ දුක් ගැහැට ගෙන දෙන පරලොව ද අප දුගතිගාමී කරවන අතිමානය දුරු කිරීමට අප සිතට ගත යුතු යි. සමානාත්මතාව අන්‍යොන්‍ය ගෞරවය, සුහදතාව වර්ධනය කරගැනීමට වෙහෙසිය යුතු යි. අභිමානය දුරු කර කුසල් වැඩීමට උත්සාහ කළ යුතු යි. වෑයම් කළ යුතු ය. (සම්මා වායාම) එසේ කුසල් වඩා, සිත දමනය කිරීමෙන් නිවන් අවබෝධ කරගත යුතු යි.

නවම් පුර අටවක පෝය


නවම් පුර අටවක පෝය පෙබරවාරි 02 වනදා සඳුදා අපර භාග 05.20 ට ලබයි. 03 වන දා අඟහරුවාදා අපර භාග 03.51 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 02 වන දා සඳුදා ය.

මීළඟ පෝය පෙබරවාරි 09 වනදා සඳුදා.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

New Moonඅමාවක

පෙබරවාරි 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]