UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ආලෝකය සහ නිර්වාණාලෝකය

ප්‍රභාස්වර වූ භවාංග චිත්තයෙන් නිකුත්වන ආලෝකය නිවෙමින් දැල්වෙමින් දැවෙන ස්වභාවයෙන් යුක්ත අනිත්‍ය ධර්මයක් වුවද නිර්වාණයේ ආලෝකය නිවීමක් දැල්වීමක් දැවීමක් හා අනිත්‍යතාවයක් නැති අසංඛත ධර්මයකි. ප්‍රභාස්වරභවාංග චිත්තය, සංඛත ධර්මයකි. අංගුත්තර නිකායේ තික නිපාතයේ චූල වග්ගයේදී බුදුහිමියන් විසින් සංඛත හා අසංඛත ධර්මයන් අතර ඇති ප්‍රධාන වෙනස්කම් තුනක් දක්වනු ලැබ ඇත.

බුදුන් වහන්සේ තම ප්‍රථම ධර්ම දේශනය වන ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන්, බුද්ධත්වයේ දී නිර්වාණ ධර්මය සාක්ෂාත් වීම රූපකයක් ලෙස දක්වා ඇත්තේ ‘ආලොකෝ උදපාදි’ යනුවෙන් ආලෝක උදාවක් ලෙස ය. අංගුත්තර නිකායේ එකක නිපාතයේ පභස්සර වග්ගයේ දී නිර්වාණාලෝකයට පසුබිම් වන භවාංග චිත්තය නොහොත් ප්‍රකෘති පවිත්‍ර චිත්තය ‘පභස්සරමිදං භික්ඛවේ චිත්තං’ යනුවෙන් බුදු හිමියන් විසින් දක්වනු ලැබ ඇත්තේ, ප්‍රභාස්වර ධර්මයක් ලෙස ය. දීඝ නිකායේ එන කේවඩ්ඪ සූත්‍රයේදී නිර්වාණය හඳුන්වාදෙනු ලැබ ඇත්තේ ‘සබ්බතො පභං’ යනුවෙන් හැම අතින්මත් හැම දෙසින්මත්, හැම ලෙසින්මත් ප්‍රභාස්වර වූ ආලෝකයක් සහිත ධර්මයක් ලෙස ය.

ප්‍රභාස්වරභාවය යම්කිසි වස්තුවක් කේන්ද්‍රකොට ගෙන විහිදී ගියත්, විශ්වාන්තර ආලෝකය කිසියම් වස්තු කේන්ද්‍රයකට සීමා වී කොටු නොවී අසීමිත නොහොත් අනන්‍යතා පරිමාණ ලෙස විශ්වාන්තාරව පැතිරී සිටින්නකි. සෞර ග්‍රහ මණ්ඩලයේ මෙන් සූර්යයා පමණක් කේන්ද්‍ර කොට නොගත්තකි.

ලෞකික නොහොත් ලෝකීය වශයෙන් අප දකින භෞතික ආලෝකය, භෞතික විද්‍යාවෙන් විග්‍රහ වන්නේ කිසියම් මුලයක් කේන්ද්‍රකොට ගෙන විකිරණය වන විද්යුත් චුම්බක නොහොත් විද්යුත් කාන්දම් තරංග මාලාවක් ලෙසිනි. ඒ නිසා භෞතික ආලෝකය, ප්‍රභවයක් නොහොත් ආරම්භයක් ඇති කම්පිත ධර්මයකි. එහෙත්, ලෝකෝත්තර වූ නිර්වාණාලෝකය ප්‍රභවයක් හෝ ආරම්භයක් නැති, එසේම අවසානයක් නැති අකම්පිත ධර්මයකි. එසේම භෞතික ආලෝකය සේ අඩු වැඩි වෙමින් වෙනස්වීමට භාජනය නොවන ස්ථාවර ධර්මයකි.

භෞතික ආලෝකය එහි ප්‍රභව මූලය නොහොත් ආරම්භක කේන්ද්‍රය ආසන්නයේදී බලවත් වන අතර ඒ කේන්ද්‍රයෙන් ඈත්වන විට දුර්වල වේ. එහෙත් නිර්වාණාලෝකයෙහි විශේෂ බලවත් වීමක් හෝ විශේෂ දුබලවීමක් නැත. එමනිසා නිවාස සුවයෙහි අඩුවැඩි වීමක් නැත.

අරහත් මාර්ගයේදී ප්‍රභාස්වර වූ භවාංග චිත්තයෙන් විකිරණය වන චිත්තාලෝකය නිර්වාණ ලෝක යැයි රැවටෙන ආර්යයන් වහන්සේ තමන් එසේ රැවටුණු බව අවබෝධ කර ගන්නේ් චිත්තාලෝකය අඩුවැඩි වෙමින් දිදුලු දිදී වෙනස්වන බව පෙනුණ විට ය. චිත්තාලෝකය කම්පනය වෙමින් අඩු වැඩි වන්නේ තරුවකින් විකිරණය වන ආලෝකය නිවෙමින් දැල්වෙමින් වෙනස්වන්නා සේ ය. මෙසේ චිත්තාලෝකය ජාති, ජරා මරණ යන දුක්ඛ ලක්ෂණයන්ගෙන් යුක්ත වුවත්, නිර්වාණාලෝකය දුක්ඛ ලක්ෂණයන්ගෙන් තොර වූ පරම විමුක්ති සුවයකි.

අංගුත්තර නිකායේ තික නිපාතයේ චූල වර්ගයෙහි සඳහන් පරිදි දුක්ඛ ධර්මයේ මූලික ලක්ෂණයක් වන්නේ ‘ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති’ යැයි බුදු වදනෙන් කියැවෙන පරිදි ඒ ඒ මොහොතේ පවතින තත්ත්වය නිතර වෙනස් තත්ත්වයකට පත් වීම ය. සිතට එක මොහොතක් වෙන් නොවී සිටිය හැකිය. හැම සිතක්ම නොහොත් චිත්ත වීථියක්ම උප්පාද - ඨිති- භංග යන ලක්ෂණයන්ගෙන් යුක්ත ය. හැම චිත්ත තරංගයක්ම මතු වී නැගි බැස ය යි. එසේ බැස යෑමත් සමග සිදුවන්නේ ඊළඟ චිත්ත තරංගය නොහොත් චිත්ත වීථිය නැගී යෑම ආරම්භ ය යි. චිත්ත තරංගයකට ආරම්භයක් ඇත යනු ඊට අවසානයක් ද ඇති බව ය.

නිර්වාණයෙහි ආරම්භයක් හෝ අවසානයක් නැත. නිර්වාණ ලෝකයෙහි මෙන්ම විශ්වාන්තර ආලෝකයෙහිද ආරම්භයක් හෝ අවසනායක් නැත. අපගේ් විශ්වයෙහි ආරම්භයක් මෙන්ම අවසානයක් ද ඇතත් ඒ විශ්වය පැතිරී පවතින අවකාශයෙහි ආරම්භයක් හෝ අවසානයක් නැත. නිවනද අවකාශය සේ ආරම්භයක් හෝ අවසානයක් නැති සනාතන ධර්මයකි.

විද්‍යාඥයන්ගේ විග්‍රහ අනුව අපගේ විශ්වය ආරම්භ වී ඇත්තේ බ්ලැක් හෝල් නමින් හඳුන්වනු ලබන අඳුරු ආවාටයක ඉදිකටු තුඩකටත් වඩා කුඩා න්‍යෂ්ටයක්; ඒ ආවාටයේ ගුරුත්ව බලයෙහි පිඩනය දරාගත නොහැකිව ඒ අඳුරු ආවාටය සමගම පුපුරා යෑමෙනි. ආවාටය අඳුරු වුවද එහි සැඟ වී තිබුණේ විශ්ව ආලෝකය යි. අද විශ්වය පුරා පැතිරී පවතින්නේ එම විශ්වාන්තර ආලෝකය යි. ඒ ආලෝකයට ආරම්භකයක් හෝ අවසානයක් නැත. එහෙත් එහි ප්‍රභාව වරින්වර ඇතිවී නැති වී යා හැකි ය.

ආලෝකයත් ආලෝකයේ ප්‍රභාස්වර භාවයත් අවකාශය හරහා ගමන් කරන තරංග වන අතර එසේ ගමන් කිරීම චලනයක් හෙයින් එම ආලෝකය ගමන් කරන තරංගයන් සහිත සංසරණ ධර්මයකි. නිර්වාණාලෝකය වනාහී චංචලනය හා සංසරණය රහිත නිස්සරණ වූ ස්ථාවර ධර්මයකි. ආලෝකය භෞතික වුවද නිර්වාණාලෝකය අභෞතික ධර්මයකි.

භෞතික විද්‍යාවේ අලුත්ම සොයාගැනීම් අනුව හැම භෞතික වස්තුවක්ම නිර්මාණය වී ඇත්තේ කම්පනය වන ශක්ති පටකයන්ගෙනි. කම්පනය වීම යනු තරංග නිර්මාණය යි. උප්පාද යනු තරංගයක් නොහොත් රැල්ලක් නැගීම ආරම්භ වීමයි. ඨිති යනු ඒ නැගීම මුදුන් වී නතර වීම යි. භංග යනු එසේ මුදුන් වූ රැල්ල බැසගොස් නැති වීම යි. භෞතික ආලෝකය නිර්වාණය වී ඇත්තේ ආලෝක තරංග නමැති මෙබඳු රැළි වලිනි. භෞතික නොහොත් ලෝකීය ධර්මයක් වන භවාංග චිත්තයේ ප්‍රභාස්වර බව නමැති ආලෝක විකිරණය සිදුවන්නේ ද මෙබඳු තරංග මගිනි.

තරංගයක උප්පාද- ඨිති- භංග යනු දුක්ඛ ධර්මයක් වන ජාති ජරා මරණය වේ. උප්පාද යනු ජාතිය නමැති ඉපැදීම නොහොත් ආරම්භය යි. ඨිති යනු තරංගයේ නැගීම ජරාවට පත්වීමේ ආරම්භක සන්ධිස්ථානය යි. භංග යනු තරංගයේ මරණය යි. රහත්වන අවස්ථාවේදී දක්නට ලැබෙන්නේ භවාංග චිත්ත ප්‍රභාස්වරත්වය තුළ ඇති මේ ජාති ජරා මරණ නමැති අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ යි.

භවාංග චිත්තයෙහි ප්‍රභාස්වර වූ ආලෝකය නිර්වාණාලෝකය යි වරදවා වටහාගෙන, එහි බැඳී සිටින යෝගාවචරයා, සංසාරයේ දිගින් දිගටම ජාති, ජරා, මරණාදී දුක් ගෙන දෙන භවාංග චිත්තය ගැන කලකිරී එහි ප්‍රභාස්වර වූ ආලෝකය කෙරෙහි ඇතිකරගත් බැඳීම බිඳී ගොස්, වීතරාගයෙන් විමුක්තිය උදාවී, උතුම් වූ අරහත් ඵලයට පත්වන්නේ, භවාංග චිත්තයෙහි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය සාක්ෂාත් වූ පසු ය.

ප්‍රභාස්වර වූ භවාංග චිත්තයෙන් නිකුත්වන ආලෝකය නිවෙමින් දැල්වෙමින් දැවෙන ස්වභාවයෙන් යුක්ත අනිත්‍ය ධර්මයක් වුවද නිර්වාණයේ ආලෝකය නිවීමක් දැල්වීමක් දැවීමක් හා අනිත්‍යතාවයක් නැති අසංඛත ධර්මයකි. ප්‍රභාස්වරභවාංග චිත්තය, සංඛත ධර්මයකි.අංගුත්තර නිකායේ තික නිපාතයේ චූල වග්ගයේදී බුදුහිමියන් විසින් සංඛත හා අසංඛත ධර්මයන් අතර ඇති ප්‍රධාන වෙනස්කම් තුනක් දක්වනු ලැබ ඇත. ‘උප්පාදො....වයෝ....ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති’ යනුවෙන් දක්වා ඇත්තේ සංඛත ධර්මයන්හි උප්පත්තියක් ජරාවක් හා පවතින තත්ත්වය වෙනත් තත්ත්වයකට පත්වීමක් ඇති බවය. අසංඛත ධර්මයක් වන නිවනෙහි මේ ලක්ෂණ තුනම නැත.

භෞතික ආලෝකය ශක්ති තරංගයන්ගෙන් හා ප්‍රෝටොන් අණුවලින් සකස් වූ සංඛත ධර්මයකි. ආලෝකයෙහි විවිධ වර්ණ සකස් වන්නේ කම්පන තරංග ප්‍රමාණ අනුව ය.

රාග යන්නේ මුඛ්‍ය අර්ථයත් වර්ණ යන්නයි. සිතෙහි ඇතිවන රාගයෙහි ලක්ෂණය ද සිතේ වර්ණවත් බවය. වීතරාගී සිත චිත්ත වර්ණයන් රහිත චිත්තයකි. ‘සචිත්ත පරියො දපනං’ යනුවෙන් කියැවෙන්නේ සිත මේ තත්ත්වයට නොහොත් පරිඔදාතික තත්ත්වයට පත්කර ගැනීමයි. ඔදාත යනු පවිත්‍ර සුදය. එනම් වර්ණ රහිත ආලෝකය යි. නිර්වාණාලෝකය ද, වර්ණ රහිත ආලෝකයකි. ‘සබ්බතො පභං යනු එය හැම අතින්ම පැහැපත් බව ය. රාග නමැති සියලු වර්ණයන්ගෙන් විනිර්මුක්ත භාවය යි. භෞතික ආලෝකයෙන් තාපයක් ජනිත වන අතර, නිර්වාණලෝකයෙන් එබඳු තාපයක් ජනිත නොවේ. නිබ්බුත නොහොත් නිවන යන්නෙහි මුඛ්‍ය අර්ථයත් එසේ තාපයන්ගේ දාහය නිවී සැනසී ගිය බවයි. එයින් තාපයක් ජනිත නොවන්නේ එහි කම්පන තරංගයන් නැති බැවිනි. කම්පන සහිත සිත රත් වේ. නිසල සිත නිවී යයි.

දීඝ නිකායේ එන කේවඩ්ඪ සූත්‍රය අනුව ‘සබ්බතො පභං’ යැයි කියනු ලබන පරිදි නිර්වාණාලෝකය හැම අතින්ම ප්‍රභා සම්පන්න ය. එහෙත් “එක්ථ අපෝච පඨවී තේජෝ වායො න ගාධති’’ යැයි කියනු ලබන පරිදි එහි පඨවි ආපො තේජෝ වායො යන භෞතික ලක්ෂණ කිසිවක් නැත. පඨවි යයි හඳුන්වන ලබන පොළොවෙහි ඇත්තේ ‘යං තද්ධ ලක්ඛනං තං පඨවි’ යැයි කියනු ලබන පරිදි තද ගතියයි. මේ තද ගතිය ඇතිවන්නේ ගුරුත්ව බලයෙනි.

එහෙත් භෞතික ආලෝකයෙහි දී නැත. භෞතික ආලෝකයෙහි මෙන් ප්‍රෝටොන් අණු එහි නැති බැවිනි. ‘යං ආධ්‍යධන ලක්ඛණං තං ආපො කියන පරිදි බැඳෙන ගතිය නොහොත් චුම්බක ශක්තියකින් කෙරෙන ඇලෙන ගතියක්ද නිර්වාණලෝකයෙහි නැත. ‘පරිපාචන ලක්ඛණං’ යැයි කියනු ලබන පරිදි සූර්යාලොකයෙහි ඇති රත්වෙන පැහෙන දැවෙන තැවෙන ගතියද නිර්වාණ ලෝකයෙහි නැත.

එහි තේජෝ ධාතුවක් නොහොත් තේජෝ භූතයක් බැවිනි. එසේම භෞතික ආලෝකයෙහි මෙන් කම්පනය වන ආලෝක තරංග නොහොත් වායෝ භූතයක්ද නිර්වාණ ලෝකයෙහි නැත. ‘චිත්තං යස්ස නකම්පති’ යැයි කියනු ලබන පරිදි නිර්මාණාලෝකයෙහි ඇත්තේ අකම්පිත ස්වභාවයකි. නිර්වාණාලෝකය උදා වූ සිත්; කිසිවකින් කම්පා නොවන්නේ එහෙයිනි. කම්පා නොවන සිත නිවී සැනසුණු සිතකි.

නවම් පුර අටවක පෝය


නවම් පුර අටවක පෝය පෙබරවාරි 02 වනදා සඳුදා අපර භාග 05.20 ට ලබයි. 03 වන දා අඟහරුවාදා අපර භාග 03.51 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 02 වන දා සඳුදා ය.

මීළඟ පෝය පෙබරවාරි 09 වනදා සඳුදා.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

New Moonඅමාවක

පෙබරවාරි 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]